History

Saturday, 22 September 2012

ජයලලිතාගේ ඉලක්කය

ජයලලිතා තරුණ කල සිනමා නිළියක වූවා ය. එහෙත් අද ඇය චිත්‍රපටිවල රඟපෑමක් නො කරයි. කෙසේ වුව ද ගැහැණු පිරිමි භේදයකින් තොරව දේශපාලනඥයෝ ද නළු නිළියෝ වෙති. නළු නිළියන්ට දේශපාලනඥයන් වීම හෝ දේශපාලනඥයන්ට නළු නිළියන් වීම හෝ ප්‍රශ්නයක් නො වේ. ඒ කෙසේ වුවත් අද ජයලලිතා කරන්නේ කුමක් ද යන්න වැදගත් ප්‍රශ්නයක් වෙයි. ජයලලිතා යනු ඉන්දියාවේ අගමැතිනිය නො වේ. ඇය සෝනියා ගාන්ධි ද නො වේ. ඇය තමිල්නාඩුවේ මහ ඇමතිනිය පමණක් වෙයි. එහෙත් ඇය එයින් සෑහීමකට පත්වීමට අකමැති බව පැහැදිලි ය. ඇයගේ කැමැත්ත තමිල්නාඩුවේ අගමැතිනිය වීම ය. වෙනත් අයුරකින් කියන්නේ නම් ඇයට තමිල්නාඩුවේ වෙන ම දෙමළ රාජ්‍යයක් පිහිටුවා ගැනීමට අවශ්‍ය ය. ඒ අතින් ඇය කරුණානිධිගෙන් වෙනස් වෙයි. කරුණානිධි ද ලංකාවේ දෙමළ ජාතිවාදීන්ට ආධාර කළමුත්, කරනමුත් ඔහුට තමිල්නාඩුවේ වෙනම රාජ්‍යයක් අවශ්‍ය නො වේ. තමිල්නාඩුවට ඉන්දියාවෙන් වෙන්වීමට නොහැකි බව කරුණානිධි දනියි. එහෙත් ජයලලිතාගේ සිහිනවලට සීමාවක් නැත.

පසුගිය දා ඉන්දියාවේ සිදුවූයේ ලංකාවට විරුද්ධ දේටත් වඩා ඉන්දියාවට විරුද්ධ දේ ය. එහි දී ඒ සියල්ල කෙරුණේ ජයලලිතාගේ අවශ්‍යතාවට ය. ඇය අපේ හමුදාවේ දෙදෙනකුට හමුදා පුහුණුව නොදී ආපසු යැවිය යුතු යැයි ප්‍රකාශයක් කළා ය. එහෙත් ඉන්දියාවේ පුවත්පත්වලට අනුව එය අපේ හමුදාවේ දෙදෙනකුට දුන් පුහුණුවක් නො වේ. වෙනත් රටවලින් ද ඉන්දියාවට ගොස් සිටි ඒ ඒ රටවල හමුදා සෙබළුන් සමග ලංකාවෙන් ගිය අය ද පුහුණුවකට සහභාගි වී ඇත. ඉන්දියාවේ පුවත්පත් පැවසූ ආකාරයට ලංකාවේ හමුදාවෙන් එහි ගිය අයට තුවක්කු පාවිච්චි කරන්නේ කෙසේ දැයි ඉගැන්වීමේ අවශ්‍යතාවක් ඉන්දියාවට නො වී ය. එහෙත් ජයලලිතා එය තම ඉලක්කය කරා යෑමට යොදා ගත්තා ය. ලංකාවේ ද ඉන්දියාවේ ද වෙනත් බොහෝ ආසියාතික රටවල ද විපක්‍ෂ දේශපාලනඥයන් ක්‍රියාකරන්නේ එකම ආකාරයට ය. ඔවුහු ඉතා නග්නව බලයට පත්වීමට උත්සාහ කරති. ජයලලිතා තමිල්නාඩුවේ මහ ඇමතිනිය වුව ද ඇයගේ ඉලක්කය අනුව හා ඉන්දියාව සමස්තයක් ලෙස ගත්කල විපක්‍ෂ දේශපාලනඥියකි. බටහිර රටවල විපක්‍ෂ දේශපාලනඥයන් හා