History

Sunday, 7 April 2013

ඊනියා ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ

ඊනියා යථාර්ථවාදීන්, භෞතිකවාදීන් (ද්‍රව්‍යවාදීන්) ආදී වශයෙන් තම තමන් හඳුන්වාගන්නා අය ඉතා උද්‍යොගයෙන් හා භක්තියෙන් කියන කතාවක් නම් තමන් ඉන්ද්‍රිය ගෝචර දැනුම පමණක් පිළිගන්නා බව ය. මෙය භක්තියෙන් කියන කතාවක් වනුයේ කිසිවකු මේ සම්බන්ධයෙන් පිළිගත හැකි ආකාරයකට කිසිවක් නොකියන බැවිනි. බටහිර වාසය කරන බටහිර විද්‍යාඥයන්ට අනුව අපට ඇත්තේ ඉන්ද්‍රිය පහකි. මෙරට සිටින බටහිර විද්‍යාඥ්‍රයන් කියන කතා අප සැලකිල්ලට නොගත යුත්තේ ඔවුන් කිසි දිනෙක නව මතයක් ප්‍රකාශකර නොමැති බැවිනි. ඔවුන් කරන්නේ බටහිර විද්‍යාඥයන් කරන කියන දේ නැවත සිංහලෙන් හෝ ඉංගිරිසියෙන් හෝ උච්චාරණය කිරීම පමණකි.

අපට අසන්නට ඇති පළමුවැනි ප්‍රශ්නය නම් ඉන්ද්‍රිය පහක් පමණක් ප්‍රමාණවත් වන්නේ කෙසේ දැයි (බටහිර වාසය කරන) බටහිර විද්‍යාඥයන් දන්නේ කෙසේ ද යන්න ය. ඉන්ද්‍රිය පහකින් පමණක් සමස්ත ලෝකය දැනගත හැකි ද? අපට මේ ඉන්ද්‍රිය පහෙන් එකක් අඩුව තිබිණි නම් අපට ලෝකය කෙසේ පෙනේ වි ද? මේ ප්‍රශ්න අසන්නේ බටහිර විද්‍යාඥයන්ට හා ඔවුන් සරණ යන්නන්ට ගැලපෙන අයුරින් මිස සිංහල බෞද්ධයන්ට ගැලපෙන අයුරින් නො වේ. සිංහල බෞද්ධයෝ ඊනියා ලෝකයක් ග්‍රහණය කර නො ගනිති. ඔවුහු අවිද්‍යාව නිසා ලෝකයක් නිර්මාණය කරති. කෙසේ වෙතත් අපි ලෝකය ග්‍රහණය කිරීම, දැනගැනීම ආදී ප්‍රකාශන බටහිර විද්‍යාඥයන් අනුකරණය කරන්නන්ගේ පහසුව සඳහා යොදාගනිමු.

අපට කණ යනුවෙන් අවයවයක් හා ඒ ආශ්‍රිත ඉන්ද්‍රියක් නොතිබිණි නම් අප ශබ්දය යනුවෙන් සංකල්පයක් කෙසේ දැනගැනීමට තිබිණි ද? අපට ශබ්දයක් නොඇසෙන ලෝකයක ශබ්දය ඇසෙන සතුන්ගේ ඇතැම් ප්‍රතිචාර ගැන අප කුමක් කීමට ඉඩ තිබිණි ද? ශබ්දය ඇසෙන සතුන් යම් යම් දේ කරන්නේ ඇයි ද යන ප්‍රශ්නයට පිළිතුරු දීමට බටහිර විද්‍යාඥයන් විවිධ සංකල්ප හා ප්‍රවාද ගොඩනැගීමට තිබිණි.

අනෙක් අතට අපට විද්‍යුත්චුම්බක ක්‍ෂෙත්‍රය දැනෙන යම්කිසි අවයවයක් හා ඒ ආශ්‍රිත ඉන්ද්‍රියක් තිබිණි යැයි සිතමු. මෙහි දී අපි සම්මුති වශයෙන් විද්‍යුත්චුම්බක ක්‍ෂෙත්‍රයක් ඇතැයි ගනිමු. විද්‍යුත්චුම්බක ක්‍ෂෙත්‍රය අපට දැනෙන්නේ නම් අපට එය වෙනස්වන ආකාරයත් දැනිය යුතු ය. බටහිර විද්‍යාඥයන්ට අනුව ආලෝකය යනු විද්‍යුත්චුම්බක ක්‍ෂෙත්‍රයෙහි වෙනස්වීම් ප්‍රචාරණය කිරීමෙන් ඇතිවන්නකි. අපට විද්‍යුත්චුම්බක ක්‍ෂෙත්‍රය වෙනස්වීම සෘජුව දැනෙන ඉන්ද්‍රියක් වේ නම් ආලෝකය යන්න කෙසේ දැනේවි ද?

