History

Sunday, 13 April 2014

අපි ජයගතිමු එහෙත් නියම ජය ඈතය


විස්සයි විස්ස ලෝක කුසලාන අපි අත්පත්කරගතිමු. ඒ සීමිත ඕවර ලෝක කුසලාන දිනා වසර දහඅටකට පසුව ය. ඒ අතර අපි කිහිප වතාවක් ම ජයග්‍රහණයේ දොරටුවට තට්ටු කෙරුවෙමු.  මේ ජයග්‍රහණය පසුපස බොහෝ දෙනකු සිටින බව රහසක් නො වේ. ඒ අයට ද ක්‍රීඩකයන්ට ද අපේ ස්තුතිය පළකළ යුතු ය. ඒ අතර අපේ අවධානයට ලක්විය යුතු තවත් පිරිසක් වෙති. ඒ යාපනය, මඩකලපුව, කිලිනොච්චිය වැනි ප්‍රදේශවල ජයග්‍රහණය හේතුකොටගෙන ගයා වයා නටා ප්‍රීති වූ සිංහල නොවන ජනයා වෙති. ඔවුහු කොළඹ, මහනුවර, මාතර, අම්පාර ආදී ප්‍රදේශවල ජනයා මෙන් ම ප්‍රීතිවූහ. එය සමහරවිට ඇමරිකානු තානාපතිනියගේ හා එංගලන්ත මහාකොමසාරිස්ගේ ඇසට කටු අනින්නාක් මෙන් වූවා විය හැකි ය. මෙරට ඊනියා ජනවාර්ගික ප්‍රශ්නයක් නැති බව වඩාත් ම දන්නේ එංගලන්තය හා ඇමරිකාව ය. ඒ බව කිසියම් ආකාරයකින් වුව ප්‍රකාශ වීම ඒ රටවල නියෝජිතයන්ට හිසරදයකි. සියළු ශී්‍ර ලාංකිකයෝ ජනවර්ග, ආගම්, දේශපාලන භේදයකින් තොරව ජයග්‍රහණයේ ප්‍රීතිය භුක්තිවින්දෝ ය. ක්‍රිඩකයන්ට පමණක් නොව පොදු මහජනතාවට ද තිබුණේ එකම එක බලාපොරොත්තුවක් පැතුමක් පමණ ය. ඒ විස්සයි විස්ස ලෝක කුසලානය දිනීම ය. අපි ජයගතිමු. අපි ප්‍රීතිවීමු.

එසේ වුවත් ජයග්‍රහණය යට දේශපාලනයක් ක්‍රියාත්මක වන බව රහසක් නො වේ. ලසිත් මාලිංග ඉන්දීය ක්‍රීඩක ලීගයේ තරගවලට සම්බන්ධවීම, කුමාර් සංගක්කාරගේ හා මහේල ජයවර්ධනගේ සමුගැනීම පිළිබඳ ප්‍රකාශ නැවතත් මතුපිටට පැමිණෙනු ඇත. ක්‍රිකට් වසන්තයකින් ආණ්ඩුව පෙරළීමට තැත්කරන්නෝ ද වෙති. ජයග්‍රහණයෙන් ඔවුන්ට නව පණක් ලැබී අත. දිනේශ් චන්දිමාල් අවසන් තරගවලින් ඉවත්වූයේ ස්වේච්ඡාවෙන් යැයි විශ්වාස කිරීමට අපි කැමැත්තෙමු. එහෙත් එය එසේ ම ද යන්න ප්‍රශ්නයක් වුවත් ඔහු හෙල්මට් ගෙනයෑම් ආදියෙන් ද ජයග්‍රහණය ගැන ප්‍රතිවීමෙන් ද මහඟු ආදර්ශයක් ලබාදුන්නේ ය.   

