History

Sunday, 25 May 2014

ඉන්දියාවේ ජාතිකත්වය


භාරතීය ජනතා පක්‍ෂයේ හා මෝඩි මහතාගේ ජයග්‍රහණය පිළිබඳ ව විවිධ දේශපාලනඥයන්, දේශපාලන විචාරක විද්වතුන් හා ජනමාධ්‍යවේදීන් විවිධ මත පළකර ඇත. ඒ අතර මෝඩි ගැන කළ මෝඩ ප්‍රකාශ ද වෙයි. කසිකබල් මාක්‌ස්‌වාදයේ පංති කණ්‌නාඩියෙන් ලෝකය දෙස බලන්නන්ට එකී ජයග්‍රහණය පෙනෙන්නේ දකුණු ආසියාවට අඳුරු යුගයක්‌ උදාවීමක්‌ ලෙස ය. ආණ්‌ඩුවේ තනතුරු දරන අතර ම දාර්ශනිකයන් ලෙස පෙනී සිටින හිටපු ජනමාධ්‍ය ප්‍රධානීන් තම රැවුල් අතගාමින් ජාතිකත්වය මගහැරීමට ගොස්‌ නන්දොඩවති. එ. ජා. පක්‍ෂයේ ඇතැම් නායකයන් ජයග්‍රහණය දකින්නේ ඉන්දියාවේ ආණ්‌ඩු පක්‍ෂයේ පරාජයක්‌ ලෙස ය. ඒ අනුව ලංකාවේ ද විරුද්ධ පක්‍ෂය ලබන මැතිවරණයේ දී ජයග්‍රහණය කරනු ඇතැයි ඔවුහු විශ්වාස කරති. ඔවුන්ට සිහින දෙවියන්ගේ ම පිහිට ය. අර පොදු අපේක්‍ෂකයාට කුමක්‌ සිදුවිණි දැයි කිසිවකු හෙළිදරවු කරන්නේ ද? මෙරට දේශපාලනයේ ජාතිකත්වය දැන් යම් ප්‍රමාණයකට තහවුරු වී ඇත. එ. ජා. පක්‍ෂය ජාතිකත්වය ගැන අව්‍යාජව කතාකරන නායකයකු සොයාගන්නා තුරු ඒ පක්‍ෂයට බලයට පත්විය නො හැකි ය. එහි නායකත්ව මණ්‌ඩලයේ එවැන්නකු නැති බව ඉතා පැහැදිලි ය. ආණ්‌ඩුවේ හවුල් කරුවන් ලෙස සිටිමින් ව්‍යාජ ජාතිකත්වයක්‌ ලොවට ප්‍රදර්ශනය කරන පක්‍ෂවලට ආණ්‌ඩුවෙන් ඉවත් වී යා හැක්‌කේ ඉතිහාසයේ කුණු බක්‌කියට පමණකි. ඔවුන්ගේ ඉතිහාසය මම හොඳාකාරව ම දනිමි. ඔවුන්ගේ අවස්‌ථාවාදී දේශපාලනයෙන් රැවටෙන්නෝ බෙල්බොටම් විහාරමහාදේවිලා හා අයාලේ යමින් සිට ජාතික ව්‍යාපාරයට හිසක්‌ දුන්නේ යෑයි කියන පුනබ්භවයක්‌ ගැන විශ්වාසයක්‌ නැති ඊනියා ප්‍රාඥයෝ පමණක්‌ ම වෙති.

