History

Thursday, 26 February 2015

රනිල්ගේ බොරු තර්ක

රනිල්ගේ බොරු තර්ක

රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රිපාල සිරිසේන අතර සීතල යුද්ධයක් කෙරී ගෙන යන බව අපි කලින් ද කීවෙමු. ආරක්‍ෂක කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති වූ ද රනිල්ගේ බෑණා වූ ද රුවන් විජේවර්ධනගේ තටු කපා දැමීමට මෛත්‍රිපාල පියවර ගත්තේ ය. අද රුවන්ට ඇත්තේ ආරක්‍ෂක කටයුතු පිළිබඳ පාසල්, ශිෂ්‍ය භට කණ්ඩායම් ආදිය ගැන සොයා බැලීමට ය. ආරක්‍ෂක කටයුතු පිළිබඳ වැදගත් කාර්යයන් සියල්ල මෛත්‍රිපාල සිරිසේන යටතේ ම පවතියි.  

රනිල් මෙන් ම ජේ ආර් ජයවර්ධන ද ජනතාවට කියා සිටියේ රකින්නට පරම්පරාවක් නැති බව ය. වෙනත් කටයුතුවල දී කෙසේ වෙතත් රාජ්‍ය පාලන උරුමය සම්බන්ධයෙන් ඔවුහු මාතෘ මූලික සම්ප්‍රදාය අනුගමනය කරති. රනිල් ජේ ආර්ගේ බෑණා ය. රුවන් රනිල්ගේ බෑණා ය. රනිල්ගෙන් පසු උරුමය දීමට ඔහුට අවශ්‍ය වන්නේ රුවන්ට ය. සජිත්, රවි ආදීන් එහි දී කෙසේ ක්‍රියා කරාවි දැයි කිව නො හැකි ය. එහෙත් ඒ ඉදිරි සටනකි. අද සටන ඇත්තේ රනිල් හා මෛත්‍රිපාල අතර ය. 

රනිල්ට අවශ්‍ය වූයේ පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ය. එහෙත් ඔහුට දිනීමට නොහැකි බව බටහිරයෝ ද ඉන්දියානුවෝ ද දත්හ. ඔවුන්ගේ ඔත්තු සේවා වෙනත් අපේක්‍ෂයකු ඉදිරිපත් කිරීමට ක්‍රියාත්මක විය. විශේෂයෙන් ම ඉන්දියානු රෝ ඔත්තු සේවය එහි දී ඉදිරියෙන් සිටියේ ය. ඔවුහු සිංහල ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටි පිරිස් හමුවූහ. ඒ අතර මාදුළුවාවේ සෝභිත හිමි, අතුරලියේ රතන හිමි, චම්පික රණවක, කරුණාරත්න පරණවිතාන ආදීහු සිටියහ. එක් කලෙක බටහිරයන්ට අවශ්‍ය වූයේ කරු ජයසූරිය ඉදිරිපත් කිරීමට ය. ඔවුන් සෙවූයේ රනිල් වැනි සිංහල බෞද්ධ සංස්කෘතිය සමග පෑහීමට නොහැකි පුද්ගලයකු නොව සිංහලත්වය සමග ඇයි හොඳයි කම් පැවැත්විය හැකි අයකු ය.

අවසානයේ දී ඉන්දියාවට අවශ්‍ය වූයේ මෛත්‍රිපාල සිරිසේන හා නිමල් සිරිපාල යන දෙදෙනාගෙන් එක් අයකු ඉදිරිපත් කිරීමට ය. එහෙත් මහින්ද රාජපක්‍ෂ නිමල්ට අගමැතිකම දීමට පොරොන්දු වී ඔහු නවතා ගත්තේ ය. මෛත්‍රිපාලට අගමැතිකම පොරොන්දු වීීී නම්  ඊනියා පොදු අපේක්‍ෂකයා වන්නේ නිමල් සිරිපාල ය. අද ඔහු ව්‍යාජ විපක්‍ෂ නායකයා ය. රටේ දේශපාලනය සිදුවන්නේ ඒ ආකාරයට ය. මෛත්‍රිපාල ඊනියා පොදු අපේක්‍ෂකයා වීමේ දී  රතන හිමියන් යම් වැඩ කොටසක් කර ඇති බව පැහැදිලි ය. මෛත්‍රිපාල එහිමියන් නූතන කඩහපොළ හිමියන් ලෙස හැඳින්වූයේ නිකමට නො වේ. 

රනිල් කැමති වුවත් නැතත් අද මෛත්‍රිපාල විධායක ජනාධිපති ය. රනිල්ට අවශ්‍ය ඉක්මණින් ව්‍යවස්ථාව සංශෝධනය කර විධායක බලතල විශාල ප්‍රමාණයක් අගමැතිට පවරා ගැනීමට ය. එහෙත් වත්මන් පාර්ලිමේන්තුවෙන් ඒ කරවා ගැනීමට නොහැකි බව ඔහු දනියි. ඔහුට අවශ්‍ය හැකි ඉක්මණින් පාර්ලිමේන්තුව විසුරුවා හැර එ ජා පක්‍ෂය බහුතරය වූ පාර්ලිමේන්තුවක් පත්කර ගෙන තමන්ට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනය කර ගැනීම ය. ඔහුගේ ඊනියා ජාතික ආණ්ඩුව මැතිවරණයෙන් පසුව පිහිටුවා ගන්නකි. 

