History

Saturday, 18 May 2013

මාක්ස්වාදය හා දැනුම් ගස්


ගුණදාස අමරසේකර මහතාට අනුව එක්තරා ලේඛකයකු කියා ඇත්තේ රුසියාවේ විප්ලවය සිදුවූයේ මාක්ස්වාදයට අනුව නොව එහි ජාතික චින්තනයට (national thought) එකඟව බව ය. රුසියන් විප්ලවය රුසියාවේ ජාතික චින්තනයට එකඟව සිදු වී නම් ඉන් අවුරුදු අසූවක් ගතවීමට පෙර සෝවියට් දේශය කඩාවැටී රුසියාව ඇතුළු විවිධ රාජ්‍ය බිහිවූයේ කෙසේ ද යන ප්‍රශ්නයට ද ජාතික චින්තනය ඇසුරෙන් පිළිතුරු සැපයිය යුතු ය. ජාතික චින්තනය නමැති විසිරුණු අදහසට අනුව එයට පිළිතුරු සැපයිය නො හැකි ය. එමෙන් ම මාක්ස්වාදයට ද එයට පිළිතුරු නැත. චාවේස් කස්ත්‍රෝ ආදී පුද්ගලයන් බිහිවන්නේත් ඒ රටවල ඊනියා සමාජවාදී හෝ මානව හිතවාදී හෝ රාජ්‍ය බිහිවන්නේ කෙසේ ද ආදී ප්‍රශ්නවලටත් ජාතික චින්තන අදහස්වලින් හෝ මාක්ස්වාදයෙන් හෝ පිළිතුරු නො ලැබෙයි.

අප මේ කරුණු සාකච්ඡා කරන්නේ දැනට අවුල් ව ප්‍රචාරය වී ඇති මතිමතාන්තර කිහිපයක් නිරවුල් කරගැනීම සඳහා ය. අනෙක් පැත්තෙන් අපේ ප්‍රවාද ගැන ද පැහැදිලි කිරීමට ඒ උපයෝගී කරගත හැකි ය. පළමුකොට ම මාක්ස්වාදය ගැන කෙටි සටහනක් අවශ්‍ය වෙයි. බටහිර විද්‍යාවේ බටහිර දාර්ශනිකයකු වූ කාල් පොපර් මාක්ස්වාදය හා සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඇරඹූ මනෝ විශ්ලේෂණය විද්‍යාව, එනම් බටහිර විද්‍යාව, නොවේ යැයි ප්‍රකාශ කර ඇති නමුත් මෙරට පොපර්වාදීහු ද ඒ බව අමතක කරති. ඔවුහු පොපර් අනුව යමින් ජ්‍යොතිෂය පමණක් බටහිර විද්‍යාව නොවේ යැයි පවසති. මේ කන්න වුවමනා වූ විට කබරගොයා තලගොයා කර ගැනීමකි. මේ ඇතැමුනට අනුව මෑත කාලයේ බටහිර විද්‍යාවේ පහළ වූ දැවැන්තයෝ අයින්ස්ටයින්, ඩාවින්. මාක්ස් හා ෆ්‍රොයිඩ් වෙති. එහෙත් බටහිර විද්‍යාවේ මහා දාර්ශනිකයා ලෙස මෙරට ඇතැමුන්ගේ සැලකිල්ලට පාත්‍රවන පොපර් ඉන් දෙදෙනකු ම ප්‍රතික්‍ෂෙප කරයි.