ජාතිකත්වය සම්බන්ධයෙන් ගත්කල ඉන්දියාව සිටින්නේ ලංකාවට පසුපසිනි. එයට හේතුව මෙරට සාමාන්‍ය ජනතාව ඉන්දියාවේ සාමාන්‍ය ජනතාවට වඩා ඉදිරියෙන් සිටීම ය. ශ්‍රී ල නි පක්‍ෂය කෙතරම් අඩුපාඩුකම් තිබුණත් මෙරට ජාතිකත්වයේ පක්‍ෂය වෙයි. භාරතීය ජනතා පක්‍ෂය තවමත් ඇත්තේ ශ්‍රී ල නි පක්‍ෂයට පිටුපසිනි. ඉන්දියාවේ කොංග්‍රසය පරාජය වූයේ දූෂණ හා අක්‍රමිකතා නිසා ම නො වේ. කොංග්‍රසයට ගාන්ධි නේරු කාලයේ සිට ම ජාතිකත්වයක්‌ තිබී නැත. එහෙත් ඉන්දියාවේ ශක්‌තිමත් ජාතිකත්ව පක්‍ෂයක්‌ නොතිබූ බැවින් කොංග්‍රසයට එකල දිගින් දිගට ම බලයට පත්වීමට හැකි වූයේ 1956 දක්‌වා එ ජා ප ලංකාවේ බලයට පත් වූ ආකාරයට ය. භාරතීය ජනතා පක්‍ෂය පිහිටුවීමෙන් පසු තත්ත්වය වෙනස්‌ විය. ඉන්දියාවේ ජාතිකත්වය හින්දුත්වය වෙයි. ලංකාවේ ජාතිකත්වය සිංහලත්වය වෙයි. මා සිංහලත්වය යන පදය කලක සිට යොදාගන්නේ ඊනියා ජාත්‍යන්තරවාදීන්ගේ පමණක්‌ නොව ජාතිකවාදීන් යෑයි කියාගන්නා අයගේ ද පරිභවයට ලක්‌වෙමිනි. පීටර් ෂෝක්‌ නම් දෙමළ ජාතිවාදියා යුරෝපයේ පැවැත්වූ එක්‌ සම්මේලනයක දී සිංහලත්වයට පරිභව කළ විට ඊනියා ජාතිකවාදියකු කියා ඇත්තේ සිංහලත්වය ගැන කතාකරන්නේ එක්‌ අයකු පමණක්‌ බව ය. එසේ කියා ඔහු තම ඊනියා පාණ්‌ඩිත්‍යය රැක ගත්තේ ය. භාරතීය ජනතා පක්‍ෂය සමස්‌ත මැතිවරණය සඳහා ම ඉදිරිපත් කළේ මුස්‌ලිම් අපේක්‍ෂකයන් දහදෙනකු පමණ ය. ඔවුහු සියල්ලෝ ම පරාජය වූහ. එම පක්‍ෂය බොහෝ ප්‍රාන්තවල බහුතර ආසන සංඛ්‍යාවක්‌ දිනාගත්තේ ය. පක්‍ෂය පරාජය වූ ප්‍රධාන ප්‍රාන්ත වූයේ කේරළය, බටහිර බෙංගාලය හා තමිල්නාඩුව ය. මේ ප්‍රාන්තවල හින්දුත්වය අනෙක්‌ ප්‍රාන්තවල ඇති හින්දුත්වයට වෙනස්‌ ය. බටහිර බෙංගාලයේ කාලි දෙවඟන ප්‍රධාන වෙයි. කේරළයේ කතෝලික බලපෑම වැඩි ය. ඒ ප්‍රාන්ත දෙකම යම් වකවානුවල දී මාක්‌ස්‌වාදී පක්‍ෂ බලයට පත්කර ඇත. එහි සාක්‍ෂරතාව අනෙක්‌ ප්‍රාන්තවලට වැඩි අතර බටහිර ආකෘතියේ ඊනියා බුද්ධිමත් සම්ප්‍රදායක්‌ වෙයි. ඒ පිළිබඳව ඔවුන්ගේ පුහු අහංකාරයක්‌ ද වෙයි. ලංකාවේ ද කසිකබල් බුද්ධිමත් සම්ප්‍රදායක්‌ කොළඹ (කෙළඹි නො වේ) පුත්‍රයන් අතර වුවද ඒ පුත්‍රයෝ ගැමි සම්ප්‍රදායට පරාජය වෙති. කේරළයෙන් ලංකාවට පැමිණි කොවුර් නම් ඊනියා බුද්ධිමතා ඒ බව වටහාගත්තේ ද යන්න සැක සහිත ය.

