History

Wednesday, 9 October 2013

තමන් ඇතැයි ගැනීම


මනස පවතින්නේ මනසට සාපේක්‍ෂව යැයි පැවසීම තුන්වැනි සංගායානවේ බුදුදහම වාස්තවික යථාර්ථයක් ලෙස සලකන ඇතැම් බෞද්ධයනට දිරවාගත නොහැකි බව මම දනිමි. තමන් ථෙරවාදයෙහි සුපිරි ආරක්‍ෂකයන් යැයි සිතන ඔවුහු නැති මනසක් නැති මනසකට  සාපේක්‍ෂව ගන්නා මා බෞද්ධයකු නොවේ යැයි කියති. එහෙත් මනසක් ඇතැයි පිළිගන්නා මේ සුපිරි ථෙරවාදී බෞද්ධයන්ට නිවන් අවබෝධයේ දී හා විශේෂයෙන් ම පිරිනිවන්පෑමේ දී ඒ ඇතැයි කියන මනසට කුමක් සිදුවන්නේ දැයි කිව නො හැකි ය. 

පිරිනිවන් පෑමේ දී ඒ ඇතැයි කියන මනස නැතිවන්නේ නම් එවිට එය උච්ඡෙදවාදී අදහසක් වෙයි. පිරිනිවන් පෑමෙන් පසුවත් මනස ඇතැයි කියන්නේ නම් එය ශාස්වතවාදී වෙයි. එසේත් නැත්නම් පිරිනිවන් පෑමේ දී මනස නැතිවන්නේත් නැත, පවතින්නේත් නැත යනුවෙන් කියන්නේ නම් එය උච්ඡෙදවාදී මෙන් ම ශාස්වතවාදී ද වෙයි. පිරිනිවන් පෑමෙන් පසුව මනස ඇත එමෙන් ම නැත යනුවෙන් කීව ද ඉහත කී දෝෂයට ම හසුවෙයි. සුපිරි ථෙරවාදීන් ඒ සම්බන්ධයෙන් කුමක් කියන්නේ දැයි නො දනිමි. බුදුන් වහන්සේ උච්ඡෙදවාදී මෙන් ම ශාස්වතවාදී දහම් ගැන හෝ උච්ඡෙදවාදී හෝ ශාස්වතවාදී හෝ නොවන දහම් ගැන හෝ දේශනා කර ඇති බවක් මම නො දනිමි. 

මේ සියල්ලෙන් ගැලවී යෑම සඳහා ඔවුන් අවසාන වශයෙන් කියනු ඇත්තේ නිවන් අවබෝධයේ දී සිදුවන්නේ කුමක් ද යන්න අපට කතාකළ නොහැකි බව ය. එහෙත් කලින් සඳහන් කර ඇති පරිදි අටුවාචාරීන් වහන්සේ ඒ ගැන කතාකර ඇති අතර ඇතැම් වත්මන් පඬුවෝ ද නිවන පිළිබඳ විවිධ අදහස් පළ කරති. සුපිරි ථෙරවාදීන් එවැනි අය ඉවසන්නේ කෙසේ ද යන ප්‍රශ්නය පැන නැගීම වැළැක්විය හැකි නො වේ. 

නිවන චතුස්කෝටිකයෙන් ද බැහැර වන බව ද තර්කයෙන් අවබෝධ කරගත නොහැකි බව ද පිළිගනිමි. එහෙත් එයින් කියැවෙන්නේ එය නිවන් අවබෝධයට පෙර මනසක් පවතින්නේ යැයි උපකල්පනය කිරීමට යොදා ගත හැකි බව නො වේ. අප කතාකරන්නේ නිවන් අවබෝධයට පෙර ඇති හෝ නැති හෝ මනසක් ගැන ය. නිවන් අවබෝධයට පෙර මනස ඇත, නැත, ඇත හා නැත, ඇත්තේත් නැත නැත්තේත් නැත යන්නෙන් කුමක් දැයි සුපිරි ථෙරවාදීහු පැහැදිලි කර දෙත්වා!  අපට නම් එහි දී පිළිතුරක් ඇත. ඇතැයි යනුවෙන් ගන්නා මනසකට සාපේක්‍ෂව මනසක් ඇත.

