History

Tuesday, 26 November 2013

මුස්ලිම් බිය


සිංහලුන්ට විශේෂයෙන්ම සිංහල බෞද්ධයින්ට මුස්ලිම්වරුන් කෙරෙහියම් බියක් තිබේ. සමහරුන් එය වෛරයක් කරගන්නා අතර සමහරුන්ට එය කනස්සල්ලකි. ඊට සමගාමීව පොදුවේ මුස්ලිම්වරුන්ටද සිංහලුන් කෙරෙහිබියක් සැකයක් ඇතිබව පෙනේ. මුස්ලිම් බියයනු මේ අන්‍යෝන්‍ය බියයි. මේ අතර අනුන් කෙරෙහි කිසිම බියක් සැකක් නැති සිංහලුන් මෙන්ම මුස්ලිම්වරුන්ද නැතුවා නොවේ.කෙසේ වෙතත් මේ සිංහල මුස්ලිම් පටලැවිල්ලේ විශේෂත්වයක් ඇත. වසරතිහක් තිස්සේ දෙමළ ත්‍රස්තවාදයක් සමඟ සටන් කලද සිංහලුන්ට මෙවැනි සැකයක් බියක් දෙමළුන් කෙරෙහිඇති නොවිනි. රටපුරා අහිංසක සිංහලුන් දෙමළ ත්‍රස්තවාදීන් විසින් ඝාතනය වෙද්දීත් සියලු දෙමළුන් ත්‍රස්තවාදීන් නොවේ යැයි සිතීමට සිංහලුන්ට අපහසු නොවිනි. පැහැදිලිවම අද සිංහලුන් හා මුස්ලිම් ජනයා ඔවුනොවුන් කෙරෙහි දක්වන අගති ආකල්ප පොදුවේ සිංහලුන් විසින් දෙමළජනයා කෙරෙහි නොදැක්වූහ, අදද නොදක්වති.

මුස්ලිම් බියට හේතුව සිතාමතා හෝ නොසිතා හෝ මුස්ලිම්වරුන් විසින් කරගෙන යනු ලබන සංස්කෘතික ආක්‍රමණයයි. පසුගිය වසර පහලොවක් විස්සක් පමණකාලයේ සිටන් මුස්ලිම්වරුන් ජනවර්ගයක් ලෙසට පොදුවේ කරන කටයුතු හරහා සිංහලුන්ගේ සංස්කෘතික අවකාශය ආක්‍රමණය කරමින් සිටිති. හලාල් ප්‍රශ්ණය, බොදුබිම් ආක්‍රමණය, අනවසර පල්ලි ඉදිකිරීම් මීට ඇතිපැහැදිලි නිදසුන්ය. නමුත් මේ සැමටමත් වඩා සිංහලුන්ට දැනෙන්නේ මුස්ලිම්වරුන් සෙසු සමාජයෙන් වෙන්වී කණ්ඩායමක් ලෙසට තමන්ගේ කමක් වඩවා ගැනීමට දරන උත්සාහයයි. බොහෝ සිංහලුන්ට, විශේෂයෙන්ම නගරබද උගත් තරුණයින්ට එය පුද්ගලිකවම දැනේ. ඔවුන් ඊට දක්වන ප්‍රතිචාරය විශේෂයෙන්ම නගරබද උගත් මුස්ලිම් තරුණයින්ටද එපරිදිම දැනේ. මෙවැනි සංස්කෘතික ආක්‍රමණයක් දෙමළ ත්‍රස්තවාදයෙන් සෘජුවම සිදුනොවිනි.දෙමළ බියක් මෙරටඇති නොවූයේ ඒ නිසයි.

නමුත් මුස්ලිම් බිය අනියත බියකි. මුස්ලිම් සංස්කෘතියට මෙරට සිංහල බෞද්ධ සංස්කෘතිය බිමදැමීමට ශක්තියක් නැත. සිංහල බෞද්ධ සංස්කෘතිය වැටෙන්නේ, අදටත් වැටෙමින් පවතින්නේ අපි සුද්දන් අනුකරණය කරමින් බෞද්ධයින් වෙන්නට උත්සාහ කරන නිසාය. මුස්ලිම් බිය නැතිකලහැකිය. මුස්ලිම් බිය ඇතිකලේ මුස්ලිම්වරුන් වුනත් එය නැති කල හැක්කේ සිංහලුන්ටය. එය කල හැක්කේ ඒ සඳහා කැපවුනු දේශපාලණ ව්‍යාපාරයක් මඟිනි. ඒ දේශපාලණ ව්‍යාපාරයේ අභිප්‍රාය වියයුත්තේ වෙන් වෙන්නට තනන මුස්ලිම් වරුන් නැවතත් ජාතිය අවශෝෂණය කරගනිමින් අවසන නිදහස් රාාජ්‍යයක් ගොඩනඟා ගැනීමය.

