History

Saturday, 12 January 2013

විඥානවාදී ද්‍රව්‍යවාදියෝ

ක්වොන්ටම් භෞතිකයෙහි නිරන්තරයෙන් සිදුවන වෙනස්වීම් මෙන් ම කඩින් කඩ සිදුවන වෙනස්වීම් ද වෙයි. ක්වොන්ටම් අංශුවක පිහිටීම දන්නේ යැයි සිතමු. එයින් කියැවෙන්නේ යම් නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව කාවොන්ටම් අංශුව යම් පිහිටුමක ඇති බව ය. නිරීක්‍ෂකයා ක්වොන්ටම් අංශුවේ පිහිටුම යම් අගයකින් දක්වයි. නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව ක්වොන්ටම් අංශුව යම් ලක්‍ෂ්‍යයක සිට නිශ්චිත දුරකින් පිහිටා ඇත. එහෙත් නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව ක්වොන්ටම් අංශුවට නිශ්චිත ගම්‍යතාවක් හෝ ශක්තියක් හෝ නැත. නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව අංශුවට ගම්‍යතා රාශියක් ඇත. එබැවින් ම නිරීක්‍ෂකයාට අංශුවේ ගම්‍යතාව දැනගත හෝ මැනගත හෝ නො හැකි ය.

එසේ වුවත් අංශුවට ගම්‍යතා රාශියක් ඇති බව නිරීක්‍ෂකයා දනියි. (දැනුම යනු නිර්මාණයක් වන බැවින් මෙහි දනියි යන්නෙන් අදහස් කරන්නේ නිරීක්‍ෂකයා අදාළ දැනුම නිර්මාණය කර ඇති බව ය.) ඔහු නොදන්නේ, ඔහු මැනගෙන නැත්තේ, ගම්‍යතාවේ නිශ්චිත අගයකි. අංශුවට නිරීක්‍ෂකයාට සාපේක්‍ෂක ව ගම්‍යතා ර්ශියක් ඇත. එබැවින් අංශුව ඒ ඒ ගම්‍යතා අගයට අනුරූප අවස්ථා රාශියක ඇත. එකම මොහොතෙහි නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව අංශුවට ගම්‍යතා අවස්ථා හා අනුරූප ගම්‍යතා අගය රාශියක් ඇති බැවින් නිරීක්‍ෂකයාට අංශුවේ ගම්‍යතාව කුමක් දැයි දැනගත හෝ මැනගත හෝ නො හැකි ය.

නිරීක්‍ෂකයා අංශුවේ නිශ්චිත ගම්‍යතාවක් නොදැන අංශුවට ගම්‍යතා රාශියක් ඇති බව දන්නේ කෙසේ දැයි යමකුට ප්‍රශ්න කළ හැකි ය. මොන්රෝ නම් බටහිර භෞතික විද්‍යාඥයා දශක දෙකකට පමණ තම පරීක්‍ෂණ මගින් ඒ බව පෙන්නුම් කෙළේ ය. (ඒ දැනුම නිර්මාණය කළේ ය) බෙරිලියම් කැටයන සම්බන්ධයෙන් කරන ලද පරීක්‍ෂණවල ඔහු බටහිර විද්‍යාවේ පළමුවරට අදාළ කැටයන අවස්ථා කිහිපයක ම ඇති බව ප්‍රදර්ශනය කළේ ය. එහෙත් ඔහු එසේ කළේ ඒ එක් අවස්ථාවක්වත් නිරීක්‍ෂණය නොකරමිනි. යම් අයුරකින් ඔහු ඒ එක් අවස්ථාවක් යම් උපකරණයක් යොදාගෙන නිරීක්‍ෂණය කළේ නම් ඔහුට ඒ අවස්ථාවන්හි ප්‍රතිබද්ධ ගුණය දැනගැනීමට නොහැකිවීමට තිබිණි.

