History

Sunday, 15 September 2013

මැතිවරණ ප්‍රකාශය, ප්‍රතිපත්ති ප්‍රකාශය හා අභිලාෂය


දෙමළ ජාතික සංධානයේ ජාතික ලැයිස්තුවෙන් පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මෙතෝදිස්ත භක්තිකයකු වූ මතියපරානම් ඒබ්‍රහම් සුමන්තිරන්ට අනුව දෙමළ ජාතික සංධානය නිකුත්කර ඇත්තේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් නොව මැතිවරණ ප්‍රකාශයකි. එය දෙදහස් දහයේ ද ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශය යැයි දෙමළ ජාතික සංධානය පවසයි. ඒ කෙසේ වුවත් පක්‍ෂයක මැතිවරණ ප්‍රකාශයක් යනු එහි ප්‍රතිපත්ති ප්‍රකාශයේ ම (එය ප්‍රසිද්ධ කර ඇත් ද නැත්ද යන්න වෙන ම ප්‍රශ්නයකි.) ඇතැම් කොටසක සවිස්තර ප්‍රකාශයක් වෙයි. මැතිවරණ ප්‍රකාශයක පක්‍ෂයේ සමස්ත ප්‍රතිපත්ති ප්‍රකාශයේ අඩංගු සියල්ල නැතත් ප්‍රතිපත්තිවලට පටහැණි දෙයක් සඳහන් නො වෙයි. ඡන්දදායකයන්ට ආකර්ෂණීය වන්නේ යැයි සිතන ප්‍රතිපත්ති ඡන්දායකයන්ට තේරෙන අයුරින් මැතිවරණ ප්‍රකාශයේ සඳහන් වෙයි. මැතිවරණ ප්‍රකාශයකින් ෙසෙද්ධාන්තික ව කෙරෙන්නේ මේ ආකර්ෂණීය වන්නේ යැයි සිතන කොටස් අදාළ ඡන්දදායකයන්ට ඉදිරිපත්කර ඔවුන්ගේ ඡන්දය දිනාගැනීම ය. පක්‍ෂ ප්‍රතිපත්තිවලට පටහැණි කිසිවක් මැතිවරණ ප්‍රකාශයක අඩංගු නො වෙයි. එසේ නම් ඒබ්‍රහම් සුමන්තිරන් යන මන්ත්‍රීවරයා තම පක්‍ෂයේ මැතිවරණ ප්‍රකාශය ප්‍රතිපත්ති ප්‍රකාශය නො වේ යැයි කීමට මෙතරම් වලිකන්නේ ඇයි? සුමන්තිරන්ගේ සූදානම කොළේ වසා ගැහීමට ය. දෙමළ ජාතික සංධානය අද උතුරු පළාතේ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වී සිටින්නේ ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂයේ නමින් ය. ඒ 1949 දී පමණ ඈත කාලයක තවත් ක්‍රිස්තියානි භක්තිමතකු වූ (ඔහු  අයත්වූයේ මෙතෝදිස්ත සභාවට නොව දකුණු ඉන්දිය සභාවට ය) චෙල්වනායකම් වෙන ම දෙමළ රාජ්‍යයක් පිහිටුවා ගැනීම සඳහා ඇරඹූ පක්‍ෂය ය. (ඒ පක්‍ෂයේ භාණ්ඩාගාරික වූ නාගනාදන් ද ක්‍රිස්තියානි විය) අද දෙමළ ජාතික සංධානය තරග වදින්නේ දෙමළ රාජ්‍ය පක්‍ෂයේ ගෙය ලකුණෙන් ය. විග්නේස්වරන් මහා ඇමති ධුරය සඳහා සටන් කළ ද පක්‍ෂයේ අනාගත නායකයා සුමන්තිරන් බවට ලකුණු පහළ වී ඇත්තේ එ ජා පක්‍ෂයේ නායකත්වය විජේවර්ධන පවුලේ රැඳවීමට දරණ උත්සාහයට සමගාමීව ය. එ ජා පක්‍ෂය මෙන් ම දෙමළ රාජ්‍ය පක්‍ෂය ද හැසිරවෙන්නේ බටහිරයන්ට අවශ්‍ය ආකාරයට ය. මේ යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ අවශ්‍යතාව ය. වැලිවේරිය සිද්ධිය සම්බන්ධයෙන් මෙතෝදිස්ත සභාව ප්‍රකාශයක් නිකුත් කළේ අඬන්න සිටි එකාට ඇඟිල්ලෙන් ඇනීම සිහිගන්වමිනි.

