History

Tuesday, 3 February 2015

නීදහස මැරූ අපි කෙසේ අත් පා දීග හරිමුද

නිදහස මැරූ අපි කෙසේ අත් පා දිග හරිමු ද?







ඉහත සඳහන් චිත්‍රය පසුගිය ජනවාරි 20 වැනිදා ඇමරිකාවේ නිව්යෝක් ටයිම්ස් පුවත්පතෙහි රයන් ගුඩ්මන් නමැති මහාචාර්යවරයාගේ ලිපියක් සමග පළවූවකි. ලිපිය ශ්‍රී ලංකාවේ නව ප්‍රජාතන්ත්‍රවාදයට උපකාර කිරීම සම්බන්ධවයි. මේ ඡායාරූපයෙන් ප්‍රජාතන්ත්‍රවාදය යනු කුමක් ද යන්න ද උපකාර කිරීම යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද යන්න ද ඉතා පැහැදිලිව නිරූපනය කෙරෙයි. මේ චිත්‍රය ජාතික කොඩියට අපහාසයකි. අප එය උපුටා දක්වන්නේ ජාතික කොඩියට අපහාස කිරීමට නොව අපහාස කරන්්නන් රටට හඳුන්වාදීමට ය.    

අප බොහෝ අවස්ථාවල දී පෙන්වා දී ඇත්තේ බටහිරයන් ප්‍රජාතන්ත්‍රවාදය යනුවෙන් හඳුන්වන්නේ තමන්ට කීකරුව රටක් රාජ්‍යයක් පවත්වාගෙන යෑම බව ය. බටහිරට කීකරු නොවන ඔවුන්ට ගැති නොවන රටවල් ඒකාධිපතිවාදී වෙයි. රටක් ප්‍රජාතන්ත්‍රවාදී ද නැද්ද යන්න තීරණය කෙරෙන්නේ එරට වැසියන් විසින් නොව බටහිර දේශපාලකයන් ඊනියා බුද්ධිමතුන් ආදීන් විසිනි. අප රටේ මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව බටහිරයන්ට අනුව ප්‍රජාතන්ත්‍රවාදී නො වේ. එහෙත් ලංකාවේ වඩාත් ම මැතිවරණ පවත්වා ඇත්තේ ඒ ආණ්ඩුව යටතේ ය. අද නැති පුවත්පත් නිදහසක් එදා තිබිණි. අද ජාතික යැයි කියාගන්නා පුවත්පතක ලිපියක් පළකිරීම පහසු නැත. කතුවරයා අදාළ ලිපිය පළකරන්නේ එය සැර වැඩි නැත්නම් පමණකි. මා අද ලියන්නේ විදුසරට පමණකි. විදුසර ලිපිවල ඇති සැර හා දේශපාලනය කසිකබල් දේශපාලනඥයන්ට නො තේරෙයි.  

මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු එංගලන්තයේ විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩල කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති හියුගෝ ස්වයර් මහතා ලංකාවට පැමිණියේ ය. ඔහු කියා සිටියේ උතුරේ අධිආරක්‍ෂිත කලාප වහා ඉවත්කරන ලෙසත් අදාළ ඉඩම් අයිතිකරුවන්ට ලබාදෙන ලෙසත් ය. ඒ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම සඳහා ය. අපට උපදෙස් දීමට, නැත අණ දීමට ඔහු කවු ද? අප ආරක්‍ෂිත කලාප පවත්වාගෙන යා යුත්තේ රටේ ආරක්‍ෂාව සැලකිල්ලට ගෙන මිස ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම සඳහා නො වේ. රටේ ආරක්‍ෂාව පිළිබඳ සෙවිල්ලෙන් පසු වූ බැවින් ම පසුගිය අවුරුදු පහ බෝම්බ නැති කාල පරිච්ඡෙදයක් විය.

