History

Wednesday, 15 May 2013

එල් සැල්වදෝරය නාථ දෙවියන් පිළිගනියි


අපේ ප්‍රශ්නය වනුයේ මාක්ස්වාදය කිසිම රටක මුල් බැස නොගත්තේ ඇයි ද යන්න ය. එමෙන් ම කිසිම රටක මාක්ස් අනාවැකි පළකළ ආකාරයට කොමියුනිස්ට් ක්‍රමයක් ඇතිවීම තබා සමාජවාදී ක්‍රමයක්වත් ඇති නොවූයේ ඇයි ද යන්න ය. ඊනියා රුසියන් විප්ලවය මාක්ස්ගේ ක්‍රමයේ විප්ලවයක්වත් මාක්ස්වාදයේ ජයග්‍රහණයක්වත් නොව රුසියන් ජාතික චින්තනයේ ජයග්‍රහණයක් බවට එක් ලේඛකයකු පළකර ඇති අදහස ද ඒ සමග අපේ සාකච්ඡාවට භාජනය විය. 1917 දී රුසියාවේ සිදුවූයේ එරට ජාතික චින්තනය ජයග්‍රහණය කිරීමක් නම් සෝවියට් දේශය කඩාවටෙීමෙන් පසුව බිහිවූ රුසියාව කුමක ජයග්‍රහණයක් ද යන්න ඒ සමග මතුවෙයි. එයත් සෝවියට් දේශය බිහිවීමත් යන දෙක ම ඊනියා රුසියන් ජාතික චින්තනයේ ජයග්‍රහණ විය නො හැකි ය.

මේ ප්‍රශ්න සමග සම්බන්ධයක් නැතැයි ඇතැමකු සිතිය හැකි නමුත් ආසියාවේ අප්‍රිකාවේ පමණක් නොව ලතින් ඇමරිකාව යැයි බටහිරයන් අතින් හැඳින්වෙන දකුණු අමරිකාවේ ද බටහිර විද්‍යාව මුල් බැසගෙන නැත්තේ ඇයි ද යන ප්‍රශ්න ද අපට ඒ සමග ඇසිය හැකි ය. එමෙන් ම අවශ්‍ය නම් දඹදිවෙන් බුදුසමය තුරන්වද්දී ලංකාවේ බුදුසමය මුල් බැස ගත්තේ කෙසේ ද යන ප්‍රශ්නය ද ඒ සමග ඇසිය හැකි ය. එමෙන් ම ආසියාවේ රටවල පිලිපීනයේ හැරෙන්නට කිතුදහම පැතිරී නොගියේ ඇයි ද යන ප්‍රශ්නයත් වර්තමානයෙහි දකුණු කොරියාවේ කිතු දහම පැතිර යන්නේ කෙසේ ද යන ප්‍රශ්නයත් ඇසිය හැකි ය.

මේ සියල්ලට ම ඇත්තේ එක් පිළිතුරකි. ඒ යා දෙක නොරත රත සමග පෑහීමක් නැත යන්න ය. අද බටහිර යුරෝපයේ හා උතුරු අමෙරිකාවේත් ඕස්ටේ‍ර්ලියාව වැනි රටවලත් චින්තනය ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය ය. එහෙත් ආසියාවේ චින්තන එය නො වේ. දකුණු ඇමරිකාවේ චින්තනය කතෝලික චින්තනය වෙයි. නැගෙනහිර යුරෝපයේ චින්තනය ග්‍රීක් ඕතොඩොක්ස් චින්තනය වෙයි. බටහිර විද්‍යාව ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය පදනම් කරගනිමින් බිහි වී ඇත. බටහිර විද්‍යාව බටහිර යුරෝපයේ උතුරු ඇමරිකාවේ හා ඕස්ටේ‍ර්ලියාව වැනි ඉංගිරිසින්ගේ දෙවැනි වාසභූමිවල මුල් බැසගෙන ඇත. එහෙත් අනෙක් රටවල බටහිර විද්‍යාව මුල් බැස ගෙන නැත.

