History

Sunday, 4 May 2014

අලුත් අවුරුද්ද ගැන අලුත් කතන්දරයක් -3


සුමින්ද ගුණරත්න මහතා කියන පරිදි නොව රාශි චක්‍රයෙහි අග හා මුල අතරක් නැත. එවැනි අතරක් ඇත්නම් යම්කිසි ග්‍රහයකු ඒ ඊනියා අතරට පැමිණි විට ඉපදෙන දරුවකුගේ කේන්ද්‍රයෙහි ඒ ග්‍රහයා සිටින රාශියක් නැත. අනෙක් අතට ඒ අතර ග්‍රහයාගේ අහසෙහි ප්‍රක්‍ෂෙණයට වඩා වැඩි ද අඩු ද ආදී ප්‍රශ්නවලට ද මුහුණ දීමට සිදුවෙයි. මීන රාශිය අග හා මේෂ රාශිය මුල එවැනි අතරක් නැත. ඒ රාශි දෙක අහසෙහි, එනම් ද්විමානයෙහි සරල රේඛාවකින් වෙන් වී ඇත. නොනගතය ඇතිවන්නේ සූර්යයා මේ සරල රේඛාව පසුකරන විට ය. ඒ සඳහා පසුගිය සතියේ දැක්වූ පරිදි (ඉංගිරිසි) පැය 12 මිනිත්තු 48ක් ගතවෙයි. ඒ පිළිබඳ ගැටළුවක් නැත. නොනගතය යන්නෙහි නිරුක්තිය දැනගැනීමට ඒ සංකල්පය අවුරුද්දට එකතු වූයේ කවරදා දැයි දැනගත යුතු යැයි සිතමි. එසේ දැනගත්තත් අපට ඒ පිළිබඳ ව කළහැක්කේ සංගත කතන්දරයක් ගෙතීම ය. නොනගතය සම්බන්ධයෙන් දැනට ගෙතී ඇත්තේ කතන්දර දෙකක් පමණ යැයි සිතමි. එකක් නැකැත් නැතිවීම මුල්කරගෙන ගෙතී ඇති කතාව ය. එහෙත් ඒ කතාව අසංගත වන්නේ නැකැත් නැති වෙලාවක් නොමැතිවීම හා නොනගතයේ අපර අර්ධයේ ලිප ගිනි මෙළවීමට ආදී වශයෙන් සුභ මූර්ති යෙදීම නිසා ය. කොළඹ විශ්වවිද්‍යාලයෙහි උගන්වන සමයෙහි මේ ප්‍රශ්නයට මගේ සිත යොමු විය. නොනගතය සඳහා වෙනත් කතන්දරයක් ගෙතිය යුතු බව මට වැටහිණි. එහි දී පැරණි ලෙන් ලිපිවල සඳහන් අගත අනගත යන වචන මගේ සිහියට නැගිණි. එහි ප්‍රතිඵලය වූයේ සුමින්ද ගුණරතන මහතා කියන ආකාරයට නම් විකට දාර්ශනික අන්තය ය. එය කිසිසේත් ම ඊනියා පර්යේෂණයක ප්‍රතිඵලයක් නො වේ. 1982න් පමණ පසු මා ඊනියා පර්යේෂණ කර නැත. ඉන්පසු මා කරන්නේ කල්පනා කිරීම හා කතන්දර ගෙතීම පමණ ය. නොනගතයට වඩා හොඳ කතන්දරයක් ගෙතීමට ඒ සංකල්පය අවුරුද්දට එකතු වූයේ කවදා දැයි දැනගත යුතු ය. දැනට මගේ මනසට එන සංගත කතන්දරය න + අනගත යන්න සමග බැඳී ඇත.

සිංහලයේ ද්විත්ව නිෂේධය ගැන ද වචනයක් කිව යුතු ය. එය සිංහල බුද්ධාගම සමග බැඳී ඇත. කලකට පෙර සංස්කෘත වචනයක් වූ අනන්‍යතාව පිළිබඳ සංවාදයක් පේරාදෙණියේ සිංහල අංශයෙහි මහාචාර්යවරයකු වූ මයිකල් ප්‍රනාන්දු මහතා සමග ඇති විය. ඔහුට අනන්‍යතාවෙහි ඇති ද්විත්ව නිෂේධය හඳුනාගැනීමට නොහැකි වී යැයි සිතමි. කෙසේ වෙතත් සිංහල බුද්ධාගමෙහි, එනම් එකී සංස්කෘතියෙහි, ද්විත්ව නිෂේධය යෙදෙන්නේ චතුස්කෝටික න්‍යායෙහි ය. ද්විකෝටික ඇරිස්ටෝටලීය න්‍යායෙහි ද්විත්ව නිෂේධයෙන් මුල් ප්‍රස්තුතය ලැබෙයි. එය (නොම) (නොම) ප්‍රස්තුතය = ප්‍රස්තුතය ලෙස දළ වශයෙන් ප්‍රකාශ කළ හැකි ය. උදාහරණයක් ලෙස අන් අන්‍ය යනු තමා ම වෙයි. එහෙත් සිංහල බුද්ධාගමෙහි අන් අන්‍ය යනු තමා ම නොවිය හැකි ය. මිලින්ද ප්‍රශ්නයෙහි තමාත් නොවේ, අන් අයකුත් නො වේ යනුවෙන් සඳහන් වන්නේ අන් අයකු නො වේ යන්නෙන් තමා යන්න ගම්‍ය නො වේ ය යන්න පැහැදිලි කිරීමට ය. එය අනාත්මය හා බැඳෙයි. එලෙස ම නොපැමිණියේ නොවේ යන්නෙන් පැමිණියේ ය යන්න ගම්‍ය නො වේ. න + අනගත යනු නොපැමිණියේ නො වේ යන්න ය. එහෙත් එයින් පැමිණියේ යැයි ගම්‍ය නො වේ. එය පැමිණියේ ද නො වේ, නොපැමිණියේ ද නො වේ. නොනගතයෙහි දී සිදුවන්නේ එයයි. ඒ අවස්ථාවෙහි දී සූර්යයා මේෂ රාශියට පැමිණ නැත. එසේ ම නොපැමිණ ද නැත (පසුගිය සතියෙහි රූප සටහන බලන්න). එය සුමින්ද ගුණරතන මහතාට විකට දාර්ශනික අන්තයකි. එහෙත් ඒ මහතා බියුටි ක්වීන් වාග් විද්‍යාවක් යොදා ගනිමින් ඊනියා හින්දු ජ්‍යොතිෂයක් ගැන සඳහන් කරමින් නැකැත් ඇති අහසෙහි සුබ මුහුර්ති උදාවන අවස්ථාවෙහි නැකැත් නැතිවීමක් ගැන කියන්නේ ජ්‍යොතිෂය ගැන දැනුමක් නැතිව ය. හින්දු ජ්‍යොතිෂය යන වචන යෙදීමෙන් ඒ මහතා  බලාපොරොත්තුවූයේ කුමක් ද? තම ජ්‍යොතිෂ දැනුම පාඨකයාට දැන්වීම ද? 