එහෙත් මෛත්‍රිපාලට හා ශ්‍රී ල නි පක්‍ෂයේ ඉහළ නායකයන්ට අවශ්‍ය මේ පාර්ලිමේන්තුව තව අවුරුද්දක් පවත්වාගෙන යෑමටත් එතෙක් ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමටත් මහින්ද රාජපක්‍ෂ නැතිව මැතිවරණයට ඉදිරිපත් වීමටත් ය. ශ්‍රී ල නි පක්‍ෂයේ දෙවැනි පෙළ නායකත්වයට හා සාමාජිකත්වයේ අති විශාල බහුතරයට අවශ්‍ය මහින්ද රාජපක්‍ෂගේ නායකත්වයෙන් හැකි ඉක්මණින් මැතිවරණයකට යෑමට ය. ඒ ඒ අය කරන ප්‍රකාශවලින් මේ වෙනස දැකගත හැකි ය. රාජිත සේනාරත්නට අවශ්‍ය අවුරුද්දක් මේ ආකාරයෙන් පවත්වාගෙන යෑමට ය. දින සියය නොව අවශ්‍ය වන්නේ දින සියයේ වැඩ නිම කිරීම බව ඔහු පවසන්නේ දින සියයකින් මැතිවරණයකට යෑමට ඔහු, මෛත්‍රිපාල  හා ශ්‍රි ල නි පක්‍ෂයේ ප්‍රබලයන් යැයි කියන නිවටයන් සූදානම් නැති බැවිනි. 

ජ වි පෙරමුණ ඇත්තේ රනිල් සමග ය. ඔවුහු අද ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට විරුද්ධ වෙති. චම්පිකලාට යන එන මං නැත. චම්පික අවුරුදු හයක් ඇමතිකම කිරීමේ සිහිනය දකියි. නූතන කඩහපොල හිමියන් ගැන ආරංචියක් නැත. එහෙත් රනිල් බොරු තර්ක ගෙන එමින් අපියෙල් 23 දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කතාකරයි. එහෙත් ඔහුත් අපත් දන්නා කරුණ නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ ජනාධිපතිට බව ය. ජනාධිපති අපියෙල් 23 දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අකමැති ය. 

රනිල් බොරු තර්ක ඉදිරිපත් කරන්නේ එක් පැත්තකින් තමා පික්පොකට් ගැසූ අගමැතිකම රැක ගැනීමට ය. අනෙක් පැත්තෙන් අප්‍රියෙල් 23 දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ය. එහෙත් මෙය අසංගත බව පරස්පර විරෝධී බව ඔහුට නො වැටහෙයි. ඔහු කියන්නේ මේ පාර්ලිමේන්තුව මහින්ද රාජපක්‍ෂට සහාය දීමට පත්කරගත් එකක් බවත් එබැවින් ජනවාරි 8 වැනි දාට පසු එයට පැවැත්මක් නැති බවත් ය. ඒ බොරුවකි. එසේ ජනාධිපති වෙනස්වන විට පාර්ලිමේන්තුව අහෝසි වන බවක් කියා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිනම් වගන්තියේ ද? එය ඇත්තක් නම් අද පාර්ලිමේන්තුව පවත්වාගෙන යෑම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. ව්‍යවස්ථාව කිහිප වතාවක් ම උල්ලංඝනය කර ඇති රනිල් වික්‍රමසිංහට එය ප්‍රශ්නයක් නොවිය හැකි ය. එහෙත් එය බොරුවක් බව අපි දනිමු. 

රනිල්ට පෙන්වීමට අවශ්‍ය මේ පාර්ලිමේන්තුවට අප්‍රියෙල් 23 දිනට පසු පැවැත්මක් නැති බව ය. එහෙත් ඔහුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඒ සඳහා ප්‍රතිපාදනයක් සොයාගත නො හැකි ය. ජනාධිපතිට අවශ්‍ය නම් පාර්ලිමේන්තුව 2016 දක්වා පවත්වාගෙන ගිය හැකි ය. රනිල්ගේ බොරු තර්කයෙන් කියන්නේ මේ පාර්ලිමේන්තුව ජනවාරි 8 වැනිදාට පසු නීත්‍යානුකූල නොවන නමුත් දින සියයේ මගඩිය හේතුවෙන් එය අප්‍රියෙල් 23 දින තෙක් පවත්වාගෙන ගියත් ඉන්පසු නම් කෙසේවත් පාර්ලිමේන්තුව පවත්වාගෙන ගිය නොහැකි බවත් ය. මෛත්‍රිපාල සිරිසේන නීතිය හදාරා නැති නමුත් පාර්ලිමේන්තු පත්කර ගන්නේ ජනාධිපතිවරුන්ට සහාය දීමට නොවන බව දනියි. හැරත් මේ පාර්ලිමේන්තුව මහින්දට සහාය දීමට පත්කර ගත් එකකැයි මෛත්‍රිපාල කෙසේවත් පිළිගනියි ද? 

අද රනිල්ට කළ හැක්කේ බටහිරයන් ලවා මෛත්‍රිපාලට බලකර අප්‍රියෙල් 23 දා කෙසේ නමුත් පාර්ලිමේන්තුව විසුරුවා හැරවීමට උත්සාහ ගැනීම ය. බොරු තර්ක ගෙන ඒමේ වාසිය මෛත්‍රිපාලට ය. එහෙත් මෙහි දී වැදගත්වන අනෙක් සාධකය වූ ඉන්දියාව  කිනම් පියවරක් ගනියි ද? ඔවුන් ගන්නා පියවර දෙමළ ජාතිවාදය සමග බැඳී ඇත. 

නලින් ද සිල්වා

2015 පෙබරවාරි 26