History

Monday, 8 April 2013

වගකිව යුත්තේ කවු ද?

ඉතා පැහැදිලිව ම ප්‍රශ්නය අසම්පූර්ණය. වගකිව යුත්තේ කුමකට ද යන්න එහි සඳහන් නො වේ. ඉන්දියාවේ දී භික්‍ෂූන් වහන්සේට පහරදීම, මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන්ට චෙන්නායිහි ක්‍රීඩා කිරීමට බාධක ඇතිවීම, ජෙනීවාහි දී ශ්‍රී ලංකා විරෝධී ඇමරිකන් යෝජනාව සම්මතවීම, හලාල් සහතිකය නිකුත්කිරීම, තවමත් ආසනික් අඩංගු කෘෂිරසායන රටට ගෙන්වීම, කෞතුකාගාරයෙහි තරප්පු පෙළක් කඩා වැටීම, මත්තල ගුවන් තොටුපළට ගුවන්යානා තවමත් නොපැමිණීම, මත්තල තිබෙන්නේ කොහේ දැයි බෑං කි මූන්, ඔබාමා, නවී පිල්ලෙයි ආදීන් නොදැනීම, තමිල්නාඩුවේ කරුණානිධි හා ජයලලිතා අතර ගැටුම ආදී ප්‍රශ්න රාශියකට වගකිව යුත්තේ කවු ද? මත්තල ගැන පිත්තල කතා කියන රනිල් වික්‍රමසිංහ, ඔහු සමග නායකත්ව ප්‍රශ්නයක් ඇදගෙන ඇති සජිත් ප්‍රේමදාස, රවි කරුණානායක, හර්ෂ ද සිල්වා, දයාසිරි ජයසේකර, අනුර කුමාර, ලාල්කාන්ත, ටිල්වින් සිල්වා ආදීන් පමණක් නොව ආණ්ඩුවේ ම ජාතික හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ කියන ආකාරයට නම් ප්‍රශ්නවලට වගකිව යුත්තේ ආණ්ඩුව ය. පසුව කී පක්‍ෂ සියළු ප්‍රශ්නවලට වගකිව යුත්තේ ආණ්ඩුව යැයි නො කියයි. එහෙත් ඔවුන්ට අනුව ද ඇතැම් ප්‍රශ්නවලට වගකිව යුත්තේ ආණ්ඩුව ය. ඔවුහු නායකයන් ලවා ඒ බව නොකියවා විවිධ පුද්ගලයන් හා සංවිධාන මගින් මාධ්‍ය සාකච්ඡා ඔස්සේ තම මත ප්‍රකාශ කරති. මේ එක් අයකුවත් ජනතා දේශපාලනයෙහි නො යෙදීම අරුමයක් නො වේ. ඔවුන්ට ඒ සඳහා ජන පදනමක් නැත. ඔවුන් ජනතා දේශපාලනය වෙනුවට මාධ්‍ය දේශපාලනය තෝරාගෙන ඇත්තේ එබැවිනි. අද ජනතා දේශපාලනයෙහි යෙදෙන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා පමණක් විය හැකි ය. ඒ මහතා ද මාධ්‍ය දේශපාලනයෙහි නියැදෙයි. එහෙත් ඒ මහතාගේ දේශපාලනය එයට පමණක් සීමා වී නැත. රනිල් වික්‍රමසිංහ කොළඹ හෝ වෙනත් නගරයක හෝ සිට මත්තල ගැන කතාකිරීම මහින්ද රාජපක්‍ෂ මහතාට ප්‍රශ්නයක් නො වේ. අද ජාතික ව්‍යාපාරයට ද ශක්තියක් නැත. කලකට පෙර ජාතික ව්‍යාපාරයට තිබූ ශක්තිය ඇතැම් බලලෝභී දේශපාලන පක්‍ෂ විසින් නැති කෙරී තමන් ශක්තිමත් වීමට දැරූ උත්සාහය නතර වූයේ ඒ ශක්තිය හා ජාතික ව්‍යාපාරය ද මහින්ද රාජපක්‍ෂ මහතා අතට පත්කිරීමෙනි.

