History

Wednesday, 12 December 2012

දහතුනට විකල්පය

අද ඇතැම්හු දහතුන අහෝසි කරන්නේ නම් එයට විකල්පය කුමක් දැයි අසති. මෙහි දී ඉදිරිපත් කෙරෙන්නේ එවැනි විකල්පයක් නො වේ. දහතුන්වැනි සංශෝධනය යනු ඊනියා ජනවාර්ගික ප්‍රශ්නයට ඉන්දියාව දුන් විසඳූම ය. දහතුනට විකල්පයක් යනු ඊනියා ජනවාර්ගික ප්‍රශ්නයට දෙන විකල්ප විසඳුමකි. එහෙත් ජනවාර්ගික ප්‍රශ්නය යනුවෙන් ප්‍රශ්නයක් නොමැති නම් විසඳුමක් යන්නවත් එනිසා ම විකල්ප විසඳුමක් යන්නවත් පැන නො නගියි. අද බොහෝ ප්‍රශ්න ඇති වී තිබෙන්නේ නැති ප්‍රශ්නවලට විසඳුම් දීමට යෑමෙනි. “විසඳූම්” සෙවීමට යන්නේ දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම සිදු වී ඇතැයි කියන අසාධාරණවලට ය. වෙනත් වචනවලින් කිවහොත් 1948 න් පසුව ඊනියා සිංහල ආණ්ඩුවලින් කෙරී ඇතැයි කියන ප්‍රශ්නවලට ය. මෙහි උපකල්පන රාශියක් වෙයි. ඒ අතර දෙමළ ජනයා වෙනම ජාතියක් වීම, අවුරුදු දහස් ගණනක් තිස්සේ උතුරු හා නැගෙනහිර පළාත් දෙමළ ජනයාගේ සාම්ප්‍රදායක වාසභූමි වීම, දෙමළ ජනයාට ඇති ප්‍රශ්නවලට විසඳුම ලෙස ව්‍යවස්ථාදායක බලය විමධ්‍යගත කිරීම, මෙරට ඒකීය රාජ්‍යයක් වූයේ ඉංගිරිසින් යටතේ බව, පෘතුගීසීන් ඒමට පෙර මෙරට වෙනම දෙමළ රාජ්‍යයක් හා සිංහල රාජ්‍යයක් පැවතීම, ඉංගිරිසින් සිංහලයන්ට නිදහස දුන් නමුත් දෙමළ ජනයාට නිදහස නොදීම ආදිය වෙයි. මේ සියළු උපකල්පන වැරදි බව මා විසින් ලියන ලද “ප්‍රභාකරන් ඔහුගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා” පෙතෙහි පෙන්වා දී ඇත. එමෙන් ම දැක්ම තීරුවෙන් ද වරින් වර මේ උපකල්පන යනු මිථ්‍යා බව පෙන්වා දී ඇත. එබැවින් ඒ පිළිබඳ විස්තරයක් කිරීම අනවශ්‍ය වෙයි.

දේශපාලන බලය විමධ්‍යගත කිරීමෙන් ජනතාවට බලය ලැබේ ය යන්න තවත් මිථ්‍යාවකි. ව්‍යවස්ථාදායක බලය පළාත් සභාවලට විමධ්‍යගත කළත්, බටහිර ප්‍රජාතන්ත්‍රවාදයේ ආකාරයට ගම්සභාවලට විමධ්‍යගත කළත් ජනතාවට අත්වන සුගතියක් නැත. බටහිර ප්‍රජාතන්ත්‍රවාදය අනුව බලය අත්වන්නේ දේශපාලනඥයන්ට මිස ජනතාවට නො වේ. ජනතාවට අවුරුදු තුනකට හතරකට පහකට ආදී වශයෙන් වරින් වර ඡන්ද බලය යොදාගත හැකි බව සෑබෑ ය. එහෙත් මැතිවරණ අතරතුර කාලයෙහි බලය ඇත්තේ ජනතාවට නොව දේශපාලනඥයන්ට ය. මැතිවරණ කාලයේ දී ඡන්ද හිඟමනේ යන දේශපාලනඥයන්ට යැදීමට හා වැඳීමට අනෙක් කාලවල දී ඡන්දදායකයාට සිදුවෙයි. ජනසභා හෝ ගම්සභා හෝ ඇති කිරීමෙන් ජනතාවට විශාල සුභ සිද්ධියක් ඇති නො වේ. ඇතැම්විට ගම්සභා නියෝජිතයා කොළඹ නොගොස් ගමේ දී කෙසේ වෙතත් ආසන්න නගරයේ දී හමුවීමේ අවස්ථාව නම් ඡන්දදායකයාට ලැබෙනු ඇත. එහෙත් එය ද සැක සහිත ය.

