History

Sunday, 24 August 2014

ඉතා සංවේගයෙන් ලියමි


පුවත්පත්වලින් හා ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් කියවන්නට අසන්නට ලැබෙන පුවත්වලින් අපි බොහෝ දෙනා බොහෝවිට කම්පා වෙමු. පසුගිය දා එකළොස් හැවිරිදි දැරියක තම නැගණිය කෘරලෙස මරාදමා ඇති බව ඇසීමෙන් මෙරට වැසි බොහෝ දෙනා ඉතා සංවේගයට පත්වන්නට ඇතැයි සිතමි. එය අප බොහෝ දෙනාගේ සිත් සතන් බෙහෙවින් කම්පා කරන්නට ඇත. අප රට භෞතික වශයෙන් යම් සංවර්ධනයක් අත්කරගෙන ඇත. එය අපට ඔරොත්තු දෙන්නක් ද යන ප්‍රශ්නය ද ඇත. අපේ මව බොහෝ විට අපට කී කරුණක් නම් ඇයට ලැබුණු රුපියල් හතළිහක මාසික වැටුපෙන් ඇය තම මව රැක බලාගෙන එකල මරදානේ තාක්‍ෂණික විද්‍යාලයේ (ටෙක්නිකල් කොලීජියේ) ඉගෙනුම ලත් තම බාල සොහොයුරාගේ අධ්‍යාපනය සඳහා ද වියදම් කළ බව ය. එයට කලින් ඇගේ මව (අපේ ආච්චි අම්මා) තම දරුවන් ඉතා කුඩා කල සැමියා නැතිවූ පසු තම දරු දෙදෙනා උස්මහත් කර ඔවුන්ට අධ්‍යාපනය ලබා දී ඇත්තේ ආප්ප පුච්චා උපයාගත් සුළු මුදලෙනි. සිංහල පාසල් ගුරුවරුන් වූ අපේ දෙමව්පියෝ තම වැටුපෙන් දරුවන් අටදෙනකු හදාවඩා ගත්තේ නිදහස් අධ්‍යාපනයේ ද පිහිට ලබමින් අපට එකල දිය හැකි උපරිම අධ්‍යාපනය ද ලබා දෙමිනි. අපේ ආචිචි අම්මාගේ කල හා අපේ දෙමවුපියන්ගේ කල රුපියලේ අගය අදට වඩා බෙහෙවින් වැඩි වූවාට සැකයක් නැත. එහෙත් අද අපට ඔවුන් කළ දේ කිරීමට නොහැකි වී ඇත්තේ හුදෙක් ඒ නිසා නො වේ. අද අපේ අවශ්‍යතා වැඩි වී ඇත. අපේ ආත්මාර්ථය වැඩි වී ඇත. ඊර්ෂ්‍යාව, කුහකකම, තරගය, පෞද්ගලිකත්වය වැඩී යන්නේ කිසිසේත් ම මිනිසුන්ට ඔරොත්තු දෙන ආකාරයකින් නො වේ. මිනිසුන් ලෙස අපි සර්පිලාකාර ව අගාධයට ඇදෙමින් සිටිමු. අපි එයට සංවර්ධනය යැයි කියමු. පුවත්පත්වල සඳහන් ආකාරයට ඉහත සඳහන් දැරිය ජීවත් වී ඇත්තේ දැරියක ලෙස නො වේ. ගෙදර ඉවුම් පිහුම් කිරීම තම කුඩා නැගණිය බලා ගැනීම ඇතුුළු කාර්ය බොහෝමයක් ඇය වෙත පැවරී ඇත. ඇයගේ මව මුදල් ඉපයීම සඳහා පිටරට ගොස් ඇත. ඇයට අවශ්‍ය පරිදි මව් සෙනෙහස ලැබී නැති බව පැහැදිලි ය. 

අපට මා ගැන කතා නොකර එකිනෙකා සමග කතාකළ හැකි ද? යම්තම් මං මැදිහත් වෙලා ඒ වැඩේ කෙරුවා. මං නැත්නන් ඒක කවදාවත් කෙරෙන්නෙ නැහැ. මං නේ එයාට රස්සාව අරන් දුන්නෙ, ආදී වැකි අපට බොහෝ විට කතාබහේ දී අසන්නට ලැබෙයි. යුද්දෙ දිනුවෙ අපි ඒ ගැන කරපු ප්‍රචාරය නිසා, අපේ මතවාදී අරගලය නිසා ආදි කතා ද අපට අසන්නට ලැබෙයි. ලකුණු දා ගැනීම, ගෞරවය ලබාගැනීම ආදිය අපට නැතිව ම බැරි දේ බවට පත් වී ඇත. පුහු රාජ්‍ය සම්මාන හා වෙනත් එවැනි ම පුහු සම්මාන ලබාගැනීමට ඊනියා උගතුන් අතර පොරයක් මේ දිනවල පැවැත්වෙන බව අපි දනිමු. පොරවල් වීමට ඇති පොරය සියළු පොර අබිබවා යන්නේ යැයි කිවහැකි ය. එහි දී ජනමාධ්‍යය ද ප්‍රයෝජනයට ගැනෙයි. වෘත්තීය ඊර්ෂ්‍යාව බොහෝ දෙනාට ඇත. අපට එය වඩාත් ම දැකගත හැක්කේ සෞඛ්‍යය ක්‍ෂෙත්‍රයෙහි වුවත්  අනෙක් ක්‍ෂෙත්‍රවල ද එය පැතිරී ඇත. අවාසනාවකට අද දෙමවුපියන් වැයම් කරන්නේ තම දරුවන් පොරවල් කිරීමට මිස යහපත් පුරවැසියන් කිරීමට නො වේ. එය අඩු වැඩි වශයෙන් බටහිර අධ්‍යාපනය මෙරටට හඳුන්වාදුන් සිට ම පැවතී ඇත. නිදහස් අධ්‍යාපනය ඉනිමගේ ඉහළට යෑමට දෙන තල්ලුවක් බවට පත් වී ඇත්තේ හතළිහේ දශකයේ සිටම ය. මේ ඇතැම් අයහපත් ලක්‍ෂණ අප සියළු දෙනාට ම අඩු වැඩි වශයෙන් බලපා ඇත. ජාත්‍යන්තර පාසල්වල ඉගෙන ගන්නා දරුවන් දෙස අප බොහෝ දෙනා බලන්නේ නිදහස් අධ්‍යාපනයේ සතුරන් දෙස බලන ආකාරයකට ය. නිදහස් අධ්‍යාපනය ලැබූ අයට රැකියා ලබා දීමේ දී ප්‍රමුඛස්ථානය හිමිවිය යුතු ය වැනි ආකල්ප අපට ඇති වී තිබෙන්නේ ද අධ්‍යාපනයේ වරදින් ය. අපි තවමත් ජාත්‍යන්තර පාසල්වල ඉගෙන ගන්නා හැම් බේකන් කන බේබිලා ගැන කතා කරමු. 