බටහිරයන්ට විරුද්ධව ගොස් අපට දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකි වූ බව සැබෑ ය. ඒ මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන නායකත්වයටත්, ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මනා කළමනාකාරීත්වයටත් රණවිරුවන්ගේ කැපකිරීමටත් පින්සිදු වන්නට ය. එහෙත් අපට බටහිරයන්ගේ අනුග්‍රහය ලබන ඔවුන් අතින් පෝෂණය කෙරෙන දෙමළ ජාතිවාදය හා එහි ඵලයක් වූ දෙමළ බෙදුම්වාදය පරාජය කිරීමට නොහැකි වී ඇත. ඒ සටන අප රටේ කෙරෙන්නක් නොව බටහිර රටවල කෙරෙන්නකි. ඒ සඳහා ජාතික මතවාදී විදේශ ඇමතිවරයකු හා එවැනි ම වූ විදේශ අමාත්‍යාංශයක් අවශ්‍ය වෙයි. එහෙත් අවාසනාවකට අපට එවැනි  අමාත්‍යාංශයක් 1948 පෙබරවාරි 4වැනි දාට පසුව කිසි දිනෙක ලැබී නැත. 

විදේශ තානාපතිවරුන් ලෙස පත්කළ යුත්තේ දේශපාලන හෙංචයියන්වත් විදේශ සේවා පරීක්‍ෂණයෙන් සමත්වූවන්වත් නො වේ. එක් අතකින් ගත්කල ඊනියා වෘත්තීය තානාපතිවරු දේශපාලන හිතවතකම් මත පත්කෙරෙන තානාපතිවරුන්ට වඩා නුසුදුස්සෝ වෙති. අද ජෙනීවා ගොස් සිටින ජයන්ත ධනපාල මහතා හෝ උතුරු පළාතේ නව ආණ්ඩුකාරයා ලෙස පත්කෙරී ඇති පලිහක්කාර මහතා හෝ වෘත්තීයිකයන් ලෙස රටට කර ඇති සේවය කුමක් ද? මේ ඊනියා වෘත්තීයකයෝ මෙරට හෝ පිටරට හෝ බටහිර අධ්‍යාපනයක් ලබා බටහිර මතවාද කරපින්නාගත් අනුකාරකයෝ වෙති. ඔවුන් විදේශ කටයුතු පිලිබඳ ව පුහුණු කෙරී ඇත්තේ බටහිර අච්චුවේ ය. 

අද ධනපාල මහතාගේ කාර්යය වනුයේ දෙමළ ජාතිවාදයට කප්පම් දී තව තවත් රට බටහිර ග්‍රහණයට හසුකිරීම ය. ජෙනීවාහි ලංකාවට එරෙහිව ගෙනෙන ඊනියා මානව හිමිකම් යෝජනා අස්කර ගැනීමට නම් කළ යුත්තේ දෙමළ ජාතිවදයට කප්පම් ගෙවීම ය. අධිආරක්‍ෂිත කලාප අස්කිරීම එක් කප්පමකි.  ඔහු හැකිනම් බලනු ඇත්තේ ලංකාවට එරෙහිව ජෙනීවාහි මාර්තුවේ දී ගෙන ඒමට නියමිත යෝජනාව සැප්තැම්බර් වන තුරු කල් දමා ගැනීම ය. ඒ අන් කිසිවකට නොව අප්‍රියෙල් මාසයෙන් පසුව පැවැත්වීමට නියමිත මැතිවරණයේ දී රනිල් වික්‍රමසිංහට තමන් ලංකාවට එරෙහිව ගෙන ඒමට තිබූ යෝජනාව නිවැරදි විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් අස්කරගත් බව ජනතාවට කීමට ය. අප මෙතෙක් කල් ජෙනීවාහි දී පැරදුණේ නම් ඒ දෙමළ ජාතිවාදයට කප්පම් නොගෙවීම නිසා මිස වැරදි විදේශ  ප්‍රතිපත්තියක් නිසා නො වේ. අප ජයග්‍රහණය කර ඇත්තේ අඩු තරමින් දහතුනවත් දෙමළ ජාතිවාදයට දීමේ පොරෙන්දුව රැගත් වැරදි විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙනි. 

එහෙත් මීළඟ මහා මැතිවරණයෙන් එ ජා ප ජයග්‍රහණය කළහොත් දෙමළ ජාතිවාදයට තව තවත් කප්පම් දීම වැළැක්විය නො හැකි ය. බටහිරයන්ට අවශ්‍ය ඊනියා මානව හිමිකම් නොව රට බෙදීම ය. ඔවුන්ගේ රටවල නැති මානව හිමිකම් ඔවුන් අපට ලබා දෙන්නේ කෙසේ ද? එ ජා ප මහා මැතිවරණයෙන් බලයට පත්වුවහොත් රට බෙදීම වැළැක්විය හැකි නො වේ. අප කෙසේ නමුත් ඒ උවදුර නැතිකළ යුතු ය. එය කළ හැක්කේ මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් පමණකි. 

