History

Saturday, 21 February 2015

නුගේගොඩ රැස්වීමෙන් පසු (මෙය ඉරිදා දීවයින පුවත් පතෙහි පළ නොවූ ලිපියකි )

ඉරිදා දිවයින පුවත්පතෙහි යම් ආකාරයක වාරණයක් පවතින බව තේරුම් ගත් මම එයට ලිවීම නැවැත්තුවෙමි. එහෙත් දින කිහිපයකට පෙර දුරථනයෙන් මා ඇමතූ එහි ප්‍රධාන කතෘවරයා නැවත පුවත්පතට ලියන මෙන් ආරාධනය කළේ ය. ඒ අනුව මම මේ ලිපිය ඔහුට යැවීමි. එහෙත් එය පළ වී නැත. යහපාලනය යටතේ මාධ්‍ය නිදහස අපි අත්විඳිමු. (මේ ලිපය මෙම වෙබ් අඩවියේ පළ වී ඇති ශ්‍රී ල නි පක්‍ෂය නායකයන්ට ඉදිරියෙන් යන ලිපියෙහි විස්තීරණයක් බව කරුණාවෙන් සලකන්න)

නුගේගොඩ රැස්වීමෙන් පසු

පසුගිය බදාදා නුගේගොඩ පැවති රැස්වීම දශක දෙකකට පමණ පසුව එහි වැඩිම ජනකායක් සහභාගි වූ රැස්වීම විය. එ ජ නි සංධානයේ පක්‍ෂ කිහිපයක් එක්විමෙන් සංවිධානය කරන ලද එම රැස්වීම පාර්ලිමේන්තුවේ සැබෑ විපක්‍ෂවල රැස්වීමක් යැයි කිව හැකි ය. අද පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ විපක්‍ෂය ද, සැබෑ විපක්‍ෂය ද යනුවෙන් විපක්‍ෂ දෙකක්  වෙයි. ආණ්ඩුවේ විපක්‍ෂ නායකයා නිමල් සිරිපාල මහතා වෙයි. ඒ විපක්‍ෂයේ සංවිධායක ජෝන් සෙනෙවිරත්න මහතා ය. සැබෑ විපක්‍ෂයේ නායකයා දිනේශ් ගුණවර්ධන මහතා වන අතර සංවිධායක විමල් වීරවංශ මහතා වෙයි. 

එ ජ නි සංධානයේ ප්‍රධාන පක්‍ෂය වූ ශ්‍රී ල නි පක්‍ෂයේ අති විශාල බහුතරය සැබෑ විපක්‍ෂය සමග වන බව පැහැදිලි ය. සාමාන්‍ය පාක්‍ෂිකයන්ගේ හා අනුගාමිකයන්ගේ සිට පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් දක්වා තත්ත්වය එබඳු ය. එහෙත් එය වැඩියෙන් ම දක්නට ඇත්තේ සාමාන්‍ය පාක්‍ෂිකයාගේ මට්ටමේ ය. අඩුවෙන් ම දක්නට ඇත්තේ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් අතර ය. නුගේගොඩ රැස්වීමට බස්නාහිර පළාත් සභාවේ ශ්‍රී ල නි ප මන්ත්‍රීවරුන් ඉතා විශාල බහුතරය ප්‍රසන්න රණතුංග මහතාගේ නායකත්වයෙන් සහභාගි වූ අතර පාරලිමේන්තු මැති ඇමතිවරුන් ඒ ප්‍රතිශතයෙන් දැකගත නො හැකි විය. එසේ වුවත් ශ්‍රී ල නි ප ඇමතිවරු (ඔවුහු තවමත් ඇමතිවරු වෙති. රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව නීත්‍යානුකූල ව පත්වූවක් නො වේ) යම් පිරිසක් රැස්වීමට සහභාගි වූහ.

ශ්‍රී ල නි පක්‍ෂයේ ස්වභාවය අනුව එය පහත සිට උඩට ක්‍රියාත්මක වන පක්‍ෂයකි. අද පක්‍ෂයේ පහත මට්ටම සම්පූර්ණයෙන් ම ඇත්තේ සැබෑ විපක්‍ෂය සමග ය. එහෙත් උඩ නායකත්වයේ කිහිප දෙනකු ඇත්තේ ආණ්ඩුවේ විපක්‍ෂයේ ය. ආණ්ඩුවේ විපක්‍ෂය ක්‍රියාත්මක වන්නේ විධායක ජනාධිපති බලතලවල පිහිටෙනි. ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා ය. ඔහු සභාපති වූයේ ද විධායක ජනාධිපති බලතල යොදාගනිමින් මිස පක්‍ෂයේ ව්‍යවස්ථාව අනුව  නො වේ. පක්‍ෂ ව්‍යවස්ථාවට අනුව නම් අද ශ්‍රී ල නි පක්‍ෂයට සභාපති කෙනකු නැත. 

හිටපු සභාපති මහින්ද රාජපක්‍ෂ මහතා තම දේශපාලන ජීිවිතයේ කරන ලද ලොකුම වරද කරමින් ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපතිකමින් ඉල්ලා අස්විය. ඉන්පසු මෛත්‍රිපාල සිරිසේනට පක්‍ෂයේ සභාපති වීමට කිසිම අයිතියක් නො තිබිණි. පසුගිය ජනවාරි මුල නිමල් සිරිපාල මහතා ද ඒ බව දැන සිටියේ ය. මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති වූයේ ශී්‍ර ල නි පක්‍ෂයෙන් හෝ ශ්‍රී ල නි ප ප්‍රමුඛ සංධානයකින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වී නො වේ. ඔහුට ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපති වීමට පක්‍ෂ ව්‍යවස්ථාවෙන් ඉඩක් නැත. එහෙත් ඔහු විධායක බලතල යොදා ගනිමින් මන්ත්‍රීවරුන්ට අනියම් බියක් ඇති කරමින් පක්‍ෂ සභාපතිවරයා විය. ශ්‍රී ල නි ප ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මීළඟ මැතිවරණයේ දී නාමයෝජනා ලැබේ ද යන්න ප්‍රශ්නයක් වී ඇත. ඔවුන් පළමුව ඒ පිළිබඳ කල්පනා කිරීම පෘථග්ජන ධර්මතාවකි. 

නුගේගොඩ රැස්වීමට ශ්‍රී ල නි ප නායකත්වය හා ජාතික හෙළ උරුමය (ආණ්ඩුවේ ඉන්දීය පිළ) වැඩිකල් නොගොස් ම පිළිතුරු දෙනු ඇත. එය ඇතැම්විට තවත් රැස්වීමක විය හැකි ය. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ශක්තිය හා දේශපාලන බලය ඔවුන් සතු ය. අද සාමාන්‍ය අයකුට කළ හැක්කේ ඉතාමත් සීමිත දේශපාලනයකි. මෙරට දේශපාලනය ඇමරිකාවේ දේශපාලනයේ තත්ත්වයට පත් වී ඇත. විශාල ධනස්කන්ධයක් නොමැතිව පංචස්කන්ධවලට අද දේශපාලනයේ නිරත විය හැකි නො වේ. කොල්වින් ආර් ද සිල්වා මහතා වරක් ස්වාධීන අපේක්‍ෂකයන් හැඳින්වූයේ ඔළු තුනේ බූරුවන් ලෙස ය. අද මුදල් නොමැති ව ස්වාධීන ව දේශපාලනයේ යෙදීමට බූරුවන්ට ද නො හැකි ය.     

පසුගිය ජනාධිපතිවරණයේ දී මෛත්‍රිපාල සිරිසේන මහතාට ලැබුණේ මූලික වශයෙන් එ ජා ප, දෙමළ හා මුස්ලිම් ඡන්ද ය. ශ්‍රී ල නි ප ඡන්ද  ලැබුණේ මහින්ද රාජපක්‍ෂට ය. ශ්‍රී ල නි පක්‍ෂය ඇත්තේ මහින්ද රාජපක්‍ෂ මහතා වටා මිස මෛත්‍රිපාල සිරිසේන මහතා වටා නො වේ. නුගේගොඩ රැස්වීමෙන් හෙළි වූ ප්‍රධාන කරුණ නම් ශ්‍රී ල නි ප සාමාන්‍ය සාමාජිකත්වයට හා සංධානයේ බොහෝ පක්‍ෂවලට මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති අපේක්‍ෂකයා ලෙස අවශ්‍ය බව ය. මහින්ද රාජපක්‍ෂ මහතා රැස්වීමට පණිවුඩයක් එවමින් කියා සිටියේ රැ්ස්වීමේ අභිලාෂයන්ට තමන්ට පිටු පෑ නොහැකි බව ය. තමන් රැස්වීමේ දික්කරන දෑත් තරයේ වැළඳ ගන්නා බව ද පණිවුඩයේ සඳහන් විණි. 

