History

Wednesday, 12 December 2012

බලතල වෙන්කිරීමේ මිථ්‍යාව

අගවිනිසුරුවරියට විරුද්ධව ගෙනෙන ලද දෝෂාභියෝගී යෝජනාව පිළිබඳ පාර්ලිමේන්තුවේ තෝරාගත් කමිටුවක් අද හෙට පත්කිරීමට නියමිත ය. ඒ කමිටුව එකොළොස් දෙනකුගෙන් සමන්වනු ඇතැයි ද ඉන් හත් දෙනකු ආණ්ඩු පක්‍ෂයෙන් ද ඉතිරි හතරදෙනා විරුද්ධ පක්‍ෂයෙන් ද පත්කෙරෙනු ඇතැයි ද අපේක්‍ෂා කෙරෙයි. කමිටුවේ සාමාජික මනන්ත්‍රීවරුන් ක්‍රියා කරනු ඇත්තේ විනිසුරුවන් ලෙස ය. බැලූ බැල්මට අගවිනිසුරුවරියට එරෙහිව ඇති චෝදනා බරපතළ ය. එහෙත් විනිශ්චයක් ලැබෙන තුරු චෝදනා ගැන කතාකිරීම නුසුදුසු යැයි කියැවෙයි. ඒ කෙසේ වෙතත් දෝෂාභියෝග හා පරමාධිපත්‍යය ගැන කතාකිරීමට අපට කිසිදු තහනමක් නැත. ඇතැමුන්ට අනුව දෝෂාභියෝගයට හේතුව දිවිනැගුම පනත පිළිබඳ ව ශ්‍රෙෂ්ඨාධිකරණය විසින් දෙන ලද තීන්දුව ය. ශ්‍රෙෂ්ඨාධිකරණය කිනම් තීන්දුවක් දුන්නත් මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ආණ්ඩුව එය ක්‍රියාත්මක කළ යුතු ය. දිවිනැගුම පනත පිළිබඳ ව දුන් තීන්දුව වෙනස්කිරීමට දෝෂාභියෝගයකට නො හැකි ය. දැනට පෙනී යන ආකාරයට සංශෝධන කිහිපයක් ගෙන ඒමෙන් සමස්ත පනත ද ඒ පනතෙහි ඇතැම් වගන්ති ද පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයෙන් සම්මත කරගත හැකි ය. එය ආණ්ඩුව දෙදරවන ප්‍රශ්නයක් නො වේ. දිවිනැගුම තීන්දුව නිසා දෝෂාභියෝගය ගෙන ආවේ යැයි පැවසීම අවස්ථාවාදී දේශපාලනයෙහි හිතළුවක ප්‍රතිඵලයක් පමණකි. එය ආචාර්ය සරත් අමුණුගම මහතා නියෝජ්‍ය මුදල් ඇමති ලෙස පත්කළ අවස්ථාවේ දී ඇතැමුන් මෙවර අයවැය කියවීමට ජනාධිපතිතුමාට නොහැකි බැවින් එසේ පත්කළේ යැයි ප්‍රකාශකළ හිතළුව මෙනි. සිංහලයෝ ප්‍රවාද වෙනුවට හිතළු කීමට දක්‍ෂයෝ ය. එහෙත් දිවිනැගුම තීන්දුව හේතුකොටගෙන මෙරට ඒකීය රාජ්‍යයක් නොවන බව පැහැදිලි විය. පළාත් සභා ඒකීය රාජ්‍යයට පටහැණි ය.