මෙරට දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් ඇති ප්‍රශ්නයක් නැත. ප්‍රශ්නය වනුයේ සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයනට හා ඔවුන්ගේ සංස්කෘතියට හිමිවිය යුතු තැන නො ලැබීම ය. 1931 දී සර්වජන ඡන්දය ලැබීමෙන් පසුව එතෙක් සුද්දන් සමග රට පාලනය කිරීමේ කටයුතුවලට සහභාගි වූ ඉංගිරිසි උගත් දෙමළ වෙල්ලාල ජනයාගේ වරප්‍රසාද අඩුවීමට පටන් ගති. ඉංගිරිසිහු ද ඉංගිරිසි උගත් දෙමළ වෙල්ලාලයෝ ද එසේ වරප්‍රසාද අඩුවීම සමස්ත දෙමළ ජනයාට කරන ලද අසාධාරණයක් ලෙස හැඳින්වූහ. ඊනියා විසඳුම් සෙවූයේ මේ අතථ්‍ය ප්‍රශ්නයට ය. එහි දී පහත සඳහන් උපකල්පන ද ඊනියා සාධක ලෙස ඉදිරිපත් කෙරිණි. ඒ උතුරු හා නැගෙනහිර පළාත්වලට බලය විමධ්‍යගත කිරීමෙන් සමස්ත දෙමළ ජනයාගේම ඇතැයි කියන ප්‍රශ්නයට විසඳුමක් ලැබීම, උතුරු හා නැගෙනහිර පළාත් අනාදිමත් කාලයක සිට පැවතීම, දෙමළ ජනයාගෙන් ඉතා වැඩි ප්‍රමාණයක් ඒ පළාත් දෙකෙහි ජීවත්වීම, බලය විමධ්‍යගත කිරීමෙන් දෙමළ ජනයාට ස්වාධීනව තම කටයුතු කරගෙන යෑමට අවස්ථාව ලැබීම විය. මේ උපකල්පන ද මිථ්‍යා බව පෙන්වා දී ඇති නමුත් ඒ පිළිබඳ නැවත මතක් කිරීමක් අවශ්‍ය යැයි සිතමි. ලංකාව උතුරු හා නැගෙනහිර පළාත් ඇතුළු පළාත් නවයකට ඉංගිරිසින් විසින් බෙදනු ලැබුයේ 1889 දී ය. එක් කලෙක ඉංගිරිසින් ලංකාව පළාත් පහකට බෙදා තිබිණි. එකල උතුරු පළාතට අනුරාධපුරය ද අයත්වී තිබුණු අතර උතුරු මැද පළාතක් නො තිබිණි. යම් අයුරකින් ඒ පළාත් බෙදීම ඒ ආකාරයෙන් ම තිබිණි නම් අනුරාධපුරය ද දෙමළ ජනයාගේ සාම්ප්‍රදායික වාසභූමියක් ලෙස නම් කිරීමට තිබිණි. ඉංගිරිසින් ලංකාව පළාත්වලට බෙදුයේ පරිපාලන පහසුව සඳහා මිස වෙනත් කටයුත්තක් සඳහා නො වේ. එවැනි පළාත් බෙදීමක් පදනම් කරගනිමින් දෙමළ ජනයාගේ සාම්ප්‍රදායික වාසභූමියක් නිර්ණය කිරීම අමනොඥ ය. අනෙක් අතට දෙමළ ජනතාවගෙන් වැඩි පිරිසක් ජීවත්වූයේත් ජීවත්වන්නේත් මේ පළාත් දෙකෙන් බාහිර පෙදෙස්වල ය. බලය විමධ්‍යගත කිරීමෙන් ඒ පළාත් දෙකේ දෙමළ ජනයාගේ ඊනියා ප්‍රශ්නය විසඳුනේ යැයි සිතමු. එහෙත් අනෙක් පළාත්වල ජීවත්වන දෙමළ ජනයාගේ ඒ ඇතැයි කියන ප්‍රශ්න එමගින් නො විසඳෙයි.

