History

Wednesday, 1 October 2014

ඇත්තේ හා බොරුවේ ද්වෛතය


ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා මේ සතියේ දී මා අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නේ නම් මැනවි. එවිට ඇත්ත හා බොරුව පිළිබඳ ඒ මහතා දරණ මතය කුමක් දැයි පාඨකයනට පැහැදිලි වනු ඇත. ඒ මහතාගේ පිළිතුර කුමක් වුවත් අපට දැනටමත් පැහැදිලි වන කරුණ නම් ඇත්ත හා බොරුව යන්න ද සාපේක්‍ෂ බව ය. එයට එක් එක් කාලවල, එක් එක් දේශවල දෙන, දී ඇති නිර්වචන වෙනස් වී ඇත. එහෙත් අපි ඇත්ත හා බොරුව යන්න නිරපෙක්‍ෂ ලෙස සැලකීමට පුරුදු වී සිටිමු. අප යම්කිසි කාලයක ඇත්ත ලෙස පිළිගන්නේ අදාළ කාලයෙහි ඇත්ත පිළිබඳ ඇති අධිපති මතවාදයට අනුව නිර්මිත වී ඇති නිර්වචනයට එකඟ වූවකි. 

එක් කලෙක පංචෙන්ද්‍රියවලට ගෝචර නොවන දේ ද ඇත්ත ලෙස පිළිගැනීමට ඇතැම් සංස්කෘතීන් සූදනම් ව සිටි බව පැහැදිලි ය. වෛදිකයෝ බ්‍රහ්මන් සත්‍ය යැයි ගත්හ. සත්‍යම් සිවම් සුන්දරම් යන්නෙහි තේරුම ශිව පිළිබඳ වූ සත්‍යය සුන්දර බව ය. ශිව දෙවියන් ලංකාවේ වෙස්සගිරිය ආශ්‍රයෙහි විසූවත් නැතත් වෛදිකයන් ශිව දෙවියන් විශ්වාස කරන්නේ එතුමන් පංචෙන්ද්‍රියවලට ගෝචර වන නිසා නො වේ. එමෙන් ම යුදෙවුවන්, කතෝලිකයන් හා මුස්ලිමුන් යෙහෝවාඃ, දෙවියන් වහන්සේ , අල්ලා දෙවියන් (ඔවුන් තිදෙනා ම එක් අයකු වූව ද නොවූව ද) විශ්වාස කරන්නේ, ඒ සත්‍ය බව පිළිගන්නේ ඔවුන් උන්වහන්සේ දැක ඇති නිසාවත්, අල්ලා බලා ඇති නිසාවත් නො වේ.

අද පහළොස්වැනි සියවසෙන් පසුව බටහිරයන්ගේ අධිපති මතවාදය බවට පත් වී ඇත්තේ පංචෙන්ද්‍රියවලට ගෝචර වන දේ පමණක් ඇති බව හා ඒ නිසා ඒ ඇත්ත හෙවත් සත්‍යය බව ය. එය එක් කලෙක එක් ප්‍රදේශයක සත්‍යය පිළිබඳ ව නිර්මාණය කරන ලද්දක් වුවත් එය සාපේක්‍ෂ වුවත් අද එය පරම සත්‍යයක් ලෙස අධිපති මතවාදය විසින් පිළිගැනීමට ලක් කෙරී ඇත. මේ ප්‍රවණතාව අදට පමණක් සීමාවූවක් ද නො වේ. බ්‍රහ්මන් පරම සත්‍ය ලෙස ගත්තෝ, එනම් වෛදිකයෝ සත්‍යය පිළිබඳ තම නිර්වචනය නිරපේක්‍ෂ ලෙස ගත්හ. දෙවියන් වහන්සේ විශ්වාස කළ අයට ද උන්වහන්සේ නිරපේක්‍ෂ පරම සත්‍යයක් විය. එහෙත් බ්‍රහ්මන් හෝ දෙවියන් වහන්සේ හෝ පංචෙන්ද්‍රියවලට ගෝචර නො වූහ. 

