History

Monday, 8 April 2013

දෙමළ ජාතිවාදය හා අපේ විදේශ ප්‍රතිපත්තිය

අපේ පමණක් නොව ඕනෑම රටක විදේශ ප්‍රතිපත්තිය සකස් විය යුත්තේ රටේ අභ්‍යන්තර ප්‍රතිපත්තියට අනුකූල වන අයුරින් ය. රටක විදේශ ප්‍රතිපත්තිය ඒ රටෙහි අභ්‍යන්තර ප්‍රතිපත්තියෙහි විස්තීරණයක් (දිගුවක්) යැයි ඇතැම් බටහිර දේශපාලනඥයෝ පවසති. එය අමුතුවෙන් කිවයුත්තක් නො වේ. අභ්‍යන්තර ප්‍රතිපත්තිය හා විදේශ ප්‍රතිපත්තිය අතර සංගත බවක් තිබිය යුතු ය. එසේ නොවුණහොත් රට කරවීමට නො හැකි ය. අපේ විදේශ ප්‍රතිපත්තිය රටේ අභිවෘද්ධිය සඳහා සකස් කෙරුණක් විය යුතු ය. එහෙත් අපට රටේ අභිවෘද්ධිය යනුවෙන් අදහස් කරන්නේ කුමක් දැයි කිව නොහැකි නම් එවිට විදේශ ප්‍රතිපත්තිය සකස් කරගැනීමෙහි දී ප්‍රශ්න ඇතිවීම වැළැක්විය නො හැකි ය. අපට අනෙක් ප්‍රශ්නවල දී මෙන් ම විදේශීය කටයුතු පිළිබඳ ප්‍රශ්නවල දී ද ජාතික වූ ප්‍රතිපත්තියක් නැත. කිනම් පක්‍ෂයක් බලයට පත්වුවත් අනුගමනය කළ යුතු අපේ ජාතික ප්‍රතිපත්තියක් නොමැති වීම නිසා විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු දළ ජාතික ප්‍රතිපත්තියක් ගැනවත් අපට සිතාගත නො හැකි ය. ජෙනීවා හි දී ආණ්ඩුව සුළු ඡන්ද ප්‍රමාණයකින් පරාජය වීම, එනම් එහි දී සිදුකෙරුණු ක්‍රියා මාර්ගය අනුව අපේ කැමැත්තට පරිබාහිර ව කටයුතු සිද්ධවීම විශාල ප්‍රශ්නයක් යැයි පෙන්වා, අප කැමති වුවත් නැතත් අද බටහිර රටවල් හා ඔවුන්ගේ හෙංචයියන් ලංකාවට එරෙහි වීම ආදිය සිදුවන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය වැරදි නිසා යැයි කියන්නේ කෙසේ ද? එ ජා පක්‍ෂය අද ශ්‍රී ල නි ප හා රටේ අභ්‍යන්තර ප්‍රශ්න සම්බන්ධයෙන් කරන විවේචන ඉතා ප්‍රාථමික තත්වයේ ඇත. එහි නායකයන් හා ජ වි පෙ නායකයන් තවමත් අදක්‍ෂ පාසල් විවාද කණ්ඩායම්වල සාමාජිකයන්ගේ තත්වයෙන් ඉහළට පැමිණ නැත.

විදේශ අමාත්‍යාංශයෙන් පත්කෙරෙන තානාපතිවරුන්ගේ ප්‍රශ්නයක් ලෙස විදේශ ප්‍රතිපත්තිය දැකිය නො හැකි ය. තානාපති තනතුරුවලට පත්කළ යුත්තේ දේශපාලනය ගැන අත්දැකීම් ඇති අය මිස පොතෙන් පතෙන් පමණක් රාජ්‍ය තන්ත්‍රය හා ඊනියා ජාත්‍යන්තර සම්බන්ධකම් ගැන ඉගෙනගත් අය නො වේ. මේ පොතපත මුළුමනින් ම මෙන් බටහිරයන්ගේ කෘති ය. ඔවුන්ගේ ලිපි ලේඛන මගින් කියැවෙන්නේ ඔවුන්ගේ ප්‍රවාද හා සංකල්ප ය. ඒවා බටහිර යුදෙවු ක්‍රිස්තියානි නූතනත්වය (ඊනියා පශ්චාත්නූතනත්වය යනු අවුරුදු පන්සියයක් පැරණි නූතනත්වයේ ම විකාශයක් පමණකි) පවත්වාගෙන යෑමේ අරමුණෙන් නිර්මාණය කෙරුණු දැනුම් වෙයි. මෙරට බටහිර අච්චුවේ කසිකබල් විශ්වවිද්‍යාලවලින් උපාධි ලබාගෙන විදේශ සේවයට ඇතුල් වී බටහිරයන්ගේ පොතපත පමණක් කියවා ඇති නිලධාරීන්ගෙන් රටට යහපතක් සිදුවේ යැයි බලාපොරොත්තු විය නො හැකි ය. ඔවුන්ගෙන් පමණක් නොව මෙරට අනෙක් උසස් නිලධාරීන් යැයි කියන බොහෝ දෙනකුගේ ද පසුබිම එබඳු වන බැවින් රටට දෙවියන්ගේ ම පිහිට ය. විශ්වවිද්‍යලයීය ඇදුරන් ගැන කතා නොකර සිටීම කාටත් වැඩදායක ය.

