ඩී. එස්. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා බටහිර විද්‍යාඥයන් හා දාර්ශනිකයන් ලියා ඇති කසිකබල් කතා විදුසර පාඨකයන් අතට පත් කිරීමේ කොන්ත්‍රාත්තුවක් භාරගෙන ඇති බව පැහැදිලි ය. අද මෙරට මූලික ප්‍රශ්නය වී ඇත්තේ අප බටහිර දැනුම පසුපස යැම ය. අමරතුංග මහතා ජීවිතයේ අරුත සෙවීමක් ගැන කතා කරයි. මෙය ද තුට්‌ටු දෙකේ කතාවකි. එයින් කෙරෙන්නේ අප නොමග යෑවීම ය. අමරතුංග මහතා ජීවිතයේ අරුත හා සියල්ලෙහි ප්‍රවාදය අතර සම්බන්ධයක් ගැන කතා කරයි.
අමරතුංග මහතා ජනවාරි 14 වැනි දා ලිපියෙහි මෙසේ සඳහන් කරයි. "අප ගේ ජීවිතයේ අරුත විද්‍යාව මගින් සොයාගත හැකි ද යන ප්‍රශ්නය මීට පෙර ලිපියක සඳහන් කළෙමි. එය විද්‍යාවට අදාළ දාර්ශනික ප්‍රශ්නයක් වන්නේ ය. එක් පොදු මතවාදයක් (Theory of Everything) නිර්මාණය කිරීමට විද්‍යාඥයන් තැත් කරන අන්දම ද පෙර ලිපියේ විස්‌තර කළෙමි. මේ ප්‍රශ්න දෙක අතර සම්බන්ධයක් ඇත් ද? එසේ නො වන්නේ නම් පළමු ප්‍රශ්නයට පිළිතුර ඇත්තේ දෙවැනි ප්‍රශ්නයේ පිළිතුර තුළ වන්නට බැරි ය. තව ද ස්‌වාභාවික වරණය (Natural Selection) මූලික මතවාදයක් ලෙස පිළිගත හැකි බව සමහර දාර්ශනිකයන් ගේ මතය වී ඇත. එසේ නම් ජීවිතයේ අරුත සොයාගත හැක්‌කේ එවැනි මතවාදයක් භාවිත කිරීමෙන් බව සමහර දාර්ශනිකයන් ගේ මතය වී ඇත. එසේ නම් ජීවිතයේ අරුත කුමක් ද යන ප්‍රශ්නයට පිළිතුර පොදු මතවාදය තුළ තිබිය නොහැකි ය. පොදු මතවාදය නිර්මාණය වූවාට පසුව ගණිතමය මොඩලයකට එහා ගිය එකක් නො වන බව විද්වත් ස්‌ටීවන් හෝකිනන්ග් පවසා ඇත. එසේ නම් එම ගණිතමය මොඩලය මාර්ගයෙන් අප ගේ ජීවිත අරුත කුමක් දැයි සොයාගත හැකි ද?"
අප ගේ ජීවිතයේ අරුතක් ගැන බුදුදහමෙහි සඳහන් නො වන බව අමරතුංග මහතා ද පිළිගනියි. ඉහත කී ලිපියෙහි ම ඒ මහතා මෙසේ සඳහන් කරයි. "බුදුරදුන් අප ගේ ජීවිතයේ අරුත කුමක් දැයි නො පැවසුවාට හොඳින් ජීවත් වන අන්දම ද අවසානයේ දුක දුරු කරගන්නා මාර්ගය ද පෙන්වා දුන් සේක. අප ගේ ජීවිතයේ වැදගත් වන්නේ අපි බව උන්වහන්සේ පිළිගත් බව මින් පැහැදිලි වේ" ඉහත සඳහන් දෙවැනි වාක්‍යය ව්‍යාකරණ නිවැරැදි කිරීම සඳහා අභ්‍යාසයක් ලෙස පාසල් සිසුන්ට දීමට නම් වැදගත් ය. ජීවිතයෙහි අරුත හා සියල්ලෙහි ප්‍රවාද ක්‍රිස්‌තියානි සංකල්ප මිස බුදුදහමෙහි අංග නො වේ.