ඉන්දියාවේ බ්‍රාහ්මණයෝ ද බටහිර නූතන බ්‍රාහ්මණයෝ ද සිංහලයන්ට විරුද්ධ වෙති. හලාල් අප මත බලහත්කාරයෙන් පැටවීමට තැත්කළ ද ජෙනීවාහි දී අමෙරිකන් යෝජනාවට ප්‍රධාන වශයෙන් කණ්ඩායමක් ලෙස මෙන් විරුද්ධ වූයේ මුස්ලිම් රටවල් ය. කිනම් හේතුවක් නිසා එසේ කළ ද අපේ කෘතඥතාව ඔවුන්ට හිමිවිය යුතු ය. බටහිරයන් සමග බොහෝ කලක සිට එකට කටයුතු කරන ඉන්දියාව අද ආසියාවේ තනි වී ඇත. රජිව් ගාන්ධි අපට පරිප්පු බෝම්බ හෙළුෑ අවධියේත් ඔහු ඇමරිකාව සමග එකට කටයුතු කළේ ය. ඇතැමුන්ට ඒ බව අදත් අවබෝධ නො වේ. සෝවියට් දේශය කඩා වැටීමෙන් පසු ඊනියා තුන්වැනි ලෝකය ද ඒ සමග කඩා වැටුණු බව ඇතැම් දේශපාලන විද්‍යාඥයන් යැයි කියාගන්නා අයට නොතේරෙයි. එයට හේතුව බටහිරයන් ඒ බව කියා නොතිබීම ය. ඉන්දියාව තම පැවැත්ම සඳහාත් ඊනියා කලාපීය බලවතා වීම සඳහාත් ඇමරිකාව සමග එකට කටයුතු කළේ ය. ඇතැමුන් හිතන්නේ එදා බටහිර කුමන්ත්‍රණයක් තිබූ බවත් ඉන්දියාව එහි දී ප්‍රතිකුමන්ත්‍රණයක් නිර්මාණය කළ බවත් ය. එහෙත් ඒ ප්‍රතිකුමන්ත්‍රණයක් නොවන බවත් මෙහි කිසිම කුමන්ත්‍රණයක් නැති බවත් දේශපාලන බල තුලනය අනුව යම් යම් දේ සිදුවන බවත් සතිපතා මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරන්නන්ට නො තේරෙයි. වරක් ඉන්දියාවට බැණ වදින මොවුහු තවත් වරෙක ඉන්දියාව අපේ ලොකු අයියා යැයි ද ලොකු අයියා අප හදාගැනීමට ටොකු අණින්නේ යැයි ද පවසති. පසුගිය දා පුවත්පත්වල පළ වූ කරුණුවලට අනුව ඇත්තේ ඉන්දියාවේ ඊනියා ප්‍රතිකුමන්තුණයක් නොව ඇමරිකාව සමග වූ ඒකාබද්ධ කුමන්ත්‍රණයකි. මෙවැනි අසංගත ප්‍රකාශ කරන්නන් සමග කිනම් ජාතික ව්‍යාපාරයක් ද? ඊනියා ප්‍රතිකුමන්ත්‍රණය ඒකාබද්ධ කුමන්ත්‍රණයක් බවට පත්වූයේ කිනම් දේශපාලන හේතු මත ද? ඉන්දිරා ගාන්ධි කොටින්ට උදවු කළේ ඊනියා ප්‍රතිකුමන්ත්‍රණයක් ලෙස නො වේ. ඒ සිංහල බෞද්ධ විරෝධී බ්‍රාහ්මණ දේශපාලනය ය. බමුණෝ ජේ ආර් ගේ කියුම් කෙරුම් මගින් තම දේශපාලනය වසංකළහ.

අද කළ යුත්තේ ඉන්දියාව තව තවත් ආසියාවේ තනිකර බ්‍රාහ්මණ දේශපාලනය ඉන්දියාවෙන් පළවා හැරීමට කටයුතු කිරීම ය. අප තමිල්නාඩු කොලොප්පම ද (දෙමළ වචනයකි) ඒ සඳහා යොදාගත යුතු ය. මහින්ද රාජපක්‍ෂ මහතා ඉන්දියාවේ බ්‍රාහ්මණ නොවන දේශපාලනඥයන් සමග සම්බන්ධකම් ඇතිකර ගත යුතු ය. අප අමතක නොකළ යුතු කරුණ නම් නේරු පවුල ද රෝ සංවිධානය ද ඉන්දියාවේ පරිපාලනය ද බ්‍රාහ්මණ බව ය. ඉන්දියාව නිදහසෙන් පසුව පාලනය වනුයේ බ්‍රාහ්මණයන්ට අවශ්‍ය අන්දමට ය. ඉන්දියාවේ බ්‍රාහ්මණයෝ ද බටහිර බ්‍රාහ්මණයෝ ද සිංහල බෞද්ධයනට එරෙහිව කලකට පෙර අත්වැල් බැඳගත්තෝ ය. සොල්හයිම්ලා නිතර දෙවේලේ ඉන්දියාවට ආවේ ගියේ ඇතැමුන් ඉන්දියාව ලොකු අයියා ලෙස සලකමින් ඉන්දියන් මහාකොමසාරිස්වරියන් හමුවීමට යන කාලයේ දී ය. දේශපාලනය කුමන්ත්‍රණ ලෙස දකින්නන්ට තේරෙන දේශපාලනයක් නැත. ඊනියා දෙවැනි ලෝක සංග්‍රාමයෙන් හා බර්ලින් තාප්පය කඩාවැටීමෙන් පසුව ලෝක දේශපාලනය ගමන්ගන්නා මාවත ගැන මෙන් ම දෙමළ ජාතිවාදය ගැන ද මනා අවබෝධයක් නොමැතිව අයට කළ හැක්කේ සියල්ලට ම වගකිව යුත්තේ ආණ්ඩුව බව පැවසීම හෝ ඊනියා කුමන්ත්‍රණ, ප්‍රතිකුමන්ත්‍රණ, ඒකාබද්ධ කුමන්ත්‍රණ ගැන හිතළු කියවීම පමණ ය.

