History

Wednesday, 14 August 2013

සංස්කෘතිය හා ඊනියා යථාර්ථය

අපේ ඇස්වලට පෙනෙන පාට පමණක් ලෝකයේ පවතින්නේ යැයි ගැනීම කෙතරම් දුරට පිළිගත හැකි ද? බටහිර විද්‍යාඥයන් අතර අපේ ඇස්වලට පෙනෙන පාට පමණක් ලෝකයේ ඇතැයි පිළිගන්නා අය වෙත් ද? අප දේදුණු වර්ණ නමින් හඳුන්වන්නේ අපේ ඇස්වලට පෙනෙන පාට ය. බටහිර භෞතික විද්‍යාඥයන්ට අනුව අපට පෙනෙනනේ යම් ආයාම දිග පරාසයක් තුළ ඇති විද්‍යුත්චුම්බක තරංග ය. ඒ පරාසයෙන් බාහිර ව ඇති ආයාම දිග සහිත විද්‍යුත් චුම්බක තරංග සාමාන්‍ය මිනිසුන්ගේ ඇස්වලට ගෝචර නො වේ. 

එවැනි විද්‍යුත්චුම්බක තරංග ගෝචර වන මිනිසුන් කිහිප දෙනකු නැතැයි එයින් ගම්‍ය නො වේ. ඇතැම් මිනිසුන්ට සාමාන්‍යයෙන් මිනිසුන්ට ගෝචරවන ඇතැම් විද්‍යුත්චුම්බක තරංග ගෝචර නොවන බව බටහිර විද්‍යාඥයෝ ද කියති. එයින් කියැවෙන්නේ එවැනි විද්‍යුත්චුම්බක තරංග ලෝකයේ නොපවතින්නේ යැයි නොවන බව බටහිර විද්‍යාඥයන් වුව ද පිළිගන්නා බව අපි දනිමු. එසේ නම් මිනිසුන්ට සාමාන්‍යයෙන් ගෝචර නොවන එහෙත් ඇතැම් මිනිසුන්ට ගෝචර වන විද්‍යුත්චුම්බක තරංග නැතැයි අපට කිව හැකි ද? 

පැවැත්ම පිළිබඳ ප්‍රශ්නය මෙසේ සංකීර්ණ වීමට හේතුව බටහිර විද්‍යාඥයන් ඊනියා යථාර්ථයක වාස්තවික පැවැත්මක් ගැන විශ්වාස කිරීම ය. බටහිර විද්‍යාඥයන්ගේත්, වාස්තවික පැවැත්මක් හෙවත් යථාර්ථයක් ගැන විශ්වාස කරන්නන්ගේත් මූලික ප්‍රශ්නය වී ඇත්තේ ඔවුන් සාමාන්‍ය මිනිසාට, එනම් මිනිසුන්ට සාමාන්‍යයෙන්, ගෝචර වන දේ හා එසේ ගෝචර වන දේ තේරුම් කිරීමේ දී යොදාගන්නා සංකල්ප වාස්තවික වශයෙන් පවතින බව පිළිගැනීම ය. අර්නස්ට් මාක් විද්වතා පසුව කී සංකල්ප ඉන්ද්‍රිය ගෝචර නොවන්නේ නම්, එනම් සාමාන්‍යයෙන් මිනිසුන්ට ගෝචර නොවන්නේ නම්, ඒවා බටහිර භෞතික විද්‍යාවෙහි යොදා ගැනීමට විරුද්ධ විය. 

අර්නස්ට් මාක් විද්වතා පිළිගත්තේ ඉන්ද්‍රිය ගෝචර සංකල්පවල පැවැත්ම ය. අඩුම තරමෙන් ඔහු එවැනි සංකල්ප පමණක් බටහිර භෞතික විද්‍යාවෙහි යොදාගත යුතු බව කීවේ ය. මෙහි දී මූලික ප්‍රශ්නය වන්නේ සාමාන්‍ය මිනිසාට, එනම් මිනිසුන්ට සාමාන්‍යයෙන් ගෝචරවන දේ පමණක් ඇතැයි, පවතින්නේ යැයි පිලිගන්නේ ඇයි ද යන්න ය. එසේ පිළිගැනීමට විශේෂ හේතුවක් නොමැත. මෙය සාමාන්‍ය මිනිසා අසාමාන්‍ය තත්ත්වයකට පත්කිරීමකි. එය සංස්කෘතික ප්‍රශ්නයකි. 

