History

Tuesday, 17 March 2015

19 වැනි සංශෝධනය කුමකට ද? (දෙසරැස ලිපියකි)

19 වැනි සංශෝධනය කුමකට ද?

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නොයෙකුත් හැලහැප්පීම් මැද කැබිනට් මණ්ඩලයේ සම්මත වී ඇති බව කියැවෙයි. එහෙත් ඒ පිලිබඳ ආණ්ඩුවේ, පූර්ණ එකඟතාවක් ඇතැයි කිව නො හැකි ය. කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරන අදහස්වලට එ ජා පක්‍ෂයේ ප්‍රබලයෝ ප්‍රසිද්ධියේ ම විරුද්ධ වෙති. ඔහු කැබිනට් ප්‍රකාශක වන්නේ නමට පමණක් ද? එසේත් නැත්නම් ඔහු ජනාධිපති මතය කැබිනට් තීරනය ලෙස ජනමාධ්‍යයට ප්‍රකාශ කරන්නේ ද? සිංහලයන්ට ද්‍රෝහී වූ ජාතික හෙළ උරුමයට හදිසියේ ම මේ ආණ්ඩුව ඊනියා ජාතික ආණ්ඩුවක්වත් සර්ව පාක්‍ෂික ආණ්ඩුවක්වත් නොවන බව මතක් වී ඇත. ඔවුන් දැන් කියන්නේ මේ එ ජා ප ආණ්ඩුවක් බව ය. 


2015 ජනවාරි 09 වැනි දා පිහිටුවනු ලැබුයේ එ ජා ප ආණ්ඩුවක් බව නොදැන සිටියෝ කවරහු ද? ජනාධිපතිවරණයට පෙර ද මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති වුවහොත් පිහිටුවන්නට යන්නේ එ ජා ප ආණ්ඩුවක් බවත් එහි දී ක්‍රියාත්මක වන්නේ එක්සත් ජාතික පක්‍ෂ - දෙමළ ජාතික සංධාන ප්‍රතිපත්ති බවත් අපි කීවෙමූ. එපමණක් නොව කුඩා පක්‍ෂවලට ඒ වැළැක්වීමට කිසිවක් කිරීමට නොහැකි බවත් කීවෙමු. අද මේ ඊනියා යහපාලන ආණ්ඩුවෙන් සිදුවන සෑම ක්‍රියාවකට ම ඉන්දියාවේ අවශ්‍යතාව පෙරදැරි කරගෙන මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති කිරීමට ආධාර කළ සියල්ලන් ම වගකිව යුතු ය. අද ඔවුන් උත්සාහ ගන්නේ ඒ වගකීමෙන් මිදී ජනතාවට අතරට ගොස් තමන් සුදනන් ලෙස පෙනී සිටීමට ය. ඔවුන්ට ඒ සඳහා කිසිදු ඉඩක් නොදිය යුතු ය. 

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනෙන්නේ රටට යහපතක් කිරීමට නො වේ. එහි ප්‍රධාන අරමුණ මහින්ද රාජපක්‍ෂ මුළුමනින් ම දේශපාලනයෙන් ඉවත් කිරීම ය. දෙවැන්න විධායක ජනාධිපති බලතල යම් ප්‍රමාණයක් අගමැතිකම පික්පොකට් ගෑසූ රනිල් වික්‍රමසිංහට පැවරීමට ය. තුන්වැනුව ඒ මගින් ඒකීය රාජ්‍යය නැතිකර ඊනියා එක්සත් රාජ්‍යයක් බිහි කිරීම ය. එ ජා පක්‍ෂයට මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමට කිසිම වුවමනාවක් නැත. එයට ප්‍රධාන හේතුව එ ජා ප නායකයන් බොහෝ දෙනකුට දෙවැනි වතාවකට කේවල ක්‍රමය යටතේ ආසනයක් ජයග්‍රහණය කිරීමට නො හැකි වීම ය. ජේ ආර් ජයවර්ධන සමානුපාතික ක්‍රමය හඳුන්වා දීමේ දී එය ද සැලකිල්ලට ගෙන ඇති බව පැහැදිලි ය. එමෙන් ම ශ්‍රී ල නි පක්‍ෂයට තුනෙන් දෙකක මන්ත්‍රී සංඛ්‍යාවක් හිමිවීම වැළැක්වීම ද ඔහුගේ අරමුණක් විය. 1977 දී ලැබුණු හයෙන් පහේ ඡන්දයෙන් උපරිම ඵල නෙලා ගැනීම ජේ ආර් ජයවර්ධනගේ අභිප්‍රාය විය. 