තමිල්නඩුවේ ජනමතය හසුරවන්නෝ කතෝලික ක්‍රිස්‌තියානි සම්ප්‍රදායට අයත් වූවෝ වෙති. සිංහලයන් අතර සාමාන්‍ය කතෝලිකයෝ හා ක්‍රිස්‌තියානිහු 1962 න් පසුව ක්‍රමයෙන් සංස්‌කෘතික වශයෙන් සිංහලත්වයට පත්වූවෝ වෙති. එහෙත් තමිල්නාඩුවේ හා ලංකාවේ දෙමළ ජනයා අතර එවැන්නක්‌ සිදු වී නැත. දෙමළ ජාතිකත්වය උඩ සිට මෙහෙයවෙන්නකි. දෙමළ ජාතිකත්වය සංස්‌කෘතියට විරුද්ධ වෙයි. දෙමළ ජනමතය හසුරවන්නන්ගේ චින්තනය ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානිය වෙයි. ප්‍රභාකරන්ද ඒ චින්තනයෙන් මෙහෙයවිණි. ඔහු තම නම පිරිහාහරන් යනුවෙන් සංස්‌කෘත ඉවත්කර ලියුවේ හුදු දෙමළ වීම සඳහා ය. මෙරට ව්‍යාජ දේෂහිතෛෂීහු ප්‍රභාකරන්ගේ සංස්‌කෘත විරෝධී හින්දු විරෝධී චින්තනය අනුව ගොස්‌ ඔහු පිරිහාහරන් යනුවෙන් හැඳින්වූහ. තමිල්නාඩුව ද කේරළය හා බටහිර බෙංගාලය මෙන් ම සාම්ප්‍රදායික හින්දු චින්තනයෙහි නොමැත. ඒ ප්‍රාන්ත තුනෙන් භාරතීය ජනතා පක්‍ෂයට ජයගැනීම අපහසු වෙයි.

ඒ ප්‍රාන්ත හැරුණු විට ඉන්දියාව අද සමස්‌තයක්‌ ලෙස හින්දුත්වය බලයට පත්කර ඇත. ලංකාවේ මෙන් ම ඉන්දියාවේ ද බටහිර ක්‍රිස්‌තියානි යටත්විජිතවාදයට එරෙහිව සටන්කරන්නේ සංස්‌කෘතික ක්‌ෂේත්‍රයෙහි ය. කොංග්‍රසය හා එ ජා ප එවැනි සටනක්‌වත් නො කළේ ය. මහින්ද රාජපක්‍ෂ මහතා සිංහලත්වය මත පිහිටා සිංහල බුද්ධාගමෙහි ශක්‌තිය ලබමින් බටහිර යුදෙවු ක්‍රිස්‌තියානි යටත්විජිතවාදයට එරෙහි ව අභීතව ක්‍රියා කරයි. නරේන්ද්‍ර මෝඩි මහතා හින්දුත්වය මත පදනම් ව බටහිර යටත්විජිතවාදයට එරෙහි ව කටයුතු කරයි. ඒ අතර චීනය ද බටහිර යටත්විජිත විරෝධී වෙයි. එහෙත් ව්‍යාජ ජාතිකවාදීන් මොන තරම් බොරුවට කෑ ගැසුවත් ඊනියා ප්‍රාඥයන් බොරු පුරසාරම් දෙඩුවත් අපට ජාතික ආර්ථික ප්‍රතිපත්තයක්‌ හෝ ජාතික දේශපාලන ව්‍යqහ හෝ නැත. ලංකාවේ මෙන් ම ඉන්දියාවේ ද බටහිර අධ්‍යාපනයෙන් මොළ දූෂණය කරනු ලැබූ මධ්‍යම පාංතික පිරිසක්‌ වෙයි. මේ කොළඹ පුත්‍රයන් අනුකරණය කරන්නෝ ගම්වල ද වෙති. ආසියාවට නැවතත් ලෝකයට නායකත්වය දිය හැකි ය. ඒ හුදෙක්‌ නායකත්වය දීමට නොව ලෝකය පතිරූප දේශයක්‌ බවට පත්කිරීමට ය. එහෙත් අපට බටහිර ආර්ථික අපේක්‍ෂා ඇතිතාක්‌ එය කළ නො හැකි ය. අපේ සංවර්ධනය බටහිර ආකෘතියේ සංවර්ධනයක්‌ වීම ගැන දේශපාලනඥයන්ට දොස්‌ කීමෙන් වැඩක්‌ නැත. ඊනියා ප්‍රාඥයන් ඒ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර කුමක්‌ ද? ඔවුන්ට අඩුම තරමෙන් සිංහල බෞද්ධ චින්තනයෙහි මූලික අංග ගැනවත් අවබෝධයක්‌ නැත. ආසියාවට ඇත්තේ එක්‌ මගක්‌ පමණකි. ඒ හින්දු බෞද්ධ තාඕ මග වෙයි. ඉන්දියාවට ලංකාවට හා චීනයට මෙහි දී මූලිකත්වය ගත හැකි ය.

නලින් ද සිල්වා

2014-05-25