දෙමළ ජනයාට ඊනියා ප්‍රශ්නයක් ඇති බව පෙන්වීමට චෙල්වනායගම් වැන්නන්ට 1970 වන තුරු ද නො හැකි විය. චෙල්වනායගම් දෙමළ ජනයා අතර බලයක් ගොඩනගා ගත්තේ 1970 මැතිවරණයේ දී ය. ඉන් පසු ප්‍රභාකරන් ඡන්දය පැත්තකට දමා අවි බලයෙන් දෙමළ ජනයාගේ නායකත්වයට පත්විය. ජනාධිපතිතුමාගේ දේශපාලන නායකත්වයෙන්, ආරක්‍ෂක ලේකම්තුමාගේ සංවිධාන ශක්තියෙන් හා රණවිරුවන්ගේ කැපවීමෙන් අවසානයේ දී බටහිර රටවල හා ඉන්දියාවේ සහාය ලැබුණ දෙමළ ත්‍රස්තවාදය පරාජය කෙරී දෙමළ ජාතිවාදයේ ඊනියා ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් මානුෂික මෙහෙයුමෙන් ලැබිණි. ඒ සමග දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය ද දේශපාලනික ව පරාජය විණි. දැන් ඇත්තේ දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය නෛතිකව අහෝසි කිරීමත් සැබෑ ප්‍රශ්නයට විසඳුම් සෙවීමත් මිස දහතුනට විකල්ප සෙවීම නො වේ. දහතුනට විකල්ප සොයන්නේ යැයි කී විගස දෙමළ ජනයාට ප්‍රශ්නයක් ඇතැයි උපකල්පනය කෙරෙයි. විපක්‍ෂ නායකතුමා ලංකාව ඉන්දියාව හා එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ඇති කරගත් එකඟතා පිළිබඳ ප්‍රශ්නයක් නගා තිබිණි. ඒ එකඟතාවල කුමක් තිබුණත් නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු ඒ කිසිවක් වලංගු නො වේ. අනිත්‍ය වූ ලෝකයක සදාකාලික එකඟතා විශේෂයෙන් ම දේශපාලන එකඟතා නැත. ඕනැම දේශපාලන එකඟතාවක් ඇතිවන්නේ දේශපාලන සන්දර්භයක ය. සන්දර්භය වෙනස් වූ විට එකඟතා දේශපාලනිකව අවලංගු වෙයි. අවශ්‍යවන්නේ ඒ අවලංගුවීම්වලට නෛතික තත්ත්වය ලබාදීම ය.

බටහිරයන්ගේ පැමිණීමෙන් පසුව අප රට සෑම ආකාරයකින් ම කොළඹ කේන්ද්‍රිය ව මධ්‍යගත කෙරිණි. ඉංගිරිසිහු 1815 න් පසුව මෙරට ඒකීය රාජ්‍යයක් පිහිටුවූහ. එය මෙරට තිබූ එක්සේසත් රාජ්‍යයෙන් වෙනස්විණි. එක්සේසත් රාජ්‍යය ව්‍යවස්ථාදායක වශයෙන් ගත්කල මධ්‍යගත රාජ්‍යයකි. එහෙත් පරිපාලන වශයෙන් ගත්කල විමධ්‍යගත රාජ්‍යයකි. එහෙත් බටහිර ඒකීය රාජ්‍ය එසේ නො වේ. ඒවා සෑම අතින් ම මධ්‍යගත වෙයි. අද දෙමළ ජනයාට පමණක් නොව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඈත පිටිසර ජීවත්වන සිංහල ගැමියන්ට ද පරිපාලනය මධ්‍යගත කිරීම හේතුවෙන් මහත් දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදුවෙයි. තරමක් විකෘති ආකාරයට වුව ද ලෙනාඩ් වුල්ෆ් මහතා ඉංගිරිසි ජාතියකු වූ තමාට තේරුණු ආකාරයෙන් බැද්දේගම කෘතියෙන් පරිපාලන බලය මධ්‍යගත කිරීම නිසා ගැමියන්ට වන දුක් ගැහැට නිරූපණය කර ඇත. අද රජරට ද වෙනත් පළාත්වල ද ගොවියන්ට වැවේ වතුර බෙදාගැනීමට ඒ ඒ් දෙපාර්තමේන්තුවල නිලධාරීන්ගේ තීරණ දෙස බලාසිටීමට සිදුී වී ඇත්තේ මේ පරිපාලනය මධ්‍යගත වීම නිසා ය. එය බොහෝ අවස්ථාවල දේශපාලන බලය ද ඉක්මවා යයි. අපි බොහෝ අවස්ථාවල දේශපාලනීකරණය ගැන ඉවක් බවක් නොමැතිව කතාකරමු. එහෙත් එසේ වී ඇත්තේ ඇයි ද යන්න නො සොයොමු. 1970 ආණ්ඩුවෙන් ඒ ඒ දිස්ත්‍රීක්කවල දිසාපති ධුරයට අමතරව දේශපාලන අධිකාරයක් පිහිටුවනු ලැබිණි. එසේ කිරීමට ප්‍රධාන හේතුවක් වූයේ ජනතාවගේ කටයුතු ඉංගිරිසින්ගේ මධ්‍යගත පරිපාලන හා මුදල් රෙගුලාසිවලට යටවී නො කෙරුණු නිසා ය. එහෙත් ජනතාව වෙනුවෙන් අවාසනාවකට මැදිහත් වූයේ ඉංගිරිසි ප්‍රජාතන්ත්‍රවාදය අනුව පත්කෙරුණු නියෝජිතයෙකි. ඉන් සිදුවූයේ කඩතොළු එකක් මකාගැනීමට ගොස් කඩතොළු රාශියක් ඇතිවීම ය. ඉංගිරිසි ක්‍රමයට ඇතිකරන ලද ප්‍රශ්නවලට ඉංගිරිසි ක්‍රමයෙන් සිංහල පිළිතුරු දිය හැකි නො වේ. ඉංගිරිසි පරිපාලනයේ මධ්‍යගත භාවය ඉංගිරිසි ප්‍රජාතන්ත්‍රවාදයෙන් මැකිය නොහැක්කේ ඉංගිරිසි ප්‍රජාතන්ත්‍රවාදය සෑම අතින් ම මධ්‍යගත බැවිනි. අද පවතින දේශපාලනීකරණයට ප්‍රධාන හේතුව ඉංගිරිසි පරිපාලනයේ මධ්‍යගතය වෙනුවට සිංහල පරිපාලන විමධ්‍යගතයක් ඇති නොකර ඉංගිරිසි ප්‍රජාතන්ත්‍රවාදය ඔස්සේ ජනතාවට වෙනුවට ජනතාවගේ නියෝජිතයන් යැයි කියන්නන් ඔස්සේ ජනතාවට පරිපාලනය විමධ්‍යගත කිරීමට යෑම ය. පොලීසිය ද ඇතුළු ආණ්ඩුවේ සෑම දෙපාර්තමේන්තුවක ම මේ තත්ත්වය දැකගත හැකි ය.