බුදුදහමෙහි ද ඊනියා පරම සත්‍යය පරමාර්ථය ආදී සංකල්ප ඇත්තේ පසුකාලීන ව මහායානිකයන් මෙන් ම ඇතැම් හීනයානිකයන් ද ඊනියා සත්‍යයක් පිළිබඳ සංකල්පවලට යටවීම නිසා බව පැහැදිලි ය. බුදුන් වහන්සේ පරම සත්‍යයක් ගැන හෝ පරමාර්ථයක් ගැන හෝ දේශනා නො කළහ. මා දන්නා තරමින් උන්වහන්සේ සම්මුති සත්‍යයක් ගැන ද දේශනා කර නැත. චතුරාර්ය සත්‍යය, සත්‍යය වන්නේ එය නිවන් අවබෝධය සඳහා උපකාරි වන නිසා බැවිනි. අනෙක් අතට වෛදිකයන්ගේ ඊනියා සත්‍ය කිසිවක් සත්‍ය නොවන බව ප්‍රකාශ කිරීමට ද උන්වහන්සේට අවශ්‍ය වන්නට ඇත. 

ඒ කෙසේ වෙතත් අප මෙහි දී අවධාරණය කරන්නේ අනෙක් කරුණුවල දී මෙන් ම ඇත්ත හා බොරුව පිළිබඳ කරුණෙහි දී ද, අපට ඇත්තේ මිනිසුන් විසින් ගොතන ලද සාපේක්‍ෂ කතන්දර පමණක් බව ය. මේ කතන්දර කාලයෙන් කාලයට, දේශයෙන් දේශයට, දීපයෙන් දීපයට, ගෝත්‍රයෙන් ගෝත්‍රයට, පවුලෙන් පවුලට, වෙනස් වෙයි. අද ඇත්ත ලෙස පිළිගැනෙන්න හෙට ද ඇත්ත ලෙස පිළිගැනේවි යැයි නොසිතිය යුතු ය. ඇත්ත හා බොරුව ද පංචෙන්ද්‍රියවලට, සංස්කෘතියට හා මනසට සාපේක්‍ෂ ය. 

ඉහත සඳහන් වන්නේ ද ඇත්ත හා බොරුව පිළිබඳ තවත් කතන්දරයක් පමණකි. එය මා විසින් ගොතන ලද්දකි. එය ද ඇත්ත පිළිබඳ ඊනියා සත්‍යයක් නො වේ. එය මා දන්නා, එනම් මා විසින් නිර්මාණය කෙරී ඇති, බුදුදහමට සාපේක්‍ෂ ය. කිසිම කතන්දරයක් නිරපේක්‍ෂ නො වේ. සියළු කතන්දර පංචෙන්ද්‍රියවලට, මනසට හා සංස්කෘතියට සාපේක්‍ෂ ය. සියළු කතන්දර මනස විසින් නිර්මාණය කෙරෙයි. නිවන යනු කතන්දරයක් නො වේ. එහෙත් එයින් කියැවෙන්නේ නිවන නිරපේක්‍ෂ හෝ පරමාර්ථය බව නො වේ. කතන්දරවල බොරුව අවබෝධ කරගැනීම, නැති ඇත්ත නැති ඇත්තක් බව අවබෝධ කරගැනීම නිවන් අවබෝධය වෙයි. අපට අවශ්‍ය බොරුවෙන් නිදහස් වීම මිස ඊනියා ඇත්තක් දැනගැනීම නො වේ. නැති ඇත්ත දැනගන්නේ කෙසේ ද? 

එහෙත් පාඨකයනට මෙවැනි ප්‍රශ්නයක් ඇතිවීම වැළැක්විය හැකි නො වේ. ඇත්ත හා බොරුව අතර වෙනසක් ඇත්තේ ම නැද්ද? උසාවියේ දී ඇත්ත බොරුවෙන් වෙන්කරන්නේ නැද්ද? බුදුදහමෙහි මුසාවාදා වෙරමණි සික්ඛා පදං සමාදියාමි යනුවෙන් කියන විට ඉන් ගම්‍ය වන්නේ කුමක් ද? මේ ප්‍රශ්නවල වැදගත්කමක් ඇත. එබැවින් අප ඒ විශ්ලේෂණය කළ යුතු ය. අපි පළමුවෙන් සාමාන්‍ය ව්‍යවහාරයේ ඇත්ත හා බොරුව යනුවෙන් කියැවෙන්නේ කුමක් දැයි පැහැදිලි කර ගනිමු. 