ඒ කෙසේ වෙතත් මානව අයිතිවාසිකම් මණ්ඩලයෙහි ලංකාව පිළිබඳ කෙරෙන ආවර්තික (වාරික) සමාලෝචනයට පෙර දෝෂාභියෝගය කතානායක තුමාට භාරදීමෙන් ආණ්ඩුව ඊනියා ජාත්‍යන්තරය හමුවේ වැඳ නොවැටෙන බව නැවත වරක් පෙන්නුම් කර ඇත. බොහෝ උගතුන් ලෙස හැඳින්වෙන අය සිතා සිටියේ මානව අයිතිවාසිකම් ආවර්තික සමාලෝචනය නිමවන තෙක් ආණ්ඩුව දෝෂාභියෝගය නොගෙනනු ඇති බව ය. එසේ ගෙන ආවොත් ජාත්‍යන්තරය නමින් හැඳින්වෙන එංගලන්තය හා ඇමරිකාව ප්‍රමුඛ බටහිර යටත්විජිතවාදී රටවල් ලංකාවේ මානව අයිතිවාසිකම් වාර්තාව අයහපත් බව පෙන්වීමට එය ද යොදාගනු ඇති බව ද එය ලංකාවට හානිකර ප්‍රතිඵල ගෙන එනු ඇති බව ද බොහෝ උගත්තු කියා සිටියහ. ජාත්‍යන්තරය නමැති ගෝනි බිල්ලා පෙන්වා ආණ්ඩුව බිය ගැන්වීමට ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවල උගත්තු සුපුරුදු පරිදි ක්‍රියා කළහ. දෙමළ ත්‍රස්තවාදයට එරෙහිව කරන ලද මානුෂික මෙහෙයුම්වල දී ද ඊනියා උගත්තු මේ තැටිය වාදනය කළහ. උගතුන්ට කන් නොදී මානුෂික මෙහෙයුම දියත්කර ජයගත් ආණ්ඩුවට මේ වන විට ඊනියා ජාත්‍යන්තරය ගැන අවබෝධයක් ඇතිවාට සැකයක් නැත. මේ ඊනියා ජාත්‍යන්තරය යනු හුඹසක් පමණකි. එයට බියක් ඇතිකර ගත යුතු නො වේ. ජනතාවගෙන් බහුතරය ආණ්ඩුව සමග නම් යටත්විජිතවාදී ජාත්‍යන්තරයට කළහැකි ඉටිගෙඩියක් නැත. මෙවර මානව අයිතිවාසිකම් නාඩගමේ දී ඇමරිකන් තානාපතිනියට දෝෂාභියෝගයට විරුද්ධව කතාකිරීමේ අවස්ථාව ද ලැබිණි. රටවල් බහුතරයක් ලංකාවේ මානව අයිතිවාසිකම් වාර්තාව පිළිබඳ ප්‍රසාදයෙන් කතා කළේ ය. එහෙත් මෙරට ජනමාධ්‍යවලට වඩා වැදගත් වූයේ ඇමරිකන් තානාපතිනියගේ ප්‍රකාශය ය. මෙය අපේ යටත්විජිත මානසිකත්වය නිසා ඇතිවන්නකි. අපට තවමත් වැදගත්වන්නේ එංගලන්තය කුමක් කියන්නේ ද යන්න ය. එසේත් නැත්නම් බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ නූතන නායකයා වූ ඇමරිකාව කියන්නේ කුමක් ද යන්න ය. බටහිර රටවල්වලට ලෝකයේ රාජ්‍ය වශයෙන් හෝ ජනගහණය වශයෙන් හෝ ගත්කල බහුතරයක් නැත. එසේ වුවත් ඔවුහු දේශපාලන ආර්ථික හා සංස්කෘතික වශයෙන් ලෝක ආධිපත්‍යය දරති. ඔවුන් බහුතරයේ ආධිපත්‍යය යැයි කියන්නකට විරුද්ධව කතාකරන්නේ ඔවුන්ට අඩුතරමෙන් බහුතරයක්වත් නැති නිසා විය යුතු ය. ඔවුන් දන්නේ අඩුතරයේ ආධිපත්‍යය ය. අප දැනගත යුතු කරුණක් නම් මෙරට මානව අයිතිවාසිකම් වාර්තාව ඇමරිකාවේ හෝ එංගලන්තයේ හෝ මානව අයිතිවාසිකම් වාර්තාවලට වඩා යහපත් බව ය.