ඊශ්‍රායලයේ හා නැගෙනහිර යුරෝපයේ චින්තන පිළිවෙළින් යුදෙවු චින්තනය හා ග්‍රීක ඕතොඩොක්ස් චින්තනය වෙයි. ඒ රටවල බටහිර විද්‍යාව මුළුමනින් ම මුල් බැසගෙන නැති නමුත් ඒ චින්තන හා ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය අතර ඇති නෑ සබඳකම් නිසා බටහිර විද්‍යාවේ හා ගණිතයේ ඇති යම් යම් ධාරා ඒ රටවල දකින්නට ඇත. ලෝකයේ ජීවත්වන මිනිසුන් අතුරෙන් වඩාත්ම වියුක්ත ව සිතිය හැකි අය වනුයේ නැගෙනහිර යුරෝපයේ ජීවත්වන යුදෙවුවන් ය. ඔවුන්ගේ චින්තනය යුදෙවු චින්තනයේ හා ග්‍රීක ඕතොඩොක්ස් චින්තනයේ සංකලනයකි.

බටහිර ගණිතය බටහිර දැනුමෙහි වඩාත් ම වියුක්ත දැනුම් පද්ධතිය වෙයි. අද ලෝකයේ දක්‍ෂතම බටහිර ගණිතඥයන් ඇත්තේ රුසියාව ඇතුළු නැගෙනිර යුරෝපයෙහි ය. බොහෝ විට උතුරු ඇමරිකාවෙහි හා බටහිර යුරෝපයෙහි ජීවත්වන ද’ක්‍ෂතම බටහිර ගණිතඥයන්ගේ සම්භවය නැගෙනහිර යුරෝපයෙහි ය. ඔවුහු එම රටවලට නැගෙනහිර යුරෝපීය රටවලින් සංක්‍රමණය වුවෝ වෙති. වඩාත් ම දක්‍ෂ බටහිර ෙසෙද්ධාන්තික භෞතික විද්‍යාඥයෝ හා බටහිර දාර්ශනිකයෝ බටහිර යුරෝපයේ නැගෙනහිරට වූ රටවල් වන ඕස්ට්‍රියාව (සුප්‍රසිද්ධ වියනා කවය නම් දාර්ශනිකයන්ගේ කවය ඕස්ට්‍රියාවෙහි අගනුවර වූ වියනා නගරය ආශ්‍රිත ව බිහිවිය.) හා ජර්මනිය ජන්මභූමි කොට ඇත්තෝ වෙති.

මෙහි දී දක්‍ෂ යනුවෙන් හැඳින්වෙන්නේ උසස් පෙළ පරීක්‍ෂණයෙන් ඒ සාමාර්ථ තුනක් ලබාගැනීම හෝ උපාධි පරීක්‍ෂණයෙන් ප්‍රථම පංතියේ සාමාර්ථයක් ලබාගැනීම හෝ නො වේ. චීනය, ඉන්දියාව හා ලංකාව වැනි රටවල සිසුහු බටහිර දැනුම සම්බන්ධ විභාගවලින් ඉතා ඉහළින් සමර්ථ වෙති. එහෙත් ඔවුහු බටහිර දැනුම නිර්මාණයෙහි දක්‍ෂයෝ නො වෙති. දක්‍ෂයා යනුවෙන් මෙහි දී හැඳින්වෙන්නේ දැනුම නිර්මාණය කිරීමෙහි ලා දක්‍ෂයෙකි.

