History

Wednesday, 23 October 2013

කෙස්ස සමග උස වැඩිවීම


මෙම ලිපිපෙළ තරමක් විස්තර සහිතව පළකිරීමට මා තීරණය කළේ මහාචාර්ය අමරතුංග මහතා කිසිම ගැඹුරු හැදෑරීමකින් තොරව ලියා ඇති ලිපිය හේතුවෙන් විදුසර පාඨකයා මුළාවීමට ඉඩ තිබෙන බැවිනි. මෙරට දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම ඇති ප්‍රශ්නය කුමක් ද යන්නට පිළිතුරු දීමට උත්සාහ කරන ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පඹගාලක පැටළී ඇත. අද ඔහුගෙන් ඇසිය යුතු ප්‍රශ්නය නම් ආචාර්ය නිර්මාල්ට නිර්මාල්වීම නිසා ම ඇති ප්‍රශ්නය කුමක් ද යන්න ය. එමෙන් ම මහාචාර්ය අමරතුංග මහතාගෙන් ද ඇසිය යුත්තේ ඒ මහතාට අශෝක අමරතුංග වීම නිසා ම ඇති ප්‍රශ්නය කුමක් ද යන්න ය. ඔහුට ඇත්තේ ගුණදාස අමරසේකර මහතාගේ ජාතික චින්තනය යන්න අවුල් සහගත අදහසක් පමණක් බව තේරුම් ගැනීමට අමරසේකර මහතා ඉතා ඉහළින් අගයන ඔහුට නොහැකිවීම පිළිබඳ ප්‍රශ්නයකි. ඒ අතර තුන්වැනි සංගායනාවේ බුදුදහම හා බටහිර විද්‍යාව අනුව ඊනියා යථාර්ථයක් ඇතැයි අමරතුංග මහතා විශ්වාස කරයි. 

අමරසේකර මහතා මෙන් ම අමරතුංග මහතා ද පශ්චාත්නූතනවාදය ගැන හැදෑරීමක් කර නැත. එසේ කර ඇත්නම් පශ්චාත්නූතනවාදය යනු කුමක් දැයි කෙටියෙන් සඳහන් කර කූන්ට හා ෆෙයරාබන්ඩ්ට පශ්චාත්නූතනවාදී ලක්‍ෂණ ඇති බව හේතු සහිතව පෙන්වා දීමට ඒ මහතාට හැකි විය යුතු ය. ඔහුට හැකි නම් මේ ලිපි පෙළ අවසන් වනතුරු බලා නොසිට කූන් හා ෆෙයරාබන්ඩ් පශ්චාත්නූතනවාදීන් බව පෙන්වා දෙන මෙන් ඉල්ලා සිටිමි. එහෙත් ඔහු කිසි දිනෙක එවැනි ව්‍යාපෘතියකට අත නොගසනු ඇත. එමෙන් ම කිසියම් පොල්මඃකාරයකුගේ ප්‍රකාශයකින් උද්ධෘතයක් ගෙන හැර දැක්වීම එහි දී ප්‍රමාණවත් නොවන බව සඳහන් කළ යුතු ය. අමරතුංග මහතා කළ යුත්තේ පශ්චාත්නූතනවාදියකු හඳුනාගැනීමේ නිර්ණායක සංගත ආකාරයකින් ඉදිරිපත් කර කූන් හා ෆෙයරාබන්ඩ් ඒ නිර්ණායක සපුරාලන බව හේතු සහිත ව පෙන්වා දීම ය.       

