History

Sunday, 6 April 2014

ජාතිකත්වයට විශිෂ්ට ජයක්


පසුගිය දා පැවති බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණවලින් ශ්‍රී ල නි පක්‍ෂය ප්‍රමුඛ එ ජ නි ස විශිෂ්ට ජයක් අත්කරගත් නමුත් ඇතැම් ඇමතිවරුන් තම පාණ්ඩිත්‍යය විදහා දැක්වීමට අනවශ්‍ය සංඛ්‍යාන හරඹයක යෙදෙනු දක්නට හැකි විය. මේ ඡන්දය පැවැත්වූයේ ජෙනීවා යෝජනා සමග ම යැයි කියමින් තමන්ට ජයගැනීමට නොහැකි වූයේ ඒ නිසා යැයි පෙන්වීමට එ ජා ප නායකයන් මහත් උත්සාහයක් දරණු පෙනෙන්නට තිබිණි. ජෙනීවා ඇතත් නැතත් රනිල් නායකයා වුවත් නැතත් එ ජා පක්‍ෂයට හිමි පරාජය පමණ ය. එයට හේතුව එ ජා ප දැන් කාහටත් පාහේ තේරෙන පරිදි විජාතික පක්‍ෂයක් බවට පත් වී තිබීම ය. අද එ ජා පක්‍ෂයට සිංහලයන්ගේ ඡන්දවලින් 20%ට වඩා නො ලැබෙයි. ඒ පක්‍ෂය ගාල්ල හා කොළඹ නාගරික සභා සීමාවේ පිහිටි ආසන කිහිපයක්  දිනාගත්තේ එහි සිංහල ජනගහණය අඩු නිසා ය. විශේෂයෙන් ම කොළඹ නාගරික සභා සීමාවේ සිංහල ජනගහණය 25% ට අඩු වී ඇත. ඒ හේතුවෙන් එහි ආසන දෙකකම දෙවැනි තැන හිමි වූයේ මනෝ ගනේෂන්ගේ පක්‍ෂයට ය. ඒ ආසනවල එ ජ නි සංධායට හිමිවූයේ තුන්වැනි තැන ය. මෙය ආණ්ඩුවේ සැලකිල්ල යොමු විය යුතු ප්‍රශ්නයකි. අප මත බලෙන් පටවා ඇති විජාතික ආර්ථික ක්‍රමය හේතුවෙන් සිංහල ජනයා ශීඝ්‍රයෙන් කොළඹ නාගරික සභා සීමාවෙන් පිටතට තල්ලු වන්නේ තවමත් මෙරට සිංහලයන්ට අසාධාරණයක් සිදුවන බව පෙන්වමිනි. කොළඹ දිස්ත්‍රික්කයේ එ ජා ප මනාප ලැයිස්තුවේ පළමු තැන මෙන් ම තුන්වැනි තැන ද ලැබුණේ ඉස්ලාම් භක්තිකයනට ය. එයින් පැහැදිලි වූයේ එ ජා පක්‍ෂයට සිංහල නොවන ඡන්ද ලැබෙන බවත් සිංහලයන් ජාතිවාදී පදනමකින් මනාප ලකුණු නොකරන බවත් ය. එසේ වුවත් සිංහල නොවන්නන් සමස්තයක් ලෙස ගත්කල ශ්‍රී ල නි පක්‍ෂයට ඡන්දය නොදෙන බවත් ඔවුන් ජාතිවාදී පදනමකින් ඡන්දය දෙන බවත් පැහැදිලි ය.  උතුරු පළාතේ කෙතරම් සංවර්ධනයක් කළත් කොළඹ නගරය කෙතරම් අලංකාර කළත් පොදුවේ ගත්කල සමස්තයක් ලෙස සිංහල නොවන ඡන්දදායකයෝ ශ්‍රී ල නි පක්‍ෂයට ඡන්දය නො දෙති. එහෙත් එයින් කියැවෙන්නේ සිංහල නොවන ඡන්දදායකයන් කිසිවකු ශ්‍රී ල නි පක්‍ෂයට ඡන්දය නොදෙන බවක් නො වේ. සිංහල නොවන්නන් සමස්තයක් ලෙස ශ්‍රී ල නි පක්‍ෂයට ඡන්දය නොදෙන්නේ බටහිරයන් අද වන විට ඔවුන් සිංහලයන් කෙරෙහි කළකිරවනු ලැබ ඇති බැවිනි. වර්තමානයෙහි බටහිරයෝ තම යටත්විජිතවාදී බව වසාගනිමින් ඊනියා මානව හිතවාදීබවක් ආරුඪකරගනිමින් සිංහලයන් සිංහල නොවන්නන් පීඩාවට පත්කරන පිරිසක් ලෙස හඳුන්වා දීමට සමත් වී සිටිති. ඉදිරි කාලයේ දී ශ්‍රී ල නි ප කළයුත්තේ මේ මිථ්‍යාව තුරන් කර සිංහල නොවන්නන්ගේ ද ඡන්දය දිනා ගැනිම ය. එය ඊනියා ජාත්‍යන්තරයට අපේ නිර්දෝෂී බව පෙන්වාදීමට වඩා බෙහෙවින් වැදගත් ය. මේ සම්බන්ධයෙන් ශ්‍රී ල නි පක්‍ෂයේ ඊනියා වාමවාදී මැති ඇමතිවරුන්ට ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා කෘතිය නිර්දේශ කරමි. 