අප බොහෝ දෙනා එකඟ වන පරිදි මා ඉදිරිපිට ඇති වස්තුව පුටුවක් යැයි කියමු. අප බොහෝ දෙනාට අනුව මේ මොහොතේ මා ඉදිරිපිට පුටුවක් ඇත. එහෙත් රහතන් වහන්සේ නමක නොවන කිසිවකු පැමිණ මෙහි පුටුවක් නැතැයි කීමට ඉඩ ඇත. ඔහු සාමාන්‍ය නිරෝගී පුද්ගලයකු බව ද ඔහුගේ මනස ද ප්‍රකෘති තත්ත්වයෙන් ඇත යනුවෙන් ද අපි විශ්වාස කරමු. ඔහුට මා ඉදිරිපිට පුටුවක් ඇති බව නොපෙනෙනවා නො වේ. ඔහුට පුටුව පිළිබඳ සංකල්පය ද ඇත. එහෙත් කිසියම් හේතුවක් නිසා මා ඉදිරිපිට පුටුවක් නැතැයි ඔහු කියයි. ඒ හේතුව ඔහුට විය හැකි පාඩුවක්, අවාසියක් වැළැක්වීම විය හැකි ය.

සාමාන්‍ය ව්‍යවහාරය අනුව ඔහු මා ඉදිරිපිට පුටුවක් නැතැයි කීම බොරුවක් කීම ලෙස ගැනෙයි. අනෙක් සියල්ලන් ම මා ඉදිරිපිට පුටුවක් තිබේ යැයි කියද්දී ඔහු ඒ බව පිළිගැනීම ප්‍රතික්‍ෂෙප කරයි. එය බොරු කීමක් නො වේ ද? එසේ නම් ඇත්ත හා බොරුව යනුවෙන් ද්වෛතයක් (දෙකක්) නැද්ද? මෙහි දී පළමුවෙන් ම අපට තේරුම් ගැනීමට සිදුවන්නේ මා ඉදිරියේ පුටුවක් ඇත් ද යන්න ය. මා ඉදිරියේ ඇති පුටුව යන්න සම්මුතියක් පමණකි. මා ඉදිරියේ පුටුවක් ඇතැයි කීම සත්‍යයක් නො වේ. පෘථග්ජනයන්ගේ සම්මුතියට අනුව මා ඉදිරියේ පුටුවක් ඇති මුත් එය සත්‍යයක් නො වේ.

එසේ වුවත් මෙවැනි අවස්ථාවල අප කියන්නේ සත්‍ය යැයි අපි ගනිමු. එය සම්මුති සත්‍යයක් නො වේ. එහෙත් එය සත්‍යයක් ලෙස අපි සලකමු. එය එසේ නො වේ යැයි දැන දැන කීම, එනම් සම්මුතියෙන් ඒ එසේ බව දැන දැනත් එසේ නො වේ යැයි කීම මුසාවක්, බොරුවක් ලෙස අපි සලකමු. මා ඉදිරියේ පුටුවක් ඇති බව සම්මුතියෙන් දැන දැනත් මා ඉදිරිපිට පුටුවක් නැතැයි කීම මුසාවක් පැවසීමක් යැයි අපි සලකමු. 

සම්මුතියෙන් ඇත්ත හා බොරුව අතර ඇත්තේ එවැනි වෙනසකි. සම්මුතියෙන් යමක් ඇති බව දැන දැනත් එයට පිටින් ගොස් ඒ නැතැයි කීම බොරු කීමකි. අප වැළකිය යුත්තේ එවැනි බොරුකීම් වලින් ය. පෘථග්ජනයන් ලෙස සිටින තාක් සම්මුතිය ද බොරු බව අපි නො දනිමු. එහෙත් අපට සම්මුතිය සමග එකඟවීමට සිදුවෙයි. අප සම්මුතිය සමග එකඟ වන්නේ අපේ අනවබෝධය නිසා ය. 

දැන් මා ඉදිරිපිට රහතන් වහන්සේ නමක වැඩම කර මෙතැන පුටුවක් නැතැයි දේශනා කරන්නේ යැයි සිතන්න. උන්වහන්සේ දේශනා කරන්න බොරුවක් ද?  කිසිසේත් ම නැත. උන්වහන්සේට අනුව මා ඉදිරිපිට පුටුවක් නැත. එබැවින් උන්වහන්සේ මා ඉදිරිපිට පුටුවක් ඇතැයි දේශනා කරන්නේ කෙසේ ද? මෙහි දී ද අපට පෙනී යන කාරණය නම් යමක් ප්‍රකාශ කරන තැනැත්තාට අනුව ද ඇත්ත හා බොරුව තීරණය වන බව ය. 