කූන් පශ්චාත්නූතනවාදියකු තබා සාෙප්ක්‍ෂතාවාදියකුවත් නොවන බව අපි සඳහන් කළෙමු. කූන්ට අනුව බටහිර විද්‍යාවේ සුසමාදර්ශ විප්ලවීය කාලවල දී වෙනස් වෙයි. එසේ වෙනස්වීමෙන් පසු නිර්මාණය වන ප්‍රවාද කලින් තිබූ ප්‍රවාද සමග අසම්මේය (incommensurable) වෙයි. සරල ව කිවහොත් ඒ ප්‍රවාද සංසන්දනය කිරීමට නො හැකි ය. නිව්ටෝනීය හෙවත් ගැලීලීය සාපේක්‍ෂතාවාදය සහ අයින්ස්ටයිනීය සාපේක්‍ෂතාවාදය අතර ඇත්තේ නොපෑහෙන වෙනසකි. නිව්ටන්ට අනුව අවකාශය හා කාලය වෙන වෙන ම නිරපේක්‍ෂව පවතියි. අයින්ස්ටයින්ගේ අවකාශය හා කාලය එකිනෙකට බැඳුණු සාපේක්‍ෂ සංකල්ප වෙයි. අයින්ස්ටයින්ගේ අවකාශය කාලයෙන් තොරව නො පවතියි. අයින්ස්ටයිනීය සාපේක්‍ෂතාවාදය යොදා ගැනීමෙන් ලැබෙන ප්‍රතිඵල සන්නිකර්ෂණය කිරීමෙන් නිව්ටෝනීය යාන්ත්‍රිකයේ ප්‍රතිඵල ලබාගත හැකි ය. එහෙත් එයින් කියැවෙන්නේ අයින්ස්ටයිනීය සංකල්ප නිව්ටෝනීය සංකල්ප මගින් විස්තර කළ හැකි බව නො වේ. ගණිත සන්නිකර්ෂණ මගින් වෙනත් ප්‍රවාදයක ප්‍රතිඵල ලබාගත හැකි ය යන්නෙන් අදාළ සංකල්ප සැසඳිය හැකි බව ගම්‍ය නො වේ. 

බටහිර ෙසෙද්ධාන්තික භෞතික විද්‍යාවෙහි ප්‍රතිඵල මැණීය හැකි ආකාරයකින් බොහෝ විට ඉදිරිපත් කෙරෙයි. මැණීම යන්න ක්වොන්ටම් භෞතිකයෙහි දාර්ශනික ගැටළුවක් ලෙස සාකච්ඡා කෙරෙයි. එහෙත් කිසිවකු ඒ ගැන කතා නොකළ ද බටහිර සම්භාව්‍ය භෞතික විද්‍යාවෙහි ද මැණීම යන්න නිසි ලෙස අවබෝධ කර නොගත් සංකල්පයකි. මැණීය හැක්කේ බටහිර ගණිතයේ ඊනියා තාත්ත්වික සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි වූවකි. වෙනත් අයුරකින් කිවහොත් බටහිර ෙසෙද්ධාන්තික භෞතික විද්‍යාවෙහි කියැවෙන සංකල්පයක් හා බටහිර ගණිතයේ තාත්ත්වික සංඛ්‍යා (රේඛාව) අතර අනුරූපතාවක් තිබිය යුතු ය. ඒ අනුරූැපතාව නොමැතිව කිසිවකුට කිසිවක් මැණගත නො හැකි ය. වෙනත් ක්‍ෂෙත්‍රයක වුව ද එය එසේ ම ය. දත යන සංකල්පයෙහි දත් එකිනෙකින් වෙන්කර ගැනීමට නොහැකි නම් අපට දත් ගණන්කර ගැනීමට ද නො හැකි ය. 

අපට උස මැනගැනීමට හැකි වී ඇත්තේ උස යන සංකල්පය හා තාත්ත්වික සංඛ්‍යා අතර අනුරුපතාවක් ඇතිකර ගැනීමට හැකි වී තිබෙන බැවිනි. එමෙන් ම බර කිරීමට හැකි වී තිබෙන්නේ ද බර යන සංකල්පය හා තාත්ත්වික සංඛ්‍යා අතර අනුරුපතාවක් ඇති බැවිනි. එසේ වුවත් උස හා බර අතර අනුරුපතාවක් ඇතැයි අපි නො කියමු. සාමාන්‍යයෙන් උස වැඩිවන විට බර ද වැඩිවන නමුත් එසේ නොවන අවස්ථා ද වෙයි. තාත්ත්වික සංඛ්‍යා සමග සංකල්පවල අනුරූපතා තිබූ පමණින් ඒ ඒ සංකල්ප අතර අනුරූපතා ඇති නො වෙයි. 