යම් අංශුවක් හෝ පද්ධතියක් හෝ යම් නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව යම්කිසි ගුණයක් සම්බන්ධයෙන් අවස්ථා කිහිපයක පිහිටීම ඇරිස්ටෝටලීය ද්විකෝටික න්‍යායට අනුව නම් සිදුවිය හැකි නො වේ. එම න්‍යායෙහි A සත්‍යයක් නම් ~A හෙවත් A හි නිෂේධය අසත්‍ය වෙයි. එනම් අංශුවකට යම් ගුණයක් සම්බන්ධයෙන් යම් අගයක් ඇත්නම් එයට එම අගය නැතැයි කිව නො හැකි ය. නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව අංශුවේ යම් ගුණයක් සම්බන්ධයෙන් අගය X වන්නේ ය යන්න සත්‍යයක් නම් X නොවන්නේ ය යන්න අසත්‍යයක් යැයි ඇරිස්ටෝටලීය න්‍යායෙහි කියැවෙයි.

බටහිර දැනුම අනුව නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව අංශුවකට යම් ගුණයක් සම්බන්ධයෙන් අගයන් එකකට වඩා තිබිය නො හැකි ය. උදාහරණයක් ලෙස පුටුවක් යම් නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව විශ්වයේ එක් පිහිටුමක පමණක් වෙයි. නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව පුටුව y පිහිටුමේත්, z පිහිටුමේත් දෙකෙහිම තිබිය නො හැකි ය. පුටුව y පිහිටුමේ ඇත්නම් එයින් කියැවෙන්නේ එය z (y ට අසමාන වූ) පිහිටුමේ නැති බව ය. එලෙස ම පුටුව y පිහිටුමේ ඇති බව සත්‍යයක් නම් එය y පිහිටුමේ නැතැයි යන්න සත්‍ය නො වේ. පුටුව z පිහිටුමේ ඇත්නම් එයින් කියැවෙන්නේ එය y පිහිටුමේ නැති බව ය. එමෙන් ම පුටුව පවතී නම් හා එය y පිහිටුමේ නැත්නම් එය වෙනත් යම්කිසි නිශ්චිත පිහිටුමක තිබිය යුතු ය.

ඇරිස්ටෝටලීය න්‍යාය ගොඩනගා ඇත්තේ සාමාන්‍ය ජීවිතයේ දී අත්දකින මෙවැනි කරුණු උපයෝගී කරගෙන ය. එහෙත් ක්වොන්ටම් අංශු සඳහා මේ න්‍යාය වලංගු නො වේ. ක්වොන්ටම් අංශුවකට y පිහිටුමේ මෙන් ම z පිහිටුමේ ද තිබිය හැකි ය. එහෙත් එවිට පෘථග්ජන නිරීක්‍ෂකයකුට අංශුව නිරීක්‍ෂණය කළ නොහැකි ය. දෙතැනක ඇති අංශුවක් අපට සාමාන්‍ය ජීවිතයේ දී මුණ නො ගැසෙයි. පෘථග්ජනයන්ගේ සාමාන්‍ය ජීවිතවල දී අත්දකින්නේ සාමාන්‍ය හෙවත් නිව්ටෝනීය වස්තු මිස ක්වොන්ටම් අංශු නො වේ.

පෘථග්ජනයන් නිර්මාණය කර ඇති දැනුම, සංකල්ප, ප්‍රවාද පමණක් නොව න්‍යාය ද පදනම් වන්නේ සාමාන්‍ය පෘථග්ජන අත්දැකීම් මත ය. එහි දී පුටුව වැනි වස්තු ද නිර්මාණය කෙරෙන්නේ පෘථග්ජන නිරීක්‍ෂකයන් විසිනි. මුළු මහත් විශ්වය ද අත්දැකීම් ද නිර්මාණය කෙරෙන්නේ නිරීක්‍ෂකයාගේ මනස විසිනි. ඊනියා ද්‍රව්‍යවාදීන්ගේ හෙවත් භෞතිකවාදීන්ගේ වාස්තවික යැයි කියැවෙන ලෝකය ද නිර්මාණය කෙරෙන්නේ ඔවුන්ගේ මනස්වලිනි.

