History

Friday, 23 November 2012

දහතුන හා මහින්ද චින්තන

දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ගැන කතාකරන විට අමතක නොකළ හැකි අමතක නොකළ යුතු නමක් වෙයි. ඒ හිටපු වැඩ බලන අගවිනිසුරුවරයකු වූ රාජා වනසුන්දර මහතාගේ ය. ඒ මහතා දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථාවට අනුකූල නොවන බව පෙන්වා දී ඒ අනුව තීන්දුවක් දුන්නේ ය. එපමණක් නොව පසු කලෙක දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ව්‍යවස්ථාවට අනුකූල වන බවට විනිසුරුවන් වැඩි දෙනකු තීන්දු කළේ ය යන්න වැරදි බව සාධක සහිත ව පෙන්නුම් කළේ ය. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කළ යුතු බවට නැවත ජනතා උද්ඝෝෂණයක් ඇති වී තිබෙන මේ අවස්ථාවෙහි ඒ මහතාගේ වියෝව ජාතිකවාදීන්ට ද ජාතියට ද ඉමහත් පාඩුවක් වෙයි. ඒ මහතාට පිදිය හැකි උසස් ම උපහාරය වනුයේ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම ය. අපි ඒ මහතාට නිවන් සුව පතමු.

දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීම හා මහින්ද චින්තන පිළිබඳ පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙයි. මහින්ද චින්තන ඉදිරිපත් කෙරුණේ 2005 වසරේ දී ය. එයට පසුබිම් වී ඇත්තේ එකල තිබූ දේශපාලන බල තුලනය ය. ඕනෑම දේශපාලන ප්‍රකාශයක් කෙරෙන්නේ යම් දේශපාලන සන්දර්භයක ය. 1994 සිට ශ්‍රී ල නි පක්‍ෂය ජාතිකත්වයෙන් විජාතිකත්වයට පීලි පැන්නීමට ක්‍රියාකළ විජාතික බලවේගවල ඒජන්තියක වූ චන්ද්‍රිකා කුමාරතුංග සිංහලයන්ට හා රටට අහිතකර බොහෝ දේ කළා ය. ඒ මදිවාට 2002 සිට 2004 දක්වා පැවති රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව බටහිරයන්ගේ හා ඉන්දියාවේ අනුග්‍රහයෙන් ඊනියා සටන් විරාම ගිවිසුම මගින් රට දෙමළ ජාතිවාදයට හා දෙමළ ත්‍රස්තවාදයට පාවාදීමට කටයුතු කළේ ය. 2005 මහින්ද චින්තන පළවූයේ මෙරට විජාතික බලවේගවල දේශපාලනය ජාතිකත්වය අභිබවා ගොස් ආධිපත්‍යය ඉසුළුෑ කලක ය. ශ්‍රී ල නි පක්‍ෂය පවා ජාතිකත්වයේ මාවතෙන් යම් පමණකින් වුව ඈත් ව සිටියේ ය. රාජ්‍ය නොවන සංවිධානවල වැටුප් ලබන කුලීකරුවෝ දේශපාලනයේ ඉහළින් වැජඹුනහ. ජාතිකත්වය වෙනුවෙන් කතාකිරීමට තිබුණේ ඉරිදා දිවයින හා දිවයින පුවත්පත් පමණ ය. ජාතිකවාදීන්ට තිබුණේ ආත්ම ශක්තිය, ආත්ම විශ්වාසය හා තමන් මෙරට කසිකබල් උගතුන්ගේ නොව සාමාන්‍ය සිංහලයන්ගේ හෘදය සාක්‍ෂිය වීම පිළිබඳ අභිමානය පමණකි. යමක් කීමට ලිවීමට තරම් ශක්තියක් තිබූ උගත්තු බොහොමයක් රාජ්‍ය නොවන සංවිධානවලට හා විජාතිකත්වයට සේවය කළහ. එවැනි ශක්තියක් නොතිබූ සාමාන්‍ය සිංහලයන් අප සමග වී යැයි සිතමි.