අප ගේ ජීවිතයේ අරුත බටහිර විද්‍යාව මගින් සොයාගත හැකි ද යන්න බටහිර විද්‍යාවට අදාළ දාර්ශනික ප්‍රශ්නයක් බව අමරතුංග මහතා පවසයි. එය එසේ විය හැකි ද? එයට හේතුව බටහිර විද්‍යාව ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයෙහි නිර්මාණය වී තිබීම ය. මේ ප්‍රශ්න වැදගත් වන්නේ ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි මිස සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි නො වේ. අමරතුංග මහතා තමා බෞද්ධයකු යෑයි කීව ද ඔහු කටයුතු කරන්නේ ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි ය. බටහිර විද්‍යාව කටගාගත් මහාචාර්යවරුන් (මොවුන් බටහිර විද්‍යාවට කිසිම නව සංකල්පයක් හෝ ප්‍රවාදයක් හෝ එකතු කර නැත) ඇතුළු මෙරට උගතුන් යෑයි පැවසෙන ඊනියා බෞද්ධයෝ සංස්‌කෘතියෙන් ක්‍රිස්‌තියානීහු වෙති.
අමරතුංග මහතා ලිපි කිහිපයක ම ඊනියා සියල්ලෙහි ප්‍රවාදයක් ගැන සඳහන් කළේ ය. ඔහුට ඒ පිළිබඳ ව ඇත්තේ පරස්‌පර විරෝධී අදහස් ය. ඒ බව ඒ මහතා ගේ ලිපිවලින් දීර්ඝ උපුටා දැක්‌වීම් මගින් පෙන්නුම් කළෙමි. එහෙත් ඔහු පොදු මතවාදය යනුවෙන් ඔහුට ම ආවේණික ලෙස සුපුරුදු පරිදි වැරැදියට හඳුන්වන සියල්ලෙහි ප්‍රවාදය හා ඌනිතවාදය ගලා එන්නේ බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයෙනි. ක්‍රිස්‌තියානියෙහි සියල්ල අවසානයේ දී එක්‌තැනකට ගොනු වෙයි. එය ක්‍රිස්‌තියානියට පමණක් නො ව සියලු මැවුම්වාදී (නිර්මාණවාදී) සංස්‌කෘතීන්ට හා ආගම්වලට පොදු වෙයි.
සියල්ල ගොනු වන්නේ මැවුම්කරු වටා ය. සියල්ල නිර්මාණය කරන්නේ මැවුම්කරු ය. ඔහු යෙහෝවා, දෙවියන් වහන්සේ, අල්ලා ආදී නම්වලින් හැඳින්විය හැකි ය. කිනම් නමකින් හැඳින්වුව ද මැවුම්කරුට පසු මිස පෙර කිසිවක් නැත. සියල්ල මැවුම්කරුට පසු ව වෙයි. ලෝකය තේරුම්ගත හැක්‌කේ නිර්මාණකරුවා මගිනි. මැවුම්කරු නොමැති නම් කිසිවක් නැත. සියල්ල මැවුම්කරු මගින් තේරුම්ගත හැකි ය. ජීවිතයේ අරුත ද තේරුම්ගත හැක්‌කේ මැවුම්කරුවා මගිනි. ජීවිතයෙහි අරුත සාක්‍ෂාත් කරගත හැක්‌කේ මැවුම්කරු සමග එක් වීමෙනි.
සියල්ලෙහි ප්‍රවාදය මගින් කෙරන්නේ ද සියල්ල තේරුම්ගැනීම ය. එහෙත් සියල්ලෙහි ප්‍රවාදය තේරුම්ගැනීමෙහි මගක් නැත. සියල්ලෙහි ප්‍රවාදය වෙනත් ප්‍රවාදයකින් තේරුම්ගත නො හැකි ය. එසේ වෙනත් ප්‍රවාදයකින් තේරුම්ගත හැකි නම් ඒ ප්‍රවාදය සියල්ලෙහි ප්‍රවාදය වෙයි. මැවුම්කරුවාණන් ද එබඳු ය. මැවුම්කරුවාණන් මගින් සියල්ල තේරුම් කර දිය හැකි වුවත් මැවුම්කරුවාණන් තේරුම්ගන්නේ කෙසේ ද? මැවුම්කරුවාණන් තේරුම්ගැනීමට වෙනත් සංකල්පයක් යොදාගත හොත් එය මැවුම්කරුවාණන්ට උඩින් වෙයි. එවිට මැවුම්කරුවාණන් ගේ වැදගත්කම බාල්දු වෙයි.
මැවුම්කරුවාණන් ගැන තැබිය හැක්‌කේ විශ්වාසයක් පමණකි. එය තේරුම්ගත නො හැකි ය. තේරුම්ගැනීමට වෙනත් සංකල්ප හා ප්‍රවාද අවශ්‍ය වෙයි. ඊනියා සියල්ලෙහි ප්‍රවාදය ද එබඳු ය. එය තේරුම්ගත නො හැකි ය. ඒ තේරුම්ගන්නේ නම් ඒ සඳහා වෙනත් සංකල්ප හා ප්‍රවාද අවශ්‍ය වෙයි. එවිට තවදුරටත් ඊනියා සියල්ලෙහි ප්‍රවාදය සියල්ලෙහි ප්‍රවාදයක් බවට පත් නො වේ. අපට කළ හැක්‌කේ ඊනියා සියල්ලෙහි ප්‍රවාදය විශ්වාස කිරීම පමණ ය.