පොපර් බටහිර විද්‍යාව අනෙක් දැනුම් පද්ධතීන්ගෙන් වෙන්කර ගැනීම සඳහා නිර්ණායකයක් ඉදිරිපත් කළේ ය. ඒ අන් කිසිවක් නොව බටහිර විද්‍යාවේ ප්‍රවාද අසත්‍යකරණයට ලක්කර හැකි බවත් එහෙත් අනෙක් දැනුම් පද්ධතීන්හි ප්‍රවාද හෝ මතවාද හෝ වෙනත් දැනුමක් හෝ එසේ අසත්‍යකරණයට ලක්කිරීමට නොහැකි බවත් ය. පොපර්ගේ අසත්‍යකරණය පිළිබඳ විවේචන බටහිර ම කිහිප දෙනකු අතින් පළ වී ඇත. තමන් එකිනෙකා ප්‍රාඥයන් ලෙස හඳුන්වාගන්නා බොහෝ දෙනා පොපර්ගෙන් ඈතට නො යති. ඔවුන් පොපර්ගේ මත ගැන ද එතරම් හොඳින් අධ්‍යයනය කර නොමැති බව පැහැදිලි ය.

පොපර්ට අනුව බටහිර විද්‍යාවේ ප්‍රවාද සත්‍ය ද අසත්‍ය ද බව දැනගැනීම සඳහා පර්යේෂණ කළ හැකි ය. එහෙත් ඔහු පවසන්නේ මාක්ස්වාදයේ හෝ ජ්‍යොතිෂයේ හෝ දැනුම අසත්‍යකරණයට ලක්කළ නො හැකි බව ය. ඔහුට අනුව යමකුගේ කේන්ද්‍රය බලා ජ්‍යෙතිෂ්ශාස්ත්‍රඥයකු පළකළ අනාවැකියක් ඵල නොදැරුවහෙත් ජ්‍යෙතිෂ්ශාස්ත්‍රඥයා එය ඵල නොදැරුවේ ඇයි ද යන්නට වෙනත් හේතුවක් කියනු ඇත. එබැවින් ජ්‍යොතිෂයේ දැනුම කිසි දිනෙක අසත්‍ය වන්නේ නො වේ. එමෙන් ම මාක්ස්වාදයේ ද අනාවැකි ඵල නොදරන විට මාක්ස්වාදීහු විවිධ හේතු දැක්වීමට ඉදිරිපත් වෙති.

මාක්ස්ගේ මාක්ස්වාදයට අනුව ඊනියා කම්කරු පංති විප්ලවය මුලින් ම සිදුවීමට තිබුණේ බටහිර යුරෝපයේ ඊනියා දියුණු රටවල ය. විශේෂයෙන් ම එංගලන්තයේ ය. එහෙත් එය එසේ සිදුනොවී ය. පසුකාලීන මාක්ස්වාදීහු එසේ සිදුනොවූයේ ඇයි ද යන්න තේරුම් කිරීම සඳහා විවිධ හේතු ඉදිරිපත් කළහ. පොපර්ට අනුව ගොස් මාක්ස්වාදීහු මාක්ස්වාදය අසත්‍යකරණයට ලක් නො කළහ. මාක්ස්වාදීන් දැක්වූ එක් හේතුවක් වූයේ ඊනියා දියුණු රටවල කම්කරු පංතියේ නායකත්වය එක්කෝ බිහි වී නො තිබීම ය. එසේත් නැතහොත් කම්කරු පංතියේ නායකත්වයේ පාවාදීම් ය.

ඊනියා කම්කරු පංති විප්ලවය නොසිදු වූ ඕනෑම රටක මේ කතාව කියා ගැලවී යෑමට මාක්ස්වාදීහු පුරුදු වී සිටිති. ලංකාවේ ද ඊනියා කම්කරු පංති නායකත්වයේ පාවාදීම් ගැන නිතර කියැවෙයි. එහෙත් පාවා නොදුන්නේ යැයි කියන නායකත්වයට ද ඊනියා කම්කරු පංති විප්ලවය සාක්‍ෂාත් කරගැනීමට නොහැකි වී ඇත. එය එසේ වී ඇත්තේ ඇයි දැයි තමන් පාවා දී නැතැයි කියන නායකයෝ තේරුම් කර නො දෙති.