මුස්ලිම්වරුන්ගේ ආක්‍රමණය ඔවුන් පොදුවේ යුදෙව් ක්‍රිස්තියානි සංස්කෘතියට දක්වන ප්‍රතිචාරයක අතුරු ප්‍රතිඵලයක් විය හැකිය.එසේ නොවීමටද ඉඩ ඇත. මාස කිහිපයකට උඩදී ලංඩනයේ ශ්‍රී ලාංකික නොවන නමුත් තමන් මුස්ලිම් යැයි කියා ගන්නා පිරිසක් ලංකාවේ මුස්ලිම් වරුන් වෙනුවෙන් කල උද්ඝෝෂණයේ පසුපස වූයේ ඉංග්‍රීසීන්ද නැත්නම් මුස්ලිම්වරුන්දැයි කිව නොහැකිය. කෙසේ වෙතත් ලංකාවේ මුස්ලිම්වරුන්ට බාහිර බලවේග විසින් බලපෑම් එල්ල නොවෙතැයි සිතිය නොහැකිය.පසුගිය වසර පහලොව විස්ස අතර ශ්‍රීලාංකික මුස්ලිම් ජනයා අතර සිදුවුනු සංස්කෘතික විපර්යාසයට මූලික හේතුව බාහිර බලවේග විය යුතුය. ඔවුන් ඒ බලවේග සමඟ අත්වැල් බැඳ ගැනීමට යම් ප්‍රවණතාවක් ඇතිබවද පැහැදිලිය. ඒ නිසා සිංහලුන් කල යුත්තේ මුස්ලිම්වරුන්ට බාහිර බලවේගවලට නතු වෙන්නට ඉඩ නොදී සිංහලුන්ට හිතැති බල කේන්ද්‍රයක බැඳ තබා ගැනීමය. වත්මන් ජනාධිපතිතුමා ඊට සුදුසුම තැනැත්තාය. මහින්ද රාජපක්‍ෂ මහතා ඔහුගේ දේශපාලණ ඉතිහාසය පුරාම මෙරට මුස්ලිම්වරුන් සමඟ සුහද සම්බන්ධකම් පැවැත්වූ අයෙකි. ඔහුට සාමාන්‍ය මුස්ලිම් ජනයාගේ පිලිගැනීමක් ඇත. දෙමළ ජනයා අතර පිළිගැනීමක් තිබුනු සිංහල දේශපාලකයෙක් අපට සිටියේ නම් දෙමළ ප්‍රශ්ණය මීට බොහෝ ඉහතදී විසඳා ගැනීමට හැකිවන්නට තිබිනි. ඒ නිසා අද මුස්ලිම් ප්‍රශ්ණයට මැදිහත්වීම සඳහා මහින්ද රාජපක්‍ෂ මහතා වැන්නකු සිටීම වාසනාවක් ලෙස සැලකිය යුතුය. මුස්ලිම් බිය නැතිකිරීමේ අත්‍යාවශ්‍ය පිළියමක් වශයෙන් අප කල යුත්තේ සියල්ලන්ට සාධාරණයක් ඉටුකිරීමට ඔහුට බලකරමින් මුස්ලිම්වරුන් සම්බන්ධයෙන් ඔහුගේ අත තවතවත් සවිකිරීමය. 

බොහෝවිට අද ආගම්-ජනවාර්ගික ලෙස කේන්ද්‍රගතවීමට ප්‍රවණතාවක් ඇත්තේ වයස අවුරුදු තිස්පහට පමණ අඩු උගත් තරුණයින්ටය. මේ අය හැත්තහතේ දරුවන් ලෙස හැඳින්වීමට හැකිය. ජේ ආර් ගේ විවෘත ආර්ථිකය තුල ඔවුන් හැදුනුවැඩුණු පරිසරය ඊට ඉහත පරම්පරා හැදුනුවැඩුණු පරිසරයට වඩා බෙහෙවින් වෙනස්විය. බටහිර සංස්කෘතික ආභාශය නිසා මේ අය බොහෝ දෙනෙක් ස්වාධීනව කටයුතු කිරීමට කැමතිය. ඔවුහු තමන්ගේ පුද්ගලිකත්වය ඉහල කොටසලකති. මුස්ලිම්වරුන් සෙසු සමාජයෙන් වෙන්වී කණ්ඩායමක් ලෙසට තමන්ගේ කමක් වඩවා ගැනීමට දරන උත්සාහය පුද්ගලිකවම ඔවුන්ට දැනෙන්නේ ඒ නිසාය. ඊට පිලියමක් වශයෙන් ඔවුහු සමාන අදහස් දරන අන් අය සමඟ එක් වෙති. සිංහල තරුණයින්ගේ කේන්ද්‍රගතවීම් ඒ අයුරින්ම පුද්ගලිකත්වයක් ඇති මුස්ලිම් තරණයින්ටත් දැනේ. ඔවුන්ද ඒ අනුව වඩවඩා තම කේන්ද්‍රයට ගොනු වෙති. අවාසනාවකට අසූවේ දශකයේදී මෙලෙස අන්තවාදීව කේන්ද්‍රගතවුනු තරුණයින් විසින් අත් කරගත් විනාශය පිළිබඳ හැත්තෑ හතේ දරුවන්ට ඇත්තේ පොතේ දැනුමක් පමණි.