හිතවතුන් ක්‍රියාකරන්නේ සියුම්ව ය. එහෙත් අපේ රටවල එසේ නො වේ. පසුගිය දා ගුරු සේවයේ කිසිම වගකීමක් නැති වෘත්තීය සමිතියක් පහේ ශිෂ්‍යත්ව පරීක්‍ෂණය අවලංගු කිරීමට උද්ඝෝෂණය කළේ ප්‍රශ්න පත්‍රයක් පිට වී ඇතැයි කියමිනි. එය හුදෙක් ආණ්ඩුවට පහර දීමක් විය. ප්‍රශ්න පත්‍ර පිටවීම බොරු්වක් බව පැහැදිලි ය. ඉසෙඩ් ලකුණු අවුල ඇති කළේ ද ගුරු සංගමයක් හා තටිල් මහතා ය. ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය දා දුන් තීන්දුව තටිල් ක්‍රමයට පටහැණි ය. එහෙත් ඒ බව කීමට එදා කෑ ගැසූ කිසවෙක් ඉදිරිපත් නො වෙති. විපක්‍ෂය හා විපක්‍ෂයට හිතවත් සංවිධාන ක්‍රියා කරන්නේ එසේ ය. සරසවි ඇදුරන්ගේ ඊනියා 6% ද ව්‍යාජයක් පමණ ය. එය කාගේ යෝජනාවක් ලෙස පසුගිය වසරේ දී වෘත්තීය සමිති අරගලය අරඹා කලක් ගතවීමෙන් පසුව ඉල්ලීම්වලට එක්වුණ ද අද ඒ වටා ආණ්ඩු විරෝධීන් එකතු කිරීමට ජ වි පෙ හා එ ජා ප උත්සාහ දරයි. වකුගඩු රෝගය ද අද දේශපාලන පක්‍ෂ විසින් දේශපාලන අරමුණු සඳහා යොදාගනු දැකිය හැකි ය. අප මනුෂ්‍ය නොවන බලවේග මගින් රෝගයට හේතුව ආසනික් බව කියද්දී මේ කොයි කවුරුත් ඊනියා විද්‍යාත්මක ක්‍රමයක හිර වී අපට සිනහසුනහ. අප ඒ ප්‍රශ්නය ඉදිරිපත්කර ඒ සඳහා ප්‍රතිකාර කිරීමට උත්සාහ කරන තෙක් මේ අය සිටියේ කොහේ ද? අද ද ඔවුන්ගේ ඊනියා විද්‍යාත්මක බටහිර වෛද්‍ය ක්‍රමයෙන් රෝගයට ප්‍රතිකාරයක් දිය හැකි නො වේ. ’

ජයලලිතා තමිල්නාඩුවට ගොස් සිටි පාපන්දු කණ්ඩායමක් ආපසු ලංකාවට එවුවා ය. ජාතික හෝ වෙනත් ආකාරයකින් හෝ විශාල වැදගත් කමක් ඇති කණ්ඩායමක් නොවූ තරුණ පාපන්දු ක්‍රීඩකයන් පිරිසකට වැදගත් කමක් දීමට ජයලලිතාට එමගින් හැකිවිය. ඉන්දීය පුවත්පත්වලට අනුව ජයලලිතාගේ ක්‍රියාව නොවන්නට ඒ කණ්ඩායම ඉන්දියාවට පැමිණි බවවත් ඉතා වැඩි පිරිසක් නොදැන සිටීමට ඉඩ තිබිණි. ඉන්පසු යාඥා කිරීම සඳහා ලාංකික කිතුණු බැතිමතුන් පිරිසක් තමිල්නාඩුවේ වේලන්කන්නි පල්ලියට ගිය අවස්ථාවේ කොටි හිතවාදීන් යැයි කියාගන්නවුන් පිරිසක් ඔවුන්ට හිරිහැර කර තිබිණි. ලාංකික කතෝලික බැතිමතුන්ට තාන්ජාවුර්හි පූණ්ඩිමාතා පල්ලියට ගිය අවස්ථාවේ දී ද ඊනියා කොටි හිතවාදීන්ගේ තර්ජනවලට මුහුන පෑමට සිදු වී ඇත. යාඥාකරුවන් ත්‍රිචි ගුවන් තොටුපළට විශේෂ බස්රියවලින් ගමන් ගනිද්දී ද බස්වලට පහර දී ඇත. ඉන්දීය පුවත්පත්වලට අනුව යම් සන්දර්ශනයකට සහභාගි වීමට තමිල්නාඩුවේ පාසලකට ගිය ලාංකික කතෝලික ශිෂ්‍ය කණ්ඩායමකට එයට සහභාගි වීම තහනම් කෙරී ඇත. මේ එකක්වත් ජයලලිතා නොදැනුවත් ව සිදු වූ දේ නො වේ. එහෙත් ඉන්දීය රජය මේ සම්බන්ධයෙන් දැනුවත් ව සිටියේ යැයි කීමට නො හැකි ය. කෙසේ වුවත් ඉන්දීය රජය තමිල්නාඩුව සම්බන්ධයෙන් දැඩි ක්‍රියා මාර්ගයක් නො ගැනීම නම් විවේචනය කළ යුතු ය. ලංකාවෙන් ඉන්දියාවට යෑමට වීසා දෙන්නේ ඉන්දීය රජය මිස තමිල්නාඩුව වැනි ප්‍රාන්තවල ආණ්ඩු නො වේ. ඉන්දියාව වීසා දීමේ දී අදාළ ගමන් බලපත්‍රය හිමියාගේ ආරක්‍ෂාව ගැන ද අවශ්‍ය පරිදි පියවර ගැනීමට බැඳී ඇත. එහෙත් තමිල්නාඩුවට ඇති බිය නිසා ම දෝ ඉන්දීය රජය ජයලලිතාට විරුද්ධව කිසිවක් කර නැත. මේ සියළු කරුණු සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගැනීමට ඉන්දීය රජය කටයුතු කළ යුතු ය. ඉන්දියාවට ඇතුල් වීමට ඉන්දීය රජයෙන් වීසා ලබා ඇති අයකුට එරටට ඇතුල් වීමට ඉඩ නොදීමට ජයලලිතාට ඇති අයිතිය කුමක් ද?

මේ ප්‍රශ්නයේ දී මෙරට විපක්‍ෂ දේශපාලන පක්‍ෂ හැසුරුණේ බලය ලබාගැනීමේ කෑදර කමින් මිස දේශප්‍රේමී මහඟු ක්‍රියාවක් සිදු කරන ආකාරයෙන් නො වේ. ඔවුහු ඒ සිද්ධි සම්බන්ධයෙන් ද මෙරට රජය විවේචනය කළහ. නන්නත්තාරගත වී ඇති එක් දේශපාලනඥයෙක් ද අළුත් නමකින් පැරණි පක්‍ෂයක් ලබාගෙන ව්‍යාජ ජාතිකත්වයක් ඇතිව ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තියට වරද පැටවීමේ නිවට උත්සාහයක නිරත විය. ජයලලිතා ඉලක්ක සපුරා ගැනීමට යන විට මෙරට ආණ්ඩුවට කළ හැක්කේ ඉවසීමෙන් කටයුතු කිරීම පමණ ය. මෙහි දී කතෝලික සභා නායකයෝ නියම තැනට ප්‍රශ්නය එල්ල නොකර අවශ්‍ය අයට ආණ්ඩුවට විරුද්ධ ව නිවට ප්‍රහාර එල්ල කිරීමට ඉඩ දී දියාරු ප්‍රකාශයක් නිකුත් කළහ. තමිල්නාඩුවේ තන්ජාවුර් ප්‍රදේශයේ දී අතවරයට ලක් වු ලාංකිකයෝ සියල්ලෝ ම පාහේ කතෝලිකයෝ වුහ. එහෙත් ඔවුන් වෙනුවෙන් නිසි ක්‍රියා මාර්ගයක් ගැනීමට මායක පූජකවරු ඉදිරිපත් නො වූහ.

