History

Wednesday, 8 October 2014

විවිධ දැනුම් පද්ධතීන් හා විවිධ දර්ශන


ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා පසුගිය සතියේත් මා ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දී නො තිබිණි. එමෙන් ම ඔහු බටහිර වෛද්‍යවරුන් ඉදිරියේ මට වකුගඩු රෝගය පිළිබඳ දේශනයක් පැවැත්වීමට අවස්ථාව ලබාදීමට ද කටයුතු නො කරයි.  තමාට දේශන සඳහා වේලාව වෙන්කර ගැනීමේ දී යම් ආකාරයකට බල පෑ හැකි දේශන ශාලාවක් මහනුවර මුල්ගම්පොළ හෝ ආසන්න ප්‍රදේශයක හෝ පැවතිය ද අමරතුංග මහතා දේශනයක් පැවැත්වීමට මට අවස්ථාවක් ලබා නො දෙන්නේ ඇයි ද යන්න පෑහැදිලි නැත. ඒ මහතා පසුගිය දා මහනුවර දී කීර්ති තෙන්නකෝන් මහතා සහභාගි වූ රැ්ස්වීම ද මගහැරියේ ය. ඔහු ඒ රැස්වීමේ ශ්‍රව්‍ය දෘශ්‍ය පටය බලන්නට ඇතැයි සිතමි. ඒ ගැන ද අමරතුංග මහතා නිහඬ ය. 

එහෙත් ඒ මහතා තවමත් විදුසර පුවත්පත මගින් තම පල්හැලි නැවත නැවත වැරදියට කීම නම් අත්හැර නැත. පසුගිය සතියේ ඒ මහතා තමන් කිසි දිනෙක හරිහැටි අවබෝධ කරනොගත් ඊනියා විද්‍යාවේ දර්ශනය ගැන නැවතත් අසත්‍ය ප්‍රකාශ ලදයා ඇත. ඒ මහතාට තවමත් ඉන්ද්‍රිය ගෝචර අත්දැකීම් හා බටහිර විද්‍යාව අතර ඇති වෙනස නො තේරෙයි. තමා කවදත් කොතැනත් කියන ලෝකයේ තවදත් කොතැනත් තිබුණේ එකම විද්‍යාවක් ය යන පලහෑල්ල නැවතත් කීමට අමරතුංග මහතා පසුගිය සතියේ ලිපිය වෙන්කර ඇත. 

අමරතුංග මහතා කිසිවකුටත් නොදෙවෙනි ගණයේ යටත්විජිත විරෝධියෙකි. ඒ බව කීමට දෝ මෙයට කලින් ද ඒ මහතා වෙහෙස වූයේ බටහිරයන් තමන් බටහිර විද්‍යාව පහළොස්වැනි සියවසේ පමණ ආරම්භ කරන ලද බවට අසත්‍ය ප්‍රචාරයක් ගෙනයන බව පවසමිනි. අමරතුංග මහතාට අනුව බටහිරයන් එසේ තමන් බටහිර විද්‍යාව ඇරඹී බව ප්‍රකාශ කරන්නේ අනෙක් අයගේ විද්‍යා යටපත් කිරීමට ය. එහි ඇත්තේ කුමන්ත්‍රණයකි.  අමරතුංග මහතා මේ සියළු විද්‍යාවන්හි පොදු කාරණය ලෙස දකින්නේ පංචෙන්ද්‍රිය ගෝචර භාවය ය. 


එහෙත් අමරතුංග මහතා වුව ද ඒ ඒ විද්‍යාවන්හි විවිධ දර්ශන වූ බව පිළිගනියි. උදාහරණයක් ලෙස ඒ මහතා මෙසේ කියයි. 

"විද්‍යාව ආරම්භ වූ කාලයේ, එනම් මිනිසා බිහි වූ කාලයේ පටන් ම ඊට අදාළ දාර්ශනික පදනමක්‌ පැවති බව පැවසිය හැකි ය. එසේ නොමැති ව විද්‍යාව දියුණු විය නොහැකි ය. 