උතුරු ඇමරිකාවට ගිය ද අපේ සිසුහු ඉතා ඉහළින් විභාග සමත් වෙති. එහෙත් ඔවුන්ට බටහිර දැනුමෙහි කේන්ද්‍රයෙහි දැනුම නිර්මාණය කළ හැකි නො වේ. මේ බව විශ්වවිද්‍යාලවල උගන්වන ඇමරිකානුවෝ ද දනිති. ඔවුන්ගේ නිරක්‍ෂණය වී ඇත්තේ ඉන්දිය හා චීන සිසුන් විභාගවලින් ඉහළින් සමත්වන නමුත් පර්යේෂණයෙහි ලා දක්‍ෂයන් නොවන බව ය. මෙය ලංකාවෙන් ඇමරිකාවට යන සිසුන් සම්බන්ධයෙන් ද වලංගු ය.

මෙයින් අදහස් වන්නේ අපේ සිසුන්ට ආචාර්ය උපාධි ලබාගැනීමේ අවහිරයක් ඇති වන බව නො වේ. බොහෝ විට ආචාර්ය උපාධියක් සඳහා කෙරෙනුයේ අදාළ ක්‍ෂෙත්‍රයෙහි පරිධියෙහි ඇති ගැටළුවක් විසඳීම ය. විභාගවලින් සමත්වීමේ හැකියාවක් ඇති සිසුන්ට එය විශාල ගැටළුවක් නො වේ. එහෙත් බටහිර දැනුම් ක්‍ෂෙත්‍රවල කේන්ද්‍රයෙහි නව සංකල්පයක්, නව ප්‍රවාදයක් නිර්මාණය කිරීමෙහි ලා ආසියාතික සිසුහු දක්‍ෂතාවක් නො පෙන්වති. මේ කරුණ මා අවබෝධ කරගත්තේ අවුරුදු හතළිස් පහකට පමණ පෙර පශ්චාත් උපාධියක් ලබාගැනීමට එංගලන්තයට ගිය අවස්ථාවෙහි ය. එහෙත් එයට හේතුව මට ලැබුණේ ඉන් අවුරුදු පහළොවකට පමණ පසු චින්තනය යන සංකල්පය නිර්මාණය කිරීමෙන් පසුව ය.

සාධාරණ වශයෙන් ගත්කල අපට දැනුම නිර්මාණය කළ හැක්කේ අපේ චින්තනයෙහි මිස වෙනත් ජාතීන්ගේ ජනවර්ගවල චින්තනයන්හි නො වේ. කලාතුරකින් මෙයට විරුද්ධව ගොස් කිහිප දෙනකු වෙනත් චින්තනයක දැනුම නිර්මාණය කරනු දැකිය හැකි ය. එහෙත් පසුගිය අවුරුදු සීයක පමණ කාලයෙහි ඉන්දියාවේ නොබෙල් ත්‍යාග ලාභීන් සංඛ්‍යාව හා යුදෙවු නොබෙල් ත්‍යාගලාභී සංඛ්‍යාව සංසන්දනය කිරීමෙන් මේ පිළිබඳ අවබෝධයක් ලබාගත හැකි ය. ඒ සංඛ්‍යාවන් වෙනුවට ත්‍යාගලාභීන් ජනගහණයේ ප්‍රතිශත ලෙස ගැනීමෙන් මෙම කරුණ තව දුරටත් අනාවරණය වනු ඇත.