නොනගතය යන්න කවදා අවුරුද්දට එකතු විණි ද යන්න නොදැන ඒ පිළිබඳ වඩා හොඳ කතන්දරයක් ගෙතීම අපහසු ය. එහෙත් අපට දැනට ඇති තොරතුරු අනුව ගෙතිය හැකි කතන්දරය න + අනගත සමග බැඳී ඇත. එය කිසිසේත් ම නැකැත් නැත යන්න සමග නො බැඳෙයි. අපට දැනට ඇති තොරතුරු අනුව අවුරුද්ද නැකැත් කෙළියකි. එය කලක් වසන්ත උත්සවයක් ලෙස පැවැත්වී ඇත. අප වරිගපූර්ණිකාව හා වෙනත් තොරතුරු පිළිගන්නේ නම් අවුරුද්ද යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ උත්සවයක් ලෙස සැලකිය හැකි ය. එය කෙසේ නමුත් අවුරුද්ද ඉතා ඈත අතීතයට ගෙන යෑමට කරන උත්සාහයක් නො වේ. යක්‍ෂ ගෝත්‍රිකයෝ හිරු පුදන්නෝ වූහ. ඇතැම් යක්‍ෂ ගෝත්‍රික පරම්පරා හිරු සමග බැඳී ඇත. රවිශෛලාස යනු යක්‍ෂ පරම්පරාවකි. අදත් ඉරුගල් බණ්ඩාරලා සත්කෝරළේ දැකගත හැකි ය. එහෙත් රාවණ යන්න හිරු සමග සම්බන්ධ කිරීමට මම ඉක්මන් නො වෙමි. එයට හේතුව රාවණ යන්නෙහි සම්භවය ගැන විවිධ මත තිබීම ය. රාවණ යන්න සඳහන් වන්නේ රාමායනයෙහි ය. සංස්කෘත පිළිබඳ දැනුමක් ඇති භික්‍ෂූන් වහන්සේ නමක මා සමග පැවසුයේ වාල්මිකී ලා රාවණ යන්න යොදාගෙන ඇත්තේ රාවණයන්ට අපහාසයක් ගෙන දීම සඳහා බව ය. රාවණ යන්නෙන් ඝෝෂාකාරයා යන්න කියැවෙන බව උන්වහන්සේ මා සමග පැවසූහ. රාමායනයෙහි යක්‍ෂ ගෝත්‍රිකයන්ට අපහාසාත්මක නම් දී රාම ලක්‍ෂමණ සීතා ආදීන්ට යහපත් නම් දී ඇති බව උන්වහන්සේ වැඩිදුරටත් පැවසුහ.  රාවණට හිරු සමග වූ පිරිසක් (වණක්) ආදී තේරුම් දීමට සූරිය ගුණසේකර මහතා පෙළඹෙයි. මෙහි දී අප උත්සාහ කළ යුත්තේ හැකි නම් යක්‍ෂ ගෝත්‍රිකයන් රාවණ රජු හැඳින්වූයේ කවර නමකින් දැයි දැනගැනීමට ය. වාල්මිකීලා එරජු හැඳින්වීමට යොදාගත් නමකට යක්‍ෂ ගෝත්‍රික සම්ප්‍රදායෙන් අරුත් දීමට උත්සාහ කිරීම එතරම් ඵලදායී කටයුත්තක් යැයි මම නො සිතමි. එය දුටුගැමුණු යනුවෙන් අපේ සතුරන් විසින් හඳුන්වනු ලැබූ ගැමුණු රජතුමාට දෙටුගැමුණු ආදී නම් දීමට කරන උත්සාහයට සමාන ය. රාවණ යන්නෙහි තේරුම කුමක් වුවත් යක්‍ෂ ගෝත්‍රිකයන් හා හිරු අතර සම්බන්ධයක් තිබූ බව පෙනී යයි. අවුරුද්ද යනු ඉතිහාසයේ විකාශය වී ඇති උත්සවයකි. එයට සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම පසු කලෙක එකතු වූ අංගයක් බව පෙනී යයි. එහෙත් එයින් කියැවෙන්නේ පැරණි යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ උත්සව හුදෙක් සඳු මුල් කරගත් උත්සව පමණක් වූ බව නො වේ.    


නලින් ද සිල්වා

2014-05-04