එහෙත් බටහිර සංස්කෘතියෙහි, එනම් යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි එයට හේතුවක් නැතිවා නො වේ. මාක් විද්වතාට සිංහල බෞද්ධ බලපෑමක් තිබුණ ද එහි යම්කිසි යථාර්ථයක් ගැබ් වී තිබුණේ සිංහලයන්ගේ බුදුදහම බොහෝ කලක සිට තුන්වැනි සංගායනාවේ බුදුදහම බවට පත් වී තිබූ නිසා ද විය හැකි ය. අප විටින් විට කියා ඇති පරිදි තුන්වැනි සංගායනාවේ බුදුදහමට බමුණු මත රිංගා ඇත. ධර්මවාදය, ක්‍ෂණයකට වුව ද ධර්මයක පැවැත්ම ඊනියා යථාර්ථයක් ගැන විශ්වාසයක් ඇති කරයි. මෙරට විසූ යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ බුදුදහමෙහි එවැනි යථාර්ථයක් නොතිබෙන්නට ඇත්තේ ඔවුන් බුදුන් වහන්සේගෙන් ම ධර්මය ඇසූ නිසා විය හැකි ය.  බුදුන් වහන්සේ දෙසූ බුදුදහමෙහි බමුණු මත නො තිබිණි. 

මාක් විද්වතා අනෙක් අතට මුළුමනින් ම බටහිර සංස්කෘතියෙන් වෙන් වී යැයි ද සිතිය නො හැකි ය. ඔහුට දහනවවැනි විසිවැනි සියවස්වල සිංහල බුදුදහමෙහි මෙන් ම යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ද බලපෑම තිබුණා නිසැක ය. බුදුදහමෙහි මිනිසුන් අනෙක් සතුන්ගෙන් වෙන් වන්නේ නිවන් අවබෝධයට හා කුසල් රැස්කිරීමට මිනිස් භවය වඩා රුකුලක් වන නිසා මිස වෙනත් කරුණක් නිසා නො වේ. බුද්ධත්වය ලැබීමට හැක්කේ මිනිසකුට පමණකි. ඉනුදු පිරිමියකුට පමණකි. 

ඊනියා ස්ත්‍රීවාදීන් මේ සම්බන්ධයෙන් කළබල විය යුතු නැත. බුදුදහමට අනුව සංසාරය එක් භවයකට හා ස්වර්ගයට හෝ අපායට හෝ පමණක් සීමා වී නැත. ඕනෑම ගැහැණියකට ද පිරිමි භවයක් ලබාගත හැකි ය. අප මහා බෝසතාණන් වහන්සේට ද ස්ත්‍රී භව තිබී ඇත. මිනිසත් බවක් ලබාගැනීම ඉතා දුර්ලභ ය. අප සංසාරයේ වැඩි කලක් ජීවත්වන්නට ඇත්තේ අමනුෂ්‍යයන් තිරිසන් සතුන් ලෙස ය. එබැවින් මිනිස් නොවන භවයක ජනිතවීම හෝ ස්ත්‍රී භවයක් ලැබීම හෝ අපට ප්‍රශ්නයක් නො වේ. 

ස්ත්‍රීන්ට පමණක් නොව තිරිසනුන්ට ද අමනුෂ්‍යයනට ද බුදුදහමෙහි පහත්කොට නො සැලකෙයි. එහෙත් මිනිසුන් හා තිරිසනුන් අතර හෝ පිරිමින් හා ගැහැණුන් අතර හෝ වෙනසක් නැතැයි බුදුදහමෙහි නො කියැවෙයි. මිනිසුනට කළ නොහැකි දේ තිරිසනුන්ට කළ හැකි ය. මිනිසුන්ට ගෝචර නොවන ඇතැම් ප්‍රපංච තිරිසන් සතුන්ට ගෝචරවන බව බටහිර විද්‍යාව ද කියයි. ස්ත්‍රීන්ට කළ නොහැකි ඇතැම් දේ පිරිමින්ට ද, පිරිමින්ට කළ නොහැකි ඇතැම් දේ ගැහැණුන්ට ද කළ හැකි ය.

අප මේ වෙනස්කම් තේරුම් ගත යුතු ය. ඒ වෙනස්කම් තිබිය දී ම එකිනෙකාට සැලකීමට, මෛත්‍රී කිරීමට අපට හැකි විය යුතු ය. සියළු තිරිසන් සතුන් මේ  දැනට තෙරක් නොපෙනෙන සංසාරයේ කිසියම් භවයක අපේ නෑදෑයකු මිතුරකු ලෙස ජීවත්වන්නට ඇත. අප තිරිසන් සතුන්ට සලකන්නේ එවැනි පසුබිමක පිහිටීමෙනි. තිරිසනුන් යනු අපට සූරා කෑමට, ගසා කෑමට හා අවසානයේ දී මරා කෑමට ඉපදී හො මවනු ලැබ ඇති හෝ ජීවීන් යැයි අපි නො සිතමු.     