මේ සම්බන්ධයෙන් කිවයුතු වැදගත් කරුණක් වෙයි. කිසිම සිංහලයකුට නොබෙල් ත්‍යාගයක් ලැබී නොමැතිවා පමණක් නො වේ. මෙරට විද්‍යාඥයන් යැයි කියාගන්නා අය මහත් ඉහළින් සලකන ලංඩනයේ රාජකීය සංගමයේ අධිසාමාජිකත්වය ලබාගැනීමට හැකි වී තිබෙන්නේ එකම එක සිංහලයකුට පමණකි. ඔහු ද සිංහල බෞද්ධයෙක් නො වේ. එමෙන් ම එය ෙසෙද්ධාන්තිකව නව සංකල්පයක් හෝ ප්‍රවාදයක් ඉදිරිපත් කිරීමෙන් නොව කුරුළු උණ සම්බන්ධ වෛරසය පරීක්‍ෂණාගාරයේ දී හඳුනා ගැනීමෙන් ලබාගත්තකි. ලංකාවේ බටහිර වෛද්‍ය විද්‍යාලය පිහිටුවනු ලැබුයේ 1870 වසරෙහි දී ය. එයට පළමුව ද බටහිර විද්‍යාව එංගලන්තයට ගොස් ඉගෙන ගත් අය ලංකාවේ වූහ. එහෙත් අවුරුදු එකසිය පනහක පමණ කාලයක් තිස්සේ බටහිර විද්‍යාව ඉගැන්වීමෙන් හා ඉගෙනීමෙන් අප ලබා ඇති ප්‍රතිඵලය එබඳු ය.

ලංකාවේ බටහිර විද්‍යාඥයන් පසුගිය අවුරුදු එකසිය පනහක පමණ කාලයක ලෝකයට දී ඇති බටහිර විද්‍යාත්මක දැනුම කුමක් ද? මේ ප්‍රශ්නයට දිය හැකි පිළිතුරක් ඇත. එහෙත් එය ඊනියා බටහිර විද්‍යාත්මක ක්‍රමය අනුගමනය කිරීමෙන් දෙන ලද්දක් නො වේ. නිදන්ගත වකුගඩු රෝගය නමින් හැඳින්වෙන රෝගයට හේතුව කුමක් දැයි මෑතක් වන තුරුම බටහිර විද්‍යාවට හා බටහිර වෛද්‍ය විද්‍යාවට ප්‍රශ්නයක් විය. එයට ප්‍රධාන හේතුව ආසනික් බව අප දැනගත්තේ ආධ්‍යාත්මික ව මනුෂ්‍ය නොවන ප්‍රාණීන්ගෙනි. එය බටහිර විද්‍යාව අනුව ද විශාල සම්භාවිතාවක් සහිත ව පෙන්වීමට කැලණිය විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ සමත් වූහ.

එහෙත් එසේ පෙන්වීමට මෙරට විද්‍යාඥයන් යැයි කියන්නවුන්ගෙන් ලුබුණේ මල් පොකුරු නොව ගල්මුල් ය. අද ද නිදන්ගත වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් බව පිළිගැනීමට මෙරට ඊනියා විද්‍යාඥයන් පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණ වැනි ඊනියා විද්‍යාත්මක සමාජවාදයක් ගැන කතාකරන පක්‍ෂ ද අකමැති වෙයි. මේ ඊනියා විද්‍යාඥයන්ගේ අකමැත්තටත් වඩා ආසනික් විරෝධය එසේ තිබිය දී පසුගිය දා දකුණු ඇමරිකාවේ කොස්ටාරිකාවේ පැවති සම්මන්ත්‍රණයකට සහභාගි වීමේ අවස්ථාව කැලණිය කණ්ඩායමේ වෛද්‍ය චන්න ජයසුමන දිසානායක මහතාට ලැබිණි.

දකුණු ඇමරිකාවේ උක් වගාකරන රටවල ද ගොවීන් අතර වකුගඩු රෝගය පැතිරී ගොස් ඇත. ඒ කලාපයේ උක් වගාකරන රටවල් අතුරෙන් වකුගඩු රෝගය පැතිරී ගොස් නැත්තේ කෘෂි රසායන භාවිතා නොකරන කියුබාවේ පමණ ය. කොස්ටාරිකාවේ පැවති සම්මන්ත්‍රණයට සහභාගි වූ වෛද්‍ය චන්න ජයසුමන මහතා ලංකාවේ නිදන්ගත වකගඩු රෝගයට හේතු කෘෂි රසායන භාවිතය නිසා එකතුවන ආසනික්, කිවුල් ජලය හා පස බව අනාවරණය කර ඇත.