මෙරට වැසියන්ගෙන් බහුතරය සිංහල බෞද්ධයෝ වෙති. එහෙත් අවාසනාවකට සිංහල බෞද්ධයනට ඇත්තේ නොසන්සිඳෙන මමත්වයකි. ආත්මයක් නැතැයි කියන සිංහල බෞද්ධයන්ගේ මමත්වය මෙතරම් වැඩි ඇත්තේ ඇයි? අර දැරිය තම නැගණිය මරා දමා ඇත්තේ (අදාළ වාර්තාවලට අනුව) ඉහවහා ගිය මමත්වය හේතුකොටගෙන ය. අප රටේ පවුල් ජීවිතය එන්න එන්න ම පිරිහෙයි. මව්පිය සෙනෙහස, දරු සෙනෙහස, අඹු සැමි සෙනෙහස, සහෝදර සෙනෙහස අද  පවුල්වලින් පළා යමින් ඇත. සෙනෙහස යන වචනය අද පාවිචිචි නෙකෙරෙන තරම් ය. ඒ වෙනුවට කසිකබල් ආදරය යන වචනය ආදේශ වී ඇත. සෙනෙහ කොළය වෙනුවට අද ඇත්තේ එස් එම් එස් ආදරය ය. ආදරය යන්න බටහිරට කෙසේ වෙතත් අපට ආගන්තුක ය. ආදරය ඇත්තේ හෝටල් කාමරවල ය. නිවෙස්වල තිබිය යුත්තේ සෙනෙහස ය, ගෞරවය ය. ඊනියා මානව අයිතිවාසිකම් පවුල  කෙරෙහි අනර්ථකාරීව බලපා ඇත. අද දෙමවුපියෝ වැඩිහිටි දරුවන්ට බියෙන් ජීවත්වෙති යන්න අතිශයෝක්තියක් නො වේ. එය පන්සලට ද බලපා ඇත. ගුරු හාමුදුරුවෝ තරුණ ශිෂ්‍ය හාමුදුරුවන්ට බිය වෙති. 


මේ සියල්ලට වැරදිකරුවා විවෘත ආර්ථිකය යැයි කීමට තරම් අප බොළඳ විය යුතු නො වේ. 1977 දී මෙරටට විවෘත ආර්ථිකයක් හඳුන්වා දෙනු ලැබුයේ එය මිනිසුන්ට අවශ්‍ය වී තිබූ නිසා ය. 1977 වන විට 1970 - 77 යුගයේ ආර්ථිකය මිනිසුන්ට එපා වී තිබිණි. එය ක්‍රියාත්මක වර ආකාරයේ වැරදි තිබෙන්නට ඇත. එහෙත් මිනිසුන්ට එය එපා වූයේ ඒ නිසා ම නො වේ. මිනිසුන්ට තම පෞද්ගලික අවශ්‍යතා ඉටුකර ගැනීමට තදබල කැමැත්තක් තිබිණි. එය ආහාර සම්බන්ධයෙන් පමණක් නො වී ය. පංචෙන්ද්‍රිය පිනවීමට මිනිසුන්ට තිබූ ඕනෑකම නොවන්නට විවෘත ආර්ථිකය හඳුන්වා දීමට ඉඩක් නො තිබිණි. එහෙත් විවෘත ආර්ථිකයට වඩා අපට බලපෑවේ ඒ සමග හඳුන්වාදෙනු ලැබූ විවෘත සංස්කෘතිය ය. ජනමාධ්‍ය, විශේෂයෙන් ම ඉලෙක්ටෝ‍රනික මාධ්‍ය විවෘත සංස්කෘතිය ප්‍රචලිත කිරීමෙහි ලා රටට අහිතකර ව මැදිහත් විය. අද දරුවෝ පාසලෙන් ලබාගන්නා කසිකබල් තරගකාරී අධ්‍යාපනයට අමතර ව කසිමකසිකබල් ඉලෙක්ට්‍රොනික මාධ්‍යයෙන් ඉගෙන ගනිති. (මතු සම්බන්ධයි)       


නලින් ද සිල්වා

2014-08-24