යාඥා කිරීිමට ගිය පිරිසට තර්ජනවලින් හා ගැරහුම්වලින් බේරී ඒමට අවස්ථාවක් සැපයීමට ඉන්දිය රජය ගත් පියවර කවරේ ද? මේ සිද්ධි පිටුපස ඉන්දීය රජය ඇතැයි අපි විශ්වාස නො කරමු. එහෙත් ඉන්දීය රජය ජයලලිතාට විරුද්ධව දැඩි පියවරක් නොගත්තේ ය. ඉන්දියාව කටින් මිස ක්‍රියාවෙන් අපේ මිතුරු රටක් නො වේ. කලකට පෙර කොටින්ට තමිල්නාඩුවේ ද වෙනත් ප්‍රදේශවල ද ආයුධ පුහුණුව ලබාදීමට කටයුතු කළේත් දෙමළ ජාතිවාදය වෙනුවෙන් ඉන්දු ලංකා ගිවිසුම අප මත බලයෙන් පැටවූයේත් පළාත් සභා බලහත්කාරයෙන් පිහිටවූයේත් ඉන්දීය රජය ය. ඉන්දියාව හා කරුණානිධි ලංකාව සම්බන්ධයෙන් ගත්කළ දෙමළ ජාතිවාදයට ආධාර කළ ද ඉන්දියාවේ දී දෙමළ ජාතිවාදයට පක්‍ෂපාත නැත. අද ජයලලිතා තැත්කරන්නේ ඉන්දියාවේ ද දෙමළ ජාතිවාදය පැතිරවීමට ය. එමගින් තමිල්නාඩුවේ වෙන ම දෙමළ රාජ්‍යයක් පිහිටුවීමට ය. ලංකාවේ ඊළම පිහිටුවීමට ජයලලිතා ආධාර කරන්නේ ඒ මත පදනම් ව ලංකාවේ ඊළම හා තමිල්නාඩුව එක්කර ඇගේ මහා ඊළම පිහිටුවීමට ය. අද ඉන්දියාවට දිට්ඨධම්මවේදනීය කර්ම ඵලය පිළිබඳ සේයාවක් වැටී ඇත. ඉංගිරිසින් යටතේ තිබූ ඉන්දියාවේ මුල්ම බෙදුම්වාදී කණ්ඩායම ඇතිවූයේ දළ වශයෙන් ගත්කළ අද තමිල්නාඩුව නමින් හැඳින්වෙන ප්‍රදේශයෙහි ය. දෙමළ බසේ ශ්‍රෙෂ්ඨත්වයක් ගැන කියමින් දෙමළ ජාතිවාදයක් ඉන්දියාවේ ඇතිකිරීමට මුල් වූවෝ එරට දෙමළ කතෝලික පූජකවරු ය. වෙන ම රාජ්‍යයක් ඇතිකිරීමේ වුවමනාව අද ද ජයලලිතා ඇතුළු ඇතැමුනට ඇත. නිසි වේලාව පැමිණියහොත් ඉන්දියාව පාවා දෙමින් බටහිරයන් ඉන්දියාවේ වෙන ම රාජ්‍යයක් පිහිටුවීමට පක්‍ෂ ව කටයුතු කරනු ඇත.

