History

Sunday, 22 February 2015

දුෂ්ට මහේන්ද්‍ර හා මිස්ට ප්‍රභා 2 (ඉරිදා රිවිර ලිපියකි )

දුෂ්ට මහේන්ද්‍ර හා මිස්ට ප්‍රභා -2

එළාර පාසල් හා විශ්වවිද්‍යාල ඇති නොකළාට මහාවිහාරය අවනත කරගත් බව පෙනෙයි. එමගින් ඔහු මෙරට ජනමතය රුවන්නට ඇත. ඇතැම් සිංහල බෞද්ධයන් එදා මිස්ට එළාරට පක්‍ෂ වූයේ මෙදා ඇතැම් සිංහලයන් මිස්ට ප්‍රභාට පක්‍ෂ වූ ආකාරයට ය. ඇතැමුන්ට අනුව ප්‍රභාකරන් විමුක්තිදායකයෙක් විය. මේ සියල්ල මතවාදවල ප්‍රතිඵල ය. මා සමසමාජ හා නවසමසමාජ පක්‍ෂවල සාමාජිකයකු ව සිටිය දී මා මෙහෙයවනු ලැබුයේ ට්‍රොට්ස්කිවාදී මතවාද මගිනි. එයට අමතර ව මට බටහිර විද්‍යා මතවාද ද විය. එහෙත් දැනට අවුරුදු තිහකට පමණ ඉහත දී ඒ සියල්ලෙන් කැඩී වෙන්වීමට මට හැකි විය. අද මා මෙහෙයවනු ලබන්නේ මා දකින සිංහල (හෙළ) බෞද්ධ මතවාදයෙනි. එයින් ද කැඩී සියලු මතවාදවලින් නිදහස්වීමට මට අවශ්‍ය වෙයි. එහෙත් ඒ කළ හැක්කේ නිවන් අවබෝධයෙනි.
එතෙක් නිවන් දකින තුරු සිංහල (හෙළ) බෞද්ධ මතවාදයක් මත පදනම්වීම බටහිර යුදෙවු ක්‍රිස්තියානි මතවාදයක් හෝ වෙනත් මතවාදයක් මත පදනම් වීමට වඩා යහපත් වන්නේ නිවන් අවබෝධය පිණිසම ය, සියලු මතවාදවලින් නිදහස් වීමට ය.  මතවාදවලින් නිදහස්වීමට සිංහල බෞද්ධ මතවාදයට වඩා හෙළ බෞද්ධ මතවාදය රුකුල් දෙයි. එහෙත් ඒ පෞද්ගලිකව ය. රටක් ලෙස ගත්කල සිංහල බෞද්ධ මතවාදය පැවැත්ම සඳහා වඩා උචිත ය. මිහිඳු මහා රහතන් වහන්සේ අපට රටක් ලෙස පදනම් වීමට සිංහල බෞද්ධ මතවාදයක් ඉදිරිපත් කළහ. ගැමුණු රජු මේ බව තේරුම් ගන්නට ඇත. 

එළාර ඔහුගේ ඊනියා ධර්මිෂ්ට කතා මගින් මිහිඳු හිමියන් පිහිටු වූ මහාවිහාරය අවනත කරගෙන ජනමතය හැසිරවූ බව පෙනී යයි. ඔහු දක්‍ෂයකු වූවා නිසැක ය. එමෙන් ම ඔහු වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම කපටි රජෙක් විය.  ඔහු අවුරුදු හතළිස් හතරක් ම අනුරාධපුරයේ සිට මහවැලිය දක්වා රජ කළේ මේ ව්‍යාජ ධර්මිෂ්ට මතවාදය ආධාර කරගනිමින් විය යුතු ය. ඔහුට මිත්‍ර වැනි සිංහලයෝ පක්‍ෂපාතී වූහ. නන්දිමිත්‍ර තම මාමා වූ මිත්‍රට එරෙහිව මාගමට පළා ගියේ ය. අනුරාධපුරයේ එළාර විසින් දුෂණය කරනු ලැබූ සිංහල බුද්ධාගමක් වී නම් මාගම හෙළ බුද්ධාගම යටපත් කරගත් සිංහල බුද්ධාගමක් විය. සිතුල්පවුව ඇතැම් විට තරමක වෙනස් මතයක් හෙළ බුද්ධාගමට පක්‍ෂපාතිව දැරුවා විය හැකි ය. මෙරට පහළ වූ ශ්‍රෙෂ්ඨතම හෙළ බෞද්ධ කාන්තාවක වූ විහාර මහා දේවියගේ අනුග්‍රහය සිතුල්පවුවට ලැබෙන්නට ඇත. ගැමුණු කුමරු ලෙස ඇගේ කුස පිළිසිඳ ගත්තේ එහි වැඩ විසූ සාමනේර වහන්සේ නමකි. ඒ සඳහා විහාර මහා දේවියට උන්වහන්සේට කිහිප වතාවක් ඇවිටිළි කිරීමට සිදුවිය.