විද්‍යාවේ පදනම විය යුත්තේ ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි බව මිනිසා තේරුම්ගත්තේ ඒ මුල් කාලයේ දී ම විය යුතු ය. සාක්‌ෂි නොමැති අවස්‌ථාවක දී මිනිසා මිථ්‍යා මත ඉදිරිපත් කරන්නට ඇත. වර්තමානයේ ද එසේ සිදු වන බව පෙනෙන්නට ඇත. ස්‌වභාවධර්මයේ ක්‍රියාදාමයන් ගැන විපරම් කොට සාක්‌ෂි සොයාගත් විට ඒ සොයාගැනීම සත්‍යයට කිට්‌ටු වන ක්‍රියාදාමයක්‌ බව ද මිනිසා දැනගන්නට ඇත. මුල් අවධියේ ඔවුන් ගේ විද්‍යාවේ දර්ශනය මෙය වන්නට ඇත. වර්තමානයේ ද විද්‍යාවේ පදනම ඉන්ද්‍රිය ගෝචර සාක්‌ෂි බව අපි දනිමු. එය ඉතිහාසය පුරා පැවත ආ ධර්මතාවක්‌ බව පැහැදිලි ය. අද මෙන් එදා ද මිථ්‍යා මත වපුරන්නන් සහ විද්‍යාඥයන් අතර ගැටුම්කාරී තත්ත්වයක්‌ තිබෙන්නට ඇත. 

තව ද නිකොලස්‌ කොපර්නිකස්‌, ප්‍රැන්සියස්‌ බේකන්, ගැලීලියෝ සහ කෙප්ලර් වැනි විද්වතුන් ද මේ පිළිබඳ මතවාද ඉදිරිපත් කළ බව පෙනේ. යුරෝපීයයන් මෙසේ පවසන්නේ අරාබියේ චීනයේ සහ ඉන්දියාවේ 12-15 වැනි ශත වර්ෂවල වර්ධනය වූ විද්‍යාව සහ එහි දාර්ශනික පදනම සැලකිල්ලට නො ගෙන ය. මේ රටවල පැවති ශිෂ්ටාචාරයන් යුරෝපීය ශිෂ්ටාචාරයට වඩා දියුණු මට්‌ටමක තිබූ බව කිව යුතු ය. චීනයේ විද්‍යාව 15 වැනි ශතවර්ෂය වන විට යුරෝපයේ විද්‍යාවට වඩා බොහෝ ඉදිරියෙන් සිටි බව පිළිගැනේ. පසුව චීනය අභිබවා යුරෝපය ඉදිරියට ගිය බව අපි දනිමු. විද්‍යාව යුරෝපයට සංක්‍රමණය වීම සහ චීනයේ පසුබෑම පිළිබඳව මා ගේ පෙර ලිපිවල විස්‌තරාත්මකව සඳහන් කොට ඇත. මෙතැන දී වැදගත් වන්නේ විද්‍යාව සහ එහි දර්ශනය වර්ධනය වූයේ යුරෝපයේ බව පෙන්වා දීමට යුරෝපීය කර්තෘවරුන් ගන්නා ප්‍රයත්නය තුළ ඇත්තා වූ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණය පෙන්වා දීම ය. අරාබියේ ඉන්දියාවේ සහ චීනයේ විද්‍යාව දියුණු වූයේ දර්ශනයක්‌ මත පදනම් ව විය යුතු ය. එසේ නොමැති ව විද්‍යාව දියුණු කළ නොහැකි ය. අරාබියේ විද්‍යා දාර්ශනිකයන් වන ජබීර් ඉබන් හයියාන් (721-815), අජිකිනොලුස්‌ (801-873), ඉබන් අල්-හේතම් (1020-1094) වැන්නන් ගේ මතවාද යුරෝපයට සංක්‍රමණය වූ බව මා ගේ පෙර ලිපිවල සඳහන් වේ. එසේ ම ඉන්දියාවේ විසූ විද්‍යා දාර්ශනිකයන් වන ආර්යභාත කානාඩා, සුශ්‍රැත, බ්‍රහ්මගුප්ත, භාෂ්කර වැනි අය ගේ අදහස්‌ ද ඉතා ම වැදගත් ය. තව ද චීනයේ විද්‍යා දාර්ශනිකයන් පිළිබඳ විද්වත් ජෝසµa නීඩහම් දීර්ඝ විස්‌තරයක්‌ සපයා ඇත. වෙනස්‌ සංස්‌කෘති තුළ වැඩුණු මේ විද්වතුන් ගේ දර්ශනයන් ද වර්තමානයේ පවතින විද්‍යාවේ වර්ධනයට ඉතා ම පිටිවහලක්‌ වූ බව කිව හැකි ය."