කුසල් රැස්කිරීම මිනිසුන්ට කළ හැකි දෙයකි. පිරිමින්ට මෙන් ම ගැහැණුන්ට නිවන් අවබෝධ කළ හැකි ය. එහි කිසිදු ප්‍රශ්නයක් නැත. ඊනියා ස්ත්‍රීවාදීන්ට කළබල විය යුතු දෙයක් එහි නැත. එහෙත් ගැහැණියකට බුදුවිය නො හැකි ය. එය ගැහැණිය පහත්කොට සැලකීමක් නො වේ. ගැහැණියකට කළ නොහැකි වූවක් ප්‍රකාශ කිරීමක් පමණකි. ඊනියා සමානත්වයකට යට වී කළ නොහැකි දෙයක්  කළ හැකි යැයි පැවසීම බොරු කීමකි. 

අනෙක් අතට ඕනෑම පිරිමියකුට බුදුවිය හැකි යැයි ද මෙයින් නො කියැවෙයි. පිරිමින්ට පමණක් බුදුවීමට හැකි යැයි කියමින් පිරිමින් උද්දාමයට පත්විය යුතු නො වේ. එවැනි පිරිමියකුට බුදුවීම නොව නිවන් අවබෝධය ද ඉතා දුරින් වෙයි. දරුවන් අත්හැරීම ගැහැණියකට අමාරු කටයුත්තකි. බුදු වීමේ දී දරුවන් පමණක් නොව අත්හැරීම ද අත්හැරිය යුතු ය. නිවන් අවබෝධයේ දී ද ඒ කළ යුතු බව සැබෑ ය. එහෙත් අප බුදු නොවී නිවන් අවබෝධ කරන්නේ වෙනත් අයකුගේ ධර්මයට සවන් දීමෙනි. අමාරු කාර්යය වනුයේ තමන් විසින් ම ඒ දේ කිරීම ය. මෙහි දී අවධාරණය කළ යුත්තක් නම් තමන් ආදී වශයෙන් මෙහි දී යොදා ගැනෙන්නේ සම්මුති වශයෙන් පමණක් බව ය. 

ස්ත්‍රීයකට බුදුවිය නොහැකි බව දැනගැනීමෙන් ස්ත්‍රීවාදීන් ලිප්ටන් වටරවුමේ පිකට්ටුවක් සංවිධානය කළ යුතු නො වේ. එසේ කිරීමෙන් බුදුවීම නොව නිවන ද කල්යනු ඇත. සියළු සත්ත්වයා කෙරෙහි පතළා වූ කරුණාවෙන් අන් අයගේ නිවන් අවබෝධය සඳහා තම නිවන කල්දැමීමක් බුදුවීමෙහි දී සිදුවෙයි. එසේ අනෙක් සත්ත්වයන් වෙනුවෙන් තම නිවන කල්දමා බුදුවීමට අපේක්‍ෂා කරන ගැහැණියකට එය නොකළ හැකි නො වේ. අවශ්‍ය වන්නේ මතු සංසාරයේ පිරිමි භවයක් ලබාගැනීම පමණ ය.

ගැහැණුන්ට බුදුවීමට නොහැකි නිසා කලබලයට පත්වන්නේ සංසාරය මේ භවයට පමණක් හෝ මේ භවයට හා ස්වර්ගයට හෝ අපායට හෝ පමණක් හෝ සීමාකරන ගැහැණුන් හා පිරිමින් ය. ඔවුහු පැහැදිලිව ම වෙනත් සංස්කෘතියක ජීවත් වෙති. මේ සංස්කෘතික වෙනස තේරුම් නොගන්නේ ද ඊනියා යථාරථයක් ඇතැයි කියන එයින් ද නොනැවතී බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ ආධිපත්‍යය පිළිගන්නා නිවටයන් හා අනුකාරක පුස්සන් ය. ඔවුන් ලිප්ටන් වටරවුමේ උද්ඝෝෂණ කරන්නේ ද අනුකාරකයන් ලෙස ය. 

ඊනියා යථාර්ථය පිළිබඳ ප්‍රශ්නය මුළුමනින් ම සංස්කෘතික ප්‍රශ්නයකි. අපට යථාර්ථය ලෙස දැකීමට පුරුදු කෙරී ඇත්තේ ඊනියා සාමාන්‍ය මිනිසාට ගෝචරවන ප්‍රපංච හා ඒ ප්‍රපංච විස්තර කිරීමට බටහිරයන් විසින් නිර්මාණය කරනු ලැබ ඇති සංකල්ප ය. අප කලින් කී පරිදි මෙය එක් පැත්තකින් ඊනියා සාමාන්‍ය මිනිසාට විශේෂත්වයක් ආරෝපණය කිරීමකි. අනෙක් පැත්තෙන් බටහිර දැනුමට ද විශේෂත්වයක් ආරෝපණය කිරීමකි. 

