History

Sunday, 30 June 2013

ජනපති අත ශක්තිමත් කරමු

අපකීර්තිමත් ඉන්දු ලංකා ගිවිසුම අහෝසි වී බොහෝ කල් ය. එය කැඩුවේ ඉන්දියාව ය. එබැවින් ඒ ගිවිසුම අනුව පළාත් සභා අහෝසි කිරීමට හෝ එහි ඇතැම් වගන්ති සංශෝධනය කිරීමට නොහැකි යැයි කීමට ඉන්දියාවට කිසිම අයිතියක් නැත. හැරත්  ඉන්දු ලංකා ගිවිසුමෙන් ජේ ආර් ජයවර්ධන මෙරට ස්වෛරීභාවය පාවා දී ඇත. මෙරට සංස්කෘතිය දුර්වල කිරීමට පියවර ගැනීම මදිවාට ස්වෛරීභාවය ද පාවා දීමට කටයුතු කළ මේ පුද්ගලයා නිවටයකු පමණක් නොව ද්‍රෝහියෙක් ද විය. ඔහු බටහිරයන් හමුවේ ද ඉන්දියාව හමුදාවේ වැඳ වැටුණේ ය. එහෙත් ඔහු ගැන කතා කිරීමෙන් පමණක් ඔහු අපට ඇතිකළ ප්‍රශ්න විසඳාගත නො හැකි ය. මේ ප්‍රශ්න විසඳාගත හැක්කේ කෙසේ ද කවුරුන් මගින් ද? අපට මූලික ප්‍රශ්න තුනක් ඇත. ඒ විය යුතු පරිද්දෙන් ම දේශපාලන, ආර්ථික හා සංස්කෘතික ක්‍ෂෙත්‍රවල ය.

අප ලැබූ සීමිත නිදහසෙන් පසුව එ ජා පක්‍ෂයෙන් ඒ එක් ක්‍ෂෙත්‍රයකවත් අපට අවශ්‍ය සංවර්ධනයක් නො ලැබිණි. මෙරට ජනතාව වැඩිකල් නොගොස් ම එ පෙරමුණ බලයට පත්කළේ එබැවිනි. එහි ප්‍රධාන පක්‍ෂය වූයේ ශ්‍රී ල නි පක්‍ෂය ය. එය මෙරට ජාතිකත්වයේ පක්‍ෂය විය. එනම් සිංහලත්වයේ පක්‍ෂය විය. එය එසේ වූයේ ජිම් මුණසිංහ, ස්ටැන්ලි සොයිසා ආදීන් එහි නායකත්වයේ සිටි නිසාවත් පසුව චන්ද්‍රිකා කුමාරතුංග පක්‍ෂයේ බලය ලබාගත් නිසාවත් නොව ඒ පක්‍ෂයට ඡන්දය දෙන ජනතාව සිංහලත්වය අගය කළ හා පිළිගත් නිසා ය. ජිම් මුණසිංහලා පක්‍ෂයේ නායකයන් වීමට උත්සාහ නොකළ නමුත් පසුව මාක්ස්වාදය කටගාගත් කුමාර් රූපසිංහ ජනවේගය කල්ලිය සංවිධානය කිරීමෙන් හා විජය කුමාරතුංග තම නළු ජනප්‍රියභාවය යොදාගනිමින් පක්‍ෂ නායකත්වයට පත්වීමට උත්සාහ කළහ. මේ දෙදෙනාම බෞද්ධයන් නොවූ අතර බෞද්ධයනට පක්‍ෂපාතීත්වයක් දැක්වී යැයි ද කිව නොහැකි ය. ඔවුන් දෙදෙනාම බණ්ඩාරනායක දියනියන් සමග විවාහ වීමෙන් ද පක්‍ෂ නායකත්වයට අනියම් සුදුසුකමක් ලබා ඇති බව ඇතැමුන්ට දැනෙන්නට විය. කුමාර් රූපසිංහ පසුකලෙක යුරෝපයේ ජීවත් වෙමින් රාජ්‍ය නොවන සංවිධානයක් ඔස්සේ සිංහලයන්ට විරුද්ධව ක්‍රියාකළ අතර විජය කුමාරතුංග මහජන පක්‍ෂය නමින් සිංහල විරෝධී පක්‍ෂයක් පිහිටුවා ගත්තේ ය.  මොවුන් දෙදෙනාගෙන් එක් අයකු වුවත් බලයට පත්වී නම් මේ වන විට ෆෙඩරල් රාජ්‍යයක් ඇති වී ඊළමකට මගකපා අවසාන ය. බණ්ඩාරනායක කෙනකුට වඩා කුමාරතුංග කෙනකු වූ චන්ද්‍රිකා අනූවේ දශකයේ මුල මෙරටට ගෙන්වා ගනු ලැබුයේ එකී දෙදෙනාගෙන් කරගැනීමට නොහැකි වූ කාර්යය ඇය ලවා කරවා ගැනීමට ය. එහෙත් ශ්‍රි ල නි පක්‍ෂයට ඡන්දය දෙන සිංහලත්වයේ බලපෑම හේතුකොටගෙන ඇයට ඒ කිරීමට නොහැකි විය. කෙතරම් වලිකෑවත් ඇයට අනාගතයේදීත් ඒ කිරීමට නොහැකි වනු ඇත. සිංහලයකු වීම පිළිබඳ ලජ්ජා වන්නේ යැයි කියන අයකුගේ මව වීම අද ඇයට තවත් නුසුදුසුකමක් බවට පත් වී ඇත.

