History

Sunday, 23 February 2014

ජෙනීවා පරදවමු -3


සිංහල ජාතිකවාදීන් බොහෝ දෙනකුට දෙමළ ජාතිවාදී ප්‍රශ්නය නොතේරීම ජෙනීවා පැරදවීමට ඇති ප්‍රධාන බාධාව බවට පත් වී ඇත. මේ බොහෝ දෙනකු අප ඉදිරිපත් කරන මතයට විරුද්ධ වන්නේ ඉතිහාසය හා සමස්තය ගැන හැදෑරීමකින් තොරව ය. ප්‍රශ්නය ඊනියා නිජභූමි ප්‍රශ්නයක් බවට මතයක් ඉදිරිපත් කිරීමේ වෑයමක් ප්‍රබුද්ධයන් යැයි කියාගන්නා අතර වෙයි. එක් ප්‍රබුද්ධයකුට අනුව දෙමළ ප්‍රශ්නය ගැන ඉදිරිපත් කර ඇති නිවැරදි මතය නිජභූමිය පිළිබඳ ප්‍රශ්නය ය. මොවුහු දෙමළ ජාතිවාදය පිටුපස ඇත්තේත් එය මෙහෙයවන්නේත් එංගලන්තය ප්‍රධාන බටහිර රටවල් බවත් දෙමළ ජාතිවාදය යොදා ගැනෙන්නේ බෞද්ධ සංස්කෘතීන් හා චින්තන නැතිකිරීමට බවත් නො පිළිගනිති. ජෙනීවාහි දී ඊනියා මානව අයිතිවාසිකම් කඩකිරීම් පිළිබඳ ප්‍රධාන යෝජනා ඉදිරිපත් කෙරෙන්නේ ශ්‍රී ලංකාව, මියන්මාරය හා උතුරු කොරියාවට විරුද්ධව ය. ඒ රටවල් කිනම් අරථයකින් වුව ද බෞද්ධ රටවල් ය. උතුරු කොරියාව බෞද්ධ නොවේ යැයි ප්‍රබුද්ධයකු පැවසීමට ඉඩ ඇත. එහෙත් අප දන්නා කරුණක් නම් පසුගිය දශක කිහිපය තුළ දකුණු කොරියාව සංස්කෘතික හා ආගමික වශයෙන් ක්‍රිස්තියානි/කතෝලික වී ඇති බවත් උතුරු කොරියාව එසේ වී නොමැති බවත් ය. ඉහත කී රටවල් තුන අතරෙන් මියන්මාරයට විරුද්ධව ගෙනෙන යෝජනාව සැර බාල කර ඒ රටේ ද අනුමැතියෙන් ගෙනෙන එකඟතා යෝජනාවක් බවට පත්කර ඇත. අවුන් සා සු කී යොදා ගැනීමෙන් බටහිර රටවලට මියන්මාරය යම් ප්‍රමාණයකට මෙල්ල කිරීමට හැකි විය. එහි දී බටහිරයෝ ආර්ථික සම්බාධක ද යොදාගත්හ. එහෙත් ලංකාවේ එවැනි තත්වයක් නැත. සු කී වෙනුවට බටහිරයන් ලංකාවේ දී යොදා ගැනීමට උත්සාහ කළේ චන්ද්‍රිකා කුමාරතුංග ව ය. එහෙත් එය අසාර්ථක විය. අද බටහිරයන්ට සුදුසු නායකයකු ලකොවෙන් සොයා ගැනීමට නො හැකි ය. එබැවින් ඔවුහු ම ලංකාවට එරෙහි ව සෘජුව ම ක්‍රියාත්මක වෙති.  කැමරන් විය යුතු පරිදි ම එහි නායකත්වය දරන අතර ඔහුට ඔබාමාගේ හා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහාය නොමඳ ව ලැබෙයි. දෙමළ ජාතිවාදය ඇතිකිරීම පිළිබඳ කතාව ලන්දේසීන් කරා දිව යන අතර වත්මන් ස්වරූපයෙන් එය පවතින්නේ දහනවවැනි සියවසේ මුල් දශකවල ඉංගිරිසින් විසින් ඇතිකරන ලද ව්‍යවස්ථාදායක මණ්ඩල කාලයේ සිට ය. 