උපමහාද්වීපය යැයි හැඳින්වෙන ප්‍රදේශයේ ක්‍රිකට් මෙතරම් ජනප්‍රිය වී ඇත්තේ සංස්කෘතික හේතුවක් නිසා විය හැකි ය. එය ආගම නිසා ඇතිවන්නක් නොවන බව පැහැදිලි ය. මේ ප්‍රදේශයේ හින්දු, මුස්ලිම්, බෞද්ධ මෙන් ම ක්‍රිස්තියානි ජනයා ද වසති. එහෙත් ඒ ආගම් අදහන වෙනත් රටවල ක්‍රිකට් ජනප්‍රිය වී නැත. ශ්‍රී ලංකා කණ්ඩායමේ ජනවාර්ගික සංයුතිය හෝ ආගමික සංයුතිය හෝ ජයග්‍රහණයේ ප්‍රීතිය භුක්තිවිඳි අයට වැදගත් නො වී ය. සුද්දන්ගෙන් ලැබුණ ද විස්සයි විස්සට උපමහාද්වීපික හැඩහුරුවක් (රසයක්) ලැබී ඇත. සීමිත ඕවර තරග ද උපමහාද්වීපයෙහි ඉතා ජනප්‍රිය වෙයි. ක්‍රිකට් ක්‍රීඩාවෙහි අනිශ්චය මේ ආකෘති දෙකෙහි තීව්‍ර වීම උපමහාද්වීපයෙහි ජනතාවට ආකර්ශනීය වන්නේ දැයි නො දනිමි. ලෝක ක්‍රිකට් මධ්‍යස්ථානය එංගලන්තය නොව ඉන්දියාව බවට පත්වෙමින් තිබීම පුදුමයක් නො වේ. එහෙත් ඉන්දියාවට එහි ඒකාධිකාරයක් හිමි විය යුතු නො වේ. 

අප විස්සයි විස්ස බලාපොරොත්තු වූ පරිදි ජයගත්ත ද අපට තවමත් අපේ නිදහස් සටන ජයගැනීමට නොහැකි වී ඇත. එයට ප්‍රධාන හේතුව අපට ඒ පිළිබඳ එක මතයක්, බලාපොරොත්තුවක් නොමැති වීම ය. 1815 සිංහල ඉංගිරිසි ගිවිසුමෙන් පසුව ඉතිහාසය ගත්ත ද සුද්දන්ට විරුද්ධව යටත්විජිතවිරෝධී සටනක නියැලී ඇත්තේ සිංහල බෞද්ධයන් පමණ ය. කැප්පෙටිපොළ නිළමෙ, කිවුලෙගෙදර මොහොට්ටාල, පුරංඅප්පු, ගොංගාලෙගොඩ බණ්ඩා, අනගාරික ධර්මපාලතුමා, භාෂා ප්‍රේමිහු ආදීහු ඒ සටනෙහි විවිධ අවස්ථාවල කැපී පෙනෙන නායකයෝ වූහ. පරස්පරයක් ලෙස පෙනී ගිය ද සිංහල ක්‍රිස්තියානින් යටත්විජිතවාදයට එරෙහිව සිංහල බෞද්ධයන් සමග එක්වී ඇත්තේ 1962 පාසල් රජයට පවරා ගැනීමෙන් පසුව ය. සාමාන්‍ය සිංහල ජනයා එසේ සටන්කරද්දී ඉංගිරිසි උගත් ප්‍රභූහු සිලෝන් කොංග්‍රස් සංවිධානය නම් ජනතාවගෙන් වියෝවූ ආයතනයක් පිහිටුවා පෙත්සම් මගින් තමන්ට වරප්‍රසාද ලබාගැනීමේ උත්සාහයක යෙදුණ හ. එහි නායකත්වය දහනවවැනි සියවසේ අගභාගයේ දී බර්ගර්වරුන්ගෙන් දෙමළ වෙල්ලාලයන් අතට පත්විය. සාමාන්‍ය දෙමළ ජනයා යටත්විජිත විරෝධී අරගලයක එදා මෙදාතුර නිරත නො වූහ. ඉංගිරිසිහු සිංහලයන්ට විරුද්ධව සිංහලයන්ගේ යටත්විජිත විරෝධී සටන අඩපණ කිරීම සඳහා වෙල්ලාලයන්ට දෙමළ ජාතිවාදය කැවූහ. සාමාන්‍ය දෙමළ ජනයා දේශපාලනයෙන් ඉවත්කර තැබීමට ඉංගිරිසිහු සමත්වූහ. ඔවුහු පසුව දෙමළ නායකයන් මගින් සාමාන්‍ය දෙමළ ජනයාට ද දෙමළ ජාතිවාදී  විෂබීජය කැවූහ. ඉංගිරිසින් බලාපොරොත්තු වූයේ දෙමළ ජනයා ඉංගිරිසින්ට එරෙහිව යටත්විජිත විරෝධී අරගලයෙන් ඉවත්කර තැබීමට හා දෙමළ ජනයා සිංහලයන්ට විරුද්ධව මෙහෙයවීමටත් ය. එය ක්‍රිකට් භාෂාවෙන් කියන්නේ නම් කිසිසේත්ම ක්‍රිකට් නො වී ය. එනම් එය මහත්වරුන්ගේ ක්‍රියාදාමයට පටහැණි විය. එය ප්‍රතිවාදී පිළේ ක්‍රීඩකයන් මුදලට (වරප්‍රසාදවලට) බා ගැනීමක් විය. එය තරග විකිණීමක් විය.