ශ්‍රී ල නි පක්‍ෂය හැරුණු විට මෙරට සිංහලත්වය වෙනුවෙන් පෙනු සිටින පක්‍ෂය මහජන එක්සත් පෙරමුණ ය. චන්ද්‍රිකා නායකත්වයට පත්වීම මගින් ශ්‍රී ල නි පක්‍ෂයට යම් කැළලක් ඇති විණි ද ම එ පෙරමුණට නායකත්වය පිළිබඳ ප්‍රශ්නයක් නො වී ය. 1987 සිට ම ඉන්දු ලංකා ගිවිසුමට, දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයට හා පළත්සභාවලට දිගින් දිගට ම විරුද්ධ ව සිටි එකම දේශපාලන පක්‍ෂ නායකයා දිනේශ් ගුණවර්ධන මහතා ය. ශ්‍රී ල නි පක්‍ෂ නායකත්වය සිංහලත්වය වෙනුවෙන් පෙනී සිටිනතාක් ඒ මහතා ශ්‍රී ල නි පක්‍ෂයට විරුද්ධ නොවනු ඇත. එහෙත් චන්ද්‍රිකා නායකත්වයට පත්වීමෙන් පසුව 1994 දී පැවති මැතිවරණයේ දී ඇයට අසීමිත බලයක් හිමිවනු වැළැක්වීමට ම එ පෙ තනිව ම තරග කළේ සිංහලත්වයට ඇගෙන් විය හැකි තර්ජනය ජනතාවට පැහැදිලි කරමිනි. කිසිම දිනෙක ම එ පෙරමුණේ සාමාජිකයකු නොවුණ ද ඒ මැතිවරනයේ දී මා ද ඒ පක්‍ෂයෙන් තරග කලේ චන්ද්‍රිිකාගේ අනතුර අපට දැනුණු බැවිනි. එදා ජාතික ව්‍යාපාරයේ පතාක යෝධයන් ලෙස පෙනී සිටි ඇතැම් භික්‍ෂූන් වහන්සේ ද ජනතා මිතුරන් නමින් පෙනී සිටි අය ද වෙනත් මහක් ගනිද්දී පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ ම එ පෙ සමග සිටියෝ ය. ධර්මසේකර මහතා ද (අද අනගාරිකතුමා) මා සමග එකට ම එ පෙරමුණෙන් තරග කළේ ය. එදත් අදත් සිංහලත්වය වෙනුවෙන් තම වයස ද නොතකා පෙනී සිටින ගුණාදාස අමරසේකර මහතා ම එ පෙරමුණේ ප්‍රබල ම ආධාරකරුවෙක් විය.  එහෙත් ජනතාවට එදා අප කී දේ අවබෝධ නො විණි. ඔවුහු බණ්ඩාරනායක යුවළගේ දියණියට ඡන්දය දුන්හ. ඔවුන් නොදැන සිටි කරුණ නම් තමන් ඡන්දය දුන්නේ විජය කුමාරතුංගගේ බිරියට බව ය.