අද ලෝකයේ, එනම් බර්ලින් තාප්පය කඩාවැටීමෙන් පසු, බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට හා ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට ප්‍රශ්න වී ඇත්තේ මුස්ලිම් චින්තනය හා ථෙරවාදී බෞද්ධ චින්තනය ය. ථෙරවාදී රටවලට විශාල හමුදා ශක්තියක් නැතත් මානව හා පරිසර හිතකාමී චින්තනයක් ඇත. බටහිර විනාශකාරී චින්තනයට විකල්පයක් විය හැක්කේ ඒ චින්තනයට පමණකි. ථෙරවාදී රටවල්වලට එතරම් හමුදා ශක්තියක් නැතත් ලංකාව, තායිලන්තය, මියන්මාරය, කම්පූචියාව ද ථෙරවාදයට සමීප වියට්නාමය ද විදේශීය ආක්‍රමණවලට ඉතා ප්‍රශංසනීය ව මුහුණ දී ඇත. පඬියන් ඔවුන්ගේ බුදුදහමක මුවාවෙන් සිංහල බෞද්ධයන් දෙමළ ත්‍රස්තවාදයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ග ගැනීමෙන් වැළැක්වීමට කටයුතු කළ ද අපේ රණවිරුවෝ නොසැලෙන දේශපාලන නායකත්වයක් යටතේ ප්‍රභාකරන් පැරදවූහ. සිංහල බෞද්ධයන් වෙනත් සිංහලයන්ගේ ද ඇතැම් මුස්ලිමුන්ගේ ද, දෙමළ කිහිප දෙනකුගේ ද ආධාරය ඇතිව පැරදවූයේ ප්‍රභාකරන් පමණක් නො වේ. සිංහල බෞද්ධයෝ ඉන්දියන් බමුණන් ද බටහිර බමුණන් ද පැරදවූහ. ඒ ඓතිහාසික ජයග්‍රහණය බටහිරයන්ගේ හා ඉන්දියාවේ ආධාරයෙන් ලබාගත් එකක් බවට මතයක් ඇතිකිරීමට ඇතැම් පඬියන් කටයුතු කරනු පෙනෙන්නට ඇත. මේ කුලීකාර පඬියන් බටහිරයන් හා ඉන්දියාව වෙනුවෙන් කරන මේ උත්සාහය ලත් තැන ම ලොප් කළ යුතු ය. අප ජයග්‍රහණය කළේ අපේ ශක්තියෙන් බටහිර හා ඉන්දියාව අපට විරුද්ධව ක්‍රියා කරද්දී ය. ප්‍රභාකරන් ගෙන යෑමට නම්බියාර් වැන්නන් නැව් හා ගුවන් යානා ගෙන්වා ගැනීමට කටයුතු කළ ආකාරය අප කිසි දිනෙක අමතක නොකළ යුතු ය. අප හමුදාව විසින් පරාජය කරනු ලැබුයේ ප්‍රබල බටහිර හා ඉන්දීය ශක්තිය ය.