අපේ දැනුමේ පදනම මා යනුවෙන් පුද්ගලයකු ඇතැයි යන්න ය. අනෙක් සියළු දැනුම් ඒ ඇතැයි යනුවෙන් ගන්නා මනසට සාපේක්‍ෂ ය. අප සංසාරයේ සැරිසරන්නේ ද මා යනුවෙන් පුද්ගලයකු ඇතැයි ගැනීම නිසා ය. සියළු සත්ත්වයන්ට ඒ කරුණ පොදු වෙයි. සත්ත්වයෝ තමන් ඇතැයි සිතති. සත්ත්වයන් හා ගහකොළ පුටු ඉලෙක්ට්‍රෝන අතර වෙනස ද එය ය. පුටුවක් තමන් ඇතැයි නො සිතයි. ඉලෙක්ට්‍රෝනයකට තම පැවැත්ම ගැන දැනීමක් නැත. පුටුවට හා ඉලෙක්ට්‍රෝනයට තමන් ගැන නොව කිසිවක් ගැන දැනීමක් නැත. 

පොල්ගෙඩියකට එහි පැවැත්ම ගැන දැනීමක් හෝ දැනුමක් හෝ නැත. එයට නැවත ඉපදීමක් ද නැත. එහෙත් එයින් අදහස් වන්නේ පොල්ගෙඩිය හෝ ඉලෙක්ට්‍රෝනය හෝ පුටුව හෝ නිවන් අවබෝධ කර ඇති බව නො  වේ. නිවන් අවබෝධ කිරීමට සංසාරය අවශ්‍ය ය. සංසාරයක් නැතිව නිවනක් නැත. ඉලෙක්ට්‍රෝනයට සංසාරයක් නැත. එයට සංසාරයක් නැත්තේ එයට තමන් ඇතැයි යන දැනීම නොමැති බැවින් ය. 

ඉලෙක්ට්‍රෝනයට තම පැවැත්ම පිළිබඳ දැනීමක්, හැඟීමක් නැති වුව ද පොල්ගෙඩියකට තම පැවැත්ම පිළිබඳ හැඟීමක් නැති වුව ද සිංහල බෞද්ධ සංස්කෘතියක පොල්ගෙඩියකට යම් අනන්‍යතාවක් ඇත. වෙනත් සංස්කෘතීන්වල ද එලෙස අනන්‍යතා තිබිය හැකි ය. එහෙත් වෙනත් සසේකෘතියකට සාපේක්‍ෂව පොල්ගෙඩියකට ආත්මයක් ද ඇත. එය පුද්ගලාත්මවාදයක් නොව ධර්මාත්මවාදයකි. මේ ආත්මවාදය පොල්ගෙඩියට නොව එය නිරීක්‍ෂණය කරන නිරීක්‍ෂකයාට සාපේක්‍ෂ වූවකි. නිරීක්‍ෂකයා පොල් ගෙඩියක් වෙනත් පොල්ගෙඩියකින් වෙන්කර ගන්නේ පොල්ගෙඩියට නිරීක්‍ෂකයා විසින් ආරෝපණය කෙරෙන ආත්මය, අනන්‍යතාව හේතුකොටගෙන ය. 

නිරීක්‍ෂකයන් (අප දැනට මිනිස් නිරීක්‍ෂකයන්ට පමණක් සීමා වෙමු) කවුරුන් වුවත් පොල්ගෙඩියකට අනන්‍යතාවක් ලබා දෙයි. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ද නිරීක්‍ෂයෝ එක් පොල්ගෙඩියක් වෙනත් පොල්ගෙඩියකින් වෙන්කර හඳුනා ගනිති. වෙන්කිරීම යන්න ම වෙනත් යන අදහස ඇතිව කෙරෙන්නකි. මෙහි දී පොල්ගෙඩිය විසින් එය අනෙක් පොල්ගෙඩිවලින් වෙන්කර හඳුනාගනු ලබන්නේ ද යන ප්‍රශ්නය පැන නො නගී. පොල්ගෙඩියට තමන් පිළිබඳ හැඟීමක් නොමැති ව වෙනත් පොල්ගෙඩිවලින් වෙන්කර ගැනීමක් ගැන අදහසක් ඇති නො වේ. පොල්ගෙඩියක් අනෙක් පොල්ගෙඩිවලින් වෙන්කර හඳුනාගනු ලබන්නේ මනසක් ඇති නිරීක්‍ෂකයන් විසිනි.

වෙනත් සංස්කෘතියක නිරීක්‍ෂකයකු සිංහල බෞද්ධ සංස්කෘතියෙහි නිරීක්‍ෂකයකුගෙන් වෙන්වන්නේ කිනම් කරුණු වලින් ද? වෙනත් සංස්කෘතියක නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව පොල්ගෙඩියට අනෙක් පොල්ගෙඩිවලින් වෙන් වූ අනන්‍යතාවක් ඇතිවාක් පමණක් නොව වෙනස් නොවන ආත්මයක් ද ඇත. එය දෙවියන් වහන්සේ ඉදිරියට යන ආත්මයක් නො වේ. එහෙත් නිරීක්‍ෂකයාට සාපේක්‍ෂව පොල්ගෙඩියට වෙනස් නොවන හරයක් ඇත. 