අපේ විදේශ ප්‍රතිපත්තිය සකස් කිරීමට පෙර අපේ අභ්‍යන්තර ප්‍රතිපත්ති සකස්කර ගත යුතු ය. ඒ අපට අවශ්‍ය ආකාරයට මිස බටහිර සංවර්ධන මාදිලි අනුව නො වේ. ඒ සකස් කළ යුත්තේ කෙසේ ද යන්න අපි අපේ ප්‍රවාද ඇසුරෙන් තේරුම්ගත යුතු වෙමු. අප ලෝකය පණවාගන්නේ (බුදුන්වහන්සේ ලෝකය බඹයක් පමණ වූ සිරුර තුළම පණවන්නේ යැයි දේශනාකළ අරුතෙන්) බටහිරයන්ට අවශ්‍ය ආකරයට නම් අපට කිසි දා වගතුවක් නොවනු ඇත. අප ලෝකය පණවාගත යුත්තේ අපට අවශ්‍ය ආකාරයට ය. අද ඇතිවන ඊනියා සංවර්ධනය සිංහල බෞද්ධ සංවර්ධනයක් නොවන බව පැහැදිලි ය. අපට අවශ්‍ය කෙසේ වුවත් ධනය රැස්කර ගැනීම නො වේ. අවාසනාවකට අද අපේ සිංහල බෞද්ධකම දානයට, පිරිතට, මතක වස්ත්‍රයට සීමා වූ නාමමාත්‍රික එකක් බවට පත් වී තිබේ. එය පන්සිය වසරකට අධික බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයේ ප්‍රතිඵලයකි. පනස්හයේ පෙරළියෙන් පසු තුරග තරග නැවැත්වීමට අපට හැකි විය. එහෙත් ඉන් අවුරුදු පනස්හයකට පසුව අප පැමිණ ඇත්තේ කොතැනකට ද? සුරාව, සූදුව, ගණිකාවන් හා බිරිය නොවන වෙනත් ගැහැණුන් වෙත යෑම, සත්ව හා මිනිස් ඝාතන, හොරකම මෙරට සමාජයේ රජයන්නේ අප බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට යටවීම හේතුවෙනි. මෙහි පසුබිමේ ඇත්තේ පරිහාණිය සංවර්ධනය ලෙස උගන්වන පාසල් හා විශ්වවිද්‍යාලවලින් ලබාදෙන ඊනියා විද්‍යාත්මක දැනුම ය. ප්‍රත්‍යක්‍ෂයක් නොවූ බටහිර වියුක්ත දැනුම උද්ගමනයෙන් හා අනුමානයෙන් ලබාගන්නා වූ පට්ටපල් බොරු කතන්දර පමණක් වෙයි. මේ දිනවල මේ පට්ටපල් බොරු පිලිබඳ සාකච්ඡාවක් ඇතිවීම ගැන නම් සතුටු විය හැකි ය.