එහෙත් අවාසනාවකට බොහෝ සිංහලයන්ට වියුක්ත ව (ඉංගිරිසියෙන් නම් ඇබ්ස්ට්‍රැක්ට්) සිතන්නට බැරි ය. (නො) දත් දොස්තරලාට වියුක්තය යන වචනයවත් නො තේරෙයි. බොහෝ දෙනාට සමස්තය දැකිය නො හැකි ය. වියුක්තව නොසිතා සාධාරණීකරණයට (පොදු බව දැකීමට) ඉඩක් නැත. මේ සියල්ල ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි අංග ය. අපට ඒ නුහුරු ය. එසේ වුවත් පෘතුගීසීන්ට විරුද්ධ ව අප ඔවුන්ගේ කාල තුවක්කු නිෂ්පාදනය කර ඔවුන්ට එරෙහි ව යොදාගත් අයුරෙන් අද දවසේ අපට ඔවුන්ගේ වියුක්ත චින්තනය යම් ප්‍රමාණයකට වුව ද යොදාගත යුතුව ඇත. අප දෙමළ ජාතිවාදය පිටුපස හා ඉදිරිපස බටහිරයන් දකින්නේ වියුක්ත ව සිතීමෙනි. බටහිරයන් ලංකාවේ පමණක් නොව ඉන්දියාවේ ද දෙමළ ජාතිවාදය අපට විරුද්ධව යොදාගන්නා බව පසුගිය දා රජිව් ඝාතනයේ වැරදිකරුවන් නිදහස් කිරීමට තමිල්නාඩු ආණ්ඩුව ගත් තීරණයෙන් ද පැහැදිලි විය. එහි දී බටහිරයෝ ඉන්දීය ශ්‍රෙෂ්ඨාධිකරණය පමණක් නොව ගාන්ධි පවුල ද යම් ප්‍රමාාණයකට යොදාගත්හ. ඔවුහු සමාවදීමට (ඔවුහු කිසි විටෙකත් සමාව නො දෙති. එහෙත් අනෙක් අය ලවා ඒ දේවගතියක් යැයි කියන්න කරවති) ගාන්ධි පවුල ද යොදාගත්හ. රජිව් ගාන්ධිගේ දුව ප්‍රියංකා තම පියාගේ ඝාතකයා වූ නාලිනී බැලීමට හිරගෙදරට ගියා ය. ඉතාලි කතෝලික සම්භවයක් ඇති සෝනියා ද ඝාතකයන් කෙරෙහි අනුකම්පාවක් දැක්වී ය. ඝාතකයන්ගේ අභියාචනයක් සලකා බැලීමට අධිකරණය බොහෝ කලක් ගත්තේ ය යන පරිසිද්්ධිය (ඉංගිරිසියෙන් නම් ෆැක්ට්) මත පදනම් ව ඉන්දිය ශ්‍රෙෂ්ඨාධිකරණය වැරදිකරුවන්ගේ මරණීය දණ්ඩනය ලිහිල් කර ජීවිතාන්තය දක්වා සිරදඬුවමක්  බවට පත්කළේ ඔවුන් නිදහස්කළ හැකි බවට තමිල්නාඩු ආණ්ඩුවට ඉඟියක් ද කරමිනි. ඉහත සඳහන් කළ පරිසිද්ධිය කිසි බරක් නැති විහිළුවක් පමණක් වුවත් සමාව දීම සඳහා මතයක් දේවගති ඇති ඉන්දිය ජනකොටසක් අතර ඇතිකර තිබිණි. ඝාතකයන් නිදහස් කිරීම පිළිබඳ ව තමන් සතුටු වන බව මෙරට හිටපු ශ්‍රෙෂ්ඨාධිකරණ විනිශ්චයකරුවකු වූ ද වත්මන් උතුරු පළාත් මහා ඇමති වූ ද විග්නේෂ්වරන් ප්‍රකාශ කිරීමෙන් විනිසුරුවන්ගේ තීන්දු ගැන ද අපට යම් අවබෝධයක් ලබාගැනීමට හැකි ය. මොන ප්‍රකාශ කළත් විග්නේෂ්වරන්ට ආනන්දී සමග තරග කළ නො හැකි බව ඔහු තේරුම් ගත යුතු ය. 