ආලෝකය යන්න ද අපට ඉන්ද්‍රිය ගෝචර නොවන බව පැහැදිලි කරගත යුතු ය. අප කිසිවකුට ආලෝකය නො පෙනෙයි. අපට පෙනෙන්නේ ආලෝකය පරාවර්තනය නිසා එසේ පරාවර්තනය කරන වස්තු ය. අපට පුටුවක් පෙනෙන්නේ පුටුව මත ආලෝකය වැටී පුටුවෙන් ආලෝකය පරාවර්තනය වීම නිසා ය. අපට පුටුව පෙනෙන නමුත් ආලෝකය නො පෙනෙයි. ආලා්කය යනු බටහිර විද්‍යාඥයන්ට අනුව ෆොටෝනය. ෆෝටෝන යනු ක්වොන්ටම් අංශු ය. අපට ක්වොන්ටම් අංශු සෘජුව දැනගැනීමට හැකි අවයවයක් හා ඒ ආශ්‍රිත ඉන්ද්‍රියයක් නැත.

බටහිර කෝපන්හේගන් විවරණය අනුව අපට සාපේක්‍ෂව ෆෝටෝනයකට ශක්තියක් හා ගම්‍යතාවක් ඇත්නම් අපට සාපේක්‍ෂව එයට කාලයක් හා පිහිටීමක් නැත. එනම් අපට සාපේක්‍ෂව ෆෝටෝනයට කාලයක් හා පිහීිටීමක් ලැබෙන්නේ අප ඒ ගුණ මැනගතහොත් පමණකි. මැනීමට පෙර එවැනි ගුණ ෆෝටෝනයට නැත. අනෙක් අතට විිද්‍යාලංකාර විවරණයට අනුව ෆෝටෝනයට අපට සාපේක්‍ෂව කාල හා පිහිටීම් රාශියක් වෙයි. ඒ කුමක් වුවත් අපට ෆෝටෝනයක් නිරීක්‍ෂණය කළ හැක්කේ එයට අපට සාපේක්‍ෂව එක් පිහිටීමක්, කාලයට එක් අගයක්, එක් ශක්තියක්, එක් ගම්‍යතාවක් පමණක් ඇත්නම් ය. එසේ නොවන අවස්ථාවල දී ,එනම් ක්වොන්ටම් අංශු සම්බන්ධයෙන්, අපට ඒ අංශු හෝ වස්තු හෝ නිරීක්‍ෂණය කළ නො හැකි ය.

ෆෝටෝන ඇතුළු ක්වොන්ටම් අංශු අපේ ඉනද්‍රිය පහට ගෝචර නො වේ. එහෙත් බටහිර විද්‍යාඥයෝ කවොන්ටම් අංශු නැතැයි නො කියති. ඔවුහු එහි පැවැත්ම පිළිගනිති. පවතින යමක් ගෝචර කරගැනීමට නොහැකි ඉන්ද්‍රිය පද්ධතිය අසම්පූර්ණ බව පිළිගැනීමට බටහිර විද්‍යාඥයන්ට වුව ද සිදු වෙයි. බටහිර විද්‍යාඥයන් ඇතැයි කියන ලෝකය තේරුම් ගැනීමට, ග්‍රහණය කරගැනීමට උත්සාහ ගන්නේ මේ අසම්පුර්ණ පද්ධතිය උපයෝගී කරගනිමින් ද?

අපි නැවතත් කලින් ඇසූ ප්‍රශ්නයට යමු. අපට විද්‍යුත්චුම්බක ක්‍ෂෙත්‍රය ග්‍රහණය කළහැකි අවයවයක් හා අදාළ ඉන්ද්‍රියයක් නැත. අපට ඒ නො පෙනෙයි. එහෙත් බටහිර විද්‍යාඥයෝ චුම්බකක්‍ෂෙත්‍රයෙහි පැවැත්ම පිළිගනිති. එසේ නම් බටහිර විද්‍යාඥයන් ඉන්ද්‍රිය ගෝචර නොවන වස්තුවල පැවැත්ම නොපිළිගන්නා බව පැවසීම ව්‍යාජයක් බව පැහැදිලි විය යුතු ය. අසම්පූර්ණ පද්ධතියක් වූ ඉන්ද්‍රිය පද්ධතියට ගෝචර දේ පමණක් පවතින්නේ යැයි බටහිර විද්‍යාඥයන් කියන්නේ ඔවුන්ට අවශ්‍ය දේවල පමණක් පැවැත්ම තහවුරු කිරීමට ය.

