History

Sunday, 1 March 2015

අභ්‍යන්තර පරීක්‍ෂණය


අභ්‍යන්තර පරීක්‍ෂණය

ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කොමිසම මාර්තුවේ දී ඉදිරිපත් කිරීමට තිබූ වාර්තාව සැප්තැම්බර් දක්වා කල්දමා ගත්තේ අප්‍රියෙල් මාසයෙන් පසුව පැවැත්වීමට නියමිත මැතිවරණයේ දී ජනතාව ඉදිරියේ බොරු පම්පොරි කතාවක් කීමට ය. තම විදේශ ප්‍රතිපත්තියේ නිවැරදි බව නිසා මානව අයිතිවාසිකම් කොමිසම වාර්තාව ඉදිරිපත් කිරීම කල්දැමී යැයි කීම ආණ්ඩුවේ අවශ්‍යතාව විය. එහෙත් ආණ්ඩුව ජනතාවට නොකියන කරුණු ද වෙයි. නියෝජ්‍ය විදේශ ඇමති අජිත් පෙරේරා ඒ කරුණු සැඟවීමට අසාර්ථක උත්සාහයක් දරයි. විදේශ ඇමති මංගල සමරවීර බොහෝ විට විදේශගත ව සිටීම නිසා නියෝජ්‍ය ඇමතිට වැඩ වැඩි වී ඇත. 

ආණ්ඩුව මානව අයිතිවාසිකම් කොමිසමට පොරොන්දු වී ඇත්තේ ඊනියා මානව අයිතිවාසිකම් කැඩීම් පිළිබඳ අභ්‍යන්තර පරීක්‍ෂණයක් පවත්වන බව ය. එය හුදු අභ්‍යන්තර පරීක්‍ෂණයක් නො වේ. එයට ඊනියා ජාත්‍යන්තරයේ සහාය ද ලබාගනු ඇත. දෙමළ ජාතික සංධානය තාවකාලික ව වුවත් ඊනියා අභ්‍යන්තර පරීක්‍ෂණයට කැමතිවන්නේ ඒ ජාත්‍යන්තර සාධකය හේතුවෙනි. මේ ජාත්‍යන්තර නියෝජිතයන් යනු බටහිර නියෝජිතයන් මිස වෙනත් අය නොවන බව පැහැදිලි ය. බටහිරයන් ජාත්‍යන්තරය යනුවෙන් හඳුන්වන්නේ තමන් ම ය. එසේ වුවත් විසුරුණු දෙමළ ජනයා ඒ කොන්දේසිය මත කරන ඊනියා අභ්‍යන්තර පරීක්‍ෂණයකටවත් කැමති නැත. ඔවුන්ට අවභ්‍ය පූර්ණ ජාත්‍යන්තර පරීක්‍ෂණයක් ය. 

බටහිරයෝ් ද විසුරුණු දෙමළ ජනයාගේ ඉල්ලීම ඔවුන්ට අවශ්‍ය අන්දමට යොදා ගනිති. මේ ඊනියා අභ්‍යන්තර පරීක්‍ෂණය පරණගම කොමිසම සමග පටලවා ගත යුතු නො වේ. ආණ්ඩුවේ ඇතැම්හු තමන්ට සුපුරුදු ආකාරයට ඊනියා අභ්‍යන්තර පරීක්‍ෂණය පරණගම කොමිසම වෑනි එකක් යැයි කියති. එහෙත් ඒ සම්පුර්ණයෙන් ම ජනතාව නොමග යැවීමකි. පරණගම කොමිසම බලහත්කාරයෙන් අතුරුදහන් වූ අය ගැන සෙවීමට පත්කරන ලද්දකි. එය ඊනියා මානව අයිතිවාසිකම් කඩවීම් ගැන පරීක්‍ෂණ කිරීමට පත්කළ කොමිසමක් නො වේ.

පරණගම කොමිසම ඉදිරියට පැමිණ ඇති පෙත්සම්වලින් අතිවිශාල බහුතරය කොටි සංවිධානයට විරුද්ධව ඉදිරිපත් වී ඇත. පුද්ගලයන් අතුරුදහන් කෙරුණේ කොටි සංවිධානය විසිනි. පරණගම කොමිසමට විදේශීකයෝ පත් නො කෙරුණහ. විදේශිකයෝ හුදෙක් නීති උපදෙස් ගැනීම සඳහා පමණක් වූහ. එබැවින් අතුරුදහන් වුවන් ගැන සෙවීමට පත්කළ කොමිසම ඊනියා මානව අයිතිවාසිකම් ගැන පරීක්‍ෂණ කරන විනිශ්චය මණ්ඩලයකට සමාන කළ නො හැකි ය. අභ්‍යන්තර පරීක්‍ෂණයෙන් පසු විනිශ්චයක් ලැබෙනු ඇත. ඉන්පසු ඊනියා ජාත්‍යන්තර කොමිසමකට යෑම කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණකි.  

ආණ්ඩුව වාර්තාව ඉදිරිපත් කිරීම කල්දමා ගැනීමට දකුණු අප්‍රිකානු ක්‍රමයට සත්‍යය හා සංක්‍රමණීය යුක්තිය පසිඳලීම සඳහා විශේෂ කාර්ය සාධක මණ්ඩලයක් පිහිටුවීමට ද  එකඟ වී ඇත. ජාතින් අතර සංහිඳියාව ඇතිකරන අප්‍රිකානු සත්‍ය කොමිසම් මගින් සිදු වී ඇත්තේ බහුතරය නොසලකා සුළුතරයට ආර්ථික ආධිපත්‍යයක් ලබා දීම ය. දෙමළ ජාතිවාදීන් ඉංගිරිසින්ගේ අනුග්‍රහයෙන් 1833 සිට ඉල්ලා ඇත්තේ මේ සුළුතර ආධිපත්‍ය ය. 

මහින්ද රාජපක්‍ෂ මහතා දකුණු අප්‍රිකාවෙන් එවැනි සත්‍ය කොමිසමක් පිහිටුවීමට උපදෙස් දීමට පැමිණි රැම්පෝසා ගෙදර යැවූ බව   සිහියේ තබා ගත යුතු ය. මහින්ද රාජපක්‍ෂ මහතාට එසේ කළ හැකි වූයේ පසුගිය ආණ්ඩුවේ බටහිර ගැති නොවන විදේශ ප්‍රතිපත්තිය හේතුකොට ගෙන ය. එහෙත් අද ඇත්තේ නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් යැයි කියමින් බටහිර ගැති විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කරන ආණ්ඩුවකි. ආණ්ඩුව බටහිරයන්ගේ අවශ්‍යතාව පරිදි දෙමළ ජාතිවාදයට කප්පන් දෙයි.

නලින් ද සිල්වා

2015 මාර්තු 01