ඊනියා කම්කරු පංති නායකයන් බිහි නොවන්නේ නම් හෝ පාවා දෙන්නේ නම් හෝ මාක්ස්වාදීන් කළ යුත්තේ එසේ වීම තේරුම් ගැනීම සඳහා ප්‍රවාද ඉදිරිපත් කිරීම ය. එහෙත් ඔවුහු එසේ නොකරති. එක්කෝ වත්මන් මාක්ස්වාදීහු නිර්මාණශීලී නො වෙති. නව ප්‍රචාදයක් ඉදිරිපත් කිරීමට නිර්මාණශීලී හැකියාවක් තිබිය යුතු ය. ප්‍රවාදයක් ඉදිරිපත් කිරීම යනු කතන්දරයක් ගෙතීමකි. කතන්දරයක් ගෙතිය හැක්කේ නිර්මාණශීලී පුද්ගලයකුට ය. එපමණක් නො වේ. ප්‍රවාද නිර්මාණය කෙරෙන්නේ යම් චින්තනයක් පදනම් කරගනිමින් යම් සංස්කෘතියකට සාපේක්‍ෂ ව ය.

බොහෝ දෙනාට බටහිරයන් විසින් කියා දෙනු ලබන දැනුම පිළිබඳ දැනුමට අනුව ඇත්තේ එක් දැනුමකි. එය මුළු ලෝකයට ම පොදු ය. ඒ ඒ කාලවල දී භාරතයේ, චීනයේ, ග්‍රීසියේ නැතහොත් වෙනත් රටක දැනුම වර්ධනය වන්නට ඇත. එය නිර්මාණයක් යැයි පොදුවේ ගත්කල බටහිරයෝ නො කියති. ඔවුන්ට අනුව දැනුම සොයා ගැනෙයි. එහෙත් මේ සොයාගැනීම පිළිබඳ විශ්වාසය පොපර්ගේ අසත්‍යකරණ ප්‍රවාදයට එකඟ නො වේ. දැනුම සොයා ගැනෙන්නක් නම් එය අසත්‍ය වන්නේ කෙසේ ද? මිනිස්සු අසත්‍ය දැනුම් ද සොයා ගනිත් ද?

චීනයේ හෝ ග්‍රීසියේ හෝ වර්ධනය වූ දැනුමක් දැන් බටහිර යුරෝපයට ගොස් තිබෙන්නට හැකි ය. බටහිරයන්ට අනුව චීනයෙන් බටහිරට ගිය වෙඩි බෙහෙත් මාලිමා යන්ත්‍රය ආදිය පිළිබඳ දැනුම හා දැන් ඒ සම්බන්ධයෙන් බටහිරයන් සතු දැනුම එකකි. එසේත් නැත්නම් පැරණි දඹදිවෙන් අරාබිය ඔස්සේ බටහිරට ගිය ගණිතය අද බටහිර ඒ සම්බන්ධයෙන් ඇති ගණිතය වෙයි. එහෙත් දඹදිව තිබූ වීජය බටහිර අද ඇති වීජය මෙන් වියුක්ත නොවන බව බටහිරයෝ නො කියති. එසේත් නැතහොත් චීනයෙහි වෙඩි බෙහෙත් පිළිබඳ දැනුම තිබුණමුත් චීන ජාතිකයන් බටහිරයන් මෙන් නොව තුවක්කු නිෂ්පාදනය නොකළ බවත් බටහිරයෝ අපට නො කියති.

ලෝකයේ කිසිම දවසක එකම දැනුමක් පමණක් තිබී නැත. බටහිරයන් කියන ආකාරයට ලෝකයේ ඇත්තේ එක් දැනුම් ගහකි. මේ දැනුම් ගහ විවිධ පුද්ගලයන් අතින් වර්ධනය වෙයි. ඒ පුද්ගලයෝ විවිධ ජාතීන්ට, විවිධ ජනවර්ගවලට හා විවිධ සංස්කෘතීන්ට අයත් වෙති. බටහිරයන්ට අනුව මේ දැනුම් ගහ ලෝකයට ම පොදු ය. බටහිරයන් කියන දේ දොහොත් මුදුන් දී පිලිගැනීමට පුරුදු කෙරී ඇති මෙරට ඊනියා උගතුන්ට අනුව ද ලෝකයේ ඇත්තේ එකම දැනුමකි. ඒ දැනුම අද ලෝකයේ පාසල්වල හා විශ්වවිද්‍යාලවල බෙදා හැරෙයි.