අද අප කතාකරන ප්‍රශ්න අළුත් දේ නො වේ. මේ ප්‍රශ්න 1987 සිට ම සාකච්ඡා කෙරී ඇත. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනයේ නීත්‍යානුකුල නොවන භාවය පිලිබඳ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය ද දිනේශ් ගුණවර්ධන මහතා ද නඩු කීහ. එහෙත් ශ්‍රෙෂ්ඨාධිකරණය නඩුව ඉවත දැමී ය. පොලිස් බලතල හා ඉඩම් බලතල දීම පිළිබඳ ව ගැටුමක් සර්ව පාක්‍ෂික නියෝජිත කමිටුවේ දී සාකච්ඡා චිය. එහි ම එ පෙරමුණ නියෝජනය කළේ මා ය. 2008 දී පමණ ඉන්දියාවේ අවශ්‍යතාව පරිදි කමිටුවෙන් අතුරු වාර්තාවක් ඉල්ලනු ලැබිණි. ඒ වාර්තාවෙහි දහතුන ක්‍රියාත්මක කිරීම පිළිගන්නා බව අඩංගු විය යුතු යැයි තිස්ස විතාරණ කීවේ ය. පොලිස් හා ඉඩම් බලතල පළාත්සභාවලට දීම ගැන මම තදින් ම විරුද්ධ වීමි. මට උදය ගම්මන්පිල මහතාගේ අනගි සහාය ද ලැබිණි. අනෙක් සියල්ලෝ ම අපට විරුද්ධ වූහ. අවසානයේ දී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පක්‍ෂ නායකයන් ද කමිටුවේ සාමාජිකයන් ද අරලියගහ මන්දිරයට කැඳවී ය. එහි දී උණුසුම් විවාදයක් මැද රාජපක්‍ෂ මහතා මට අතින් සංඥා කරමින් එතුමා ඒ ගැන බලාගන්නා බව කියා සිටියේ ය. මම එතුමා විශ්වාස කළෙමි. අතුරු වාර්තාව තිස්ස විතාරණට අවශ්‍ය අන්දමට නොව මගේ සංශෝධනයක් සහිත ව අපට අවශ්‍ය අන්දමට නිකුත් කෙරිණි. ජනාධිපතිතුමා ගැන තිබූ විශ්වාසය අද වන තුරුත් බිඳී නැත. එහෙත් ජනවේග කල්ලියේ හා මහජන පක්‍ෂයේ නෂ්ඨාවශේෂ (ඇතැම්හු මේ සංවිධාන දෙකෙහි ම සාමාජිකයෝ වූහ) කසිකබල් වමත් සමග එකතු වී අද සංධානයේ කැරළි ගැසීමට පටන්ගෙන ඇත. ශ්‍රි ල නි පක්‍ෂයේ ද සංධානයේ ද පදනම වන්නේ ජාතිකත්වය ය. එයට විරුද්ධ මේ ඇවිදින නටබුන් පරාජය කිරීමට ජනාධිපතිතුමාගේ දෑත් ශක්තිමත් කළ යුතුව ඇත.


නලින් ද සිල්වා

2013-06-30