History

Sunday, 28 October 2012

සරසවි ඇදුරන් නිරුවතේ මහපාරේ

වත්මන් සරසවි ඇදුරු සටන ඇරඹුණේ පසුගිය වසරෙහි ය. එවකට මම කැලණිය විශ්වවිද්‍යාලයේ සේවය කළෙමි. ජනාධිපතිතුමා සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා තිබියදීත් ආචාර්ය සමිති සම්මේලනය එය නොතකා තම වෘත්තීය සමිති අරගලය ඇරඹී ය. ඒ අනුව අධ්‍යයන අංශ ප්‍රධාන ධුරවලින් අදාළ ඇදුරෝ අස්වූහ. මා ඒ අරගලයට විරුද්ධ බව විශ්වවිද්‍යාලයෙහි මෙන් ම පිටත ද ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් ඇතැම් අංශාධිපතිවරුන් නැතිව වුව ද මා පීඨාධිපතිධුරය දැරූ විද්‍යා පීඨයෙහි දේශන පවත්වාගෙන යෑමට කල්තබා සැලසුම් කළෙමි. කිසිම බාධාවකින් තොරව කැලණිය විශ්වවවිද්‍යාලයෙහි විද්‍යා පීඨයෙහි ඒ කාල සීමාවෙහි දේශන පැවැත්විණි. විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයේ ඉල්ලීම් ඉටුකිරීමට නොහැකි බවත් ඊනියා වෘත්තීය සමිති අරගලයෙහි අරමුණ ආණ්ඩුව අස්ථායී කිරීම බවත් මම එකල ද දැන සිටියෙමි. රාජ්‍ය සේවයේ ආදායම නුපදවන ආයතන අතරෙන් වැඩිම වැටුපක් ලැබෙන්නේ සරසවි ඇදුරන්ට ය. මූලික වැටුප් වැඩිකිරීම් වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසමේ අනුමැතිය පරිදි කෙරෙන්නකි. එය හිතුමනාපයට කළ හැක්කක් නො වේ. රාජ්‍ය සේවයේ එක් අංශයක වැටුප් වැඩි කළහොත් එය අනෙක් අංශවලට ද බලපායි. එබැවින් එහි දී යොදා ගැනෙන එක් උපක්‍රමයක් වනුයේ මූලික වැටුප වෙනුවට දීමනා ලබා දීම ය. පසුගිය වසර කිහිපයෙහි ඒ ආකාරයෙන් හා අයවැය යෝජනා මගින් සරසවි ඇදුරන්ගේ මුළු වැටුප විශාල ප්‍රමාණයකින් වැඩි වී ඇත. ලබන මස ද ඒ අනුව සරසවි ඇදුරන්ගේ මුළු වැටුප් වැඩිවීමට නියමිත ය. එහෙත් සරසවි ඇදුරෝ දිමනාවලින් සෑහීමකට පත් නො වූහ. ඔවුහු ෂයිලොක් මෙන් මස් රාත්තලම ඉල්ලමින් මූලික වැටුප වැඩිකරන ලෙස බලකර සිටියහ. එසේ කළේ එමගින් රාජ්‍ය අංශයේ කැළඹීමක් ඇතිකර ආණ්ඩුව අස්ථායී කිරීමට බව පැහැදිලි ය. කෙසේ වුවත් මේ මස් රාත්තලම ඉල්ලීම දිගින් දිගට ම කළ නොහැකි බව ආචාර්ය සමිති සම්මේලනයේ නිලධාරීන් යම් පිරිසකට ද තේරෙන්නට ඇත. එබැවින් ඔවුහු පසුගිය වසරේ වෘත්තීය සමිති අරගලයේ අවසන් භාගයෙහි ඊනියා 6% ඉල්ලීම ඉදිරිපත් කළහ.

