History

Sunday, 12 October 2014

මට මහලු වයසේ හැකිය වෙණ ගායනා පෙරසේ


ආසනික් හා නාථ දෙවියන් පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීම මගේත් වකුගඩු රෝගීන්ගේත් රටේත් සෞඛ්‍යයට හිතකර බව පැහැදිලි ය. පසුගිය සතියේ වකුගඩු රෝගීන් පිළිබඳ තවදුරත් ලිවීමෙන් පසු මගේ විරුද්ධවාදීන් අතර ඉ-තැපැල් හුවමාරුවක් සිදු වී ඇත. ඉඳහිට මේ ඇතැම් ලිපි මගේ සමහර මිතුරන් අතට ද පත්වෙයි. ඔවුහු ඉන් සමහරක් මට යොමු කරති. අද මගේ විරුද්ධවාදීන් වී ඇත්තේ බටහිර විද්‍යාවට දාසකම් කරන්වුන් ය. ඔවුහු තමන් බටහිර විද්‍යාවේ දාසයන් බව නො දනිති. වහලා තමන් වහලකු බව නො දනියි. මම ද අවුරුදු පහළොහේ පමණ සිට තිස්පහ පමණ දක්වා බටහිර විද්‍යාවේ දාසයෙක් වීමි. මා බටහිර විද්‍යාඥයකු වීමටත්් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ගණිතය උගන්වන කථිකාචාර්යවරයකු වීමටත් තීරණය කළේ අවුරුදු පහළොවේ දී පමණ ය. තෙවතාවක් ම මට ලංකාවේ ඒ අවස්ථාව උදාවිණි. දෙවතාවක් ම මට විශ්වවිද්‍යාල අත්හැර යෑමට සිදුවිය. තුන්වැනි අවස්ථාවේ දී සුදුසු කල මම රැකියාවෙන් විශ්‍රාම ගත්තෙමි. එහෙත් ඒ අතර අදාළ විශ්වවිද්‍යාලයෙහි කථිකාචාර්යවරු මට විරුද්ධව අත්පත්‍රිකා බෙදුහ. උද්ඝෝෂණය කළහ. පෝස්ටර ගැස්සවූහ. අවසානයේ දී පීඨාධිපතිවරයකු වූ මගේ ඡායාරූපය ද නොඑල්ලීමට වග බලාගත්හ. දැන් මම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙහි සාමාජිකයෙක්මි. ඒ ජනාධිපතිතුමාගේ අවශ්‍යතාවට ය. ඇතැමුන් කියනු ඇත්තේ ඒ කඩේ යෑම නිසා ලැබුණු වරදානයක් බව ය. මා කඩේ ගිය බව හා යන බව සැබෑ ය. කොටි පරාජය කළ ජනාධිපතිතුමාට කඩේ යනු මිස කොටින්ට රට පාවාදුන් රනිල්ට කඩේ යන්න ද? සුදු කොඩි සරත් ෆොන්සේකාට කඩේ යන්න ද? රනිල්ට සේවය කරන අනුර දිසානායකට කඩේ යන්න ද?  කෙකරගාමී කුමාර් මහත්තයාට කඩේ යන්න ද? කිසිවකුටවත් කඩේ නොයා සිටීමෙන් වක්‍රව රනිල් වැන්නකුට කඩේ යන්න ද? නැත, මම ජනාධිපතිතුමාට කඩේ යමි. එහෙත් එයින් කියැවෙන්නේ මා ආණ්ඩුවේ සියළු කටයුතු අනුමත කරන බව නො වේ. අනෙක් අතට ප්‍රතිපාදන කොමිෂමේ සාමාජිකත්වය යනු රැකියාවක් නො වේ. එහි මසකට රැස්වීම් දෙකක් පැවැත්වෙයි. සාමාජිකයකුට සහභාගිවන රැස්වීමකට දීමනාවක් ලැබෙයි. මා කඩේ ගියේ වරදාන බලාගෙන නො වේ. දීමනාව කුමක් වුවත් මම සතුටින් සේවය කරමි. එමගින් මේ කසිකබල් අධ්‍යාපනය ඉතා සුළුවෙන් නමුත් දේශීයත්වයට ගැනීමට කටයුතු කරමි. උදාහරණයක් ලෙස ගතහොත් දේශීය වෛද්‍යවිද්‍යා අධ්‍යාපනය බටහිර වෛද්‍යවිද්‍යා අධ්‍යාපනයට වඩා උසස් තැනකට ගෙන ඒම මගේ අභිප්‍රාය වෙයි. මම එය නො සඟවමි. එහෙත් ආණ්ඩුව අදත් පාරම්පරික වෙදමහතාට නිසි සැලකිල්ලක් නො දක්වයි. කෘෂිරසායනික වකුගඩු රෝගයට බටහිර වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාර නැත. ලේ කාන්දුකරණය හා වකුගඩු බද්ධකිරීම ප්‍රතිකර්ම නො වේ. අද වකුගඩු රෝගීන් මිය යෑම පිළිබඳ ව ආණ්ඩුව හෝ වෙනත් පක්‍ෂයක් හෝ සැලකිල්ලක් නොදක්වයි. ඒ බටහිර වෙදකමේ නොහැකියාව වසා ගැනීමට ය. ආණ්ඩුව පාරම්පරික වෙදමහතුන්ට ජංගම වෙදගෙවල් පහසුකම් ඇතිකරන්නේ නම් රෝගීන් මියයනු වැළැක්විය හැකි ය. එහෙත් බටහිර වෛද්‍යවරු එයට අකුල් හෙළති.