ඉංගිරිසින්ට විරුද්ධව අවි අතට නොගත් ඔවුන්ට විරුද්ධව සටන් නොකළ දෙමළ ජනයා තමන් සිංහල ආණ්ඩුව යනුවෙන් හැඳින් වූ ආණ්ඩුවටත් සිංහල ජනයාටත් විරුද්ධව ආයුධ අතට ගෙන සටන් කළේ නැවතත් සටන් කිරීමට අර අඳින්නේ සිංහලයන් ඉංගිරිසින්ට වඩා යටත්විජිතවාදීන් වීම නිසා ද? අද ආණ්ඩුවේ ඊනියා වාමාංශික ඇමතිවරුන් ද කියන්නේ ප්‍රභාකරන් පැරදවීමෙන් දෙමළ ජනයාට නිදහස ගැන තිබූ බලාපොරොත්තු නැති වී ගිය බව ය. ඔවුන් කතාකරන්නේ කුමන නිදහසක් ගැන ද? ඉංගිරිසින් යටතේ දෙමළ ජනයාට තිබූ නිදහස කුමක් ද? 1948න් පසු ඔවුන්ට නැති වී ගියේ කිනම් නිදහසක් ද? ඉංගිරිසින් යටතේ ඉංගිරිසි උගත් දෙමළ වෙල්ලාල නායකයන්ට තිබූ වරප්‍රසාද නම් 1931 දී සර්වජන ඡන්දය ලැබීමෙන් පසුව අහිමිවීමට පටන්ගත්තේ ය. එය දෙමළ ජනයාට කළ අසාධාරණයක් බව පෙන්වීමට ඉංගිරිසිහු ද දෙමළ ජාතිවාදී නායකයෝ ද උත්සාහ ගත්හ. ලෝක ජනමාධ්‍යයෙහි බටහිරයන් දරණ ආධිපත්‍යය හේතුකොටගෙන ඔවුන්ට ඒ සඳහා විශාල ප්‍රචාරයක් දීමට හැකි විය. දෙමළ ජනයා කළ යුතුව තිබුණේ සිංහලයන් සමග එක් වී ඉංගිරිසින්ට විරුද්ධව අරගල කිරීම ය. එහෙත් ඔවුහු එයින් වළකිනු ලැබූහ. එසේ අරගල කිරීම වෙනුවට සිංහලයන්ට හා සිංහල ආණ්ඩුව යැයි කියන්නකට විරුද්ධව සටන් කිරීමට දෙමළ ජනයා පොළඹවනු ලැබූහ. අදත් ඉංගිරිසින් හා අනෙක් බටහිරයන් ඒ ව්‍යායාමයෙහි නිරතවන්නේ විසිරුණු දෙමළ ජනයා, දෙමළ ජාතික සංධානය හා රාජ්‍ය නොවන බැළයන් යොදාගනිමිනි. එහෙත් දෙමළ ජනයා දේශපාලනඥයෙන්ගෙන් මිදුණු කළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජයග්‍රහණ ප්‍රීතියෙන් භුක්ති විඳිති. බටහිරයන්ගෙන් නිදහස්වන අපේ නිදහස් සටන සඳහා දෙමළ ජනයා ද එකතුකරගෙන එය ජයග්‍රහණය කර එහි ප්‍රීතිය ද එකාවන් ව භුක්තිවිඳීමට තව ටික කලක් ගතවනු ඇත. 


නලින් ද සිල්වා

2014-04-13