අනෙක් අතට බොහෝ සංකල්ප හා තාත්ත්වික සංඛ්‍යා අතර අනුරුපතා නැත. ඇතැම් සංකල්ප හා තාත්ත්වික සංඛ්‍යා අතර ඇත්තේ අමාරුවෙන් තනාගත් අනුරූපතා ය. උදාහරණයක් ලෙස මිනිසකුගේ හොඳ යන්න (එම සංකල්පය) හා තාත්ත්වික සංඛ්‍යා අතර අනුරුපතාවක් නැත. අපට යමකු තවත් අයකුට වඩා හොඳ බව කිවහැක්කේ හොඳ යන්නට ලකුණු දීමෙන් (තාත්ත්වික සංඛ්‍යා සමග අනුරූපතාවක් ඇති කර ගැනීමෙන්) නො වේ. අපට හොඳ බව පිළිබඳ ඇත්තේ හැඟීමකි. එය එක් එක් අයගෙන් වෙනස් වෙයි. මා හොඳ යැයි සලකන අයකු වෙනත් අයකුට හොඳ නොවිය හැකි ය. හොඳ යන්න සාපේක්‍ෂ සංකල්පයකි.

මෙයින් කියැවෙන්නේ තාත්ත්වික සංඛ්‍යා සමග අනුරුපතාවක් ඇති සංකල්ප නිරපේක්‍ෂ බව නො වේ. මේ සංකල්ප සියල්ල මිනිසුන්ගේ නිර්මාණ ය. මෙරට විශ්වවිද්‍යාලවල මහාචාර්ය තනතුරුවලට උසස් කිරීමේ දී යම් ලකුණු පටිපාටියක් අනුගමනය කෙරෙයි. එනම් විශ්වවිද්‍යාල ඇදුරන්ගේ වැඩ කිඩ සම්බන්ධයෙන් ලකුණු දීමේ ක්‍රමයක් ඇත. මේ ලකුණු දීම මගින් විශ්වවිද්‍යාල ඇදුරන්ගේ ඊනියා සුදුසුකම් හා තාත්ත්වික සංඛ්‍යා අතර අනුරුපතාවක් ඇති කෙරෙයි. ඕනෑම ලකුණු ක්‍රමයක් යනු මිනිසුන් විසින් යම් සංකල්පයක් හා තාත්ත්වික සංඛ්‍යා අතර තනාගනු ලැබ ඇති අනුරූපතාවකි. 

විශ්වවිද්‍යාල ඇදුරන්ගේ ඊනියා සුදුසුකම් හා තාත්ත්වික සංඛ්‍යා අතර අනුරුපතාව සකස් කර ඇත්තේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව මගිනි. එය ඊනියා වාස්තවික හෝ නිරපේක්‍ෂ අනුරුපතාවක් නොවන බව පැහැදිලි ය. ලකුණු දීමේ පටිපාටි වෙනස්කිරීමෙන් ඇතැම් මහාචාර්යවරුන් නුසුදුස්සන් බවට පත්කළ හැකි ය. එය එතරම් ම සාපේක්‍ෂ ය. ඒ ඒ මහාචාර්යවරයා ඒ ඒ ලකුනු ක්‍රමයට සාපේක්‍ෂව මහාචාර්ය පදවි ලබාගෙන ඇත. අහවලා මහාචාර්යවරයකු යැයි කියන විට ඔහු මහාචාර්ය වී ඇත්තේ කිනම් ලකුණු පටිපාටියකට සාපෙක්‍ෂ ව දැයි කියන්නේ නම් මැනවි. මෙරට සියළු මහාචාර්යවරු යම් ලකුණු ක්‍රමයකට සාපේක්‍ෂ මහාචාර්යවරු වෙති. 