එකල දේශපාලනයෙහි ආධිපත්‍යය ඉසුළුෑ දෙමළ ජාතිවාදීන්ට (ඇතැම් සිංහලයෝ ද පොදුවේ රාජ්‍ය නොවන සංවිධානවල සේවකයෝ ද මේ කුලකයට අයත්වූහ.) අනුව මෙරට ජාතික ප්‍රශ්නයක් විය. දෙමළ ජනයාට 1948 න් පසුව ඊනියා සිංහල ආණ්ඩුවලින් සිදු වූ අසාධාරණකම් හේතුවෙන් විසඳාගත යුතුව ඇති ප්‍රශ්නයක් තිබූ බවත් එය සාමකාමීව විසඳාගත නොහැකි වූ කල දෙමළ තරුණයන් අවි අතට ගත් බවත් දෙමළ කොටි සංවිධානය සමග කෙරෙන සාම සාකච්ඡා මගින් පමණක් ප්‍රශ්නය විසඳාගත යුතු බවත් එහි දී දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය පදනම් කරගත යුතු බවත් බලය විමධ්‍යගත කිරීම එකම විසඳුම බවත් එය පමණක් දේශපාලන විසඳුම විය යුතු බවත් උගත් සමාජයේ බොහෝ දෙනකුට ගිල්ලවා තිබිණි. මේ අධිපති මතවාදයෙන් යම් ප්‍රමාණයකට ප්‍රභාකරන් අවිගැනීම යුක්තියුක්ත කෙරුණු බව අවධාරණය කළ යුතු ය. අධිපති මතවාදය දැරූ හා වැපුරූ අයගෙන් ඇතැමුන් නොකර බැරි බැවින් අරන්තලාව ඝාතන, ශ්‍රී මහා බෝධියට හා දළදා මාළිගාවට පහර දීම ආදිය හෙළා දැක ප්‍රකාශ නිකුත් කරන්නට ඇත. එහෙත් ඔවුන්ගේ පදනම වූයේ ප්‍රභාකරන් අවි අතට ගැනීම යුක්ති සහගත බව ය. අවුරුදු විසිපහකට අධික කාලයක් තිස්සේ 1948 න් පසුව වූ ඊනියා අසාධාරණකම් පිළිබඳ කතාව ව්‍යාජයක් බව සාධක සහිත ව පෙන්වා දී ඇති නමුත් අදත් ජාතිකවාදී (ජාතිවාදී නොව) කඳවුරේ ද ඇතැම්හු දෙමළ ජනයාට වූ ඊනියා අසාධාරණකම් ගැන කතාකරති. ඊනියා ජාත්‍යන්තරයකට බිය වී මෙරට දේශපාලනය බටහිරයන්ට හා ඉන්දියාවට අවශ්‍ය ආකාරයට මෙහෙයවිය යුතු ය යන අදහස ද උගතුනට කාවද්දා තිබිණි. එසේ වූ කල මහින්ද චින්තන ඊනියා ජාතික ප්‍රශ්නය පිළිබඳ ව නොබෙදුණු රටක් - බහුතර සම්මුතියක් - ගෞරවණීය සාමයක් යන මාතෘකාව යටතේ එකල තිබූ දේශපාලන බල තුලනය අනුව සාමකාමී දේශපාලන විසඳුමක් ගැන කතාකිරීම පුදුමයක් නො වේ. එසේ වුවත් මහින්ද චින්තන සාම සාකච්ඡාවලට පමණක් සීමා නොවූ බව ද අමතක නොකළ යුතු ය.