ජෙනීවාහි දී අපට අත් වූ පරාජයක් නැත. බටහිර ආධිපත්‍යයට යට වූ ඉන්දියාව ඇතුලු රටවල් විසිපහක් ඇමරිකානු යෝජනාවට පක්‍ෂව ඡන්දය දීමෙන් රටට අත් වූ අපකීර්තියක් නැත. අද බටහිරට විරුද්ධව අලුත් ලෝකයක් බිහිවෙමින් ඇත. අප අපේ දැනුම අනුව කටයුතු කළහොත් ඒ අලුත් ලෝකයෙහි ඉතා කීර්තිමත් රටක් වනු ඇත්තේ ලංකාව ය. මහින්ද රාජපක්‍ෂ මහතා බටහිර ගැති නොවන අලුත් ලෝකයෙහි කීර්තිමත් නායකයකු වන්නේ ද නැතහොත් මෙරට ඊනියා උගත් මධ්‍යම පාංතික නිවටයන්ට හා පුස්සන්ට (ඇංකරයන්ට) සවන් දී අපකීර්තියට පත්වන්නේ ද? ඒ මහතා කසිකබල් ඇංකරයන්ට සවන්දිය යුතු නො වේ. ලන්දේසීන්ගේ හා ඉංගිරිසින්ගේ නිර්මාණයක් වූ දෙමළ ජාතිවාදය ඉන්දියාවේ ද සහායෙන් දෙමළ ත්‍රස්තවාදයක් බවට පත්කරනු ලැබුයේ එකී ජාතිවාදය මගින් සිංහල බෞද්ධ සංස්කෘතිය වැනසීමට ය. මහින්ද රාජපක්‍ෂ මහතා බටහිරයන්ට හා ඔවුන්ට ගැති ඉන්දියාවට එරෙහිව ඉන්ද්‍රඛීලයක් ලෙස සිටිමින් දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට අයෝමය දේශපාලන නායකත්වයක් ලබාදුන්නේ ය. එමගින් ලංකාවට ද මහින්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ මහතුන්ට ද අත්වූයේ කීර්තියකි. දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට බටහිරින් හෝ බටහිර ගැති ඉන්දියාවෙන් හෝ අපට සහායක් නො ලැබුණි. අවසාන මොහොතේ දී ද බටහිරට හා ඉන්දියාවට අවශ්‍ය වූයේ ප්‍රභාකරන් බේරා ගැනීමට ය. නම්බියාර්ලා කටයුතු කළේ ඒ සඳහා ය. එහෙත් අද රාජ්‍ය නොවන සංවිධානවල ගැත්තන් කියන්නේ අපට දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට බටහිර රටවල හා ඉන්දියාවේ සහාය ලැබුණු බව ය. ඔවුන්ගේ සහාය සැමදාමත් තිබුණේ දෙමළ ත්‍රස්තවාදයට ය. එහෙත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ අයෝමය දේශපාලන නායකත්වය හමුවේ ඔවුන්ට කරකියාගත හැකි දෙයක් නැතිවිය.

දෙමළ ජාතිවාදය සම්බන්ධයෙන් ගත්කල අපේ විදේශ ප්‍රතිපත්තිය කෙසේ සකස්විය යුතු ද? ඒ සකස්කිරීම සඳහා අප පළමුවෙන් ම දෙමළ ජාතිවාදය හැදෑරිය යුතු ය. ඒ පිළිබඳ අපේ ප්‍රවාද සකස්කර ගත යුතු ය. එහෙත් අවාසනාවකට අප තවමත් දෙමළ ජාතිවාදය දකින්නේ, නිවැරදිව කියන්නේ නම් නොදකින්නේ, බටහිරයන්ගේ ඇසිනි. අපට දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකිවූයේ ඒ පිළිබඳ අපට අපේ ම වූ දැනුමක් ද තිබුණු බැවිනි. දෙමළ ත්‍රස්තවාදීන් සමග දිගින් දිගට ම සාකච්්ඡා කරන ලෙස බටහිරයන් හා ඉන්දියාව අපට බලකරද්දී ඇංකරයන් හැරෙන්නට මෙරට සිංහල ජනතාවගෙන් අති විශාල බහුතරය දෙමළ කොටි ත්‍රස්තවාදය හමුදා මෙහෙයුම්වලින් පරාජය කළ යුතු බව කියා සිටියහ. එය ජනාධිපතිතුමාට විශාල ශක්තියක් විය. එහෙත් අද අවාසනාවකට දෙමළ ජාතිවාදය ගැන ඒ මහතාට උපදෙස් දීමට සිටින්නේ එදා සාකච්ඡාවෙන් ඊනියා දෙමළ ප්‍රශ්නය විසඳිය යුතු යැයි කී අය වීම කණගාටුදායක ය. එපමණක් නොව මෙරට සිංහල ජනතාවගෙන් බහුතරයට ද දෙමළ ජාතිවාදය පිළිබඳ අවබෝධයක් නැත. ඒ බහුතරයට දෙමළ ජාතිවාදයක් ඇති බවක්වත් නොවැටහෙයි. ඔවුන් ද දන්නේ ඒ සම්බන්ධයෙන් බටහිරයන් කියන දෑ ය. බටහිර මතවාද පුනරුච්චාරණය කිරීම විශ්වවිද්‍යාලවල හා රාජ්‍ය නොවන සංවිධානවල සිටින බටහිර ගැති අනුකාරක පුස්සන්ගේ කාර්යභාරය වී ඇත. මේ එක පුස්සකු ඊළාම් ජාතික ගීයක් ද ලියූ බව මෙහි දී අමතක නොකළ යුතු ය. ඔහු ද ඔහුගේ මිතුරෝ ද ද්‍රෝහිහු වෙති. බටහිරයන්ගේ සාහිත්‍ය විචාර හා වෙනත් දැනුම් පුනරුච්චාරණය කිරීම සඳහා ඊනියා උගතුන් අවශ්‍ය නො වේ. පරිගණකවලට ද ඒ කළ හැකි ය. මෙරට පඬියකු තවත් පඬියකු සමතික්‍රමණය කිරීම යනු ඔවුන්ගේ නිර්මාණාත්මක හැකියාවන් එළිදැක්වීමක් නොව දෙවැනි පඬියා විසින් අනුකරණය කරනු ලැබූ බටහිරයකු පළමු පඬියා විසින් අනුකරණය කෙරුණු වෙනත් බටහිරයකු විසින් සමතික්‍රමණය කිරීමකි. මෙරට පඬියෝ සමතික්‍රමණය ද අනුකරණය කරති!