ඉන්පසු ඒ අනුව තවදුරටත් පර්යේෂණ කළ දකුණු ඇමරිකාවේ එල් සැල්වදෝරය නම් රටේ විද්‍යාඥයන් ආසනික් කතාව තහවුරු කරගෙන ඇත. එපමණක් නොව ඒ සම්බන්ධයෙන් දැනට සති කිහිපයකට පෙර එල් සැල්වදෝරයෙහි පැවති සම්මන්ත්‍රණයකට සහභාගි වූ කැලණිය කණ්ඩායමේ වෛද්‍ය චන්න ජයසුමන හා විශේෂඥ වෛද්‍ය කුමුදු දහනායක මහතා ඉදිරියේ එරට විද්‍යාඥයන් ආසනික් පිළිබඳ දැනුම ඔවුන්ට ලබාදීම පිළිබඳ ව ශ්‍රී ලංකාවට ස්තුති කර ඇත.

මා මේ කරුණ සඳහන් කරන්නේ අප දැනුම නිර්මාණය කිරීමේ දී ගතයුතු මග පිළිබඳ අවබෝධයක් ලබා දීමට ය. අපේ මග ආධ්‍යාත්මික වෙයි. එසේ ලබාගන්නා දැනුම අපට සෙසු ලෝකයට ද ලබාදිය හැකි ය. එහෙත් මෙරට විද්‍යාඥයන් යැයි කියා ගන්නා අය එසේ දැනුම ලබාගැනීමට අකුල් හෙළති. ඔවුන්ට ඊනියා විද්‍යාත්මක ක්‍රමයෙන් බාහිරව දැනුමක් නැත. එහෙත් ඒ ක්‍රමය ඇසුරෙන් ඔවුන් නිර්මාණය කරන්නා වූ දැනුමක් ද නැත. ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි නොමැති මෙරට විද්‍යාඥයන් යැයි කියාගන්නා අයට බටහිර විද්‍යාවෙහි වැදගත් දැනුමක් නිර්මාණය කළ නො හැකි ය. ඔවුන්ට කළ හැක්කේ නාථ දෙවියන් හා විපස්සක දෙවියන් ගැන තකතීරු ප්‍රශ්න ඇසීම පමණකි.

මෙරට එකල වැව් හා දාගැබ් තැණුනේ කෙසේ ද යන්නට අපට දැන් පිළිතුරක් වෙයි. අපේ පැරුන්නන් බොහෝ විට දැනුම ලබාගෙන ඇත්තේ, එනම් දැනුම නිර්මාණය කර ඇත්තේ, ආධ්‍යාත්මික ව ය. අද අප අපේ ප්‍රවාද තනන්නේ ප්‍රධාන වශයෙන් ම අපට ඒ ආධ්‍යාත්මක ශක්තිය නොමැති බැවිනි. අප කළ යුත්තේ වැඩි වැඩියෙන් ඒ ආධ්‍යාත්මික ශක්තිය ලබාගැනීමට කටයුතු කිරීම ය.

අපි ආසියාවේ ඓශ්චර්ය වීමටත් මෙරට ආසියාවේ දැනුම් කේන්ද්‍රය බවට පත්වීමටත් උත්සාහ කරමු. අපට එය කළ හැකි ය. එහෙත් එය කළ හැක්කේ බටහිර විද්‍යාවේ අගු පිලේ වැතිර පරිධියේ ඊනියා පර්යේෂණ කිරීමෙන්වත් තොරතුරු තා’ක්‍ෂණය පසුපස යෑමෙන්වත් නො වේ. අප ගත යුතු මග පැහැදිලි ය. එහෙත් බටහිර අධ්‍යාපනයෙන් බිහිකර ඇති පුස්සෝ අපට ඒ මග ගැනීමට අකුල් හෙළති.
(13/05/15)

නලින් ද සිල්වා