History

Sunday, 13 October 2013

විග්නේෂ්වරන් දිවුරුම් දෙයි


උතුරු පළාතේ ආණ්ඩුකාරතුමා පසෙකින් සිටිය දී විග්නේෂ්වරන් උතුරු පළාතේ මහ ඇමති ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ   දිවුරුම් දුන්නේ ය. අප එය සුළුවෙන් තැකිය යුතු නො වේ. දෙමළ ජාතික සංධානය මුල දී ආණ්ඩුකාරතුමා ඉදිරියේ දිවුරුම් දීම ප්‍රතික්‍ෂෙප කළා පමණක් නොව ආණ්ඩුකාරතුමා ඉවත්කළ යුතු යැයි කියා සිටියේ ය. තවත් වරක් ජනාධිපතිතුමා යාපනයට පැමිණිය යුතු යැයි කීවේ ය. දෙ ජා ස ආණ්ඩුකාරතුමා ඉවත්කළ යුතු බව කියා සිටියේ එතුමා හමුදා නිලධාරියකු ලෙස කටයුතු කළ බව සඳහන් කරමිනි. ව්‍යවස්ථාවට අනුව විග්නේෂ්වරන්ට මහඇමති ලෙස පත්වීම ලබාගත යුතුව තිබුණේ ආණ්ඩුකාරතුමා ගෙනි. අපි ඒ බව දි අයිලන්ඩ් පුවත්පත මගින් පෙන්වා දුන්නෙමු. විග්නේෂ්වරන් එක්කෝ ව්‍යවස්ථාවට අනුව කටයුතු කළ යුතු ය. එසේත් නැත්නම් ව්‍යවස්ථාව උල්ලංඝනය කර එයට පිටින් වැඩ කළ යුතු ය. එහෙත් ඔහුට දෙවැන්න කළ නො හැකි ය. ඔහු බලය බෙදීමටත් සහසන්ධීය රාජ්‍යයක් ඇතිකිරීමටත් කටයුතු කරන්නේ ඉන්දියාවේ අවශ්‍යතාව පරිදි ය. විග්නේෂ්වරන්, සුමන්තිරන් සහ සම්බන්ධන් ත්‍රිත්වයට ව්‍යවස්ථාවට පිටින් යා නො හැකි ය. හිටපු හමුදා නිලධාරියකු වූ ආණ්ඩුකාරතුමා ඉදිරියේ දිවුරුම් දීමට නොහැකි යැයි කී විග්නේෂ්වරන් සේනාධිනායක මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේ බටහිරයන් ඒ මහතා හා ගෝඨාභය රාජපක්‍ෂ මහතා යුද්ධාපරාධකරුවන් ලෙස තීරණය කර දංගෙඩියට යැවීමට උත්සාහ කරද්දී ය. අවශ්‍ය නම් විග්නේෂ්වරන්ට සාම විනිසුරුවකු ඉදිරියේ දිවුරුම් දීමට හැකියාව තිබිණි. දෙ ජා ස මහින්ද රාජපක්‍ෂ මහතා යුද්ධාපරාධකරුවකු ලෙස නො සලකන්නේ ද? ඒ එසේ නම් එය රටට වැඩදායක ය. ලංකාවේ හමුදා මගින් යුද්ධාපරාධ සිදුවුණේ යැයි සිතමු. එසේ නම් ඊනියා ඉන්දීය සාම සාධක හමුදා මගින් ද යුද්ධාපරාධ සිදුවී යැයි සැලකිය යුතු වෙයි. බටහිරයන්ගේ සේවිකාවක් වූ නවනීදන්පිල්ලේගේ අරමුණ පැහැදිලි වන්නේ මෙතැන දී ය. බටහිරයන් දෙමළ ජනයාගේ ඊනියා මානව අයිතිවාසිකම් ගැන දක්වන්නේ ව්‍යාජ උන්දුවකි. ඔවුන්ට අවශ්‍ය රාජපක්‍ෂවරුන් දංගෙඩියට යැවීමට ය. ඔවුන්ට දෙමළ ජනයා ගැන අව්‍යාජ කැක්කුමක් වේ නම් ඔවුන් ඊනියා ඉන්දීය සාම සාධක හමුදාවෙන් දෙමළ ජනයා ඝාතනයවීම් ගැන සොයා බැලීමට කමිටු පත්කරන ලෙස ආණ්ඩුවට බල කළ යුතු ය. ආණ්ඩුව අද කළ යුත්තේ මානුෂික මෙහෙයුම්වල අවසාන සතියට සීමා නොකර ඊනියා තිස්අවුරුදු යුද්ධයේ දී සිදු වූ සියළු කටයුතු සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත්කිරීම ය.  

ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා කෘතියෙහි හතරවැනි මුද්‍රණයෙහි පෙරවදනෙහි සඳහන්කර ඇති පරිදි අද අප එළඹ සිටින්නේ දෙමළ ජාතිවාදයේ හතරවැනි යුගයට ය. අපි නනදිකඩාල් කලපුවේ දී දෙමළ ජාතිවාදී ත්‍රස්තවාදය පැරදුවෙමු. එහෙත් ඒ බව නීති පොතට (ව්‍යවස්ථාවට) ඇතුළත් කිරීමට අපට නො හැකිවිය. එයට විවිධ හේතු වෙයි. අපි සියළු දෙනාම එයට වගකිව යුතු වෙමු. කෙසේ වෙතත් අද දෙ ජා ස උත්සාහ කරන්නේ නන්දිකඩාල් ජයග්‍රහණය ආපසු හැරවීමට ය. එහෙත් දෙ ජා ස එහි දී ඒකමතික ව ක්‍රියා නො කරයි. එහි සම්බන්ධන් ත්‍රිත්වය ක්‍රියා කරන්නේ ඉන්දියාවේ අවශ්‍යතාව පරිදි ය. ත්‍රිත්වය පිටුපස ඉන්දියාව ඇත. ප්‍රේමචන්ද්‍රන් ආදීහු බටහිර රටවල් විසින් මෙහෙයවෙන විසිරුණු දෙමළ ජනයාට අවශ්‍ය අන්දමට කටයුතු කරති. සම්බන්ධන්ලා ව්‍යවස්ථාව යොදාගෙන නන්දිකඩාල් ජයග්‍රහණය ආපසු හරවා ඉන්දියාවේ අවශ්‍යතාව ඉටුකිරීමට කටයුතු කරන අතර ප්‍රේමචන්ද්‍රන්ලා විසිරුණු දෙමළ ජනයාගේ අවශ්‍යතාව පරිදි ව්‍යවස්ථාවට පිටින් ගොස් ඊළම පිහිටුවීමට ක්‍රියා කරති.  උතුරු පළාතේ ජනයා අතර මේ ක්‍රියා මාර්ගයට කැමැත්ත දක්වන්නෝ ද වෙති. විග්නේෂ්වරන්ලා යම් අයුරකින් ව්‍යවස්ථාවට පිටින් යෑමට උත්සාහ කළහොත් එය ප්‍රේමචන්ද්‍රන්ලාට වාසිසහගත තත්වයක් උදාකරනු ඇත. විග්නේෂ්වරන්ලාගේ බලය අහෝසි වී ප්‍රේමචන්ද්‍රන්ලා අතරෙන් තවත් ප්‍රභාකරන් කෙනකු බිහිකිරීමට බටහිරයන් කටයුතු කරනු ඇත. එහෙත් ඉන්දියාව එයට විරුද්ධවනු ඇත. ඉන්දියාවට අවශ්‍ය ඉන්දීය ගැති වෙල්ලාල නායකයන් මිස ප්‍රභාකරන්ලා නො වේ. දෙ ජා ස ඉදිරි කාලයේ දී ක්‍රියාකරනු ඇත්තේ මේ ප්‍රතිවිරුද්ධතා මැද ය. උතුරු පළාත් සභාවේ ඇමතිකම් පිළිබඳ ගැටුමක් ඇත්තේ ද මේ පසුබිමෙහි ය. එය අනෙක් පළාත්වල මහඇමතිකම්, ඇමතිකම් සම්බන්ධයෙන් ඇති වී තිබෙන ආකාරයේ පෞද්ගලිකත්වය මුල් කරගත් ගැටුමක් නොව ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රශ්නයකි.