බොහෝ කලක සිට අප ද්‍රව්‍යවාදීන්ට අභියෝග කරන්නේ මනසෙන් තොරව ලෝකයක් ඇති බව මනසෙන් තොරව පෙන්වන ලෙස ය. මෙරට තමන් ද්‍රව්‍යවාදීන් ය, භෞතිකවාදීන් ය කියාගන්නා පඬිවරුන්, දාර්ශනිකයන්, විද්‍යාඥයන්, වෛද්‍යවරුන් ආදීන් කොතෙකුත් සිටියත් ඒ අභියෝගය පිළිගත් අයකු නැත. බාහිර ලෝකයක් ඇතැයි කිසිවකු කියන්නේ බාහිර ලෝකයක් පිළිබඳ සංකල්ප රැසක් යොදාගනිමිනි. ඒ සියළු සංකල්ප මනසින් නිර්මාණය කරගත් දේ ය. මනසින් නිර්මාණය නොකළ එකදු සංකල්පයක්වත් නැත. මනසින් තොරව පවත්නේ යැයි කියන බාහිර ලෝකය ද මනසේ ම නිර්මාණයකි. බාහිර ලෝකයක් පවතින්නේ යැයි කියන්නේ අදාළ සංකල්ප නිර්මාණයේ දී මනස හැරෙන්නට පංචෙන්ද්‍රියයන් ද යොදාගන්නා බැවිනි.

ශරීරයේ අභ්‍යන්තර යැයි කියැවෙන අවයව මෙන් ම වසා ඇති පෙටිටි වැනි සංවෘත භාණ්ඩවල ඇති ද්‍රව්‍ය ද ඇතැයි පැවසෙන්නේ ඒ අවයව හා ද්‍රව්‍ය අපට සිරුර කැපීමෙන් හෝ සංවෘත භාණ්ඩය විවෘත කිරීමෙන් හෝ පංචෙන්ද්‍රිය ඇසුරෙන් ගෝචර කරගත හැකි බැවිනි. අභ්‍යන්තර අවයව හා සංවෘත භාණ්ඩවල ඇති වස්තු ද අවසාන විග්‍රහයේ දී බාහිර අවයව හා වස්තු බවට පත්වෙයි. නිව්ටෝනීය යාන්ත්‍රිකයෙහි ඊනියා අභ්‍යන්තර බල ද බාහිර බල බව පැහැදිලි ය.

ඊනියා භෞතිකවාදීන්ට හෙවත් ද්‍රව්‍යවාදීන්ට මනස නොමැතිව බාහිර ලෝකයක්, බාහිර වස්තු ආදිය පිළිබඳ සංකල්ප නිර්මාණය කරගත හැකි නො වේ. සංකල්ප නිර්මාණය කරන්නේ මනසින් නොවේ නම් කිනම් ඉන්ද්‍රියකින් ද? ඊනියා භෞතිකවාදීන්ට ද මනස නොමැතිව කිසිම නිර්මාණයක් කළ හැකි නො වේ. ඔවුහු ද එක්තරා ආකාරයකින් ගත්කල විඥානවාදීහු වෙති. අවශ්‍ය නම් ඔවුන්ට පළමු ගණයේ විඥානවාදීන් යැයි කිව හැකි ය. එහෙත් ඔවුහු මනසින් තොර ලෝකයක් පවතින්නේ යැයි කියති.

ඔවුන් එසේ කියන්නේ ද උද්ගමනයෙනි. මට පෙනෙන ගසක් ඇත. වෙනත් අයකුට ද ඒ ගසක් බව පෙනෙයි. අප දෙදෙනාට ඒ ගසේ ගුණ පිළිබඳ යම් එකඟත්වයකට පැමිණිය හැකි ය. ගසේ කඳ, අතු, ගෙඩි ආදිය පිලිබඳ අපට එකම සංකල්ප ගොඩනගාගත හැකි ය. එමෙන් ම වෙනත් මිනිස් නිරීක්‍ෂකයන්ට ද ඒ සියල්ල පිළිබඳ ඒ සංකල්ප ම ගොඩනගා ගත හැකි ය. එබැවින් ඊනියා භෞතිකවාදියා නිගමනය කරන්නේ, මෙහි දී උද්ගමනය කරන්නේ සියළු මිනිස් නිරීක්‍ෂකයන්ට ඒ සංකල්ප පොදු බව ය. එය මනසින් කෙරෙන උද්ගමනයකි. සියළු නිරීක්‍ෂකයන්ට එක ම වූ සංකල්ප හා ඒ මත පදනම් වූ අත්දැකීම් ඇත්නම් ඒ අත්දැකීම් මනසින් ස්වායත්ත විය යුතු යැයි ද්‍රව්‍යවාදියා නිගමනය කරයි. ඒ නිගමනය කරන්නේ ද මනසිනි.