එහෙත් අද ඇති දේශපාලන සන්දර්භය වෙනස් ය. තවමත් බොහෝ උගතුන් ප්‍රශ්නය 1948 න් අතීතයට ගෙන යෑමට සූදානම් නැත. ඒ ඉංගිරිසින් බමුණු කුලයට අනුකරණය කිරීමට පුරුදු කර ඇති ආකාරය ය. චෙල්වනායගම් 1947 දී ද දෙමළ ජනයා සිංහලයන්ගෙන් නිදහස් වීම ගැන කතා කළේ ය. ඒ ඊනියා සිංහල ආණ්ඩු දෙමළ ජනයාට අසාධාරණකම් කළේ යැයි කියන කාලයට පෙර ය. අවාසනාවකට බොහෝ ජාතිකවාදීහු (ජාතිවාදී නොව) ද 1948 න් පෙර මෙරට ඉංගිරිසි උගත් දෙමළ වෙල්ලාලයන් ඉංගිරිසින්ගේ ආධාරයෙන් හා අනුබලයෙන් සිංහලයන්ට එරෙහිව කළ අසාධාරණකම් අමතක කරති. සිංහලයන් යටකරමින් දෙමළ වෙල්ලායන් මුළු රටේ ම නායකයන් කිරීමට ඉංගිරිසින් ගත් උත්සාහය ඊනියා ජාතික ප්‍රශ්නයේ මුල බවත් එය දහනවවැනි සියවසේ මුල්භාගයට දිව යන බවත් තවමත් බොහෝ ජාතිකවාදීන් තේරුම් නොගැනීම ජාතියේ අවාසනාවක් විය යුතු ය. අප නැවතත් අවධාරණය කරන්නේ විසඳීමට ඇති ප්‍රශ්නය සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයනට හා ඔවුන්ගේ සංස්කෘතියට මෙරට හිමි විය යුතු තැන නො ලැබීම ය. ඉංගිරිසිහු ඉංගිරිසි උගත් වෙල්ලාලයන් රටේ ම නායකයන් කර ඔවුන් ඉංගිරිසින්ට විරුද්ධව අඩුම තරමෙන් 1817 සිට ජාතියක් ලෙස කිසිදු ජනවර්ගයකගේ සහාය නොලබමින් සටන් කළ සිංහලයන්ට විරුද්ධව යොදා ගනිමින් සිංහලයන්ට හිමි තැන නොදුන්හ. ලංකාවට සර්වජන ඡන්දය හිමිවීමෙන් පසු මේ තත්වය තරමක් වෙනස් වුව ද තවමත් සිංහල බෞද්ධයනට හා ඔවුන්ගේ සංස්කෘතියට හිමි විය යුතු තැන ලැබී නැත. අදත් සිංහලයන් සටන් කරනුයේ යටත්විජිත පාලන සමයේ නැති වී ගිය ඒ උර්මය දිනා ගැනීමට ය. රාජා වනසුන්දර මහතා පෙන්වා දී ඇති ආකාරයට, ජාතිකවාදීන් එදා සිට ම අවුරුදු විසි පහක් තිස්සේ කටේ කෙළ සිඳෙන තෙක් කියන ආකාරයට, දිවිනැගුම පනතෙන් පෙන්වා දී ඇති ආකාරයට, සිරිමාවෝ බණ්ඩාරණායක මහත්මිය 1972 ව්‍යවස්ථාවෙන් ඇති කළ, මෙරට ඒකීය භාවය 1987 දී නැතිකළ දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන තෙක් රාජ්‍ය උත්සවවලට සහභාගි වීමෙන් වැළකී සිටීමට හැකි නායක භික්‍ෂූන් වහන්සේ කී නමක් මෙරට වැඩ වසත් ද? නායක භික්‍ෂූන් වහන්සේට එවැනි ශක්තියක් නැත්තේ ඇයි? සර්වජන ඡන්දයෙන් පසු ඉංගිරිසි උගත් දෙමළ බමුණු කුලයට යම් යම් වරප්‍රසාද නැති වූ විට ඔවුහු ඉංගිරිසින්ගේ ද ආධාරයෙන් ඒ සමස්ත දෙමළ ජනයාට ම කරන ලද අසාධාරණයක් ලෙස හැඳින්වුහ. තමන්ට සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන ලබා නොදී මෙරට ඇමතිවරුන් නොව රාජ්‍ය නායකයන් බවට පත්වීමට නොහැකි බව තේරුම් ගත් චෙල්වනායගම් වැන්නෝ අඩු තරමෙන් 1947 සිට ම වෙන ම රාජ්‍යයක් සඳහා සටන් කළහ. ඒකීය රාජ්‍යයක මුළු රටට ම බලපාන අයුරෙන් කිසිදු බාධාවකින් තොරව නීති පැනවිය හැකි එකම එක ආයතනයක් පමණක් තිබිය යුතු බව ය. ඒ ආයතනයට නොහැකි විය යුත්තේ යම් අයුරකින් වුවත් රටේ ස්වෛරීභාවය අහෝසි කරන නීීති පැනවීම පමණක් විය යුතු ය. පළාත්සභා පිහිටුවීමෙන් ඒකීය රාජ්‍යය නැති විය.