අද මෛත්‍රිපාල සිරිසේන මහතා රනිල් වික්‍රමසිංහ මහතා සමග සීතල යුද්ධයක යෙදී සිටින බව පැහැදිලි ය. රනිල් වික්‍රමසිංහ මහතාට අවශ්‍ය එ ජා ප කැබීනට් මණ්ඩලයකි. ඔහු ආරක්‍ෂක රාජ්‍ය ඇමති ලෙස තම බෑණා කෙනකු වන රුවන් විජේවර්ධන මහතා පත් කළේ ය. එහෙත් මෛත්‍රිපාල සිරිසේන මහතා විධායක බලතල යොදා රුවන් බෑණාගේ බලතල කපා දමා ඇත. රජිව් විජේසිංහ සිද්ධිය ද ඇතැම් විට දුර දිග යා හැකි ය. මෛත්‍රිපාල සිරිසේන මහතාට රතන හිමියන්ගේ හා ඉන්දියාවේ අනුග්‍රහය ලැබෙයි. රනිල් වික්‍රමසිංහ මහතාට බටහිරයන්ගේ සහාය ලැබෙයි. බටහිරයන් හා ඉන්දියාව බොහෝ විට එකට සිටියත් ඇතැම් ප්‍රශ්නවල දී විරුද්ධ මත දරයි. අපේ ආරක්‍ෂක අමාත්‍යාංභය අප රටට මෙන් ම ඉන්දියාවට හා බටහිරට ද වැදගත් ය.

මෛත්‍රිපාල සිරිසේන මහතාට රනිල් වික්‍රමසිංහ මහතා සමග කරන යුද්ධයේ දී රතන හිමියන්ගේ සහාය පමණක් ප්‍රමාණවත් නො වේ. දින සියය කිනම් ආකාරයකින් නමුත් ගෙවී ගියත්, යම් අයුරකින් මැතිවරණයෙන් එ ජා ප ජයගතහොත් රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුවේ එක ම බලධාරියා වනු ඇත. මෛත්‍රිපාල සිරදසේන මහතා ජනාධිපති බලතල සහිත ව වුවත් එහි දී අසරණ වනු ඇත. ඔහුට අල්ලපු අත්ත මෙන් ම පයගහපු අත්ත ද නැති වනු ඇත. 

ශ්‍රී ල නි පක්‍ෂයේ අනෙක් ඉහළ නායකයන්ට මෙන් ම මෛත්‍රිපාල සිරිසේන මහතාට ද මැතිවරණයෙන් පසු ආරක්‍ෂාව ඇත්තේ මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති කිරීමෙනි. මෙහි දී පක්‍ෂ නායකත්වය කළ යුත්තේ පක්‍ෂ සාමාජිකත්වය අනුගමනය කිරීම ය. එය ශ්‍රී ල නි පක්‍ෂ සම්ප්‍රදායට විරුද්ධ නො වේ. ශ්‍රී ල නි පක්‍ෂයේ ද රටේ ද ආරක්‍ෂාව වෙනුවෙන් ශ්‍රී ල නි පක්‍ෂයට ගතහැක්කේ එක් මගක් පමණකි. ඒ මග ඇත්තේ මහින්ද රාජපක්‍ෂ මහතාට සංධානයේ අගමැති අපේක්‍ෂකන ලෙස තරග කරන ලෙස ආරාධනය කිරීම ඔස්සේ ය. සුසිල් ප්‍රේමජයන්ත මහතා කියන්නේ මහින්ද රාජපක්‍ෂ මහතා තමා අගමැති අපේක්‍ෂක ලෙස ඉදිරිපත්වන බව දන්වා නොමැති බව ය. මේ නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයක් සෙවීමකි. මැතිවරණයෙන් පසු ජාතික ආණ්ඩු පිහිටුවීම ව්‍යාජයක් පමණකි. ඊනියා ජාතික ආණ්ඩුවක් යනු එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවකි. නුගේගොඩ ස්ටැන්ලි තිලකරත්න මාවතේ හා අවට රැස්වු අති විශාල ජනතාවට ජාතික ආණ්ඩු බොරුව අවශ්‍ය නැත. ඔවුන්ට අවශ්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති  වූ ආණ්ඩුවකි. මෛත්‍රිපාල සිරිසේන චම්පික රණවක රතන හිමි කල්ලිය එයට විරුද්ධව යන්නේ නම් එයින් කියැවෙන්නේ ඔවුන්ට අවශ්‍ය එ ජා ප ආණ්ඩුවක් බව ය.

නලින් ද සිල්වා 

2015 පෙබරවාරි 21