මෙය ඌනිතවාදයට ද පොදු ය. ඌනිතවාදයෙහි කෙරෙන්නේ ද යම් ක්‍ෂේත්‍රයක දැනුම ස්‌වසිද්ධි කිහිපයකින් පටන්ගෙන ඇරිස්‌ටෝටලීය න්‍යාය යොදාගනිමින් ඒ ක්‍ෂේත්‍රයෙහි ඊනියා සත්‍ය ලෙස සැලකෙන ප්‍රකාශ නිගමනය කිරීම ය. එහෙත් ස්‌වසිද්ධි වෙනත් ප්‍රකාශයක් යොදාගෙන ඇරිස්‌ටෝටලීය න්‍යාය ආධාරයෙන් නිගමනය කළ හැකි නො වේ. එසේ කළ හොත් ඒ වෙනත් ප්‍රකාශ අදාළ ක්‍ෂේත්‍රයෙහි හෝ පද්ධතියෙහි හෝ ස්‌වසිද්ධි බවට පත් වෙයි. එබැවින් ඌනිතවාදයෙහි දී යම් ක්‍ෂේත්‍රයක ස්‌වසිද්ධි තේරුම්ගත නොහැකි, එනම් නිගමනය කළ නොහැකි, ප්‍රකාශ බවට පත් වෙයි.
ස්‌වසිද්ධි යන්නෙහි ඒ ප්‍රකාශ විසින් ම යන තේරුම අන්තර්ගත වෙයි. අදාළ ක්‍ෂේත්‍රයෙහි ස්‌වසිද්ධිවල ඊනියා සත්‍යාසත්‍ය බවක් නැත. ඒ අදාළ ක්‍ෂේත්‍රයෙහි සත්‍ය ද නැත් ද යන්න නිගමනය කළ නො හැකි ය. අපි ස්‌වසිද්ධි විශ්වාස කරමු. එසේත් නැත හොත් උපකල්පනය කරමු. ඒ උපකල්පන යොදාගෙන ක්‍ෂේත්‍රයෙහි, පද්ධතියෙහි වෙනත් ප්‍රකාශ නිගමනය කරමු. එසේ නිගමනය කෙරෙන ප්‍රකාශ අදාළ ක්‍ෂේත්‍රයෙහි සත්‍ය වේ යෑයි කියෑවෙයි.
එය එසේ පමණක් වී නම් අපට ස්‌වසිද්ධි උපකල්පනය කරමින් සිටින්නට, ජීවත් වීමට තිබිණි. එවිට ජීවිතයේ අරුත වනුයේ ඒ ස්‌වසිද්ධි උපකල්පනය කිරීම ය. නැත හොත් ඒ විශ්වාස කිරීම ය. එහෙත් මේ ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි අංගයක් මිස වෙනත් දෙයක් නො වේ. ජීවිතයේ අරුත දෙවියන් වහන්සේ සමග එකතු වීම යන්න ඊනියා සත්‍ය ලෙස සැලකෙන ස්‌වසිද්ධි සමග ජීවත් වීම සංකල්පීය වශයෙන් වෙනස් නො වේ. මේ සියල්ල සමග එකතු වීම යන්න හා ඊනියා සත්‍ය ලෙස සැලකෙන ස්‌වසිද්ධි සමග ජීවත් වීම සංකල්පීය වශයෙන් වෙනස් නො වේ. මේ සියල්ල ම පිටුපස ඇත්තේ ගී්‍රක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනයෙහි සුවිශේෂ වූ අංගයකි. එහෙත් චින්තනය යන්න අමරතුංග මහතා නො දනියි. එසේ වීමට එක් හේතුවක් නම් ඔහු කියවන ඉංගිරිසි පොත්වල ඒ සංකල්පය නොමැති වීම ය. දෙවැන්න මේ සම්බන්ධයෙන් අප ලියා ඇති කරුණු ඔහුට නො වැටහීම ය.