අද මාධ්‍ය මඟින් උලුප්පා තබන සිංහල-මුස්ලිම් ගැටුම විශේෂයෙන්ම හැත්තෑහතේ දරුවන්ගේ ගැටුමකි. ඔවුන් නොපිලිගත්තත් හැත්තෑහතේ දරුවන් ප්‍රශ්ණය දකින්නේ පුද්ගලික අයිතිවාසිකම් මූලික කරගෙනය. නමුත් ඒ ආකාරයට මේ ප්‍රශ්ණය දැක එය විසඳිය නොහැකිය. මන්ද එහිදී අනිවාර්යයෙන්ම ලැබෙන පිලිතුර නම් සියල්ලගේම පුද්ගලික අයිතීන් සමාන ලෙසආරක්‍ෂා වන පරිදි බටහිර සංස්කෘතියට අනුගතවී ජාතිය ආගම හුදෙක් පුද්ගලික අනන්‍යතාවකට පමණක් ලඝුකරනු යන්නය. නමුත් බටහිර සංස්කෘතිය තුල සිංහල බෞද්ධයින්ට සමාජ සාධාරණයක් ඉටු වෙන්නේ නැත.

අප කල යුත්තේ යුදෙව් ක්‍රිස්තියානි අධිරාජ්‍යවාදය එරෙහිව කෙරෙන සටනකට මුස්ලිම් වරුන්ද එකතු කරගැනීමය. තමන්ගේ අනන්‍යතාව රැකිය හැක්කේ ශ්‍රීලාංකික ජාතියකට එක්වීමෙන් යැයි සිංහලුන් විසින් මුස්ලිම්වරුන්ට ඒත්තු ගැන්විය යුතුය. එවිට මුස්ලිම්වරුන් විසින් කරගෙන යනු ලබන සංස්කෘතික ආක්‍රමණය ඔවුන් විසින් නවතා දමනු ඇත. නමුත් සිංහලුන් මුස්ලිම් විරෝධී ලෙස කේන්ද්‍රගතවී සිටිනතාක් කල් එයසිදු නොවේ. මුස්ලිම් විරෝධී සිංහල සංවිධාන වලින් කෙරෙන්නේ මුස්ලිම්වරුන් මහින්ද රාජපක්‍ෂගෙන් ඈත් කරවීමය. ඒ නිසා සිංහලුන් විශේෂයෙන්ම සිංහල බෞද්ධයින් මහින්දරාජපක්‍ෂ මහතා මත විශ්වාසයක් තබමින් තම සංවිධාන මුස්ලිම් විරෝධී ලෙස කටයුතු නොකරනතැනට වග බලා ගතයුතුය. 


මීට දශක තුනකට පමණ ඉහතදීවත් මෙරට මුස්ලිම් බියක් නොතිබිනි. ුකල වෙසක් කාලයට බෞද්ධයින්ගේ තොරණ්වල ඇසුනේ මොහිදීන් බෙග් ගේ ගීය. ඔහු බෞද්ධයෙකු නොවන වග බෞද්ධයින්ට වැදගත් නොවිනි. ඔහු බෞද්ධයෙකු නොවීම ඔහුටද වැදගත් නොවුනා විය යුතුය. එවැනි වතාවරණයක් මෙරට යලිත් ඇතිකරගත හැකිය. සිංහලුන් නිදහස් වෙනතුරු මෙරට ජාතීන් අතර සංහිඳියාවක් ඇති නොවෙනු ඇත. මෙරට ජාතීන් අතර සංහිඳියාවක් ඇති නොවෙනතුරු සිංහලුන්ට නිදහසක් නැත. සිංහලුන් බිය නොවිය යුතුය. 


ජානක වංශපුර

2013-11-26