අධ්‍යාපනය ද දැනුම ද බටහිර ක්‍රිස්තියානි නූතනත්වය මගින් මධ්‍යගත කෙරී ඇත. බටහිර වෛද්‍ය විද්‍යාව ලන්ඩනයේ හා එඩින්බරාහි විවිධ රාජකීය මධ්‍යස්ථානවල (විිද්‍යාලවල) මධ්‍යගත වී ඇත. ඒ මධ්‍යගත සහතික මගින් මුළු ලෝකයට ම විශේෂඥයන් හඳුන්වා දෙනු ලැබෙයි. බටහිර වෛද්‍ය විද්‍යාවට වඩා බෙහෙවින් දියුණු සිංහල පාරම්පරික වෙදකම එසේ මධ්‍යගත වී නැත. එකම රෝගය ලෙස හඳුනාගන්නකට විවිධ පරම්පරා මගින් විවිධ ප්‍රතිකාර කෙරෙයි. මුළු ලෝකයට ම තබා එක් කෝරළයකට වුව පොදු වෙදකමක් සිංහලයේ නැත. අළුත් අවුරුද්දට අද මුළු රටේ ම එකම නැකැත් ඇත. මුළු රට ම රූපවාහිනියේ ඔරලෝසුවට මධ්‍යගත වී අද වැඩ අල්ලයි. එහෙත් අප කුඩා කල ගමේ විවිධ නැකැත් තිබිණි. අප ගන්නේ අහවල් නැකත යැයි මගේ මව කියනු මා කුඩා කල අසා ඇත. නැකැත් රාශියකින් එක් නැකතකට යෑම විමධ්‍යගතයෙන් මධ්‍යගතයට යෑමකි. දෙමළ ජනයාට පමණක් නොව සිංහල ජනයාට ද තම තමන්ගේ පරිපාලන කටයුතු පළාතේ හෝ දිස්ත්‍රික්කයේ හෝ වෙනත් ඒකකයක හෝ ප්‍රධාන නගරයට නොගොස් කරගැනීමට හැකි විය යුතු ය. මුළු රටටම බලපාන අයුරෙන් නීති සැකසීම රාජසභාවට පමණක් හිමිවිය යුතු අතර අනෙක් බොහෝ කටයුතු ගමේ පන්සලේ ප්‍රධානත්වයෙන් පිහිටුවන සෘජු ජනසම්මතවාදී සමිති ඔස්සේ තීරණය කිරීමට ඉඩ සැලසිය යුතු ය. ජනතාවට බලය පැවරීම යනුවෙන් කියැවෙන්නේ ජනතාවගේ නියෝජිතයන්ට බලය පැවරීම නො වේ. අපේ එක්සේසත් රාජ්‍යයෙහි ව්‍යවස්ථාදායකය මධ්‍යගත වූ රාජසභාවක් තිබූ අතර වරිගසභා ද විය.