චිත්‍රපටියට අනුව ගැමුණු රජු අන් අයගේ නිවන වෙනුවෙන් තම නිවන කල්දමා ගත් බෝධිසත්වයෙකි. එහෙත් මහාවංශය එසේ නො කියයි. මහාවංශයට අනුව ගැමුණු කුමරු මෛත්‍රී බුදුන් වහන්සේගේ අගසවු තනතුර දරනු ඇත. මේ වෙනසටත් හේතුවක් ඇතැයි සිතමි.  ඒ සිංහල බුද්ධාගමෙහි හා හෙළ බුද්ධාගමෙහි වෙනසකි. සිංහල බුද්ධාගමෙහි මහානාම හිමියන් ගැමුණු රජුට දිය යුතු පුර්ණ ගෞරවය දී නොමැති බවක් පෙනී යයි. 

ගැමුණු කුමරු කොත්මලේට පැන යයි. ඒ පියාට අකීකරු වීම නිසා විය හැකි ය. එළාරට විරුද්ධව  ඉක්මන් යුද්ධයක් පියාට අවශ්‍ය නො වී ය. එහෙත් පුතාට ඉක්මණින් යුද්ධයක් අවශ්‍ය විය. එළාර පරාද කිරීම කල්දැමීම මගින් සිංහල බෞද්ධ සංස්කෘතිය තව තවත් දුෂණය වන බව පුතාට වැටහෙන්නට ඇත. ගැමුණු කොත්මලේ දී හිද්දලයා විය. කොත්මලේ යක්‍ෂ ගම්මානයකි. හිද්දලයා හිත දැඩි අයකු බව යක්‍ෂයෝ ද වටහා ගත්හ. ඔහු ගොවිතැනෙහි අති දක්‍ෂයෙක් විය. යක්‍ෂයෝ ද මූලික වශෙයෙන් ගොවියෝ වූහ. කාලිංගයෙන් පැමිණි නිශ්සංකමල්ල ගොවි කුලයට ලංකාවේ රජකම අහිමි කරමින් පොළොන්නරුවේ ලිපි කෙටුවේ වත්මන් ගොවිගම කුලය ගැන සිතා නොව යක්‍ෂ ගෝත්‍රිකයන් ගැන සිතමිනි. දඹදෙණි යුගයේ ගොවියා පුත් මහෞෂධ පඬිතුමා ද යක්‍ෂ ගෝත්‍රයට අයත් වූ බව පැහැදිලි ය.  ගොවිතැන් කරන අතර  ගැමුණු රන්මැණිකාට පෙම් බැන්දේ ය. ඇය සහේට ගත්තේ ය. සාලිය උපන්නේ ය. චිත්‍රපටියෙහි කුඩා සාලිය ජීවයෙන් පිරුණු දරුවෙකි. මහාවංශයෙහි අපට සාලිය හමුවන්නේ අශෝකමාලා සමග ය. එතෙක් ඔහු සිටියේ කොහේ දැයි මහානාම හිමියෝ අපට නො කීහ. 