කුරුම්බැට්ටියක සිට කුරුම්බාවක් ඔස්සේ පොල්ගෙඩිය දක්වා සිදුවන වෙනසක් නැතැයි මෙයින් නො කියැවෙයි. එහෙත් ඒ වෙනස සිිදුවන යම්කිසි දෙයක් ඇතැයි සිංහල බෞද්ධ නොවන නිරීක්‍ෂකයා සිතයි. (ඇතැම් සුපිරි ථෙරවාදීන් ද එසේ ගන්නේ දැයි නො දනිමි. මනසක් ඇතැයි සිතන්නන් එසේ ගැනීමේ වරදක් ද නැත) ළදරුවා ළමයකු වී තරුණයකු වී වැඩිමහළු වියට පත්ව මිය යයි.  එහෙත් මේ වෙනස සිදුවන්නේ යම් අනන්‍ය වූ නිත්‍ය වූ ආත්මයකට යැයි සිංහල බෞද්ධ නොවන නිරීක්‍ෂකයෝ සිතති. 

සිංහල බෞද්ධ නිරීක්‍ෂකයෝ ද ප්‍රායෝගික ව ගත්කල එවැනි අනන්‍යතාවක් ආත්මයක් ඇතැයි සිතති. එහෙත් ඔවුන් අඩුම තරමෙන් ගිරවුන් මෙන් කියන්නට දන්නා කරුණක් නම් එලෙස ආත්මයක් ඇතැයි ගැනීම වැරදි බව ය. අනිත්‍ය අනාත්ම ගැන කතාකරන සිංහල බෞද්ධයෝ ඇති වීම හා නැති වීම මිස මොහොතකටවත් පවත්නා දෙයක් ඇතැයි නො සිතති. එහෙත් ඒ ඇතිවීම නැතිවීම ඔස්සේ ම යම් අනන්‍යතාවක් ඇතිකර ගන්නා ආකාරය සිංහල බෞද්ධ මනස මැයෙන් පළ බී ඇති ලිපියෙහි සඳහන් වෙයි. 

අපට සාපේක්‍ෂව පොල්ගෙඩියකට ඇත්තේ ද මේ ඇතිවීම හා නැතිවීම පමණකි. යම් ධර්මතාවක් ඉපදෙයි . එය මොහොතකවත් පැවැත්මක් නොමැතිව නැතිවෙයි. නැතිවීමත් සමග වෙනත් ධරමතාවක් ඇතිවෙයි. එහෙත් ඒ දෙවැනි ධර්මතාවෙහි පළමු ධර්මතාවෙහි අඩංගු තොරතුරුවලින් රාශියක් ඇත. පොල්ගෙඩියට ඒ පිළිබඳ කිසිම වැටහීමක්, දැනීමක් නැතත් මනසක් ඇති නිරීක්‍ෂකයෝ ඒ තොරතුරු ඉදිරියට ගලායෑම හේතුකොටගෙන ඒ ගලායෑම නාම පදයක් වූ ප්‍රපංචයක් ලෙස සලකති. සිංහල බෞද්ධ නිරීක්‍ෂකයකුට සාපේක්‍ෂව පොල්ගෙඩියට අනන්‍යතාවක්, ආත්මයක් ලැබෙන්නේ එපරිද්දෙනි. මෙය මා විසින් නිර්මාණය කෙරෙන කතන්දරයක් පමණක් බවත් මෙහි දී සඳහන් කළ යුතු ය.  

පොල්ගෙඩියක් විචාරශීලී සිංහල බෞද්ධ නිරීක්‍ෂකයකුට පෙනිය යුත්තේ ඉහත සඳහන් ආකාරයට යැයි සිතමි. ඒ පිළිබඳ වෙනත් කතන්දර ද තිබිය හැකි ය. මා ලෝකය නිර්මාණය කරගන්නේ මගේ කතන්දර හා මා විශ්වාස කරන වෙනත් කතන්දර මගිනි. ආත්මිය ව පවතින යම් දෙයක් වෙනස්වනවා නොව වෙනස්වීම  ඔස්සේ සිංහල බෞද්ධ නිරීක්‍ෂකයා අනන්‍යතාවක් ඇති පොල්ගෙඩියක් නිර්මාණය, සංස්කරණය කරයි. පොල්ගෙඩියක් නැති තැන සිංහල බෞද්ධ නිරීක්‍ෂකයා පොල්ගෙඩියක් නිර්මාණය කරන්නේ මනසක් නැති තැන මනසක් නිර්මාණය කරන ආකාරයට ය. 