කෙසේ වෙතත් ඉන්දිය ආණ්ඩුව පමා වී හෝ මෙහි බරපතළකම තේරුම් ගෙන ඇත. එහි දී රාහුල් ඝාන්ධි තමිල්නාඩුවේ තීරණය පිළිබඳ තම කෝපය ද පලකර ඇත. තමිල්නාඩුවේ ක්‍රියාකලාපය හා ශ්‍රෙෂ්ඨාධිකරණ තීන්දුව ඔවුන්ගේ ම ක්‍රියා ලෙස අපි නොසලකමු. අප මෙහි දී තළියේ කිඹුලන් දකින්නේ යැයි කිසිවකු කියනු ඇත. තළියේ කිඹුලන් නැතිවුවත් පොළඟුන් ඇත. නන්දිකඩාල් කලපුවේ දී කොටින් පරාජය කිරීමෙන් පසුව ද දෙමළ ජාතිවාදයට මෙතරම් ශක්තියක් ඇත්තේ නිජභූමි සංකල්පයක් නිසා නොව බටහිරයන් දෙමළ ජාතිවාදය පිටුපස හා ඉදිරිපස ඇති බැවින් ය. එහෙත් නිජභුමි සංකල්පයට එරෙහිව අප සටන් නොකළා නො වේ. ඒ බව ගුණමකුවන් හැරෙන්නට සෙස්සෝ දනිති. යාපනයේ ඉතිහාසය ගැන අධ්‍යයනය කිරීමට ඒ ඇතැමුන් යොමු වූයේ කෙසේ ද යන්න පවා ඔවුන්ට අද වන විට අමතක වී ඇත. ගුණමකුවන්ට කෙසේ වුවත් සමස්ත ප්‍රශ්නය දැකීමට අපට හැකිවිය යුතු ය. අපට ජෙනීවා පැරදවිය හැක්කේ සමස්ත ප්‍රශ්නය දැකීමෙන් පමණකි. අප රට සම්බන්ධයෙන් ගත්කල අද ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතිය හා චින්තනයත් ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයත් යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියත් අතර සටනකි. එහි දී බටහිරයෝ විසිරුණු දෙමළ ජනයාට, පඬියන්ට, රාජ්‍ය නොවන ගැත්තන්ට, ජඩමාධ්‍යවේදීන්ට අමතරව මෙරට ඇතැම් කතෝලික හා ක්‍රිස්තියානි පූජකයන් පල්ලි නිකාය හා පස්ගව (පස්වග නොවේ) මහණුන් ද යොදා ගනිති.  අප ඉදිරියේ ඇත්තේ ජෙනීවා යෝජනාව පරාජය කිරීම පිලිබඳ ප්‍රශ්නය පමණක් නො වේ. අපට ජෙනීවා සම්ප්‍රදාය පරාජය කිරීමේ කාර්යභාරය ද වෙයි. ජෙනීවා යෝජනාවට කුමක් වේ දැයි නිශ්චිත ව කිව හැකි නො වේ. යෝජනාව පරාජය කිරීමට අප බටහිර නොවන රටවල සහාය පැතිය යුතු ය. එහෙත් එයටත් වඩා ජෙනීවා පරාජය කිරීමට අප උත්සාහ දැරිය යුතු ය.


නලින් ද සිල්වා

2014-02-23