History

Sunday, 28 July 2013

ඉන්දියාවේ අභිලාෂය

අපකීර්තිමත් ඉන්දු ලංකා ගිවිසුම අත්සන්කර හෙටට අවුරුදු 29ක් වෙයි. ගිවිසුම අහෝසි වී මෙම මස අන්තිමට අවුරුදු 29ක් විය. එයට හේතුව ඉන්දියාව දින තුනක් ඇතුළත කොටින් නිරායුධ කිරීමට අසමත්වීම ය. එයට අමතරව එහි පරස්පර, අර්ථ නොදක්වන ලද වචන ආදී දෝෂ රැසක් ද වෙයි. පළාත් හා පළාත් සභා ද ඒ ගණයට අයත් වෙයි. එහෙත් අපි තවමත් ඒ ගැන කතාකරමු. එපමණක් නො වේ. ගිවිසුමෙහි පළාත් සභා පිහිටුවීමක් ගැන සඳහන් නො වේ. එහෙත් පළාත් සභා මැතිවරණ 1987 දෙසැම්බර් 31ට පෙර සිදුවිය යුතු යැයි කියැවෙයි. නැති පළාත් සභා සඳහා මැතිවරණ පවත්වන්නේ කෙසේ දැයි කෞටිල්‍යයන්ගෙන් ම  දැනගත යුතු ව ඇත. කෙසේ වෙතත් ඊනියා ගිවිසුමේ ඒ වගන්තිය ද ඉටු නොවිණි. එහෙත් අපේ හමුදා නම් බැරැක්කවලට සීමා කෙරිණි. ඒ මදිවාට බටහිර විද්‍යාවෙහි මෙන් ඊනියා ගිවිසුමෙහි පට්ටපල් බොරු ද වෙයි. අවුරුදු සියයක් පමණ පැරණි වූ උතුරු හා නැගෙනහිර පළාත් අවුරුදු දහස් ගණනක් දෙමළ කතාකරන ජනයාගේ සාම්ප්‍රදායික වාසභූමි ව පැවති යැයි එහි සඳහන් වෙයි. උතුරු හා නැගෙනහිර පළාත්වල පදිංචි දෙමළ ජනයාගේ සම්භවය 1650න් පසුව සිදු වී ඇති බව සාක්‍ෂි සහිතව පෙන්නුම් කළ හැකි ය. එහි මුස්ලිම් ජනයා පදිංචි කෙරුණේ එයට තරමක් කලින් සෙනරත් රජු දවස ය. සති කිහිපයකට පමණ පෙර අප පෙන්වාදුන් අන්දමට ගිවිසුම වලංගු යැයි තර්ක කළ ද, එහි 2.10 වගන්තියේ සඳහන් අන්දමට උතුරු හා නැගෙනහිර පළාත්වල ද අනෙක් පළාත්වල ඇති පොලිස් ව්‍යුහය ම තිබිය යුතු ය. ඒ අනුව පොලිස් බලතල පළාත් සභාවලට පැවරීම ඉන්දු ලංකා ගිවිසුමට ද විරුද්ධ ය. ඉඩම් බලතල පැවරීම ඊනියා සාම්ප්‍රදායික වාසභූමි කෙප්පය මත පදනම්වන බැවින් එසේ කිරීම ද අනවශ්‍ය ය. ඉඩම් බලතල හා පොලිස් බලතල උතුරු පළාත් සභාවට පැවරීමේ ප්‍රතිඵලය වනුයේ එහි දෙවැනි හමුදාවක් ඇතිවීමත් ලංකාණ්ඩුවේ හමුදාවලට කඳවුරු පිහිටුවා ගැනීමට බිම් අඟලක්වත් අහිමිවීමත් ය. කෙසේ වෙතත් ඉන්දු ලංකා ගිවිසුම වලංගු වුවත් ඉන්දියාව හා ලංකාව අතර දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ගිවිසුමක් නැති බව අවධාරණය කළ යුතු ය. දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමට හෝ සංශෝධනය කිරීමට හෝ අප ඉන්දියාවෙන් අවසර ගත යුතු නො වේ. ඉන්දු ලංකා ගිවිසුමෙහි අර්ථකථනය කර නොමැති පළාත් සභා පිහිටුවීම අවශ්‍ය නො වේ. අනෙක් අතට ඉන්දු ලංකා ගිවිසුමෙහි පරිපාලන ඒකක ලෙස පළාත් ගැන කතාකරනමුත් ඒ වන විට ව්‍යවස්ථාවෙන් පළාත් යනු කවරේදැයි අර්ථදක්වා නොතිබුණි. අද වන තුරුත් ව්‍යවස්ථාවෙහි කිසිම තැනක පළාත් පරිපාලන ඒකක ලෙස හැඳින් වී නොමැත. ව්‍යවස්ථාවට අනුව පරිපාලන ඒකක වනුයේ දිස්ත්‍රික්ක ය. පළාත් සභා අවශ්‍ය ම යැයි යමකු පවසන්නේ නම් දහතුන ද වත්මන් පළාත්සභා පනත ද අහෝසිකර වෙන ම පළාත් සභා පනතක් ගෙනැවිත් සංක්‍රමණීය පිළිවෙතකට යටත් ව පළාත් සභා පවත්වාගෙන ගිය හැකි ය.    