ඊනියා ද්‍රව්‍යවාදියා මේ සියළු නිරීක්‍ෂණ මනස හා පංචෙන්ද්‍රිය ඇසුරෙන් ලබාගන්නා අත්දැකීම්වලට පමණක් සීමා කරයි. ඔහු පංචෙන්ද්‍රියයන්ගෙන් තොරව මනසින් පමණක් ලබාගන්නා අත්දැකීම් බැහැර කරයි. පංචෙන්ද්‍රියයන් නොමැතිව ලැබෙන අත්දැකීම් හුදු හිතළු පමණක් බවට පත්කරන්නේ කිනම් කරුණක් මත පදනම් වී ද? අනෙක් අතට ඊනියා ද්‍රව්‍යවාදියා මනස හා පංචෙන්ද්‍රිය (මනස ද සිංහල බෞද්ධයනට නම් ඉන්ද්‍රියයක් බව අමතක නොකළ යුතු ය) ඇසුරෙන් කරන නිරීක්‍ෂණ මනසින් ස්වායත්ත යැයි ගත්ත ද ඒ පංචෙන්ද්‍රියයන්ගෙන් ස්වායත්ත යැයි නොසලකයි. ඒ නිරීක්‍ෂණ පංචෙන්ද්‍රියයන් ඇසුරෙන් ලබාගන්නා සංජානන ලෙස ඔහු විසින් සැලකෙයි. එයට හේතුව සංජානන නොමැතිව ඔහුට ලෝකයක් නොමැති බැවිනි. දැනුමේ පදනම ඉන්ද්‍රිය (එනම් පංචෙන්ද්‍රිය) ගෝචර අත්දැකීම් (සංජානන) ය යන්න ඊනියා ද්‍රව්‍යවාදියාගේ උපකල්පනය වෙයි. (එහෙත් කිසිදු සංජානනයක් සංකල්පයකින් තොරව ඇති නොවන බව ඊනියා ද්‍රව්‍යවාදියා අමතක කරයි.)

එය උපකල්පනයක් හෝ උද්ගමනයක් හෝ මිස අන් කිසිවක් නො වේ. හැකිනම් එය උපකල්පනයක් හෝ උද්ගමනයක් හෝ නොවන බව පෙන්වන මෙන් ඊනියා භෞතිකවාදීන්ට තවත් අභියෝගයක් කිරීමට කැමැත්තෙමු. එය මනසින් තොරව නම් කෙසේවත් පෙන්විය නො හැකි ය. අඩුම තරමෙන් මනස යොදාගෙනවත් ඒ අභියෝගය පිළිගන්නේ නම් මැනවි. ඊනියා භෞතිකවාදීන්ගෙන් යම් පිරිසක් අපේ ප්‍රවාද ලිපි පෙළ කියවන බව අපි දනිමු. එසේ නොකියවන ඊනියා භෞතිකවාදීන්ට ද මෙහි සඳහන් අභියෝග සන්නිවේදනය කිරීමට ලිපි පෙළ කියවන ඊනියා භෞතිකවාදීන්ට හැකි යැයි සිතමි. උපකල්පන හා උද්ගමන මනසින් කෙරෙන කාර්යයන් මිස පංචෙන්ද්‍රියයන් යොදාගනිමින් කරන දේ නො වේ.