මෙරට ද ක්‍රියාත්මක වන බටහිර ප්‍රජාතන්ත්‍රවාදය අනුව පරමාධිපත්‍යය ඇත්තේ ජනතාවට ය. එහෙත් ජනතාවට මේ පරමාධිපත්‍යය සෘජුව ක්‍රියාත්මක කළ නො හැකි ය. එහි දී බටහිර ප්‍රජාතන්ත්‍රවාදය අනුව ජනතාවගෙන් බහුතරයකගේ කැමැත්ත හිමිවන්නෝ ජනතාව වෙනුවෙන් ක්‍රියාකරති. එය බහුතරයේ ආධිපත්‍යය යැයි බටහිරයෝ නො කියති. කෙසේ වෙතත් බටහිර පොතේ කුමක් ලියා තිබුණත් බටහිර ප්‍රජාතන්ත්‍රවාදයෙන් කෙරෙන්නේ බහුතරයේ කැමැත්ත ක්‍රියාත්මක කිරීම ය. අඩුම තරමෙන් එසේ කෙරෙන බව පෙන්වීම ය. ලංකාව සම්බන්ධයෙන් ගත්කල ජනතාවගේ ව්‍යවස්ථාදායක පරමාධිපත්‍යය පාර්ලිමේන්තුව විසින් ද, විධායක පරමාධිපත්‍යය ජනාධිපතිතුමා විසින් ද ක්‍රියාත්මක කෙරෙයි. බොහෝ දෙනා සිතා සිටින්නේ ජනතාවගේ අධිකරණ පරමාධිපත්‍යය උසාවිය විසින් ක්‍රියාත්මක කෙරෙන බව ය. එහෙත් එය එසේ නො වේ. අප රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතරවැනි ව්‍යවස්ථාව අනුව ජනතාවගේ අධිකරණ පරමාධිපත්‍යය ද පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කෙරෙයි. එහෙත් පාර්ලිමේන්තුව අධිකරණ කටයුතු උසාවි ඔස්සේ ඛ්‍රියාත්මක කරගත යුතු වෙයි. එසේ වුවත් මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද, පාර්ලිමේන්තුවේ හා මන්ත්‍රීවරුන්ගේ බලතල ආදී කරුණුවල දී පාර්ලිමේන්තුවට අධිකරණ පරමාධිපත්‍යය උසාවි නොමැතිව සෘජුව ම ක්‍රියාත්මක කළ හැකි ය. ව්‍යවස්ථාවෙහි ජනතාවගේ අධිකරණ පරමාධිපත්‍යය පාර්ලිමේන්තුවෙන් ස්වාධීන ව උසාවි ආදිය විසින් සෘජුව ක්‍රියාත්මක කෙරිය යුතු යැයි සඳහන් වී නොමැත. ජනතාවගේ අධිකරණ පරමාධිපත්‍යය ද ක්‍රියාත්මක කෙරෙන්නේ පාර්ලිමේන්තුව විසින් ය. එහෙත් එසේ ක්‍රියාත්මක කෙරෙන්නේ උසාවි ඔස්සේ ය. ජනතාවගේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක කෙරිය යුත්තේ ජනතාවගේ නියෝජිතයන් විසින් ය. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද ජනාධිපතිතුමා ද ජනතාව විසින් පත්කරනු ලැබෙන ජනතාවගේ නියෝජිතයෝ වෙති. එහෙත් විනිශ්චයකාරවරු ජනතාවගේ නියෝජිතයෝ නො වෙති.

ජනාධිපතිතුමා, පාර්ලිමේන්තුව හා උසාවි ජනතා පරමාධිපත්‍යය සම්බන්ධයෙන් ගත්කළ එකම තලයක නොවන බව පැහැදිලි ය. විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ බලතල වෙන්කෙරී ඇතැයි පොතේ සඳහන් වුව ද ඒ එසේ නො වේ. ඒ සියල්ල ජනතාව මගින් එක් වෙයි. මෙය බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ලක්‍ෂණයකි. කතෝලික චින්තනයෙහි වැදගත් වූයේ සමස්තය ය. කතෝලික යන වචනයෙහි තේරුම ද සමස්තය යන්න ය. එහෙත් පහළොස්වැනි සියවස අගභාගයේ දී බිහි කෙරුණු ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙහි සමස්තය වෙනුවට වෙන්කිරීම වැදගත් වෙයි. එසේ වුවත් ලෝකය එකිනෙකෙන් වෙන්කළ නො හැකි ය. එහි යම් එකමුතුවක් වෙයි. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙහි විධායකය, ව්‍යවස්ථාදායකය, අධිකරණය ලෙස බලතල වෙන්කරනු ලැබුව ද ඒවා ජනතාව ඔස්සේ එක්වෙයි. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය තරම් රැවටිලිකාල ක්‍රමයක් ලෝකයේ එදා මෙදා බිහි වී නැත. බටහිරයෝ රාජ්‍යය ආගමෙන් වෙන්විය යුතු යැයි කියති. ඒ අපට කියන්නක් මිස බටහිර රටවල ක්‍රියාත්මක කෙරෙන්නක් නො වේ. බටහිර රටවල රාජ්‍යය හා විවිධ ක්‍රිස්තියානි නිකාය එකට බැඳී ඇත. බැරැක් ඔබාමා ඉස්ලාම් භක්තිකයකු වී නම් ඔහුට කිසි දිනෙක ඇමරිකාවේ ජනාධිපති විය නො හැකි ය. බටහිර රටවලට යන ඕනෑම අයකුට ක්‍රිස්තියානි සංස්කෘතිය ඇඟේ වැදෙන තරමින් දැනෙයි. ඓහික (අනාගමික) රාජ්‍ය බටහිර දැකගත නො හැකි ය. බටහිර ප්‍රජාතන්ත්‍රවාදය පදනම් වී ඇත්තේ ක්‍රිස්තියානි මූල ධර්ම මත ය. ඒ කතෝලික මූලධර්ම නොවන බව පැහැදිලි ය. එහෙත් බටහිරයෝ අපට ඓහික රාජ්‍යවල ඇති වැදගත්කම කියා දෙති!

බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම නිර්මාණට වී ඇත්තේ ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතිය පදනම් කරගනිමිනි. බටහිර විද්‍යාවේ බයිබල් කතාව ගණිතමය හා රසායනික සංකේත ඇසුරෙන් කියැවෙයි. අපේ දරුවන් පාසල් ගොස් උදේට පන්සිල් සමාදන් වී දවල් යොවදතංපව කියා ගෙදර යනතෙක් බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනයක් ලබන බව අධ්‍යාපන ඇමතිතුමා හෝ අමාත්‍යාංශය හෝ නො දනියි. අනාගමික අධ්‍යාපනයක් යනුවෙන් අධ්‍යාපනයක් ලෝකයේ නැත. දැනුම යම් සංස්කෘතියක නිර්මාණය වෙයි. සිංහලෙන් කෙටිකතා නවකතා ලියැවෙන්නේ බටහිර ඊනියා යථාර්ථවාදී, අධියථාර්ථවාදී ආදී සාහිත්‍යය දෙස බලාගෙන මිස ජාතකකතා අනුගමනය කරමින් නො වේ. එහෙත් මෙරට තවමත් වැඩියෙන් විකිණෙන්නේ ඒ පොත් නොව බණපොත් ය. බටහිර අධ්‍යාපනයෙන් ඔළු අවුල් කර නොගත් විශාල පිරිසක් තවමත් මෙරට වෙති. බටහිර ක්‍රිස්තියානි නූතනත්වයෙහි විවිධ අංග වෙන්කරන බව මතුපිටින් කීව ද යටින් සියල්ල එකතු වෙයි. අද ඒ ඒ විෂයයෙහි විශේෂඥ දැනුමක් ලැබූ අය වෙතැයි කියැවෙයි. එහෙත් ෆෙයරාබන්ඩ් වෙනත් කරුණක දී පෙන්වා දෙන්නේ මේ විශේෂඥයන් උසාවියේ දී ඒ විෂය පිළිබඳ විශාරද දැනුමක් නොමැති නීතිඥයන්ගේ හරස් ප්‍රශ්න ඇසීම්වල දී ඇතැම් විට දුර්මුඛ වන බව ය. අගවිනිසුරුවරියට විරුද්ධව ඇති දෝෂාභියෝගය ගැන විමර්ශනය කිරීමට පත්කෙරෙන පාර්ලිමේන්තු කමිටුවේ සාමාජිකයන්ට විනිසුරුවන් ලෙස ක්‍රියාකිරීමට සිදුවේ. එහෙත් ඔවුන් අතර නීතිඥයන් නොවන අය ද සිටිති. එහි දී සිදුවන්නේ උසාවියෙහි සිදුවන දෙයෙහි අනෙක් පැත්ත ය. මෙයින් පෙනී යන්නේ ඒ ඒ විෂයට දැනුම බෙදන ඊනියා විශේෂඥ දැනුම් පිටුපස එකතු කිරීමක් ද වන බව ය. බටහිරයන් අපට වෙන්කිරීමක් ගැන කතා කළ ද ඇත්තේ එකතු කිරීමකි.