මිනිසාට විශේෂත්වයක් ආරෝපණය කෙරෙන්නේ ද යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ය. යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට අනුව දෙවියන් වහන්සේ සියළු සත්ත්වයන් මැවීමෙන් පසු තම ප්‍රතිබිම්බයෙහි, එනම් තමන්ගේ ස්වරූපයෙන් ම පිරිමියා  මවා පිරිමියාග් ඉළඇටයකින් ගැහැණිය මවා ඒ ගැහැණිය ද සත්ත්වයන් ඇතුළු සමස්ත ලෝකයම ද පිරිමියාගේ ආධිපත්‍යයට යට කලේ ය. ඊනියා පුරුෂොත්තමවාදයෙහි මුල ඇත්තේ එතැන ය. එපමණක් නොව මිනිසා එලෙස විශේෂත්වයකට පත්කිරීමෙන් මිනිසාගේ, එනම් ඊනියා සාමාන්‍ය මිනිසුන්ගේ දැනුම ද විශේෂත්වයකට පත්කළේ ය.  

සාමාන්‍ය මිනිසා මවා ඇත්තේ දෙවියන් වහන්සේගේ ප්‍රතිබිම්බයෙහි බැවින් හා දෙවියන් වහන්සේට ඊනියා යථාර්ථයක් ගෝචර වන බැවින් සාමාන්‍ය මිනිසා යැයි කියැවෙන තැනැත්තාට ද යථාර්ථය ගෝචර වේය යන්න ඊනියා වාස්තවික දැනුමෙහි පසුබිමෙහි ඇත. සාමාන්‍ය මිනිසුන්ට ගෝචර වන සංසිද්ධි යථාර්ථය ලෙස පිලිගැනීමට බටහිරයන් යොමු වී ඇත්තේ ද එබැවිනි. එහෙත් එහි ප්‍රශ්නයක් වෙයි. මේ සාමාන්‍ය මිනිසා කිනම් සංස්කෘතියක ජීවත්වන අයකු ද?

ලෝකයේ ජීවත්වන මිනිසුන්ගේ අවයව බොහෝ සෙයින් සමාන වූ නිසා ම මිනිසුන්ට ගෝචරවන ප්‍රපංච එක සමාන නො වේ. එයට හේතුව අපට ගෝචර වීමට ලෝකයක් නොමැති වීම ය. එසේ ගෝචර වීමට ලෝකයක් ඇතැයි යනුවෙන් ගැනීම ම ඊනියා යථාර්ථයක පැවැත්ම පිළිගැනීමක් වෙයි. එහි දී කියැවෙන්නේ සංජානන සංකල්පවලින් ස්වායත්ත බව ය. බටහිර දාර්ශනිකයෝ ඒ බව උපකල්පනය කරති. සංකල්පවලින් තොරව සංජානන ඇතැයි ඔවුහු විශ්වාස කරති.

බරට්‍රන්ඩ් රසල් නම් සුප්‍රසිද්ධ බටහිර දාර්ශනිකයා නිල්බව (bluishness) යන්න හුදු සංජානනයක් ලෙස සලකයි. එහෙත්  නිල්බව යන්න නිල් නමැති සංකල්පයෙන් තොරව ඇති වන්නක් නො වේ. කිසිම සංජානනයක් සංකල්පයකින් තොරව ඇති නො වේ. සංකල්ප ඇතිවන්නේ යම් සංස්කෘතියක ය. ඒ ඒ සංස්කෘතීන්වල ජීවත්වන්නන්ට විවිධ සංකල්ප ඇත. මේ පිලිබඳ අප බොහෝ දේ සාකච්ඡා කර ඇති බැවින් නැවත නැවතත් ඒ විස්තරකිරීම අනවශ්‍ය වෙයි. උදාහරණයක් ලෙස මදර් යන්න අම්මා යන්නෙහි හුදු පරිවර්තනයක් ලෙස නොසැලකිය හැකි බවත් ඒ සංකල්ප දෙකක් බව අප පෙන්වා දී ඇත. අපට ගෝචර වන ලෝකය යැයි කියන්න සංකල්පවලින් ස්වායත්ත නො වේ. ඒ නිසා ම සංකල්පවලින් ස්වායත්ත වූ ලෝකයක් නැත. ලෝකය අප විසින් සංකල්ප යොදාගනිමින් නිර්මාණය කෙරෙයි. එබැවින් අපට ගෝචර වන ලෝකය ද අපේ නිර්මාණයකි. එහි ඊනියා වාස්තවිකත්වයක් නැත. 


නලින් ද සිල්වා

2013-08-14