පෘථග්ජන මිනිස් නිරීක්‍ෂකයන්ට එකම ආකාරයේ පංචෙන්ද්‍රිය ඇති බැවින් ඔවුහු ඇතැම්විට තම අත්දැකීම් පිළිබඳව එකම නිගමනවලට එළඹෙති. එහෙත් අප දන්නා කරුණක් නම් ඒ ඒ සංස්කෘතීන්හි වාසය කරන පෘථග්ජන නිරීක්‍ෂකයන් ඒ ඒ නිරීක්‍ෂණවලට හා නිගමනවලට එළඹෙන බව ය. ඇතැම්හු සංසාරයක් ගැන විශ්වාස කරති. තවත් සමහරු ලෝකය නිර්මාණය කළ දෙවියන් වහන්සේ කෙනකු ගැන විශ්වාස කරති. එවැනි වැදගත් කරුණු සම්බන්ධයෙන් සියළු නිරීක්‍ෂකයන් එකම නිගමනයකට නොඑළඹෙන්නේ ඇයි?

ඒ තබා විඥානවාදය හා භෞතිකවාදය පිළිබඳවවත් සියළු මිනිස් නිරීක්‍ෂකයන්ට එකඟවීමට නොහැකි ඇයි? එයට පිළිතුර දෘෂ්ටිවාද නම් එයින් කියැවෙන්නේ දැනුම, එනම් ලෝකය පිලිබඳ දැනුම ගැන සියළු පෘථග්ජන නිරීක්‍ෂකයන්ට, (පෘථග්ජන යන වචනයට අකමැති නම් සියළු මිනිස් නිරීක්‍ෂකයන්ට යන්න යොදාගැනීම පිළිබඳ විරුද්ධ නොවෙමු) එකම මතයක්, මතවාදයක් නොමැති බව ය. දෘෂ්ටිවාද ඇතිවන්නේ භෞතික වූ ආර්ථික හේතු මත යැයි ඇට්ටකුණා වූ භෞතිකවාදියකු කීමට ඉඩ ඇත. එහෙත් ඒ ආර්ථික හේතු මත දෘෂ්ටිවාද ඇතිවන්නේ ය යන්න ද නිරපේක්‍ෂ වාස්තවික වූවක් නො වේ. එය ද තවත් මතවාදයක් වනු පමණක් නොව මනස විසින් නිර්මාණය කෙරුණු මතවාදයක් වෙයි.

ඊනියා භෞතිකවාදීහු හෙවත් ද්‍රව්‍යවාදීහු ද එක්තරා ආකාරයකට ගත්කල විඥානවාදීහු වෙති. ඔවුන්ට ද මනස නොමැතිව නො හැකි ය. මනසක් යනුවෙන් යම්කිසිවක් තිබෙන බව පිළිගැනීමට ඔවුන්ට සිදුවෙයි. එහෙත් ඔවුහු මනස මත තම පදනම්වීම වසාගැනීම සඳහා උපක්‍රමයක් යොදාගනිති. ඒ උපක්‍රමය නම් මනස ද්‍රව්‍යයෙහි ම පදනම් වූවක් ලෙස සුලකීම ය. ඔවුහු මනස ද්‍රව්‍යයට ඌනනය කිරීමට උත්සාහ කරති. ඔවුන් කියන්නේ මනස මොළය ඇසුරෙන් පවතින බව ය. එහෙත් භෞතිකචාදීන්ට හෙවත් ද්‍රව්‍යවාදීන්ට මනස මොළයට ඌනනය කිරීමට හැකි යැයි පෙන්වීමට නො හැකි ය. ඔවුන් මොළයේ විවිධ ප්‍රදේශවල ඉලෙක්ට්‍රෝඩ සවිකර පෙන්වන්නේ මනස හා මොළය අතර සහසම්බන්ධයක් ඇතිබව පමණ ය. අනෙක් අතට විඥානවාදීහු මනස ඇති බව පිළිගනිති. එය එක්තරා ආකාරයකින් වාස්තවික පිලිගැනීමකි. මනස පවතින්නේ මනසින් ස්වායත්තව දැයි ඔවුන්ගෙන් ඇසිය හැකි ය. එහෙත් බෞද්ධයනට ඊනියා වාස්තවික වූ මනසක් ඇති බව පිළිගැනීමට අවශ්‍ය නො වේ.