මා මෙහි දී බලාපොරොත්තු වන්නේ දෙමළ ජාතිවාදය යනු කුමක් දැයි පැහැදිලි කිරීම නො වේ. අපේ විදේශ ප්‍රතිපත්තිය ඒ සම්බන්ධයෙන් ගත්කල පීලි පැන ඇති බවට සාකචඡාවක් ඇරඹීම මගේ අරමුණ වෙයි. දෙමළ ජාතිවාදයක් නැතැයි යන්නත් ඇත්තේ සිංහල ජාතිවාදයක් හා බෞද්ධ ආගම්වාදයක් පමණක් බවත් උසස් පෙළ පරීක්‍ෂණයෙන් එස් සාමාර්ථ ලබාගත් පඬියන්ගේ් හා ඉන් ඉහළ සුදුසුකම් ලැබූ පඬියන්ගේ සාමාන්‍ය දැනීම බව වෙබ් අඩවිවල හා ජනමාධ්‍යයෙහි සඳහන්වන කියුම්වලින් පැහැදිලි වෙයි. දෙමළ ජනතාවට 1948න් පසුව විශාල අසාධාරණයක් සිදු වී ඇති නිසා සාකච්ඡා මගින් ඒ අසාධාරණ නැතිකිරීමට නොහැකි වූ දෙමළ ජනයා ආයුධ අතට ගත්තේ් යැයි සිතීමට බොහෝ සිංහලයන් පුහුණු කෙරී ඇත. දහතුන්වැනි සංශෝධනය හා පළාත් සභා ඒ අසාධාරණකම් නැතිකිරීමට ගෙනෙන ලද විසඳුමක් යැයි පැවසෙයි. එබැවින් දහතුන්වැනි සංශෝධනය (මෙය නීී්‍යානුකූල පණතක් නො වේ) අහෝසි කළ යුතු යැයි කී වහාම පඬියෝ එයට විකල්පයක් ඉල්ලති. බටහිරයන් හා ඉන්දියාව කුමක් කීවත් ප්‍රශ්නයක් නැති තැන විසඳුමක් හෝ විකල්පයක් හෝ අවශ්‍ය නො වේ. අප ද තවමත් දෙමළ ජනයාට අසාධාරණයක් වී ඇති බව පිලිගන්නා හෙයින් දෙමළ ජාතිවාදය සම්බන්ධයෙන් ගත්කල අපේ විදේශ ප්‍රතිපත්තිය අපට ම විරුද්ධව ක්‍රියාත්මක වෙයි. අපි බටහිරයන් හා ඉන්දියාව (මේ කඩදාසි කූට්ටමේ ජෝකරයන් වනුයේ ජයලලිතා හා කරුණානිධි බව පැහැදිලි විය යුතු ය) කියන දේ හමුවේ අසරණ වෙමු. එහි දී අපේ අසරණ බව වැඩිකිරීමට එ ජා ප හා ජ වි පෙ ක්‍රියා කරයි. පිටරට සිටින විසිරුණු දෙමළ ජනයාගේ ඡන්දය තීරණාත්මක වන බැවින් බටහිරයන්ට ඔවුන්ගේ උද්ඝෝෂණවලට ඇහුන්කම් දීමට සිිදු වී ඇතැයි බටහිරයන් කියන්නේ ඒ දෙමළ ජනයාගේ ඊනියා විරෝධය පවත්වාගෙන යනු ලබන්නේ බටහිරයන් විසින් බව වසංකිරීමට ය. බටහිර රටවල එයට වැඩි සංඛ්‍යාවක් මුස්ලිම්වරු සිටිති. එහෙත් බටහිරයෝ මුස්ලිමුන්ගේ ඡන්දය තීරණාත්මක යැයි කියමින් ඔවුන්ට සවන් දෙත් ද? අපි පළමුව දෙමළ ජාතිවාදය තේරුම් ගනිමු.

(13/04/07)