History

Tuesday, 17 February 2015

වරදින්නේ ජ්‍යොතිෂයට පමණක් ද?

වරදින්නේ ජ්‍යොතිෂයට පමණක් ද?

මිනිසුන් අතින් විවිධාකාරයේ වැරදි සිදුවෙයි. බටහිර වෛද්‍යවරුන් අතින් සිදුවන වැරදි ගැන ජනමාධ්‍යවලින් දැනගන්නට ලැබෙයි. එහෙත් ඒ ගැන කතාකරන්නෝ විරළ වෙති. එසේ වුවත් සිංහල වෙදමහතකු අතින් වරදක් සිදුවුවහොත් ඒ ගැන කතාකිරීමට ඉදිරිපත්වන්නන් එමට ය. ඔවුහු ඊනියා විද්‍යාත්මක ක්‍රම අනුගමනය නොකිරීම ගැන බයිලා කියති. සතුන්ට වැරදි සිදුවන්නේ දැයි නො දනිමි. ඒ දැනගත හැක්කේ සතුන්ට වැරැද්ද යන සංකල්පය ඇත් දැයි දැනගැනීමෙනි. වැරැද්ද යන සංකල්පය නැති සංස්කෘතියක වැරදි සිදුවිය නො හැකි ය. එහෙත් තමා ගැන දැනුමක් ඇති සියළු සතුන් අතින් සසර දික්කරන ක්‍රියා සිදුවන්නේ යැයි සිතමි. අවිජ්ජා පච්චයා සංඛාරා යන්නෙහි අවිජ්ජා යනු මූලික වශයෙන් තමන් ඇතැයි ගැනීම යැයි සිතිය හැකි ය. ඒ පිළිබඳ දිර්ඝ විස්තරයක් කිරීමට මේ අවස්ථාව නො වේ. 

වැරදි අතර අනාවැකි වැරදීම යන්න එක් සුවිශේෂ ගණයක් පමණකි. එය බටහිර වෛද්‍යවරයකු අතින් සිදුවන වැරදි වැන්නක් නො වේ. බටහිර වෛද්‍යවරයකු අතින් සිදුවන වැරද්දක ද අඩු වැඩි වශයෙන් අනාවැකි පිළිබඳ වැරදි අඩංගු විය හැකි ය. එහෙත් ඒ ජ්‍යොතිෂයෙහි කෙරෙන අනාවැකි ගණයට අයත් නො වේ. 

සුමනදාස අබේගුණවර්ධන මහතා ගැන බොහෝ දෙනා දනිති. ඔහුගේ අනාවැකියක් පසුගිය දා වැරදිණි. විවිධ පුද්ගලයෝ අද බසින් කිවහොත් ඒ මහතා බයිට් එකට ගත්හ. ජ්‍යොතිෂයට ඔච්චම් කළහ. කාලෝ ෆොන්සේකා වැන්නෝ පංචෙන්ද්‍රිය ගෝචර නොවන සංසිද්ධි විශ්වාස කළ නොහැකි බව නැවතත් ප්‍රකාශ කළහ. එහෙත් මේ ඊනියා විද්‍යාඥයෝ පංචෙන්ද්‍රිය ගෝචර නොවන ගුරුත්වාකර්ෂණය ඇතැයි විශ්වාස කරති. ගුරුත්වාකර්ෂණය යනු පට්ටපල් බොරුවක් බව මේ විද්වත්හු නො දනිති. මොවුන් විද්‍යාඥයන් වන්නේ නමින් පමණකි. ඔවුන් බටහිර විද්‍යාවට එකතුකර ඇති සංකල්පයක් හෝ ප්‍රවාදයක් හෝ නැත. අවශ්‍ය නම් කාලෝ ෆොන්සේකාට මේ ලිපියට පිළිතුරක් ලිවිය හැකි ය. ඔහුට මේ ලිපිය විද්‍යුත් තැපෑලෙන් යැවෙයි.

සුමනදාස අබේගුණවර්ධන මහතා අනාවැකියක් පළකළේ දේශපාලනයෙහි ය. බොහෝ දෙනා තේරුම් නොගන්නා කරුණක් නම් අනාවැකි සම්බන්ධයෙන් ද දේශපාලනයක් ඇති බව ය. පසුගිය ජනාධිපතිවරණය පිළිබඳ ඊනියා විද්‍යාත්මක සමීක්‍ෂණ පැවැත්වීමෙන් පසු අනාවැකි පළ කෙරිණි. ඒ අනාවැකි පළකෙරුණේ විද්වතුන් අතිනි. මෙරට ඊනියා විද්වත් සමාජයෙහි සුමනදාස අබේගුණවර්ධන මහතා විද්වතකු ලෙස පිළිගැනෙන්නේ දැයි නො දනිමි. එහෙත් අර සමීක්‍ෂණ කළ අය විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු වූහ. ඊනියා පර්යේෂණ ආයතනවල සාමාජිකයෝ වූහ. 

මේ බොහෝමයක් ඊනියා විද්‍යාත්මක අනාවැකි ද වැරදිණි. එහෙත් මෙරට සමාජයෙහි ඒ අනාවැකිකරවෝ බයිට් එකට නොගැනෙති. ඔවුන් තම ඊනියා සමීක්‍ෂණ වෙනුවෙන් දීමනා ලබාගන්නට ද ඇත. කෙසේ වුවත් සමාජයට ඔවුන් අමතක ය. මේ අනාවැකි පිළිබඳ දේශපාලනය ය. දැනුම පිළිබඳ දේශපාලනය ය. සමාජයට පෙනෙන්නේ බටහිර වෛද්‍යවරයාගේ වරද නොව සිංහල වෙදමහතාගේ වරද ය. ඊනියා සම්ක්‍ෂකයන්ගේ වරද අමතක කරන සමාජයට සුමනදාස අබේගුණවර්ධන මහතා අමතක නො වේ. බටහිර අධ්‍යාපනය විසින් අප සකස්කෙරී ඇත්තේ ඒ අයුරෙනි.

සියයට සියයක නිවැරදිතාවකින් අනාවැකි පළකළ නො හැකි ය. ක්වොන්ටම් භෞතිකයෙහි නිරීක්‍ෂණ ගැන කිවහැක්කේ සම්භාවිතාවන් පමණ ය. එහි දී වස්තුවක (අංශුවක) අහවල් ගුණය මැන්නොත් අහවල් සම්භාවිතාව ඇතිව අහවල් අගය ලැබේවි යැයි කිව හැකි ය. සාමාන්‍ය ජීවිතයේ ද එසේම ය. අප මෙතෙක් දැක ඇති කපුටන් සියල්ල කළුපාට වුවත් හෙට සුදු කපුටකු දැකීමේ සම්භාවිතාවක් ඇත. ජ්‍යෙතිෂයෙහි අනාවැකි ද සියයට සියයක් නිවැරදි නො වේ. හෙට (18 වැනි දා) නුගේගොඩ පැවැත්වෙන රැස්වීමට සහභාගි වන සංඛ්‍යාව අසාද් සාලි මහතා කියන සංඛ්‍යාවට වඩා වැඩි වන්නේ කී ගුණයකින් ද යන්න පිළිබඳ අනාවැකියක් පළකිරීමට ඉදිරිපත් වන්නෝ වෙත් ද? 

නලින් ද සිල්වා

2005 පෙබරවාරි 17