බටහිරයන් ගේ ඊනියා සියල්ලෙහි ප්‍රවාදය ගණිතමය ආකෘතියකින් එහා ගිය එකක් නො වේ යෑයි හෝකින් පවසා ඇතැයි අමරතුංග මහතා සඳහන් කරයි. බටහිර භෞතික විද්‍යාවේ බොහෝ විට ඇත්තේ ගණිතමය ආකෘති ය. අමරතුංග මහතා ද මොකක් දොa පොතකින් කියවා ප්‍රවාද හා ගණිත ආකෘති (ඔහු ගේ වචනවලින් නම් මොඩල) ගැන කලින් ද සඳහන් කර ඇත. ගණිත ආකෘතිවල ඇත්තේ ඌනිතවාදය ය. එයින් දැනගත හැකි ඊනියා සත්‍යයක් තබා ඊනියා විද්‍යාත්මක සත්‍යයක් වත් නැත.
බටහිර විද්‍යාවේ සියල්ලෙහි ප්‍රවාදය අවසාන වශයෙන් ගත් කල ගණිතමය ආකෘතියක් නම් එක් පැත්තකන් ඉන් කියෑවෙන්නේ ඌනිතවාදය ය. අනෙක් පැත්තෙන් අමරතුංග මහතා බලාපොරොත්තු වන ඊනියා විද්‍යාත්මක සත්‍යය වත් ඉන් නො ලැබෙන බව පැහැදිලි ය. අමරතුංග මහතාට නො තේරුණත් ආකෘතියක් යන්නෙහි තේරුම ම ඊනියා ප්‍රකෘතිය නො වන බව ය. ආකෘතියක් කිසි දිනෙක ප්‍රකෘතියක් (එසේ තිබේ යෑයි උපකල්පනය කළ ද) විය නො හැකි ය. අමරතුංග මහතා බටහිර විද්‍යාවේ ආකෘති ගැන සඳහන් කරන විට ම ඔහු බටහිර විද්‍යාවෙන් ඊනියා ප්‍රකෘතියක් නො කියෑවෙන බව පිළිගනියිෘ
බටහිර විද්‍යාවෙන් ඊනියා විද්‍යාත්මක සත්‍යයක් නිරූපණය වේ ද? කිසි ම අවබෝධයක් නොමැති ව අමරතුංග මහතා සඳහන් කරන ගර්ඩ්ල් ප්‍රමේයයෙන් කියෑවෙන්නේ කුමක් ද? යම් දැනුම් පද්ධතියක අංක ගණිතයෙහි මෙන් කරුණු සකස් කරගත හැකි නම් එම පද්ධතිය එහි ස්‌වසිද්ධිවලට ඌනනය කළ නොහැකි බව ය. වෙනත් වචනවලින් කිව හොත් එකී පද්ධතියෙහි ස්‌වසිද්ධිවලින් ඇරිස්‌ටෝටලීය න්‍යාය යොදාගනිමින් නිගමනය කළ නොහැකි (එම පද්ධතියෙහි) සත්‍ය ප්‍රකාශ ඇති බව ය. එයින් තවත් අයුරකින් කියෑවෙන්නේ හිල්බට් ගේ දෙවැනි ප්‍රශ්නයට ඇත්තේ නිෂේධනීය පිළිතුරක් බව ය.
එනම් ප්‍රමේයයන් හා සංගත වූ ස්‌වසිද්ධි පද්ධතියක් බටහිර ගණිතයෙහි සොයාගත නොහැකි බව ය. හෝකින් විද්වතකු විය හැකි ය. ඔහුට මේ සම්බන්ධයෙන් මුල දී තිබුණේ විරුද්ධ අදහස් ය. එහෙත් හිල්බට් ගේ වැඩපිළිවෙළ හෙවත් බලාපොරොත්තු ග්ර්ඩ්ල් ප්‍රමේයයත් සමග කඩාවැටුණු බව අපි බොහෝ කලක සිට දැන සිටියෙමු. ජීවිතයේ අරුත කුමක් ද යන ප්‍රශ්නය ම හිස් ප්‍රශ්නයකි. එය ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි පැනනගින්නකි. ඒ අරුත කුමක් ද යන්නට බටහිර විද්‍යාවට ද දිය හැකි එක ම පිළිතුර පද්ධතියෙහි ඊනියා ස්‌වසිද්ධි උපකල්පනය කිරීම හා විශ්වාස කිරීම ය. එහෙත් ස්‌වසිද්ධිවලින් ගම්‍ය නො වන නිගමනය කළ නොහැකි ඊනියා සත්‍ය ප්‍රකාශ පද්ධතියෙහි වෙයි. මැවුම්කරුවාට ඌනනය කළ නොහැකි කරුණු අපේ ජීවිතවල වේ ද?
නලින් ද සිල්වා
2015-01-24