History

Friday, 13 March 2015

රජිව්ට පසු මෝදි පැමිණෙයි

රජිව්ට පසු මෝදි පැමිණෙයි

අද (2015 මාර්තු 13) උදේ ඉන්දීය අගමැති ලංකාවට පැමිණියේ ය. ජනමාධ්‍ය එය වාර්තා කරන්නේ අවුරුදු 28කට පසු ඉන්දීය අගමැතිවරයකු ලංකාවට පැමිණි අවස්ථාව ලෙස ය. එහෙත් මේ ජනමාධ්‍ය අමතක කරන කරුණු දෙකක් වෙයි. පසුගිය අවස්ථාවේ ද ඉන්දිය අගමැතිවරයකු ලංකාවට පැමිණියේ එ ජා පක්‍ෂ (ජේ ආර්) යම් ආකාරයක යටත්විජිත ආණ්ඩුවක් ඇති අවස්ථාවක ය. දෙවැන්න රජිව් ගාන්ධි එදා පැමිණියේ අප මත අපකීර්තිමත් ඉන්දු ලංකා ගිවිසුම පැටවීමට බව ය. දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය, පළාත් සභා ඒ ගමනෙහි ප්‍රතිඵල විය. ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව රටේ තදබල විරෝධතාවක් පැන නැගුණු අතර එහි දී ජීවිත කිහිපයක් ද නැති විය. 


එදා රජිව් ගාන්ධි මෙරටට පැමිණියේ කලාපීය බලවතා ලෙස ය. ඒ වන විට ද ඉන්දියාව නොබැඳි විදේශ ප්‍රතිපත්තියක නොවී ය. ඒ වන විටත් බර්ලින් තාප්පය ද සෝවියට් දේශය ද පැවතිණි. එහෙත් වැවෙන්සා පාප්වහන්සේගේ ද සහායෙන් පෝලන්තයේ (එවකට සිටි පාප්වහන්සේ පෝලන්ත ජාතිකයෙක් විය) ප්‍රතිවිප්ලවය අරඹා තිබිණි. ඉන්දියාව ඇමරිකාව හා එංගලන්තය සමග සමීප සම්බන්ධතාවක් ගෙන ගියේ ය. රජිව්ගේ බිරිය සෝනියා ගාන්ධි හින්දු වූයේ දේශපාලන වශයෙනි. ඇය උපත ලැබුයේ ඉතාලියේ කතෝලික පවුලක ය. 

ලංකාව සම්බන්ධයෙන් ඉන්දියාව එවකටත් තීරණ ගත්තේ ඇමරිකාව හා එංගලන්තය සමග සාකච්ඡා කර ය. දෙමළ ජාතිවාදය එංගලන්තය විසින් නිර්මාණය කෙරුණු අතර ඉන්දියාව ද එයට සහාය දුන්නේ ය. රජිව් ගාන්ධි ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට ලංකාවට පැමිණියේ එංගලන්ත හා ඇමරිකන් නියෝජිතවරුන් සමග සාකච්ඡා කිරීමෙන් පසුව ය. රජිව්ගේ ලංකාවේ නියෝජිතයා වූ ඩික්සිත් මෙරට ආණ්ඩුකාරයා මෙන් කටයුතු කළේ ය. ඔහු ඇතැම් විට කැබිනට් රැස්වීම්වලට ද සහභාගි වූ බව මෛත්‍රිපාල නොදැන සිටියත් එවකට කැබිනට් ඇමතිවරයකු වූ රනිල් දනියි. රජිව් ගාන්ධි ලංකාවේ යටත්විජිත පාලකයා විය.

මෝදි භාරතීය ජනතා පක්‍ෂයේ ය. එහෙත් අද වන විට භාරතීය ජනතා පක්‍ෂයේ ජාතිකත්වයක් නැත. ඉන්දියාවේ ඔත්තු සේවය වූ රෝ සංවිධානයට ඇති ජාතිකත්වයක් නැත. ඔවුන්ගේ ඊනියා ජාතිකත්වය බ්‍රාහ්මණ වාංශික ආධිපත්‍යයට සීමා වෙයි. ඉන් ඔබ්බට ඔවුන්ට ඇත්තේ බටහිර සමග එක් වූ විජාතිකත්වයකි. බ්‍රාහ්මණ ආධිපත්‍යය ප්‍රසිද්ධියේ කුමක් කීවත් බෞද්ධ සංස්කෘතියට විරුද්ධ ය. මෝදි ද අද ලංකාව සම්බන්ධයෙන් කටයුතු කරන්නේ ඇමරිකාව හා එංගලන්තය සමග එක් වී ය. 