යුනෙස්කෝ වාර්තාවක් ගැන සඳහන් කරමින් ආචාර්ය සමිති සම්මේලනය කියා සිටියේ රජය දළ ජාතික (මෙය ගෘහස්ථ විය යුතු ය. එහෙත් අපි ඒ වෙනස නොසළකා එය ජාතික ලෙස හඳුන්වමු) නිෂ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනය වෙනුවෙන් වැය කළ යුතු බව ය. දළ ජාතික නිෂ්පාදිතයට රටේ සියළුම නිෂ්පාදනවල හා සේවාවාන්හි වෙළෙඳපොළ අගය එකතු වෙයි. එයට පෞද්ගලික අංශය පමණක් නොව දෙමව්පියන් ද පාරිභෝගිකයන් ද වෙනත් අය ද කරන වියදම් අයත් වෙයි. දළ ජාතික නිෂ්පාදිතයෙන් අහවල් ප්‍රතිශතයක් අධ්‍යාපනයට හෝ වෙනත් ක්‍ෂෙත්‍රයකට හෝ වැයකරන ලෙස රජයට බලකිරීම උගතුන්ගේ ක්‍රියාවක් විය හැකි නමුත් බුද්ධිමතුන්ගේ ක්‍රියාවක් විය නො හැකි ය. ආණ්ඩුවේ වියදමෙන් අහවල් ප්‍රතිශතයක් අධ්‍යාපනයට වැය කළ යුතු යැයි කීම යම් සීමාවන්හි බුද්ධිගෝචර විය හැකි ය. එහෙත් දළ ජාතික නිශ්පාදිතයෙන් අහවල් ප්‍රතිශතයක් අධ්‍යාපනයට වැය කළ යුතු යැයි ඉල්ලීමට බුද්ධිමතකුට නො හැකි ය. අනෙක් අතට අදාළ යුනෙස්කෝ වාර්තාවෙහි රජය දළ ජාතික නිෂ්පාදිතයෙන් 6%ක් අධ්‍යාපනය වැය කළ යුතු යැයි කිසි තැනෙක නො කියැවෙයි. හැකි නම් එසේ කියා ඇත්තේ කොතනැක දැයි පෙන්වා දෙන ලෙස ඊනියා බුද්ධිමතුන්ගෙන් ඉල්ලා සිටිමු. මෙරට අවාසනාවකට සරසවි ඇදුරන්ගෙන් අති විශාල බහුතරයකට නිරවුල්ව කල්පනා කිරීමට නොහැකි බව අත්දැකීමෙන් ම දනිමි. ඇතැම්හු නිරවුල්ව තබා කොහොමටවත් කල්පනා කිරීමට නොහැකි නැනෝ බුද්ධිමත්තු (නැනෝ මීටර ඇසුරෙනි -– අවශ්‍ය නම් ක්‍ෂුද්‍ර බුද්ධිමත්තු) වෙති. අද වන විට මෙරට අධ්‍යාපනයට විවිධ අය මගින් (දෙමව්පියන් දානපතියන් ආදීන් ද ඇතුළුව) විවිධ ක්‍ෂෙත්‍රවල (ප්‍රාථමික, ද්විතීයික, තෘතීයික, කාර්මික, වෘත්තීයික ආදී වශයෙන් රාජ්‍ය අංශයේ පමණක් නොව පෞද්ගලික අංශයේ ද) වැය කරන මුදල දළ ජාතික නිෂ්පාදිතයෙන් 6%ට වැඩි විය යුතු ය. එමෙන් ම අද රජයේ වියදමෙන් 8%ට වැඩි ප්‍රමාණයක් අධ්‍යාපනයට වෙන් වෙයි.