පලිහක්කාර මහතා උගත් පාඩම් හා සංහිදියා කොමිසමේ සාමාජිකයෙක් විය. මම එහි සාක්‍ෂි දීමට ගියෙමි. සාක්‍ෂියක් දී ගත නොහැකි ඇතැම් ජාතිවාදීහු බොරු වීරකම් පාමින් ඉන් ඉවත්වූහ. එහෙත් සාක්‍ෂි දීම නිසා මම අඩුම තරමෙන් පලිහක්කාර මහතා ගැන යමක් දැනගතිමි. අද බොහෝ ජාතිකවාදීන් වුව ද දෙමළ ජාතිවාදයේ ආරම්භය 1948න් එහාට ගෙනයෑමට සූදානම් නැත. එහෙත් ඉංගිරිසින් යටතේ දෙමළ ජාතිවාදයේ ආරම්භය අඩු තරමෙන් 1833 දක්වා දිව යයි. දෙමළ ජාතිවාදයේ ආරම්භය හා විකාශය ගැන මම මගේ සාක්‍ෂියේ දී කරුණු ඉදිරිපත් කළෙමි. ඒ කිසිවකට කොමිසමේ කිසිවකුට කිව හැකි දෙයක් නො වී ය. අවසානයේ දී පලිහක්කාර මහතා කියා සිටියේ මා කියන සියල්ල සත්‍ය වුව ද දෙමළ දේශපාලනඥයන්ට යමක් දිය යුතු බව ය! පලිහක්කාර මහතාට අවශ්‍ය වූයේ ප්‍රශ්නය විසඳීම නොව දෙමළ දේශපාලනඥයන් සතුටු කිරීම ය. ඔහු උතුරු පළාතේ ආණ්ඩුකාරයා ලෙස පත්කිරීම ගැන දෙමළ දේශපාලනඥයන් සතුටු වීම පුදුමයට කරුණක් නො වේ. 

දෙමළ ජාතිවාදයේ ඉතිහාසය, විකාශය හා බටහිරයන් එය සිංහලයන්ට විරුද්ධව යොදාගන්නා ආකාරය නොදැන දෙමළ ජාතිවාදය පරාජය කළ නො හැකි ය. පසුගිය අවුරුදු තිහක පමණ කාලයක මම මේ සඳහා ලිපි රාශියක් ලිව්වෙමි. ප්‍රභාකරන් ඔහුගේ සීයලා  බාප්පලා හා මස්සිනාලා යනුවෙන් පොතක් පළ කළෙමි. එහෙත් අවාසනාවකට ජාතිකවාදීන් ද මා ලියූ සියල්ල ඉවත දමා ඇත. අදාළ ලිපි බොහෝමයක් කාලය වෙබ් අඩවියේ කියවිය හැකි ය. එහෙත් අවාසනාවකට ඒ වෙබ් අඩවිය නිසි ලෙස සැලසුම් කර නැත. එයටත් වඩා අවාසනාව වෙබ් අඩවිය සකස්කිරීමට කිසිවකු මට ආධාර නො කිරීම ය.  

අද ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ බිස්වාල් මහත්මිය ලංකාවට පැමිණ ඇත. ඒ නිදහස සැමරීමට නොව තිබෙන සීමිත නිදහසත් මැරීමට ය. පසුගිය දා සොල්හයිම් තමන්ට මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව පරාජය කිරීමට තිබූ වුවමනාව ඔහුගේ ට්විටරයේ සඳහන් කර තිබුණේ ය. 

එක් පැත්තකින් දෙමළ ජාතිවාදය ය. අනෙක් පැත්තෙන් අපේ සීමිත නිදහස නැති කර අපේ සිංහයා පිට උඩ යෑමට උත්සාහ කරන බටහිරයන් ය. තවත් පැත්තකින් බටහිර ගැති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව ය. හතරවැනුව බටහිරයන්ගේ කටුකන සරසවි හා ඊනියා රාජ්‍ය නොවන උගතුන් ය. අපි කෙසේ අත් පා දිග හරිමු ද? අපට සැමරිය හැකි නිදහසක් නැත. අප මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ල නි ප පෙරදැරි කරගෙන නිදහස දිනාගැනීමට පෙළ ගැසිය යුතු ය.

නලින් ද සිල්වා

2015 පෙබරවාරි 03