එහෙත් මෙරට සිටින උගතුන්ට මේ දැනුමට කිසිවක් එකතුකිරීමට නොහැකි වී ඇත. එයට හේතුව ලෙස මේ උගතුන් පෙන්වා දෙන්නේ බටහිර රටවල මෙන් පහසුකම් මෙරට නැති බැවින් ඔවුන්ට නව දැනුමක් සොයා ගැනීමට නොහැකි වී ඇති බව ය. එහෙත් අද මෙරටින් ඇමරිකාවට හා වෙනත් බටහිර රටවලට ගොස් විශ්වවිද්‍යාලවල හා වෙනත් පර්යේෂණ ආයතනවල ඊනියා පර්යේෂණ කරන්නෝ වෙති. ඔවුන්ගෙන් ඇතැමෙක් විශ්වවිද්‍යාලවල මහාචාර්යවරු වෙති. අධ්‍යයන අංශවල ප්‍රධානීහු වෙති. එසේත් නැතහොත් පර්යේෂණ ආයතනවල ප්‍රධාන තනතුරු දරති.

එවැන්නන්ට පහසුකම් නැතැයි කිව නො හැකි ය. එහෙත් ඔවුන්ගෙන් බටහිර විද්‍යාවට හෝ වෙනත් බටහිර දැනුමකට වී ඇති සෙත කුමක් ද? ඔවුන් “සොයා ගත්” මූලික දැනුමක් වේ ද? ඔවුන්ගේ ඊනියා පර්යේ’ෂණ කූන් කී ආකාරයෙන් නම් ගැටළු විසඳීමට සීමා වී ඇත. එසේ නම් මේ උගතුන්ට සිදු වී ඇත්තේ කුමක් ද? ඔවුහු බටහිරයන් තරම් දක්‍ෂ නො වෙත් ද? මේ උගතුන්ට මෙවැනි ප්‍රශ්නයක් ඇති බවවත් නො වැටහෙයි. ඒ තරමට නම් ඔවුහු අදක්‍ෂයෝ වෙති. ප්‍රශ්නයකට විසඳුමක් දිය හැක්කේ ප්‍රශ්නයක් ඇති බව වටහාගත් අයකුට ය. මොවුන්ට ප්‍රශ්නයක් ඇති බවවත් නො වැටහෙයි.

මේ බටහිර ගැති, බටහිරයන් විසින් පුහුණු කෙරී ඇති ඊනියා උගතුන්ට නොතේරුණ ද ලෝකයේ බොහෝ දැනුම් ගස් ඇත. මේ දැනුම් ගස් විවිධ ය. ඇපල් ගස් හා පොල් ගස් යනු එකම වර්ගයේ ගස් නො වේ. ලංකාවේ ඇපල් ගස් නො වැවෙයි. ඇතැම් විටෙක කෘත්‍රීම පරිසරයක් මවා ඇපල් ගස් ලංකාවේ වැවීමට හැකියාවක් ඇත. එමෙන් ම කෘත්‍රීම පරිසරයක එංගලන්තයේ පොල් වැවිය හැකි ය. ලන්ඩන් නුවර කිව් උද්‍යානයෙහි කෘත්‍රීම පරිසරයක පොල් ගසක් වවා ඇත. (පේරාදෙණියේ උද්භිද උද්‍යානය නිර්මාණය කර ඇත්තේ කිව් උද්‍යානයේ අනුකරණයක් ලෙස ය.)