ඒ කුමක් වුවත් අද අප එළඹී ඇත්තේ දෙමළ ජාතිවාදයේ හතරවැනි යුගයට ය. පළමු යුග තුන ගැන සඳහන් කෙරෙන ප්‍රභාකරන් මහුගේ සියලා, බාප්පලා හා මස්සිනාලා කෘතියේ හතරවැනි මුද්‍රණය දැන් නිකුත් වී ඇත්තේ දෙමළ ජාතිවාදයේ හතරවැනි යුගය ගැන කෙරෙන කෙටි හැඳින්වීමක් ද සහිතව ය. දෙමළ ජාතිවාදය පසුපස ඇත්තේ එංගලන්තය ය. එය අද ඊයේ නොව තුන්වැනි ජොර්ජ් රජුගේ කාලයේ සිට ම වෙයි. අනෙක් අතට දෙමළ ජාතිවාදය පසුපස නේරුගේ කාලයේ සිට ඉන්දියාව වෙයි. ඒ පරාජය කිරීමට පසුගිය දා උපන් හත්වැනි ජෝර්ජ් රජ වන තෙක් හෝ රජිව් ගාන්ධිගේ තවමත් නූපන් මුණුබුරා හෝ මිණිබිරිය හෝ ඉන්දියාවේ අගමැති තනතුරට පත්වන තුරු හෝ බලා සිටිය යුතු නො වේ. අපි නන්දිකඩාල් කලපුවේ දී දෙමළ ජාතිවාදයේ කොටසක් වූ දෙමළ ත්‍රස්තවාදය පරාජය කළෙමු. එය එතෙක් ඊනියා දෙමළ ප්‍රශ්නය සම්බන්ධයෙන් වූ බණ්ඩාරනායක චෙල්වනායගම් ගිවිසුම ද ඇතුළු සියළු දේශපාලන ගිවිසුම් ඉරා දැමීමකි. එයට හේතුව ඒ සියළු දේශපාලන ක්‍රියාවල අවසානය ප්‍රභාකරන් වීම ය. හමුදා මෙහෙයුම් යනු ද දේශපාලන ක්‍රියාවලියකි. දෙමළ ජාතිවාදයේ පළමු, දෙවැනි හා තුන්වැනි යුග ප්‍රභාකරන් සමග අවසන් වූයේ දෙමළ ජාතිවාදය හමුදා දේශපාලන වශයෙන් පරාජය කිරීමෙනි. එහෙත් අප ලත් ජයග්‍රහණය නීති පොතට ඇතුළත් කරගැනීමට නොහැකි වීමෙන් ද එංගලන්තය ප්‍රමුඛ බටහිර රටවල ද ඉන්දියාවේ ද මැදිහත්වීමෙන් ද දෙමළ ජාතිවාදය තවමත් දේශපාලන වශයෙන් පවතියි.  එය හැකිතාක් ඉක්මණින් දේශපාලනික ව පරාජය කළ යුතු ය. එහෙත් අපට තවමත් එංගලන්තයේත් ඉන්දියාවේත් අභිලාෂය හඳුනාගැනීමට නොහැකි වී ඇත.