සුමන්තිරන්ට අවශ්‍ය තම අනාගත බලාපොරොත්තු වසන් කිරීමට ය. ව්‍යවස්ථා විරෝධී ඊළාම් මැතිවරණ ප්‍රකාශයක් නිකුත්කර ඇති දෙමළ ජාතික සංවිධානය ගැලවීම සඳහා එය ප්‍රතිපත්ති ප්‍රකාශයක් නොවේ යැයි දැනට කියයි. පසුව ඔවුන් සමහරවිට කියනු ඇත්තේ එය ඉලංකෙයි තමිල් අරසු කචිචියේ මැතිවරණ ප්‍රකාශයක් නොවන බව ය. ඒ කුමක් කීව ද මේ මැතිවරණ ප්‍රකාශය බටහිර රටවල සිටින විසිරුණු දෙමළ ජනයා හා බටහිර රටවල් සඳහා ය. උතුරේ ජනතාව එහි දී ඊනියා ජනවරමක් දී ඇති බව පෙන්වීමට සුමන්තිරන්ලා උත්සාහ කරති. ඒ ඊනියා ජනවරම යොදා ගැනීමට බලාපොරොත්තු වන්නේ සුමන්තිරන්ලා පිටුපසින් සිටින්නේ සිටින බටහිර රටවල් හා ඒ රටවල සිටින විසිරුණු දෙමළ ජනයා ය. එහෙත් මැතිවරණවල දී මැතිවරණ ප්‍රකාශ ඔස්සේ ජනවරම් ලබාගත නො හැකි ය. ඒ කෙසේ වෙතත් සුමන්තිරන් ලා, සම්බන්ධන් ලා විග්නේෂ්වරන් ලා ට අවශ්‍ය නන්දිකඩාල් කලපුවේ දී වළ දැමුණු අඩුම තරමින් අවුරුදු එකසිය හැත්තෑවකට වඩා ක්‍රියාත්මක වූ දෙමළ ජාතිවාදී දේශපාලනයක් නැවත ගොඩ ගැනීම ය. ඔවුහු ෙසේවරීභාවය බෙදාහදා ගැනීමක් කියති. මේ ස්වෛරිභාවය බෙදාහදාගැනීමට හැකි යැයි සිතමු. බෙදාහදාගැනීමකට අඩුම තරමෙන් දෙපැත්තක් එකඟ විය යුතු ය. ස්වෛරීභාවය බෙදාහදාගැනීමට සිංහලයෝ අකමැති වෙති. සුමන්තිරන්ලාටත් බටහිරයන්ටත් අවශ්‍ය සිංහලයන්ට බලහත්කාරයෙන් ස්වෛරිභාවය බෙදාහදාගැනීමට කීමට ය. අනෙක් අතට ස්වෛරිභාවය යනු ජනතාව සමස්තයක් ලෙස සතු වූවක් මිස ජනවර්ගවලට පංගු වශයෙන් බෙදාගත හැකි දෙයක් නො වේ. මෙරට දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම වූ අසාධාරණයක් නැත. දෙමළ වීම නිසා ම ඇති වූ ප්‍රශ්නය කුමක් ද යන්නට පිළිතුර දෙමළ වීම යන්න නො වේ. ඔබේ මෝඩකම නිසා ඇති වී තිබෙන  ප්‍රශ්නය කුමක් ද යන්නට පිළිතුර ලෙස යමකු පඬියකු සේ ඒ මෝඩකම යැයි කී විට ඉන් කියැවෙන්නේ පඬියාගේ මෝඩකම පමණ ය. මෙරට ප්‍රශ්නයක් ඇත්තේ සිංහල බෞද්ධයනට ය. එය උතුර හා නැගෙනහිර නැතිවීම යැයි අපි කියා නැත්තෙමු. අප කියා ඇත්තේ සිංහල බෞද්ධයනට හා සිංහල බෞද්ධ සංස්කෘතියට රටේ කිසි තැනක හිමි විය යුතු තැන හිමි වී නැති බව ය. තවමත් මෙරට ආධිපත්‍යය දරන්නේ යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය ය. අධ්‍යාපනය හා ජනමාධ්‍ය එය වර්ධනය කරයි. ජූලම්පිටියේ අමරෙ බිහිවන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියක නොව ඉන්ද්‍රිය පිනවීමට, හැඟීම්වලට හා පෞද්ගලිකත්වයට තැන දෙන යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි ය.