බටහිර වෛද්‍යවරයකු වීම හෝ බටහිර ඉංජිනේරුවරයකු වීම හෝ කෙදිනකවත් මගේ අභිප්‍රාය නො වී ය. එහෙත් මම බටහිර ගණිතයට හා ෙසෙද්ධාන්තික භෞතික විද්‍යාවට ප්‍රිය කළෙමි. පාසලේදීත් විශ්වවිද්‍යාලයේදීත් මා සිතා සිටියේ මා දක්‍ෂ ශිෂ්‍යයකු බව ය. මම ඊනියා විද්‍යාත්මක ක්‍රමයට ඇලුම් කළෙමි. මා ඉංගිරිසි ඉගෙන ගත්තේ භෞතික විද්‍යාව හා ගණිතය එහි ඉතිහාසය, දර්ශනය  ආදී විෂය පිළිබඳ පාසල් පුස්තකාලයේ තිබූ පොතපත කියවීමෙනි. අප පාසලේ ඉහළ මට්ටමේ පුස්තකාලයක් තිබීම මට රුකුළක් විය. අයින්ස්ටයින්ගේ මීනින් ඔෆ් රෙලටිවිටි (සාපේක්‍ෂතාවේ අරුත) පොත කියවන විට මම සාමාන්‍ය පෙළ පළමු වසරේ සිසුවෙක් වීමි. ගැලීලියෝ නිවුටන් ආදීහු මගේ පරමාදර්ශී චරිත වූහ. බේකන්ගේ සිට රසල් දක්වා දාර්ශනිකයෝ මට මග පෙන්වූහ. එහෙත් මගේ පියා ද මව ද දූරදර්ශීව කටයුතු කර තිබිණි. ඔවුන් අපට බටහිර විද්‍යාව ඉගෙනීමට අනුබල දුන්නේ දේශීය අධ්‍යාපනය අමතක කර නො වේ. මගේ මව මා අවුරුදු අටේ දී පමණ පූජාවලිය කියවන විට මට අකුල් නො හෙළුවා ය. ඇය අපට කී කතාවක් නම් මා ඇගේ ගැබෙහි සිටිනා කල ඇය කිහිප වතාවක් ම උම්මග්ග ජාතකය කියවූ බව ය. මගේ පියා මා පාණදුරේ වෑකඩ ධර්මප්‍රාසාදයට යවා පන්සල් පොත් කියවීමට සැලැස්වී ය. කුඩා කළ මා කියවූ පූජාවලියවත් සාපේක්‍ෂතාවාදයේ අරුතවත් මට මුළුමනින් ම තේරුම් ගියේ යැයි මම නො කියමි.  මා සාමාන්‍ය පෙළ ප්‍රථම වසරෙහි ඉගෙන ගන්නා කල රසායන විද්‍යා ගුරුවරයා අම්ලයක් යනු කුමක් දැයි නිර්වචන කරන ලෙස කියා සිටියේ ය. එකල යම්තම් ඉංගිරිසි ගැටගසාගත් අපට පමණක් නොව ඉංගිරිසි හොඳින් දත් සිසුන්ට ද පිළිතුරු නැති විය. එවිට ගුරුතුමා අපට කියා සිටියේ නිර්වචනය යනු කුමක් දැයි තේරුම් කර දෙන ලෙස ය. අප කිසිවකුට එයට ද පිළිතුරු නැති විය. අප ගුරුතුමා අපට එවර කියා සිටියේ තේරුම යනු කුමක් දැයි නිර්වචනය කරන ලෙස ය. මේ අවුරුදු පනස්පහකට පෙර සිදුවූවකි. ගුරුතුමා කී දෙය මට වැටහුණේ ඉන් අවුරුදු විස්සකට පමණ පසුව ය. ඔහු අපට කී දේ අනුව නිර්වචන යනු තේරුම් කිරීම් බවත් තේරුම් කිරීම් යනු නිර්වචන බවත් මට වැටහිණි. චක්‍රීය චින්තනය යනු කුමක් දැයි මට දැනගැනීමට ලැබිණි. පටිච්චසමුප්පදාය මට වෙනත් අයුරකින් වැටහිණි. රසල්ලා අයින්ස්ටයින්ලා වෙනුවට නාගර්ජුනලා මගේ ලෝකය අරක්ගත්හ. බුදුදහම යනු දුනුම නොදැනුම බවට පත්කරීම අරමුණු කරගත්තක්් බව එයටත්  කලකට පසුව මට වැටහිණි. බුදුන් වහන්සේ පමණක් මගේ ලෝකයෙහි ඉතිරි වූ සේක. හෙට අනිද්දාට මට සැත්තෑවිය පිරෙයි. එහෙත් මට පෙර සේම වෙණ ගායනා හැකිවෙයි.   