උස යන්න එවැනි සාපේක්‍ෂ ලකුණක් නො වේ යැයි කිසිවකු කීමට ඉඩ ඇත. එහෙත් උස යන්න ද මිනිසුන්ගේ නිර්මාණයකි. එය කේශාන්තයේ සිට පාදාන්තය තෙක් යැයි තීරණය කළේ කවු ද? අද ඇතැම් තරුණයෝ කෙස් බූගාති. ඔවුන්ගේ උස කේශාන්තයේ සිට පාදාන්තය තෙක් මැණිය හැකි නො වේ. කෙස්ස බූ ගැ විට උස ද සුළු ප්‍රමාණයකින් වුවත් අඩුවන බව පැහැදිලි ය. කෙස්ස බූ ගෑ පමණින් නිල වශයෙන් උස අඩුවන්නේ කෙසේ ද? 

අනෙක් අතට අපට ඇතැයි කියන රැස් වළල්ල උස මැනීමේ දී සැලකිල්ලට නො ගැනෙයි. එසේ සැලකිල්ලට ගතහොත් උස පිළිබඳ අපේ අදහස් ද වෙනස් වනු ඇත. කේශාන්තයේ සිට පාදාන්තය තෙක් උස මැනීමේ දී සඳුන් සමන්ට වඩා උස යැයි සැලකුණ ද රැස් වළල්ල ද සලකා උස මැන්නොත් සමන් සඳුන්ට වඩා උස යැයි ඇතැම් විට තීරණය වනු අුත. උස යන සංකල්පය මිනිසුන්ගේ නිර්මාණයකි. රැස් වළල්ල ගෝචර වන ඉන්ද්‍රියයක් අපට නැති බැවින් අද අප උස මනින්නේ, එනම් උස යන සංකල්පය හා තාත්ත්වික සංඛ්‍යා අතර අනුරුපතාවක් නිර්මාණය කර ඇත්තේ අපේ මනසට හා පංචෙන්ද්‍රියයන්ට සාපේක්‍ෂව ය. මේ සාපේක්‍ෂතාව අපට මගහැරිය නො හැකි ය.

අප එක් ලකුණු පටිපාටියකට අනුව මහාචාර්යවරයකු බවට පත් වූ අයකු වෙනත් ලකුණු පටිපාටියකට අනුව මහාචාර්යවරයකු වූ අයකු සමග සංසන්දනය කරන්නේ කෙසේ ද? එය කළ නො හැකි ය. අනෙක් අතට ඕනෑම ලකුණු පටිපාටියක් මිනිසුන්ගේ නිර්මාණයක් වන අතර ඒ සාපේක්‍ෂ වෙයි. එහෙත් මහාචාර්යවරුන් සිතන්නේ එසේ නො වේ. ඔවුන්ට අනුව නිරපේක්‍ෂ මහාචාර්යවරු වෙති. නිරපේක්‍ෂව උසින් වැඩි අය වෙති.

ඇතැම් සංකල්ප හා තාත්ත්වික සංඛ්‍යා අතර අනුරූපිත ගොඩ නැගීමට හැකි වූ පමණින් ඒ ඒ සංකල්ප සංසන්දනය කළ නො හැකි ය. එක් චක්‍ර ලේඛයකට (ලකුණු දීමේ පටිපාටියකට)  අනුව මහාචාර්යවරුන් වූ අය හා වෙනත් චක්‍ර ලේඛයකට අනුව මහාචාර්යවරුන් වූ අය සමග සංසන්දනය කළ හැකි නො වේ. එහෙත් මහාචාර්යවරු ඒ බව නො දනිති. එසේත් නැතහොත් ඒ බව නො කියති.