අප කිසිසේත් ඉන්දියාවට යටවිය යුතු නො වේ. තවත් ප්‍රභාකරන් කෙනකු බිහිවීමට යන්නේ නම් එය ලත් තැන ම ලොප්කිරීමට හමුදාවට හැකි විය යුතු ය. හමුදාව කිසිම අයුරකින් උතුරු පළාතෙන් ඉවත් නොකළ යුතු ය. හමුදාව උතුරු පළාතේ රැඳවීම අවසානයේ දී විග්නේෂ්වරන්ගේ ද යහපතට හේතුවනු ඇත. අමිර්තලිංගම් ඝාතනය කරනු ලැබුවේ කවුරුන් විසින් ද යන්න කාහටත් වඩා හොඳින් සම්බන්ධන් දනියි. දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම ඇති ප්‍රශ්නයක් නැත. දෙමළ නායකයන්ට ඇත්තේ බටහිරයන් විසින් ඇතිකරන ලද අභිලාෂ පමණ ය. මුළු රටේ ම නායකයන් බවට පත්වීමට බලාපොරොත්තු වූ  වෙල්ලාලයන්ට අද උතුරු පළාතට පමණක් සීමා වී එහි වෙන ම රාජ්‍යයක පාලකයන් වීමේ සිහිනය පමණක් ඉතිරි වී ඇත. එහෙත් ඒ සිහිනය සැබෑකර ගැනීමට අපි කිසිවකුට ඉඩ නො දෙමු.  


නන්දිකඩාල් ජයග්‍රහණය ආපසු හැරවීමට විග්නේෂ්වරන්ට හෝ සේනාධිරාජාට හෝ ඉන්දියාවට හෝ බටහිරයන්ගේ ආධාරය ලබන ඒ රටවල වාසය කරන විසිරුණු දෙමළ ජනයහාට හෝ ඉඩ නො දෙමු. එහෙත් ශ්‍රෙෂ්ඨාධිකරණයේ අර්ථවිවරණවලට අනුකූලව ව්‍යවස්ථාවට එකඟ ව උතුරු පළාත සංවර්ධනය කිරීමට පමණක් අවශ්‍ය පරිදි දෙමළ ජාතික සංධානයට ආධාර කරමු. දෙමළ භාෂාව හා සංස්කෘතිය රැකගැනීම උතුරු පළාත් සභාවේ පමණක් කාර්යභාරය නොවන බව ද අපි මතක් කරමු. මෙරට දෙමළ ජනයා අද උතුරු පළාතේ මෙන් ම නැගෙනහිර, බස්නාහිර, මධ්‍යම, ඌව පළාත්වල ද  විසිරී සිටිති. ඉන්දියාවට ද මතක් කළ යුතු කරුණ නම් ඉන්දියාවේ දෙමළ ජනයාගෙන් අතිවිශාල බහුතරය තමිල්නාඩුවේ ජීවත්වුවත්, ලංකාවේ දෙමළ ජනයාගෙන් සියයට හැත්තෑපහකට වැඩි පිිරිසක් උතුරු පළාතෙන් පිට ජීවත්වන බව ය. විග්නේෂ්වරන් උතුරු පළාතේ මහඇමති මිස මෙරට දෙමළ ජනයාගේ මහඇමති නො වේ. ඔහු අද කළ යුත්තේ ආණ්ඩුවේ ද සහාය ඇතිව උතුරු පළාත යම් ආකාරයකට සංවර්ධනය කිරීම ය. මේ සංවර්ධනයට අප එකඟ ද නැද්ද යන්න මෙහි දී අදාළ නො වේ. විග්නේෂ්වරන් ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන්නේ නම් පමණක් අපි ප්‍රේමචන්ද්‍රන්ට එරෙහිව ඔහුට සහාය දෙමු. 


නලින් ද සිල්වා

2013-10-13