අමරතුංග මහතාගේ ලිපිවලින් දීර්ඝ වශයෙන් උපුටා දක්වනානේ ඔහුගේ අසංගත බව පාඨකයාට හෙළිදරවු කිරීමට ය. අමරතුංග මහතා ද ගුණදාස අමරසේකර මහතා වැනි ජාතිකවාදීන් ලෙස පෙනී සිටින එහෙත් ජාත්‍යන්තරවාදීන් අනුව යමින් සියල්ල පිටුපස කුමන්ත්‍රණ දකියි. මෙහි ඇති කුමන්ත්‍රණයක් නැත. බටහිරයෝ බටහිර විද්‍යාව වෙනත් ම දැනුම් පද්ධතියක් ලෙස සලකති. එහි පසුපස දර්ශනයක් ඇති බව ද කියති. අමරතුංග අමරසේකර ගණයේ කුමන්ත්‍රණවලින් සංසිද්ධි තේරුම් ගන්නා ඊනියා ජාතිකවාදියකු නොවන මම බටහිර විද්‍යාව අනෙක් දැනුම් පද්ධතීන්ගෙන් වෙනස් බව පිළිගනිමි. එහෙත් එහි  මහේශාඛ්‍ය ගුණයක් ඇතැයි මම නො පිළිගනිමි. බටහිර විද්‍යාව පට්ටපල් බොරු ය. එසේ කීම බුදුදහමට ද එකඟ ය.  

ලොවෙහි කිසි දිනෙක ඊනියා දැනුම මගින් කිසිම මිනිසකු සත්‍යය සොයාගත් බව හෝ සත්‍යයට ළඟා වූ බව හෝ මම නො පිළිගනිමි. අමරසේකර හා අමරතුංග වැන්නන්ට වඩා යමක් තේරුම් ගැනීමට උත්සාහ කරන, එමෙන් ම  ඔවුන්ට වඩා යමක් තේරුම් ගැනීමට හැකි මට්ටමක සිටින කාලෝ ෆොනසේකා මහතා බටහිර විද්‍යාව කෙමෙන් සත්‍යයට ආසන්න වන්නේ ය යන්න දැන් නො පිළිගනියි. පසුගිය දා දි අයිලන්ඩ් පුවත්පතට ලියූ ලිපියක ඒ මහතා ඒ බව සඳහන් කර ඇත. බුදුන්වහන්සේ ඊනියා දැනුම නොදැනුම කරමින් නිවන් අවබෝධ කළහ. බුදුන් වහන්සේට පසුව මගට පිළිපන් අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහතෙරුන් වහන්සේ කොණ්ඩඤ්ඤ හෙවත් ඤාණයේ මුදුණේ සිට අඤ්ඤා හෙවත් නොදන්නා තත්ත්වයට පත්වූයේ කෙසෙ දැයි අමරතුංග මහතා සිතා බලා ඇත් ද? ්

අරාබියේ හා චීනයේ විද්‍යාව (අමරතුංග මහතා සඳහන් කරන ආකාරයට නම් විද්‍යාව) දියුණු වූයේ යම් දර්ශනයක් මත පදනම් ව බව අමරතුංග මහතා සඳහන් කරයි. මේ දර්ශන  බටහිර විද්‍යාව පදනම් වූ දර්ශන පදනම් වූ දර්ශන නොවන බව පැහැදිලි ය. අමරතුංග මහතා ඒ දරශන හා අදාළ දාර්ශනිකයන්ගේ දර්ශන ගැන බහුවචනයෙන් කතාකරන්නේ ද එබැවිනි. එසේ නොමැතිවන්නට ඒ මහතා කළ යුතුව තිබුණේ කවදත් කොතැනත් තිබුණේ යැයි කදයන ඊනියා විද්‍යාවේ පොදු දර්ශනය කුමක් දැයි සඳහන් කිරීම ය. එහෙත් අමරතුංග මහතා එසේ නො කරයි. ඒ වෙනුවට දර්ශන ගැන  සඳහන් කරයි.