කොටින් පැරදවීමෙන් පසුව මෙරට යටත්විජිතවිරෝධී සිංහල ජාතිකත්ව මතවාද තහවුරු වී ඇත. එය දේශපාලනයෙහි පමණක් නොව වෙදකමෙහි ද ගොවිකමෙහි ද වෙනත් ක්‍ෂෙත්‍රවල ද ව්‍යාප්ත වී ඇත. කොටින් පැරදවීමේ දී විවිධ ජාතිකත්ව බලවේග එකතු විය. එය බටහිර විද්‍යාවේ (තාක්‍ෂණයේ) පිහිටෙන් පමණක් කළ එකක් නො වේ. ඇතැම්හු බටහිර දැනුමට යට නොවී අපේ මතවාද නිර්මාණය කළහ. රණවිරුවන්ට සම්‍යක්දෘෂ්ටික දෙවිවරුන්ගේ ද සහාය ලැබිණි. මහින්ද රාජපක්‍ෂ මහතා සම්පුර්ණ ක්‍රියාවලියට දේශපාලන නායකත්වය ලබාදුන්නේ බටහිර දේශපාලන විද්‍යා දැනුමට යටනොවීමෙනි. ගෝඨාභය රාජපක්‍ෂ මහතා හමුදා ක්‍රියාකාරීත්වය මෙහෙයවූයේ එංගලන්තයේ සැන්ඩ්හර්ස්ට් උපක්‍රමවලට පිටින් ගොස් ය. අපේ පැරණි යුද උපක්‍රම ද එහි දී යොදාගැණුනු බව (නො)දත් දොස්තරලා නො දනිති. ඒ පැරණි දැනුම අපට ලැබුණේ සැන්ඩ්හර්ස්ට් පුහුණුවකින් නො වේ. අද ජාතිකත්ව මතවාද තහවුරු වීම ප්‍රශ්නයක් බවට පත්වී ඇත්තේ විශේෂයෙන් ම හිස උදුම්මාගත් බටහිර වෛද්‍යවරුන්ට ය. වෛද්‍ය පීඨයකට ඇතුළත් වීමට නොහැකි වූ (නො)දත් දොස්තරලාට මේ ප්‍රශ්නය තදින් ම දැනෙයි. පොදුවේ ගත්කල බටහිර දැනුම හිසෙහි රඳවාගත් සරසවි ඇදුරන්ට හා වෙනත් නිවට පඬියන්ට අද පොදු සිංහල ජනයා බටහිර දැනුමේ ආධිපත්‍යයෙන් ක්‍රමයෙන් මිදීම දිරවාගත නොහැකි වී ඇත. මේ කුහකයෝ මගේ පින්තූරයටත් බියවෙති. ඔවුහු කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ මගේ ඡායාරූපයක් එල්ලීමට පවා බියවෙති.  අද කෘෂිකාර්මික වකුගඩු රෝගයෙන් රෝගීන් මියයන්නේ බටහිර විද්‍යාවේ ආධිපත්‍යය හේතුකොටගෙන ය.  සිංහල වෙදමහත්වරුන්ට මේ රෝගය සුවකළ හැකි නමුත් චන්ද්‍රසේන ඇමතිතුමාට සිංහල වෙදමහතුනට අවශ්‍ය පහසුකම් ලබාදීමට බාධා පමුණුවන්නේ ඇතැම් කුහක බටහිර වෛද්‍යවරුන් ය. 
   