සාලියට රජකම අහිමි විය. ඇතැමුන් කීමට තැත්කරන්නේ ඒ සිංහල සම්ප්‍රදාය අනුව රජකම පුතාට නොව සහෝදරයාට හිමිවන බැවින් එසේ වූ බව ය. එහෙත් ඒ එසේ නොවන බව මහාවංශයෙන් ම තහවුරු වෙයි. සද්ධතිස්ස රජුගෙන් පසු රජකම දිඝගාමිණීට හිමි නො වීය. රජකම සද්ධාතිස්ස රජුගේ පුතුනට හිමිවිය. බොහෝ දෙනා නොසලකන කරුණක් නම් කාවන්තිස්ස රජුගේ ඇවෑමෙන් පසු ගැමුණු කුමරුට රජකම  හිමි නොවූ බව ය. රජු මියයන විට ගැමුණු කුමරු සිටියේ කොත්මලේ ය. ඔහු කොත්මලේ සිටි බව කාවන්තිස්ස රජු ද දැන සිටින්නට ඇත. එහෙත් රජුට කුමරු අල්ලා දඬුවම් කිරීමේ අවශ්‍යතාාවක් නො වීය. රජු තම අවසන් කාලයේ දී ගැමුණු කුමරු නිවැරදි බව අවබෝධ කරගත් බවට චිත්‍රපටියෙන් අපට ඉඟි සැපයෙයි. ප්‍රතිභාපුර්ණ කලාකරුවකු වූ ජයන්ත චන්ද්‍රසිරිට බොහෝ දෙනාට නොමැති තෙවැනි ඇසක් ඇත. පුතා නිවැරදි බව වටහාගත්ත ද එය ප්‍රසිද්ධියේ පිළිගැනීමට පියා අකමැති විය. රජුන් වුවත් පියවරු පුතුන් නිවැරදි බව නො පිළිගනිති. සමහර විට රජුන් සම්බන්ධයෙන් ගත්කල ඒ ගර්වය වැඩිවනවා විය හැකි ය. 

ගැමුණු කුමරු කොත්මලේ සිට ගෙන්වාගෙන ඔහුට රජකම දීම ප්‍රශ්නයක් නො වීය. ලංඩනයේ සිට කුමරුන් ගෙන ඒමට වළිකන සංස්කෘතියකට එය ප්‍රශ්නයක් විය නො හැකි ය.  එහෙත් කාවන්තිස්ස රජුගේ ඇවෑමන් පසු රජකම ලැබුණේ තිස්ස කුමරුට ය. තිස්සගෙන් රජකම ගැනීමට ගැමුූණුට යුද්ධකිරීමට සිදුවිය. ගැමුණු කොත්මලෙන් ගෙන්වා ගැනීමට උත්සුක වන්නට ඇත්තේ විහාර මහා දේවියය. තිස්සට රජකම දීමෙන් සිංහලයේ ස්වාධීනත්වය නැතිවන බව ඇය වටහාගන්නට ඇත. තිස්ස රජකමට පත්කරනු ලැබුයේ යක්‍ෂ බුද්ධාගමට එරෙහි වූ සිංහල බුද්ධාගම විසින් යැයි සිතෙයි. ගැමුණු යක්‍ෂ ගෝත්‍රයෙන් පෙළවහක් කරගැනීම මෞර්ය සංස්කෘතියට ප්‍රශ්නයක් වූවා නිසැක ය. ගැමුණු තිස්ස යුද්ධය මෙරට ඉතිහාසයේ තීරණාත්මක සංසිද්ධියකි. ගැමුණු ඉන් ජයනොගත්තේ නම් සිදුවීමට තිබූ දෙය ඉදිරි මැතිවරණයෙන් මහින්ද රාජපක්‍ෂ හෙවත් මහේන්ද්‍ර අගමැති නොවුණහොත් සිදුවනු ඇත. මැතිවරණයට පෙර මහේන්ද්‍ර තව තවත් දුෂ්ටයකු බවට පත්කිරීමට බටහිර ඇංග්ලො සැක්සන්ලා සමග එකතු වූ නූතන මෞර්යයන් උත්සාහ දරණු ඇත. (මතු සම්බන්ධයි) 


නලින් ද සිල්වා

2015 පෙබරවාරි 22