අමරතුංග මහතා ප්‍රශ්නවලට පිළිතුරු දෙන්නේ නම් ඒ මහතාගෙන් කවදත් කොතැනත් තිබුණේ යැයි කියන ඊනියා විද්‍යාවේ පොදු දර්ශනය කුමක් දැයි පැහැදිලි කරන්නේ ද? එය පංචෙන්ද්‍රිය ගෝචර වීම යැයි කීම කිසිසේත් ම ප්‍රමාණවත් නො වේ. අමරතුංග මහතා සඳහන් කරන ඊනියා මිථ්‍යා ද පටන්ගන්නේ පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධිවලිනි. ලෙඩ රෝග ආදිය පංචෙන්ද්‍රිය ගෝචර නො වන්නේ ද? ඒ ලෙඩ රෝගවලට හේතුවක් ලෙස ග්‍රහචාරය දැක්වීම ඊනියා මිථ්‍යාවක් ද? ඒ මිථ්‍යාවක් වන්නේ නම් එසේ වන්නේ කිනම් කරුණක් නිසා ද? 

එයට හේතුව කුමක් දැයි සඳහන් කිරීමට පෙර අමරතුංග මහතා ඊනියා විද්‍යාව හා මිථ්‍යාව අතර ඇති වෙනස පැහැදිලි කළ යුතු ය. එසේ ම සත්‍යය හා අසත්‍යය, එස්තේ නැත්නම් ඇත්ත හා බොරුව අතර වෙනස කුමක් දැයි පැහැදිලි කළ යුතු ය. එසේත් නොකරන්නේ නම් අඩුම තරමෙන් මා සඳහන් කරන දෙයෙහි වරද පෙන්වා දිය යුතු ය. එසේ නොමැතිව බටහිර වෛද්‍යවරුන් පිනවීම සඳහා පල්හෑලි ලියා පාඨකයන් නොමග යැවිය නො යුතු ය. 

මේ ලිපිය අවසන් කිරීමට පෙර කරුණක් කිව යුතු ය. මෙලොව නොයෙකුත් දැනුම් පද්ධතීන් තිබී ඇත. ඒ සෑම දැනුම් පද්ධතියකට ම යම් දර්ශනයක් ඥානවිභාගයක් පදනම් වී ඇත. එහෙත් ඒ එකම දර්ශනයවත් ඥානවිභාගයවත් නො වේ. බටහිර විද්‍යාවේ පහළොස්වැනි සියවසේ නිර්මාණය කළ චින්තනයක් වෙයි. අපි ඒ චින්තනය ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය ලෙස හඳුන්වමු. 

මෙලොව බිහි කෙරුණු දැනුම් පද්ධතීන්ගෙන් ඉතා ම වියුක්ත (අමරතුංග මහතා තවමත් වියුක්තය යනු කුමක් දැයි නො දනියි) දැනුම් පද්ධතිය වනුයේ බටහිර ගණිතය ය. අප රටේ සිසුන්ට වියුක්ත ව කල්පනා කිරීමට නො හැකි ය. ඔවුන්ට බටහිර ගණිතය ආගන්තුක ය. පහේ ශිෂ්‍යත්වයෙන් ගණිතයට ලකුණු සියයක් ලබාගැනීම හෝ සාමාන්‍ය පෙළ පරීක්‍ෂණයෙන්  ගණිතයට විශිෂ්ට සාමාර්ථයක් ලබා ගැනීම හෝ  උසස් පෙළ පරීක්‍ෂණයෙන සංයුක්ත ගණිතයට ඒ සාමාර්ථයක් ලබාගැනීම හෝ උපාධි පරීක්‍ෂණයෙන් ගණිතයෙන් ප්‍රථම පංතියේ උපාධියක් ලබාගැනීම හෝ ගණිතයෙන් ආචාර්ය උපාධියක් ලබා ගැනීම හෝ ඉන් කිහිපයක් හෝ සියල්ල ම හෝ ලබාගැනීම හෝ ගණිතයට සමත් බව දක්වන මිනුම්දඬු නො වේ. මෙරට සිසුන්ට බටහිර ගණිතය බැරි ය. 

බටහිර ගණිතය හැරුණු විට වියුක්ත ම පද්ධතිය බටහිර ගණිතමය භෞතික විද්‍යාව ය. එහි තරම් පංචෙන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප වෙනත් බටහිර විද්‍යාවක නැත. අමරතුංග මහතා ඒ සංකල්ප ඇත්ත ලෙසත් දෙවියන් හා පුනබ්භවය බොරු ලෙසත් සලකන්නේ කිනම් නිර්ණායක ගුරුකොට ගනිමින් ද?   


නලින් ද සිල්වා

2014-10-08