2010 ජනාධිපතිවරණයේ දී සරත් ෆොන්සේකා පොදු අපේක්‍ෂකයා බවට පත්වූයේ ජාතිකත්ව මතවල බලය හේතුකොටගෙන ය. හමුදාපතිවරයකු ව සිටි ඔහු ජාතිකත්ව මතයක සිටින බව තවමත් සිංහල ජනයාගෙන් පිරිසක් විශ්වාස කරති. ඔහුගේ පක්‍ෂයට සිංහලයන්ගේ ඡන්දවලින් 10% පමණ ප්‍රමාණයක් ලැබෙන්නේ ඔහු ජාතික මතයක සිටින්නේ යැයි සිංහලයන්ගෙන් සුළු පිරිසක් සිතන බැවිනි. එහෙත් ඔහු සුදුකොඩි කතාවේ ආරම්භකයා බවත් ඔහුට විරුද්ධව තිබූ යුද්ධාපරාද නඩුවක් ඇමරිකන් අධිකරණයක් ඉවත්කරගත් බවත් අද ඔහු නවී පිල්ලේගේ හොර ජාත්‍යන්තර පරීක්‍ෂණයට සහාය දෙන බවත් ඔවුහු නො දනිති. එමෙන් ම ඇතැම් සිංහලයන් ජ වි පෙ ගැන ද සිතන්නේ ජාතිකත්වයේ පක්‍ෂයක් ලෙස ය. එහෙත් අනුර දිසානායකට ඇති ජාතිකත්වයක් නැත. ඔහු රවි කරුණානායක හා කාල් මාක්ස් අනුව යයි. මේ පක්‍ෂ දෙකට ඇතැම්  සිංහලයන් ඡන්දය දෙන්නේ ඔවුන්ගේ විජාතිකත්වය රටට හඳුන්වාදීමට ආණ්ඩුව අසමත්වීම නිසා ය. අද ඊනියා පොදු අපේක්‍ෂකයා ලෙස මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ නම යෝජනා වන්නේත් උන්වහන්සේට තවමත් ජාතික හැඟීමක් ඇති බව ඇතැම් සිංහලයන් විශ්වාස කරන බැවිනි. ශ්‍රී ල නි පක්‍ෂයට අඩු වැඩි වශයෙන් ගත්කල සිංහලයන්ගේ ඡන්දවලින් 60%ක් පමණ ලැබෙයි. ෆොන්සේකාගේ හා ජ වි පෙරමුණේ ව්‍යාජත්වය හෙළිදරවු කිරීමෙන් හා ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් මත කටයුතු කර නාස්තිය හා දුෂණ නැතිකර ජනයා පාරිභෝගික ජීවන රටාවෙන් ඈත්කරගෙන ජීවන වියදම අඩුකළහොත් ශ්‍රී ල නි පක්‍ෂයට සිංහල ඡන්දවලින් 80%ක් ලබාගත හැකි වනු ඇත. සිංහල ඡන්දවලින් 88%ක් ලබාගත හැකි නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් (3/4 න් 88/100 = 66%) ලබාගැනීමට වුවත් හැකිවනු ඇත. මෙය විහිළුවක් නො වේ. සිංහල නොවන ඡන්ද නැතිව බලයට පත්විය නොහැකි බව පඬියන් කියද්දී සිංහල ඡන්දවලින් තුනෙන් දෙකක් ලබාගතහොත් (3/4න් 2/3 = 1/2) බලයට පැමිණිය හැකි බව අපි පෙන්වා දුන්නෙමු. අද ශ්‍රී ල නි ප මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් දේශපාලනික ව ජාතිකත්ව ස්ථාවරයක තහවුරු වී ඇත. පළාත්සභා මැතිවරණයෙන් පෙන්වා දෙන්නේ ඒ තහවුරු වීම ය. කොටින්ගේ පෙරමුණු සංවිධාන 16ක් තහනම් කිරීමෙන් ඒ තවත් ස්ථිර වෙයි. අද කළ යුත්තේ සංස්කෘතික හා ආර්ථික ක්‍ෂෙත්‍රවල ද ජාතිකත්ව මත තහවුරු කිරීම ය.       


නලින් ද සිල්වා

2014-04-06