එහෙත් සංධාන ආණ්ඩුව දිනේශ් ගුණවර්ධන වාර්තාව ක්‍රියාත්මක කිරීමට බැඳී සිටී. එහි ඇමතිවරයකු ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතාට ද ඒ බැඳීමෙන් නිදහස් විය නො හැකි ය. ඔහු ජනාධිපති වූයේ එ ජා ප, දෙමළ ජාතික සංධාන, මුස්ලිම් කොංග්‍රස් ආදී පක්‍ෂවල ඡන්ද නිසා බව පැහැදිලි ය. එහෙත් ඔහුට තම හෘදය සාක්‍ෂියෙන් ගැලවී යෑමට නො හැකි ය. අද ඔහු කිනම් ක්‍රමයකින් නමුත් ශ්‍රී ල නි පක්‍ෂයේ ද එක්සත් ජනතා නිදහස් සංධානයේ ද නායකයා ය. එබැවින් පක්‍ෂයෙහි හා සංධානයෙහි ප්‍රතිපත්ති වෙනුවෙන් පෙනී සිටීමට, ඒ ජයග්‍රහණය කරවීමට හා ඒ ක්‍රියාත්මක කිරීමට ඔහු බැඳී ඇත. සිරිසේන මහතා සංධානයේ නායකයා නම් සංධාන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතු ය.

අද තිබෙන්නේ සංධානයේ බහුතර බලයක් ඇති පාර්ලිමේන්තුවක් මිස එ ජා ප පාර්ලිමේන්තුවක් නො වේ. එහෙත් ජාතික හෙළ උරුමය වැනි පක්‍ෂවල ද ශ්‍රී ල නි පක්‍ෂයේ  රාජිත සේනාරත්න වැනි අයගේ උපකාරයෙන් ද විධායක බලතල යොදා ගනිමින් එ ජා පක්‍ෂ ආණ්ඩුවක් අද පිහිටුවා ඇත. මේ ආණ්ඩුවට අද විධායක ජනාධිපතිගේ ඒකීය රාජ්‍යයක් පවත්වා ගෙන යෑමට අවශ්‍ය බලතල අගමැතිට පවරා ගැනීමට අවශ්‍ය වෙයි. එයට කිසිසේත් ඉඩදිය යුතු නො වේ.

අද එ ජා පක්‍ෂය කියන්නේ අප්‍රියෙල් 23 වැනි දාට පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බව ය. එහෙත් යම් අයුරකින් ව්‍යවස්ථා සංශෝධනයක් සිදු වී අගමැතිට හා පාර්ලිමේන්තුවට යම් යම් බලතල පැවරුවහොත් රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට සහතිකයක් වේ ද? එ ජා පක්‍ෂයේ හා සුමන්තිරන්ලාගේ දෙමළ ජාතික සංධානයට අවශ්‍ය අගමැතිට පළමුව බලය පවරා ඉන්පසු ඒකීය රාජ්‍යය වෙනුවට ඊනියා එක්සත් රාජ්‍යයක් ඇති කිරීම ය. උතුරු හා නැගෙනහිර පළාත් එක් කිරීම ය. ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂව ඡන්දය දීමේ දී මේ සියල්ල සලකා බැලිය යුතු ය.

නලින් ද සිල්වා

2015 මාර්තු 17