අපි නිවන් අවබෝධ කරන තුරු සම්මුතියට එකඟ ව බොරු කියමු. එය වැළැක්විය නො හැකි ය. ඒ බොරුව එකකි. නිවන් අවබෝධ නොකර සම්මුතියට එරෙහිව ඇතැම් ප්‍රකාශ කිරීම සම්මුතියට අනුව  බොරු කීමකි. ඒ බොහෝ විට අපේ වාසිය සඳහා විය හැකි ය. අප එවැනි බොරු කීමෙන් වැළකිය යුතු ය.  නිවන් අවබෝධ කිරීමෙන් පසුව රහතන් වහන්සේ ඇතැම් විට සම්මුතියට එරෙහිව දේශනා කරන කරුණු මුසා නො වේ. 

නිවන් අවබෝධ කරන තුරු අපට බොරු කීම හැර වෙනත් දෙයක් කීමට නො හැකි ය.   එහෙත් අප කියා ඇත්තේ සත්‍යය යන්න සාපේක්‍ෂ බව ය. අද බටහිරයෝ පංචෙන්ද්‍රියවලට ගෝචර දේ ඇත්ත යැයි ගනිති. කලකට පෙර වෛදිකයෝ මනසට ගෝචර එහෙත් පංචෙන්ද්‍රියවලට ගෝචර නොවන දේ සත්‍ය ලෙස ගත්හ. මේ එකක්වත් සත්‍යය නො වේ. ඒ සම්මුතීන් පමණකි. මීළඟ සියවසේ සම්මුතිය කුමක් වේ ද? ගණිතයට සාපේක්‍ෂව විසංවාදවලින් තොර ප්‍රකාශ සත්‍ය ලෙස ගැනීමට බටහිරයෝ සම්මුතියක් තනාගැනීමට උත්සාහ දරති. එය සාර්ථක වේ දැයි දැනට කිව නො හැකි ය. 

ඇත්ත හා බොරුව පිළිබඳ ඒ කෙටි වි්ශ්ලේෂණයෙන් පසුව ඇත්ත හා බොරුව එකිනෙකින් වෙන්කර ගැනීමේ ප්‍රශ්නය වෙත අපි යොමු වෙමු. මෙය අද බටහිර විද්‍යාවේ හා බටහිර දර්ශනයෙහි වැදගත් ප්‍රශ්නයක් බවට පත් වී ඇත. බටහිර දාර්ශනිකයන්ට දැනුම යන්න නිර්වචනය කරගැනීමට නො හැකි ය. පසුගිය සියවසේ පහළ වූ ප්‍රධාන ම බටහිර දාර්ශනිකයකු වූ විට්ගන්ස්ටයින් දැනුම යනු කුමක් දැයි පැහැදිලි කිරීම අත්හැර දමුවේ ය. බටහිරයන්ට එය කිරීමට නො හැකි ය. 

බටහිරයෝ දැනුම මිථ්‍යාවෙන් වෙන් කරති. ඔවුන්ට ද්වෛතය (duality) නොමැතිව සිතීමට නො හැකි ය. ඇත්ත හා බොරුව, දැනුම හා මිථ්‍යාව ආදී වශයෙන් ඔවුහු විරද්ධාර්ථවලින් සිතති. ඇරිස්ටෝටලීය න්‍යාය බිහි වී ඇත්තේ ද මේ ද්වෛත මූලික චින්තනය හේතුකොටගෙන ය. දැනුම යනු කුමක් ද? මිථ්‍යාව යනු කුමක් ද? දැනුම සත්‍ය යැයි බටහිර දාර්ශනිකයෝ පවසති. එවිට මිථ්‍යාව අසත්‍ය වෙයි. අපි නැවතත් සත්‍යය හා අසත්‍යය අතර හිරවෙමු. එහෙත් එය සාපේක්‍ෂ ය. එහි නිරපේක්‍ෂ සත්‍යයක් නැත. අපි මේ බොරුවෙන් මිදෙමු. ඒ සඳහා බොරු මෙන් ම පට්ටපල් බොරු ද හඳුනාගනිමු.                  


නලින් ද සිල්වා

2014-10-01