අප එදා සිට ම භාරතීය වාංශික රජවරුන්ගේ ආධිපත්‍යයෙන් ගැලවී සිටියේ අපේ ජාතිකත්වය මත පදනම් ව ය. එහි දී අපට සැමදාමත් මග පෙන්වූයේ ගැමුණු රජු ය. ගැමුණු රජු සිංහලයන්ගේ හදවත් තුල නොමැරෙන්නේත් සිංහලයන්ගේ වීරයා වන්නේත් එබැවිනි. අද අප රටේ ජාතිකත්වයක් යම් ප්‍රමාණයකට වුවත් ඇත්තේ ශ්‍රී ල නි පක්‍ෂයෙහි ය. එය ද මහින්ද රාජපක්‍ෂ නායකත්වයක් යටතේ ය. මෑත ඉතිහාසයේ මෙරට යම් ජාතිකත්වයක් වූයේ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ හා මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වය යටතේ ය. අද ජනතාව මහින්ද ඉල්ලන්නේ මේ ජාතිකත්වය වෙනුවෙනි. රනිල් සිරිසේන ආණ්ඩුවටවත්  අවස්ථාවාදයේ හා වෛරයේ සංකේතය වූ ජාතික හෙළ උරුමයටත් ඇති ජාතිකත්වයක් නැත. ජ වි පෙරමුණ එ ජා පක්‍ෂයේ තරුණ නොවන තරුණ සංවිධානය වෙයි. 

මෝදී ලංකාවට පැමිණ ඇත්තේ රජිව්ගේ ගමනේ ඊළඟ පියවර ගැනීම සඳහා ය. මහින්ද නායකත්වය යටතේ ලංකාව ස්වාධීන විය. ඉන්දියාවට අකමැත්තෙන් වුව ද ඇතැම් අවස්ථාවල, ජෙනීවාවල දී පවා, ලංකාව වෙනුවෙන් කතාකිරීමට සිදු විය. ඒ මහින්දට තිබූ සැලකිල්ල හේතුවෙනි. ඉන්දියාව චීන විරෝධී වුවත් ලංකාව චීනය සමග ආර්ථික සම්බන්ධතා ඇතිකරගන්නා විට නිහඬ පිළිවෙතක් අනුගමනය කළේ ය. දෙමළ ජාතිවාදයට කප්පන් දීමට ලංකාවට බල නොකළේ ය.

එහෙත් අද ඒ සියල්ල වෙනස් වී ඇත. අද අපට ඇත්තේ නිවට ආණ්ඩුවකි. එය බටහිරයන්ට හා ඉන්දියාවට අවශ්‍ය ආකාරයට කටයුතු කරයි. ඔවුන් පසුගිය දින හැටක පමණ කාලයෙහි කර ඇත්තේ පළිගැනීම හා වෛරය පැතිරවීම පමණකි. ඊනියා විමුක්තියක් වෙනුවෙන් නිරායුධ අහිංසක ජනයා මරා දැමූ ජ වි පෙරමුණට පළිගැනීම හා වෛරය ගැන කීමට ඇත්තේ බයිලා පමණ ය. ඒවාට වැදි බණ යැයි කීමටවත් මම අකමැත්තෙමි. 

මෝදිට අවශ්‍ය දහතුන්වැනි වයවස්ථා සංශෝධනයෙන් එහා යන වැඩ පිලිවෙළකි. අද දෙමළ ජාතිවාදී නායකයන් මෝදිගෙන් ඉල්ලන්නේ එයයි. එංගලන්තයේ ඩේවිඩ් කැමරන් මෛත්‍රිපාලගෙන් ඉල්ලුවේ ද එයයි. එමෙන් ම මෝදිට ලංකාව ලවා චීන විරෝධී ප්‍රතිපත්තියක් අනුගමනය කරවීමට ද අවශ්‍ය වෙයි. බටහිරට ද එය අවශ්‍ය වෙයි. 

ලංකාවට බටහිර යටත්විජිතවාදයේ අනුග්‍රහය ලබන කලාපීය බලවතා පැමිණ ඇත. ඔහු මෙවර ද ඉන්දු ලංකා ගිවිසුමක් අත්සන් කරනු ඇත. එහෙත් එය රජිව්ගේ ගිවිසුම මෙන් සෘජු එකක් නොවනු ඇත. අපට එහි රඟ දැනගැනීමට ඇතැම් විට ටික කලක් ගතවනු ඇත. 

නලින් ද සිල්වා

2015 මාර්තු 13