පසුගිය සතියේ ඇතැම් මාධ්‍යවේදීන් මගෙන් ඇසූ ප්‍රශ්නයක් වූයේ කිසිදු සාක්‍ෂියක් නොමැතිව මා නාථ දෙවියන්ගේ හා විපස්සක දෙවියන්ගේ පැවැත්ම පිලිගන්නේ ඇයි ද යන්න ය. එහෙත් මේ මාධ්‍යවේදියෝ කිසිදිනෙක කාදිනල් තුමාගෙන් එවැනි පශ්න නො අසති. ඔවුහු එතුමා කිසිදු සාක්‍ෂියක් නොමැතිව දෙවියන් වහන්සේගේ පැවැත්ම පිළිගන්නේ ඇයි දැයි නො අසති. මේ සාක්‍ෂි යනුවෙන් මාධ්‍යවේදීන් සලකන්නේ කුමක් දැයි පැහැදිලි නැත. යම්කිසි අංශුවක හෝ වස්තුවක පැවැත්මට අප සාක්‍ෂි ඉදිරිපත් කරන්නේ කෙසේ ද? පඬිවරුන් මෙන් පෙනී සිටින ජනමාධ්‍යවේදීන් ඒ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්නේ නම් මැනවි.

බටහිර විද්‍යාව අනුගමනය කරන අනුකාරකයකු පසුගිය දා කියා තිබුණේ යම්කිසි දෙයක පැවැත්ම පිළිගැනීමට නම් එය එක්කෝ ඉන්ද්‍රිය ගෝචර විය යුතු බව ය. එසේ නොමැති නම් ඒ බලා කියා ගැනීමට උපකරණයක් තිබිය යුතු බව ය. එහෙත් යමක් ඉන්ද්‍රිය ගෝචර නොවේ නම් එය උපකරණයක මාර්ගයෙන් ද බලාගත නොහැකි බව පැහැදිලි කළ යුතු ය. කිසිම විද්‍යාඥයකු ඉලෙක්ට්‍රෝනයක් හෝ ෆෝටෝනයක් හෝ චුම්බක ක්‍ෂෙත්‍රයක් හෝ නිරීක්‍ෂණය කිරීමට උපකරණයක් නිපදවා නැත. උපකරණවලින් කෙරෙන්නේ ඉන්ද්‍රිය ගෝචර දේ වඩාත් සියුම් ව , විශාලව ආදී වශයෙන් ග්‍රහණය කිරීමට අවස්ථාව ලබාදීම පමණකි.

ඉන්ද්‍රිය ගෝචර නොවන දෙයක් ඉන්ද්‍රීය ගෝචර කිරීමට උපකරණයකට නො හැකි ය. අපට චුම්බක ක්‍ෂෙත්‍රය සෘජුව ග්‍රහණය කළහැකි උපකරණයක් නැත. චුම්බක ක්‍ෂෙත්‍ර මනින උපකරණයකින් චුම්වක ක්‍ෂෙත්‍රය දැකගත නො හැකි ය. අප කරන්නේ චුම්බක ක්‍ෂෙත්‍රයකින් කාන්දමක් (චුම්බකයක්) මත ඇති කෙරෙන බලය මේ යැයි යම් උපකල්පන මත ගණනය කර ඒ බලය නිසා කාන්දම කොපමණ ප්‍රමාණයකින් චලනය වන්නේ දැයි ගණනය කර ඒ චලනය වන ප්‍රමාණය දැනගැනීමට (මැනගැනීමට) උපකරණයක් නිෂ්පාදනය කිරීම ය. අප උපකරණයෙන් මනින්නේ, දකින්නේ චුම්බක ක්‍ෂෙත්‍රය නොවන බව පැහැදිලි විය යුතු ය.

අප උපකරණයෙන කරන්නේ අපේ උපකල්පන, ප්‍රවාද අනුව කරන යම් ගණනයක් සාක්‍ෂාත් කරගැනීම පමණකි. චුම්බක ක්‍ෂෙත්‍රයෙහි තීව්‍රතාව මෙපමණක් නම් චුම්බකය (කාන්දම) මෙපමණ ප්‍රමාණයකින් (කෝණයකින්) හැරිය යුතු යැයි අපේ උපකල්පන මත අපි ගණනය කරමු. අප උපකරණයෙන් කරන්නේ මේ කෝණය දැක බලා ගැනීම හා මැන ගැනීම ය. ඒ හැරෙන්නට අපි චුම්බක ක්‍ෂෙත්‍රය නිරීක්‍ෂණය නො කරමු.

අප අත්දකින්නේ කාන්දම් කෑලි එකිනෙක ආකර්ෂණය කරන බව ය. නැත්නම් විකර්ෂණය කරන බව ය. එසේත් නැත්නම් මාලිමා යන්ත්‍රයක් වැන්නක් පොළොවේ උත්තර ධ්‍රැවය දිශාවට හැරෙන බව ය. මේ අපේ ඊනියා ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් ය. අපට පෙනෙන්නේ එවැනි සංසිද්ධි ය. මේ ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධි හෝ ඇතැමුන් කියන ආකාරයට ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ හෝ තේරුම් ගැනීමට අපට අවශ්‍ය වෙයි. තේරුම් ගැනීම යනු කුමක් ද යන ප්‍රශ්නයට දිර්ඝ පිළිතුරක් දිය යුතු නමුත් එය පසුවට කල්තැබීමට සිදු වෙයි.