එය අප අද ඊයේ කළ දෙයක් නො වේ. දකුණු භාරතීය ද්‍රවිඩ ආක්‍රමණ රාශියකට මුහුණ දුන් අපි ඔවුන් පරාජය කළෙමු. අපි පෘතුගීසීනට, ලන්දේසීනට, ඉංගිරිසින්ට යටත් නො වීමු. අවසානයේ දී අප පරාජය වූයේ ඉංගිරිසින්ගේ දැනුමට ය. විශේෂයෙන් ම ඔවුන්ගේ කූට ගිවිසුම්වලට ය. 1815 දී ඩොයිලි පරාජය කිරීමට තරම් දැනුූමක් අපට නො වී ය. අපි ඉංගිරිසි ගැටයට හසු වී ගිවිසුමකින් ඔවුන්ට රට භාර කළෙමු. ඉන්පසු මෑතක දී කුප්‍රසිද්ධ ඉන්දු ලංකා ගිවිසුමෙන් ඉන්දීය බ්‍රාහ්මණ ගැටයකට හසුවීමු. දහතුන් වැනි සංශෝධනය ද එහි ප්‍රතිඵලයක් විය. සටන් කිරීමේහි ලා අප පැරදවීමට සමතකු නැත. විවිධ පඬියන් අප කොටින්ට විරුද්ධව හමුදා ක්‍රියා මාර්ග නොගෙන ඊනියා සාම සාකච්ඡා සඳහා මෙහෙයවූයේ බටහිරයන්ට අවශ්‍ය වූයේ අප ඊනියා සාම ගිවිසුමකින් බැඳ තැබීම හේතුකොටගෙන ය. එහෙත් අපි කෙසේ නමුත් හමුදා ක්‍රියා මාරගවලට යොමු වූයෙමු. එහෙත් ඉන්දිය හා බටහිර බමුණන් තම අරමුණ නැතිකරගෙන නැති බව පැහැදිලි ය. බටහිරයන් හා ඉන්දියාව ජෙනීවාහි දී ක්‍රියාකරන්නේ නැවතත් අප ගිවිසුම්වලින් බැඳ තැබීමට ය. ජෙනීවා මානව හිමිකම් සමුළුව අපි ප්‍රතික්‍ෂෙප කරමු. එහි පළමු පියවරක් ලෙස නවී පිල්ලෙයිගේ (ඇතැම් විට වෙල්ලාල) හිතුවක්කාර ක්‍රියාවලට අප්‍රසාදය පළකරන යෝජනාවක් මෙරට පාර්ලිමේන්තුවේ සම්මත කර ගත යුතු ය. අපි ජෙනීවා යෝජනා ප්‍රතික්‍ෂෙප කරමු.

කොටින්ට එරෙහිව කරන ලද මෙහෙයුම්වල දී බටහිර හා ඉන්දීය බලපෑම්වලට ඉන්ද්‍රඛීලයක් සේ මුහුණදුන් මහින්ද රාජපක්‍ෂ මහතාට ඊනියා මානව හිමිකම් පිළිබඳ ව්‍යාජ චෝදනාවලට මුහුණ දීම ප්‍රශ්නයක් නො වේ. බටහිරයන් ඉදිරිපත් කරන ව්‍යාජ වීඩියෝ පිළිබඳ අප සැලකිල්ල යොමුකළ යුතු නො වේ. ඔවුන්ගේ යෝජනා සතපහකටවත් මායිම් කළ යුතු නො වේ. මෙරට සංස්කෘතිය සමග කිසිම සම්බන්ධයක් නැති රනිල්ලාට දයාන්ලා ට තීරණ ගැනීමේ දී අප සවන් දිය යුතු නො වේ. ජෙනීවාහි දී අප රටට වූ අපකීර්තියක් නැත. බටහිරට හා ඉන්දියාවට නොබියව මුහුණ දීමෙන් ඔවුන්ට ගැති නැති රටවල් අතර අපට අත්වනු ඇත්තේ කීර්තියකි. ලෝකයේ යටත්විජිත විරෝධී නායකයන් අතර සුවිශේෂ තත්වයක් මහින්ද රාජපක්‍ෂ මහතාට හිමිවනු ඇත. අද අප කළ යුත්තේ පණතක් නොවූ දහතුන්වැනි සංශෝධනය හා පළාත්සභා අහෝසිකිරීම පිළිබඳ පියවර ගැනීම ය. උගත් පාඩම් හා සන්හිඳියා කොමිසම ආණ්ඩුවෙන් පත්කළ ද එහි යෝජනා ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව බැඳී නැත. ඇතැම්විට ඒ ක්‍රියාත්මක කරන්නේ යැයි ආණ්ඩුව පොරොන්දුවන්නට ඇත. එහෙත් අද එයට විරුද්ධව ප්‍රබල ජනමතයක් ගොඩ නැගී ඇත. එබැවින් ආණ්ඩුව පොරොන්දුවක් දී තිබුණ ද ජනමතයට කන් දී ඒ පොරොන්දු අස්කර ගත හැකි ය. ආණ්ඩුව සවන්දිය යුත්තේ රටවැසියාට මිස ජෙනීවා කොමිසමට හෝ ඔබාමාට හෝ නවී පිල්ලෙයිට හෝ නො වේ. තමිල්නාඩුවේ චෝලයන්ට එරෙහිව අනෙක් ප්‍රාන්ත සමග ආණ්ඩුව පැරණි රජවරුන් ක්‍රියාකළ ආකාරයට කටයුතු කළ යුතු ය.