කිසිම යුනෙස්කෝ වාර්තාවක නැති අයුරෙන් රජය අධ්‍යාපනය සඳහා දළ ජාතික නිෂ්පාදිතයෙන් 6%ක් වැය කළ යුතු යැයි ආචාර්ය සමිති සම්මේලනය කරන ඉල්ලීම ඔවුන්ගේ වෘත්තීය සමිති අරගලයේ මුල සිට ම පැවති එකක් නො වේ. එය පසුගිය වසරේ වෘත්තීය සමිති අරගලයේ අවසාන භාගයේ දී ඉදිරිපත් කරන ලද්දකි. මෙය මුළුමනින් ම වෘත්තීය සමිති සදාචාරයට විරුද්ධ ය. වෘත්තීය සමිති අරගලයක දී විටින් විට ඉල්ලීම් එකතු කිරීම කිසිම සදාචාරයකට එකඟ නො වේ. වෘත්තීය සමිති අරගලයක් මගින් වෘත්තීයමය ප්‍රශ්න විසඳා ගැනීමට උත්සාහ කරන වෘත්තීය සමිතියක් කළ යුත්තේ සාකච්ඡාවල දී යම් විසඳුමකට පැමිණීම සඳහා ඉල්ලීම් අඩුකිරීම ය. එහෙත් ආචාර්ය සමිති සම්මේලනය ක්‍රියා කරන්නේ එලෙස නො වේ. එහි නායකයෝ තව තවත් ඉල්ලීම් ඉදිරිපත් කරති. අද ද පවත්වාගෙන යන්නේ පසුගිය වසරේ දී ආරම්භ කරන ලද වෘත්තීය සමිති අරගලය ම ය. එහෙත් අද වන විට එදා නොතිබූ ඉල්ලීම් ගණනාවක් ම එකතු කෙරී ඇත. ඒ අතර ඇදුරන්ගේ දරුවන් දෙදෙනකුට පෞද්ගලික ආයතනවල මුදල් ගෙවා ඉගෙනීම සඳහා දීමනාවක් ගෙවීම ද වෙයි. කෙසේ වෙතත් අද ඇදුරන් මුල් තැනට ගෙන ඇත්තේ ඊනියා 6% ඉල්ලීම ය. අනෙක් ඉල්ලීම් එකක්වත් ජනතාවගේ ප්‍රසාදයට හේතු නොවන බව ඔවුහු දනිති. ඔවුන් විශේෂිත ලෙස සලකා සරසවි ඇදුරන්ට විශේෂිත සේවයක් සකස් කිරීම ද එක් ඉල්ලීමකි. මෙරට කිසිවෙක් විශේෂිතයෙක් නො වෙති. උසස් පෙළ පරීක්‍ෂණයේ දී ලකුණක් දෙකක් වැඩිපුර ගැනීම නිසා සරසවිවලට ඇතුළත් වී මහන්සි වී ක්‍රමානුකුල ව වැඩ කිරීමෙන් පන්ති සාමාර්ථයක් ගැනීම හේතුවෙන් කිසිවකු විශේෂිතයකු බව පත් නො වේ. එමෙන් ම පශ්චාත් උපාධියක් ලබාගැනීම ද ප්‍රාතිහාර්යයක් නො වේ. මේ කඩඉම් පැනීමට ඉතා සාමාන්‍ය බුද්ධියක් ප්‍රමාණවත් වෙයි. මෙරට සරසවි ඇදුරන්ගෙන් කි දෙනෙක් නව සංකල්පයක්, ප්‍රවාදයක් ඉදිරිපත් කර ඇත් ද? සරසවි ඇදුරන්ගෙන් බලාපොරොත්තුවන ප්‍රධාන ම කාර්යය එය වෙයි. එහෙත් ඔවුන් නොකරන්නේ ද එයම ය. මෙරට ඉපැරණි දවස සිට උගතුන්ට සැලකීමේ සම්ප්‍රදායක් වෙයි. එකල බුද්ධිමත්තු රටට වැඩදායක යමක් කළහ. සරසවි ඇදුරන් ඒ සම්ප්‍රදායෙන් ආලෝකයක් ලබාගැනීමට උත්සාහ කරන්නේ සම්ප්‍රදායට පිටුපා බටහිරයන්ගේ මතිමතාන්තර අනුකරණය කරන ඔවුන්ගේ ගැත්තන් බවට පත්වීමෙනි. අප රජරට වකුගඩු රෝගයට හේතුව ආසනික් යැයි අපේ සම්ප්‍රදායේ පිහිටා පැවසූ විට මුළු මහත් ඇදුරු සංහතිය ම පාහේ අපට අපහාස කළහ. ඒ අප අපේ සම්ප්‍රදායේ පිහිටි හෙයිනි. බටහිරයන්ගේ ඊනියා යථාර්ථයකට වශී වූ දන්ත වෛද්‍ය මහාචාර්යවරු සහ වෙනත් බටහිර ගැත්තෝ (ඔවුන් අතර ඊනියා යථාර්ථවාදී සාහිත්‍ය විචාරකයෝ ද වෙති) අප යථාර්ථයක් නැතැයි කියන විට අපට විරුද්ධ වෙති. මම යනුවෙන් කෙනකු නැති බව බුදුන්වහන්සේ පැහැදිලිව ම දේශනාකර තිබිය දී ඔවුන් පැවැත්මක් ගැන කතාකරන්නේ බටහිර යුදෙව් ක්‍රිස්තියානියේ දාසයන් බවට පත්වෙමිනි. එහෙත් සරසවි ඇදුරෝ අපේ බුද්ධි සම්ප්‍රදායට පිටුපාන අතර් අපේ සම්ප්‍රදායේ ගුරු ගෞරවය අපේක්‍ෂා කරති. මොවුහු කිසිම අයුරකින් විශේෂිත පුද්ගලයෝ නො වෙති.

ඇදුරන් 6% ඉල්ලීමට මුල් තැනක් දෙන්නේ ඒ වටා ජනතාව ඒකරාශි කිරීමට බව පැහැදිලි ය. එහෙත් එසේ කරන්නේ වෙනත් බලවේගවල අවශ්‍යතාව මත ය. ඇදුරන්ගේ අනෙක් ඉල්ලීම් එකකටවත් ජනතා සහායක් නො ලැබෙයි. ඊනියා අරාබි වසන්තයක් අපේක්‍ෂා කරන බටහිරයෝ හා ඔවුන්ගේ ගැත්තෝ 6% වටා ආණ්ඩු විරෝධී කොටස් එකතු කිරීමට උත්සාහ කරති. 6% ඉල්ලීම ඉදිරිපත් කළවුන් කිනම් අරමුණකින් ඒ කළ ද අද ඇදුරන් පිටුපස සිටින ජාති විරෝධී සංවිධාන ඒ ඉල්ලීම ආණ්ඩුව වැට්ටවීමට යොදා ගනියි. එ ජා ප, ජ වි පෙ, නන්නත්තාර වී ඇති වෙනත් අය ඡන්දයකින් ආණ්ඩුව වැට්ටවීමට නොහැකි බව දැන 6% මුල්කරගෙන බලයට පැමිණීමට උත්සාහ දරති. අද මහපාරේ නිරුවත්ව සිටින ඇදුරන්ට සිතාම්බර පට ඇන්දවීමට රනිල්ලා සෝමවංශලා පොර කති. එහෙත් අවසානාවකට ඔවුන්ට ද ඇඳුම් නැත. තම ඡන්ද ප්‍රමාණය අඩු වූවාට වෙනත් අයුරෙන් ආණ්ඩුව පෙරළීමට මේ අයගෙන් ඇතැමකු කතාකරන්නේ නිකමට නො වේ. අද ඇදුරන්ට තම ඊනියා සටන යුක්තියුක්ත කිරීමට කිසිම තර්කයක් සාධාරණ හේතුවක් නැත. ඔවුහු විවිධ වෘත්තීය සමිතිවල දේශපාලන පක්‍ෂවල පමණක් නොව සිසුන් ද පසුපස යන නිවටයෝ පමණක් වෙති. අද දේශප්‍රේමී ගුරුවරු එක් කඳවුරකට පැමිණෙමින් සිටිති. ජ වි පෙට, එ ජා පට හා වෙනත් දේශපාලන