නිව්ටෝනීය දිග (අවකාශය) තාත්ත්වික සංඛ්‍යා සමග අනුරූපතාවක් සාදන ලෙස සකස් කළ හැකි ය. එමෙන් ම අයින්ස්ටයිනීය දිග ද එලෙස තාත්ත්වික සංඛ්‍යා සමග අනුරූපතාවක් සාදන අයුරෙන් සකස් කළ හැකි ය. එහෙත් ඒ දිග පිළිබඳ ව වූ සංකල්ප එකිනෙක සමග සංසන්දනය කළ හැකි නො වේ. වස්තුවක නිව්ටෝනීය දිග වස්තුවේ ප්‍රවේගය මත පරායත්ත නො වේ. යම් නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂ ව වස්තුවේ වේගය කුමක් වුවත් එහි නිව්ටෝනීය දිග වෙනස් නො වේ.

එහෙත් වස්තුවක අයින්ස්ටයිනීය දිග එසේ නො වේ. එහි දිග නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව ප්‍රවේගය අනුව වෙනස් වෙයි. මේ දිග පිළිබඳ සංකල්ප හා තාත්ත්වික සංඛ්‍යා අතර වෙන වෙන ම අනුූරූපතා ඇති නමුත් එයින් ඒ ඒ දිග අතර අනුරූපතාවක් ඇති බව ගම්‍ය නො වේ. යම් නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව වස්තුවක අයින්ස්ටයිනීය දිග වස්තුවෙහි සාපේක්‍ෂ ප්‍රවේගය අනුව වෙනස් වෙයි. නිව්ටෝනීය දිග හා අයින්ස්ටයිනීය දිග යනු එකිනෙකට වෙනස් සංකල්ප දෙකක් වෙයි. 

බොහෝ අයට බටහිර ෙසෙද්ධාන්තික භෞතික විද්‍යාව හැදෑරීමට බටහිර වියුක්ත ගණිතය අත්‍යවශ්‍ය වෙයි. බටහිර වියුක්ත ගණිතය ගැන එතරම් අවබෝධයක් නොමැතිව බටහිර ෙසෙද්ධාන්තික භෞතික විද්‍යාච පිළිබඳ අවබෝධයක් ලබාැනීමට අයින්ස්ටයින්ගේ ගණයේ අන්තර්ඥානයක් තිබිය යුතු ය. එහෙත් උසස් පෙළ පරීක්‍ෂණයෙහි දී එකල තිබූ ලකුණු ලබාදීමේ පටිපාටිය අනුව භෞතික විද්‍යාව අසමත් වූ ඇතැම් වර්තමාන මහාචාර්යවරු බටහිර ගණිතය පිළිබඳ මනා අවබෝධයක් හෝ  අයින්ස්ටයින්ගේ අන්තර්ඥානය හෝ නොමැතිව බටහිර භෞතික විද්‍යාව පිළිබඳ ජනප්‍රිය පොතපත කියවා බටහිර ෙසෙද්ධාන්තික භෞතික විද්‍යාවේ දර්ශනය පිළිබඳ විහිළු සපයති. 

මේ මහාචාර්යවරුන්ට අනුව (බටහිර රටවල විද්‍යාවේ දර්ශනය ගැන කතාකරන්නන් බොහෝ විට බටහිර ෙසෙද්ධාන්තික භෞතික විද්‍යාඥයන් වුව ද ලකොවේ ජෛවීය විද්‍යා අංශවල මහාචාර්යවරු බටහිර විද්‍යාවේ දර්ශනය ගැන කතාකිරීමට බොහෝ විට පෙළඹෙති.) නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව වස්තුවේ ප්‍රවේගය ආලෝකයේ ප්‍රවේගයෙන් අංශු මාත්‍රයක් වන විට අයින්ස්ටයිනීය ප්‍රතිඵල සන්නිකර්ෂණව නිව්ටෝනීය සංකල්පවලට සමාන වීමෙන් පෙන්නුම් කෙරෙන්නේ අයින්ස්ටයිනීය සංකල්ප නිව්ටෝනීය සංකල්පවල ම වර්ධනයක් බව ය. එය ද පට්ටපල් බොරුවකි. 


නලින් ද සිල්වා

2013-10-23