බටහිරයෝ අවුරුදු සිය ගණනක් තිස්සේ තම ආධිපත්‍යය තහවුරු කර ගැනීම සඳහා සිංහල බෞද්ධයනට විරුද්ධව විවිධ ජනවර්ග යොදාගත්හ. අද ද එසේ කරති. එහෙත් අද වන විට සිංහල ක්‍රිස්තියානීහු හා කතෝලිකයෝ අති විශාල පිරිසක් ද මැලේ ජනයා ද ඇතැම් මුස්ලිම් හා දෙමළ ජනයා ද බටහිරයන්ගෙන් කැඩී සිංහල බෞද්ධයන් සමග එකට සිටිති. එහෙත් ඇතැම් ක්‍රිස්තියානි හා කතෝලික පූජකවරු ද රාජ්‍ය නොවන ගැත්තෝ ද කසිකබල් මාක්ස්වාදීහු ද, මෙරට ජාතිකත්වයට එරෙහි ව යුදෙවු ක්‍රිස්තියානි යටත්විජිතවාදයට සේවය කරති.  අසරණ දෙමළ ජනයා වෙල්ලාලයන්ගේ හා ක්‍රිස්තියානීන්ගේ (යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ) ඉත්තන් බවට පත් වී සිටිති. ඔවුන් එයින් ගලවා ගන්නේ කෙසේ ද? අද සිංහලයන්ට හා ආණ්ඩුවට ඇත්තේ ඒ ප්‍රශ්නයට පිළිතුරක් සොයාගැනීම ය. වත්මන් සංවර්ධනය සිංහල බෞද්ධ සංවර්ධනයක් නොවූව ද එය දෙමළ ජනයාගෙන් යම් ප්‍රමාණයක් ආණ්ඩුවට දිනාගැනීමට උපකාරී වී ඇත. එය විසි එක්වැනි දා පැහැදිලි වනු ඇත. එහෙත් එය කිසිසේත් ම ප්‍රමාණවත් නො වේ. සිංහල ක්‍රිස්තියානීන් හා කතෝලිකයන් නායක පූජකවරුන්ගෙන් කඩා ගත්තාක් මෙන් දෙමළ ජනයා ද සංස්කෘතික ව වෙල්ලාලයන්ගෙන් හා නායක පූජකවරුන්ගෙන් ගලවා ගත යුතු ව ඇත. පැහැදිලි වැඩ පිළිවෙළක් සහිත ව වෙල්ලායන්ට, නායක පූජකවරුන්ට හා බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදයට එරෙහිව අසරණ දෙමළ ජනයා සංවිධානය කළ යුතුව ඇත. නැතහොත් සිදුවන්නේ වෙල්ලාලයන්, නායක පූජකවරුන් හා බටහිරයන් තම අභිලාෂ (දෙමළ ජනයාට ඇත්තේ අසාධාරණකම් නොව අභිලා’ෂ බව සුමන්තිරන්ලාගේ මැතිවරණ ප්‍රකාශයෙහි සඳහන් ය. එය කට බොරු කීවත් දිව බොරු නොකීමකි.)  මුදුන්පත්කර ගැනීම සඳහා නැවතත් අසරණ දෙමළ ජනයා බිලි දීම ය.


නලින් ද සිල්වා

2013-09-15