පක්‍ෂවලට හිතවත් ජනමාධ්‍යවේදීන් යැයි කියාගන්නා අයට මේ දේශප්‍රේමීත්වය ප්‍රශ්නයක් වී ඇත. මම අද සරසවි ඇදුරෙක් නො වෙමි. ඇදුරකු වී නම් මා ද සිටින්නේ ඒ දේශප්‍රේමී ගුරුවරුන්ගේ කඳවුරෙහි ය. පසුගිය දශක කිහිපයක් තිස්සේ දෙමල ජාතිවාදයට කඩේ ගිය අය අද සිටින්නේ කොහේ ද? මේ ආණ්ඩුවට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් හෝ ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් හෝ ඇතැයි මම නො කියමි. එහෙත් මේ ආණ්ඩුව අඩුම තරමෙන් බටහිරයන්ගේ සිංහල විරෝධී ව්‍යාපෘතියට එරෙහිව නොසැළී සිටියේ ය. අද සකලවිධ බටහිර ගැත්තන් පුස් කෑ මාක්ස්වාදීන් ලිබරල්වාදීන් හා ඔවුන්ගේ ගැත්තන් වූ පශ්චාත්නූතනවාදීන්, පශ්චාත් මාක්ස්වාදීන් ආදී එකි මෙකී නොකී වාදීන් ආණ්ඩුවට විරුද්ධ වන්නේ ආණ්ඩුව බටහිරයන්ගේ කීම තඹ දොයිතුවකටවත් ගණන් නොගෙන දෙමළ ත්‍රස්තචාදය පරාජය කළ බැවිනි. මේ සියල්ලෝම අද ඇදුරන්ගේ ඊනියා අධ්‍යයනික වසන්තය උපයෝගී කරගනිමින් 6% වටා පෙළ ගැසී ආණ්ඩුව වැට්ටවීමට වළි කති. එහෙත් මොවුන්ගේ සියළු උත්සාහ ජනතාව විසින් මැතිවරණවලදී පරාජය කෙරී ඇත. අද ඇතැම් ගුරුවරු විවිධ හේතු නිසා වර්ජනය අත්හැර සේවය කරති. කැලණිය විශ්වවිද්‍යාලයේ හරි අඩකට වඩා ගුරුවරු සේවය සඳහා වැටුප් ලබති. ඔවුන් අතර වැඩ වර්ජනයක් කළ යුතු යැයි යෝජනා කළ තැනැත්තා මෙන් ම ස්ථිර කළ තැනැත්තා ද වෙති. ආචාර්ය සමිති සම්මේලනයෙහි කැලණිය වෘත්තීය සමිතිය නියෝජනය කරන තැනැත්තකු ද අද වර්ජනය අත්හැර ගොස් ය. ඇදුරන්ගේ නායකයන්ට නිදහස් අධ්‍යාපනයක් අවශ්‍ය නැති බව ද පැහැදිලි ය. වෘත්තීය සමිතියකට කළ හැක්කේ තම ක්‍ෂෙත්‍රයෙහි ආයතනවල ශ්‍රමය ලබාදීම නැවැත්වීම ය. අද මේ නායකයෝ උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම නවතා ඇත. පිළිතුරු පත් බලන්නන් සේවය කරන්නේ විභාග දෙපාර්තමේන්තුවට මිස විශ්වවිද්‍යාලවලට නො වේ. ඇදුරු නායකයන්ට නෛතිකව හෝ සදාචාරාත්මකව පිළිතුරු පත් බැලීම නැචැත්විය නො හැකි ය. එහෙත් එසේ කරන ඔවුහු ඇදුරන්ට පෞද්ගලික ආයතනවල ඉගැන්වීමට බාධා නො කරති. මොවුන් නිදහස් අධ්‍යාපනයට කරන සේවය එයින් ම පැහැදිලි වෙයි.