තර්කය සඳහා දෙමළ ජනයාට 1948න් පසුව ඊනියා සිංහල ආණ්ඩුවලින් අසාධාරණයක් වීම නිසා ඔවුන් සටනට අවතීර්ණව කෙමෙන් ආයුධ සන්නද්ධ සටනක් සඳහා තල්ලු වී ගිය බව පිළිගත්ත ද, පැහැදිලි විය යුතු කරුණ නම් අඩුම තරමෙන් එදා සිට පැවති සාකච්ඡා, අවිගත් ත්‍රස්තවාදය, මෙහෙයුම් ආදී සියල්ල එක් සමස්තයක් බව ය. ඒ සියල්ල දේශපාලන විසඳුම් ය. මහින්ද චින්තන ඉදිරිපත් කෙරුණේ මේ සමස්ත ක්‍රියා දාමයේ එක් අවස්ථාවක දී ය. ඊනියා ජාතික ප්‍රශ්නය ගැන මහින්ද චින්තන වලංගු වන්නේ සමස්ත ක්‍රියා දාමයෙහි 2005 සන්දර්භයෙහි ය. ඒ සමස්ත ක්‍රියා දාමය අවසන් කළ නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු ඊනියා ජාතික ප්‍රශ්නය සම්බන්ධ ඇතැම් මහින්ද චින්තන වලංගු නො වේ. අද සන්දර්භයෙහි සාම සාකච්ඡා වලංගු නො වේ. දෙවැනි ලෝක යුද්ධ ජයග්‍රහණයෙන් පසු හිට්ලර්ගේ ගෝලබාලයන් යුරෝපය පිළිබඳ සාකච්ඡාවක් ඉල්ලවේ නම් චර්චිල් හොඳ කුණුහරුප දෙකක් කීමට තිබිණි. මෙහි දී මා ද සහභාගි වූ සර්වපාක්‍ෂික නියෝජිත සම්මේලනය ගැන ද සඳහන් කළ යුතු ය. තිස්ස විතාරණ මහතා ඒ පිළිබඳ ව කුමක් සිතාගෙන සිටිය ද අපට එය සමස්ත ක්‍රියා දාමයේ එක් පුරුකක් පමණක් විය. අප සැමදාමත් විශ්වාස කළේ දෙමළ ත්‍රස්තවාදය හමුදා මෙහෙයුම් මගින් පරාජය කළ යුතු බවත් ඒ කළ හැකි බවත් ය. එසේ වුවත් හමුදා මෙහෙයුම් ජයග්‍රහණයකින් කෙළවර වන තෙක් රට තුළ විදේශිකයන්ගේ සහභාගීත්වයෙන් තොරව යම් යම් දේ සාකච්ඡා කිරීමේ වරදක් නැතැයි මම සිතුවෙමි. එහෙත් ඒ මානුෂික මෙහෙයුම් ජයග්‍රහණයකින් කෙළවර වීමට පෙර තිබූ සන්දර්භයෙහි ය. හමුදා මෙහෙයුම් ජයග්‍රහණයකින් කෙළවර වන බවට මගේ තදබල විශ්වාසයක් විය. රණවිරුවන් කිලිනොච්චිය ජයගැනීමෙන් පසු තවදුරටත් සර්වපාක්‍ෂික නියෝජිත සම්මේලනයට සහභාගි වීමේ අවශ්‍යතාවක් නැතැයි දැනගත් මම ඒ සන්දර්භයෙහි සම්මේලන සාකච්ඡාවලින් ඉවත් වීමි. උදය ගම්මන්පිල මහතා ද ඒ අවස්ථාවේ දී සාකච්ඡාවලින් ඉවත් වූ බව ඔහුට කරන ගෞරවයක් ලෙස සටහන් කළ යුතු ය. නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු දහතුන පමණක් නොව සර්වපාක්‍ෂික සම්මේලනය ද දේශපාලනික ව අවලංගු ය. ඔක්තෝබර් විප්ලවයෙන් පසු සාර්ගේ ගෝලයන් සමග සාකච්ඡාවකට ට්‍රොට්ස්කි එකඟ වීමට තිබිණි යැයි තිස්ස විතාරණ මහතා කියන්නේ ද? මහින්ද රාජපක්‍ෂ මහතාට දහතුනට හෝ සර්වපාක්‍ෂික සම්මේලනවලට හෝ සඟ වෙද ගුරු නියෝජනත්වයකින් තොරව පත්කරන ලද උගත් පාඩම් කොමිසම්වල නිගමනවලට හෝ ආපසු යෑමේ අවශ්‍යතාවක් නැත. දහතුන්වැනි සංශෝධනය අද වන විට දේශපාලනික වශයෙන් අහෝසි වී ඇත. ඒ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ ම නීති විරෝධී ව ය. 1987 දේශපාලන බල තුලනය මත ඉන්දියාවට යටත්වී සම්මත කළ දහතුන 2009 න් පසු දේශපාලනික ව වලංගු නො වේ. එය නෛතිකව ද අහෝසි කළ යුතු ය. එහි දී ඉන්දියාව හා බටහිර රටවල් විරුද්ධ වනු ඇත. මානුෂික මෙහෙයුම්වල දී ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී ඒ රටවලට මුහුණදුන් ආකාරයට මෙහි දී ද ක්‍රියාකිරීමට ජනාධිපතිතුමාට බාධාවක් නැත.