එහෙත් ඉතා කෙටියෙන් නමුත් තේරුම් ගැනීම යනු ඊනියා ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ යම් සංකල්පයක් ප්‍රවාදයක් ඇසුරෙන් විස්තර කිරීම ය. එමෙන් ම කිසිම ඊනියා ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයක් හුදු ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයක් නොවන බව අමතක නොකළ යුතු ය. ඇතැම් ද්‍රව්‍යවාදීන් , යථාර්ථවාදීන් ඊනියා ඉන්ද්‍රිය ප්‍රත්‍යක්‍ෂ ගැන සඳහන් කරන්නේ හුදු සංජානන ලෙස ය. එහෙත් කිසිම සංජානනයක් සංකල්පයකින් තොර නො වෙයි. ඉර පායා ඇත යන්න හුදු ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂයක් නො වේ. එය හුදු සංජානනයක් පමණක් යැයි කිව හැක්කේ මනසක් නැතිව මොළය පමණක් ඇතැයි සිතන මොළය ඇතැයි සිතිය නොහැකි කසිකබල් මනෝ විද්‍යාඥයකුට පමණකි.

අපි ඉහත සඳහන් වාක්‍යය විශ්ලේෂණය කරමු. ඉර යනු සංජානනයක් පමණක් සහිත වස්තුවක් නො වේ. ඉර යන්න නාම පදයකි. එය සංකල්පයකි. ඒ සංකල්පය සමග විවිධ පුද්ගලයන්ට විවිධ දේ බැඳී ඇත. ඇතැමුනට එය ගිනි බෝලයකි. තවත් අයකුට ඒ හිරු දෙවියන් ය. වෙනත් අයකු එය න්‍යෂ්ඨික ප්‍රතික්‍රියා සිදුවන වස්තුවක් ලෙස දකිනු ඇත. මගේ ඉර ඔබේ හිරු නො වේ. හිරු හෙවත් ඉර යන්න සංකල්ප සහිත සංජානනයකි. පායා යන්න ද එසේ ය. එහි ද සංකල්ප වෙයි. ඉර නැගෙනහිරෙන් පායන බව බොහෝ දෙනා දනිති. පායන යන සංකල්පය නැගෙනහිරත් සමග බැඳී ඇත.

ඇතැම් පඬියන්ට නම් පායා ඇත යන්න වැරදි ය. හිරු නො පායයි. සිදුවන්නේ පොළොව තම අක්‍ෂය වටා පරිභ්‍රමණය වීම ය. ඔවුන්ට අනුව ඉර පායා ඇත යන්නෙන් කියැවෙන්නේ පොළොවේ අප සිටින පැත්ත ඉර දෙසට හැරී තිබීම ය. මේ සියල්ලෙන් පැහැදිලි වන්නේ ඉර පායා ඇත යන්න හුදු සංජානනයක් නොව සංකල්ප රාශියක් සමග බැඳී ඇති සංජානනයක් බව ය. ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධිය යන්න ෆැක්ට් (fact) යන ඉංගිරිසි වචනය සඳහා කාලෝ ෆොන්සේකා මහතාගේ ආරාධනයෙන් මාර්ටින් වික්‍රමසිංහ මහතා තැනූ ප්‍රකාශයක් යැයි කියැවෙයි. ෆැක්ට් යන වචනය මෑතක් වන තුරුම ඉංගිරිසි භාෂාවේ යොදා ගැණුනේ හුදු සංජානනයක් වෙනුවෙනි. ඒ සඳහා තනි සිංහල වචනයක් තිබී නැත. කෙසේ වෙතත් මෑතක සිට ඇතැම් බටහිරයන් ෆැක්ට්ස් යනු සංකල්ප හා ප්‍රවාද සමග සම්බන්ධ වූ ප්‍රවාද මත පරායත්ත වූ දේ ලෙස සැලකීමට පටන්ගෙන ඇත.

සිංහලයන්ට ෆැක්ට් යන්නට තනි වචනයක් නැත්තේ ආදි සිංහලයන් එවැනි හුදු සංජානන නොමැති බව දැන සිටි නිසා බව පැහැදිලි ය. නැති දෙයකට වචනයක් කුමකට ද? එහෙත් අද ජීවත්වන උගතුන් යැයි කියන අනුකාරකයන්ට බටහිරයන් ඇතැයි සිතන එහෙත් නැති දේට ද වචන තනාගැනීමට සිදු වී ඇත!