මා බටහිර විද්‍යාඥයකු වීමට එංගලන්තයට ගියේ විසිහතර වැනි වියේ දී ය. පාසලේ ගණිතය සඳහා ත්‍යාග දිනාගෙන, විශ්වවිද්‍යාල ප්‍රවේෂ පරීක්‍ෂණයෙහි දී ද විශ්වවිද්‍යාල ශිෂ්‍යත්වයක් (අද කියන ආකාරයට නම් තරාව - ශ්‍රේණිය අනුව දිවයිනේ පළමු කිහිප දෙනා අතරට පැමිණ)  හා පාසලේ ගණිතය පිළිබඳ අවසාන ත්‍යාගය ද දිනාගෙන, පසුව ගණිතය පිළිබඳ රජයේ ශිෂ්‍යත්වය ද දිනාගෙන කේම්බ්‍රිජ් නොගොස්  මා සසෙක්ස් විශ්වවිද්‍යාලයට ඇතුල් වූයේ කරුණු දෙකක් නිසා ය. පළමුවෙන් ම  එහි විශ්වවේදය පිළිබඳ ඉතා දක්‍ෂ උපදේශකවරයකු වීම ය. දෙවනුව ඔවුන් ජනවාරියෙහි දී ම විශ්වවිද්‍යාලයට ඇතුල්වීමට මට අවසර ලබාදීම ය. ඉතා සාම්ප්‍රදායික විශ්වවිද්‍යාලයක් වූ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ඇතුල් වී නම් මට ඔක්තෝබරය වන තුරු බලා සිටීමට සිදුව තිබිණි. මම ඉතා සතුටින් සසෙක්ස් බලා පිටත්ව ගියෙමි. එහෙත් ඒ ප්‍රීතිය ටික කලෙකින් ම අහෝසි වී ගියේ ය. මට බටහිර විද්‍යාඥයකු වීමට නොහැකි බව වැටහිණි. එයට හේතුව මා නොදත් නමුත් බටහිර විද්‍යාඥයකු වීමේ බලාපොරොත්තුව අත්හැර දැමීමට මට සිදුවිය. මා එංගලන්තයට ගියේ මූලික වශයෙන් විද්‍යාඥයකු වීමට මිස ආචාර්ය උපාධියක් ලබාගැනීමට නො වේ. විද්‍යාපති (එම් එස් සී) උපාධියකින් ද කථිකාචාර්ය ධුරයක් ලැබිය හැකිව තිබූ බැවින් මා උපදේශකවරයාට පැවසුවේ විද්‍යාපති උපාධියක් ලබා ආපසු යන බව ය. ආචාර්ය උපාධිය සඳහා අවම වශයෙන් අවුරුදු දෙකක් ගත කළ යුතුය යන රෙගුලාසිය මා වෙනුවෙන් ඉවත්කර මට ආචාර්ය උපාධිය සඳහා නිබන්ධනය අවුරුදු එකහමාරකින් ඉදිරිපත්කිරීමට සනාතන සභාවේ අවසරය ලබාගැනීමට කටයුතු කරන බව ඔහු කීවේ ය. එලෙස ම කටයුතු සිද්ධ විය. මෙය තරමක කයිවාරුවකි. එහෙත් මා ඒ කයිවාරුවට යොමු වන්නේ මෙරට උගතුන් මා කෙරෙහි දක්වන ප්‍රතිචාරයට පිළිතුරක් සැපයීම සඳහා ය. මා කලින් සඳහන් කළ ඉ-තැපෑලට අනුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ රසායනවිද්‍යා අංශයේ මහාචාර්ය ගාමිණී රාජපක්‍ෂ මහතා කියන්නේ මා අදම්‍ය ස්ඵෝටකයක් හා යක්‍ෂයකු බව ය. (මතු සම්බන්ධයි)


නලින් ද සිල්වා

2014-10-12