එංගලන්තය බටහිර රටවල විසිරුණු දෙමළ ජනයා ද යොදා ගනිමින් තම සංස්කෘතියට ආධ්‍යාත්මික ව අභියෝග කළහැකි සිංහල බෞද්ධ සංස්කෘතිය  නැතිකිරීමට බැරිනම් දුර්වල කිරීමට විවිධ ක්‍රම උපයෝගි කරගනිමින් උත්සාහ කරයි. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව වට්ටවා එ ජා ප - දෙමළ ජාතික සංධාන ආණ්ඩුවක් පිහිටුවීම උතුරට හා නැගෙනහිරට බලය බෙදාදීම එහි පළමු පියවර වෙයි. නේරුගේ ද සිහිනයක් ව පැවති ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කරගැනීම සැබෑකර ගැනීමට ඉන්දියාව දෙමළ ජාතිවාදය යොදාගනියි. එදත් අදත් ඉන්දියාවට අවශ්‍ය අන්දමට දේශපාලනය කරන නායකයෝ මෙරට වෙති. සම්බන්ධන් හා රාවුෆ් හකීම් ඉන් දෙදෙනෙක් වෙති. ඊනියා දෙමළ කතාකරන ජනයාගේ අභිලාෂය යැයි කියමින් පළමුව බලය බෙදීම, දෙවනුව සන්ධීය (සහසන්ධීය) රාජ්‍යයක් ඇතිකිරීම, තුන්වැනුව ඊළම පිහිටුවීම, හතරවැනුව දේශසීමා ගැටුම් ඔස්සේ ලංකාව හා ඊළම ඉන්දියාවේ ප්‍රාන්තයක් කරගැනීම ඉන්දියාවේ අභිලාෂය වෙයි. වෛදිකයන්ගේ සදාතනික බ්‍රහ්මන් මෙන් සදාතනික බලාපොරොත්තුව වූ ලංකාවෙන් හා දකුණු ආසියාවෙන් බුදුදහම අතුරුදන්කිරීමට ඔවුන් ඒ සමග ක්‍රියා කරනු ඇත. මෙරට දෙමල ජනයාට දෙමළ වීම නිසා ම පමණක් වූ ප්‍රශ්නයක් නැත. ඇත්තේ ඉංගිරිසි මකියාවේලීන්ගේ හා ඉන්දීය කෞටිල්‍යයන්ගේ ප්‍රශ්නයකි. කෞටිල්‍යයෝ එහි දී ඉංගිරිසි කතාකරන, බටහිර ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට ගරුකරන වෙල්ලාලයන් යොදා ගැනීමට එදත් අදත් උත්සාහ ගනිති. එංගලන්තයට කෙසේ වෙතත් ඉන්දියාවට ප්‍රභාකරන් අවනත නො වී ය. ඔහුගේ කුලය ද ප්‍රශ්නයක් විය. ඉන්දියාව අද එයින් පාඩමක් ඉගෙන ඇත. ඔවුන් කොටින් සමග සම්බන්ධ යැයි කියන සේනාධිරාජා වෙනුවට “ උභය කුල පාරිශුද්ධ” විග්නේස්වරන් උතුරේ මහඇමති අපේක්‍ෂක ලෙස තෝරාගැනීමට සම්බන්ධන්ට ඔහුම කියන පරිදි බලකර ඇත්තේ විග්නේස්වරන්ගේ ඊනියා නීති දැනුම නිසා නොව ඉන්දියාවට ඔහු විශ්වාස බැවිනි. එහෙත් ඒ සමග දෙමළ ජාතික සංධානය කැඩී යෑම වැළැක්විය නොහැකි ය. අප අපේ පාඩම් ඉගෙන ගන්නේ නම් කෞටිල්‍යයන් ද මකියාවේලීන් ද පරාජය කිරීම මහෞෂධයනට ප්‍රශ්නයක් නො වේ.   


නලින් ද සිල්වා

2013-07-28