මේ සියල්ල හමුවේ අපේ රජයට කල්පනාකාරීව කටයුතු කිරීමට සිදුවෙයි. ජයලලිතාගේ ඉලක්කය කුමක් වුවත් කරුණානිධි ද ලංකාවේ දෙමළ ජාතිවාදයට ආධාර දුන්නත්, කේරළය කර්නාටක ආන්දූ ප්‍රදේශ් යන ද්‍රවිඩ ප්‍රාන්තවල ජනතාව දෙමළ ජාතිවාදයට විරුද්ධ වෙති. පුරාණයේ අප රැකී සිටිමට ප්‍රධාන හේතුවක් වූයේ සිංහල රජවරුන් චේර හා පාණ්ඩ්‍යයන් සමග පැවැත්වූ සබඳතාව ය. අද ද අප උපක්‍රමශීලීව කේරළ කර්ණාටක හා ආන්ද්‍ර ප්‍රදේශ් සමග ද මහාරාෂ්ට්‍රය ද බිහාර් වැනි බෞද්ධයනට වැදගත් වූ ප්‍රාන්ත සමග ද සම්බන්ධතා පැවැත්විය යුතු ය. කේරළයේ නියෝජ්‍ය මහා කොමසාරිස්වරයකු සහිතව උප තානාපති කාර්යාලයක් පිහිටුවීමට ගත් තීරණය වැදගත් ය. එවැනි කාර්යාල ඉන්දියාවේ අදාළ ප්‍රාන්තවල පිහිටුවීමට කටයුතු කළ යුතු ය. ඉන්දියාව යනු සමජාතීය රාජ්‍යයක් නො වේ. ඉණ්දියාවේ ඉංගිරිසින් පැමිණීමට පෙර ඒකීය රාජ්‍යයක් තිබී නැත. අද ඉන්දියාව යම් පමණකට වුවත් එකට බැඳී ඇත්තේ ක්‍රිකට් හා හින්දි සිනමාව ඔස්සේ ය. ඉන්දීය රජය දෙමළ ජාතිවාදයට ආධාර කළත් බටහිරයන් ඉන්දියාව පිටුපස සිටියත් අප චීනය දෙසට තල්ලු විය යුතු නො වේ. චීනය ද අද දුෂිත රටකි. අද එහි බලයේ ඇත්තේ සංස්කෘතික විප්ලවයේ දී බටහිර නූතනත්වය වෙනුවෙන් ක්‍රියාකළ අයගේ දරුවන් ය. ඔවුන් සහ ඔවුන්ගේ දරුවන් ගත කරන කාමසුඛල්ලිකානු ජීවිත ගැන ඉඳහිට දැනගන්නට ලැබෙයි. ලැබෙන ප්‍රවාෘත්තිවලට අනුව නම් එහි නායකයන් අතර තාවෝවාදය අද අභාවයට යමින් පවතියි. ඉන්දියාවේ ද නායකයෝ හා ඊනියා උගතුන් සහිත මධ්‍යම පංතිය බටහිර ක්‍රිස්තියානි නූතනත්වය පසුපස යති. එහෙත් චීනයේ හා ඉන්දියාවේ අතිමහත් බහුතර ජනතාව තවමත් එසේ නොවීම ලෝකයේ ම යහපතට හේතුවෙයි. අද චීනය ද බලන්නේ ආසියාවේ අනෙක් රටවල් තම අණසක යටතේ තබා ගැනීමට ය. කිසිම රටකට නොබැඳී දෙමළ ජාතිවාදය පරාජය කිරීමටත් රටේ ස්වාධීනත්වය ආරක්‍ෂා කර ගැනීමටත් අපට හැකි විය යුතු ය. අප ජයලලිතාගේ බලලෝභී බෙදුම්වාදී දේශපාලනය හඳුනාගෙන කටයුතු කළ යුතු ය. අප ඇයට කිසිම ඉඩක් දිය යුතු නො වේ.