පොල්ගෙඩි, ගස්ගල් ගැන පමණක් නොව වෙනත් සත්ත්වයන් ද විචාරශීලී සිංහල බෞද්ධයන් විසින් නිරීක්‍ෂණය කෙරෙන්නේ ඒ ආකාරයට ය. අනෙක් සත්ත්වයාට තමන් පිළිබඳ හැඟීමක් ඇත් ද නැත් ද යන්න මෙහි දී බල නොපායි. එහෙත් සත්ත්වයකු පොල්ගෙඩියකින් ඉලෙක්ට්‍රෝනයකින් පමණක් නොව ජීවයක් වූ ගසකින් ද  වෙනස් වන්නේ සත්ත්වයන්ට තමන් පිළිබඳ වූ හැඟීමක් ඇති බැවිනි. 

සත්ත්වයා යනු ස්වයං හැඟීමක්, දැනීමක් ඇති ජීවයක් හෝ වෙනත් ප්‍රපංචයක් යනුවෙන් අර්ථදැක්විය හැකි ය. අප නිරීක්‍ෂණය කරන සත්ත්වයන් ජීව වස්තූන් වන නමුත් බටහිර ජෛවීය විද්‍යාවන්ට අනුව ජීව නොවන සත්ත්වයන් ද සිටිය හැකි ය. අමනුෂ්‍යයෝ, දෙවියෝ, බ්‍රහ්මයො ඕපපාතික  සත්ත්වයෝ වෙති. ඔවුන්ට ද ඔවුන් පිළිබඳ ව වූ හැඟීමක් දැනීමක් ඇත. මෙම ස්වයං හැඟීම මනස විඥානය ආදී ලෙස ද හැඳින්වෙයි. විඥානය හේතුකොටගෙන වෙනත් වස්තූන් හා ජීවීන් පිළිබඳ ව ද  දැනීමක් ගෙන දෙන මුත් එහි මුල් ම ක්‍රියාව වනුයේ තමන් ගැන හැඟීමක් ඇති කර ගැනීම ය. සියල්ලට ම ප්‍රධාන මා යනුවෙන් ඇතිකර ගන්නා හැඟීම ය. අප සංසරයේ දුක් විඳින්නේ ද එබැවිනි. 

මා යනුවෙන් පුද්ගලයකු නැතිවුව ද එසේ පුද්ගලයකු නිර්මාණය කරගැනීම, සංස්කරණය කරගැනීම හේතුවෙන් සංසාරයේ දුක් විඳීම කෙතරම්  කරුමයක් ද? පුටුව, ඉලෙක්ට්‍රෝනය, පොල්ගෙඩිය ආදිය එසේ මා කෙනකු, ආත්මයක් සකස් කර නොගැනීම හේතුවෙන් ඒ වස්තුවලට සංසාරයක් නැත. එහෙත් කලින් සඳහන් කර ඇති ආකාරයට ඒ වස්තු නිවන් දැක ඇති බවක් ඉන් ගම්‍ය නො වේ. නිවන් දැකීමට ඒ වස්තුවලට සංසාරයක් තිබී නැත. ස්වයං විඥානයක් තිබී නැත. 

නාගර්ජුනපාදයන් නිවන සංසාරයට සා පේක්‍ෂ යැයි සඳහන් කර ඇත්තේ මේ නිසා යැයි සිතිය හැකි ය. සංසාරය ගැන නිසි අවබෝධයක් ඇත්තෝ නිවන් අවබෝධ කර ගනිති. පටිච්චසමුප්පදායෙහි විස්තර වන්නේ ද සංසාරය ය. අවිද්‍යාව නිසා සංකාර ආදී වශයෙන් ජාති ජරා මරණ දක්වා කියැවෙන්නේ සංසාරයේ ක්‍රියාකාරීත්වය ය. අවිද්‍යාව ඇති තැන සංසාරය වෙයි. අවිද්‍යාව නැත්නම් සංසාරය නැත. සියල්ල සාපේක්‍ෂ ය. 


අවාසනාවකට නාගර්ජුනපාදයෝ එතැනින් නො නැවතුණහ. උන්වහන්සේ සංසාරයට හා නිවනට උඩින් ශූන්‍යතාවක් ගැන කතාකළහ. එය නිරපේක්‍ෂ විය. එය වරදකි. සංකල්පීය ලෝකය අනිත්‍ය ය, දුක්ඛ ය, අනාත්ම ය, ශූන්‍ය ය. එහෙත් ශූන්‍යතාවක් යනුවෙන් ප්‍රපංචයක් ගැනීම වරදකි. 


නලින් ද සිල්වා

2013-10-09