අද ලංකාවේ ද දැනුම් ගසට ඇත්තේ ඇපල් ගස පමණකි. මේ ඇපල් ගස් කෘත්‍රිම ව පාසල්වල හා විශ්වවිද්‍යාලවල වැවෙන්නට සලස්වා ඇත. ලෝකයේ ඇති එකම දැනුම් ගස ඇපල් ගස යැයි අපට ඉගැන්වෙයි. මෙරට කෘත්‍රීම ව අවුරුදු දෙසියයකට ආසන්න කාලයක් තිස්සේ ඉංගිරිසින් මුල දී පාසල්වල හා පසුව විශ්වවිද්‍යාලවල ද ඇපල් දැනුම් ගස් වවා ඇති නමුත් ඒවා වඳ පීදෙයි. එහි ගෙඩි හට නො ගනියි. අපි අපේ පාසල්වල හා විශ්වවිද්‍යාලවල පොල් වැවීමට උනන්දුවක් නො ගනිමු.

විවිධ දැනුම් ගස් ඵල දරන්නේ විවිධ පරිසරවල ය. අපට දැනුම නිර්මාණය කළ හැක්කේ අපේ දැනුම් ගසෙහි ය. අපට දැනුම නිර්මාණය කළ හැක්කේ අපේ චින්තනය මත පදනම් ව අපේ සංස්කෘතියට සාපේක්‍ෂව ය. අපට වෙනත් චින්තන මත පදනම් ව වෙනත් සංස්කෘතීන්ට සාපේක්‍ෂව දැනුම නිර්මාණය කළ නො හැකි ය. අපේ උගතුන්ට බටහිර විද්‍යාවෙහි දැනුම, එනම් මූලික දැනුම නිර්මාණය කළ නොහැක්කේ අපේ උගතුන්ට බටහිර චින්තනය නොමැති බැවිනි. ඔවුන් බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි නොමැති වා පමණක් නො වේ. ඔවුහු බටහිර යුදෙවු ග්‍රීක සංස්කෘතියෙහි ද නො වෙති.

අපට බටහිර දැනුමට යමක් එකතු කිරීමට අප ඒ චින්තනයෙහි ජීවත්විය යුතු ය. අපේ නිර්මාණශීලීත්වය මතුවන්නේ අපේ සංස්කෘතියට සාපේක්‍ෂව ය. දැනුම් නිර්මාණය සඳහා නිර්මාණශීලීත්වය තිබීම පමණක් ප්‍රමාණවත් නො වේ. අප ඒ සඳහා අපේ චින්තනය පදනම් කරගත යුතු ය. මෙරට සිටින මාක්ස්වාදීන් ඉතා වැඩි දෙනකුට නිර්මාණශීලීත්වය යන්න ම නොතේරෙයි. ඔවුහු අංක එකේ අනුකාරකයෝ වෙති. ඔවුන්ට මාක්ස්ගේ ලෙනින්ගේ ට්‍රොට්ස්කිගේ වචන ඒ ඒ ගුරුකුලය අනුව දේව භාෂිත වෙයි.

ඔවුන් මේ සම්බන්ධයෙන් වඩාත් ම යොදාගන්නා වචනය ගැලැප්පීම ය. මාක්ස්වාදය මෙරටට ගලප්පන්නේ කෙසේ ද යන්න ඇතැමුන්ගේ සාකච්ඡාවට භාජනය වෙයි. ඇතැමුනට ඒ පිලිබඳවවත් හෝඩුවාවක් නැත. ඒ අයට ගැලැප්පීම යන්න ම මාක්ස්වාදය විකෘත කිරීමකි. ගැලැප්පීම යන්න එතරම් තේරුමක් ගෙන දෙන වචනයක් නො වේ. ගුණදාස අමරසේකර මහතාට අනුව මෙරට ජාතික චින්තනයෙහි දර්ශනය මාක්ස්වාදය ය. ඔහු අබුද්දස්ස යුගයක් කෘතිය පළකළ කාලයෙහි සිට අද දක්වා ම ඒ අදහස දරයි. ඔහුට ද අවශ්‍ය එක්තරා ආකාරයක ගැලැප්පීමකි. ඔහු එයට සහවාසය යන නම යොදාගනියි.
(13/05/08)

නලින් ද සිල්වා