History

Thursday, 26 March 2015

චන්ද්‍රසිරි ධර්මවර්ධන මහතාගේ සූත්‍රය (විදුසර ලිපියකි)



චන්ද්‍රසිරි ධර්මවර්ධන මහතාගේ සූත්‍රය

ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතාගේ සහායට පැමිණි කැනඩාවේ ජීවත්වන පාසල් ගුරුවරයකු වූ බෝධි ධනපාල මහතා පසුගිය මාර්තු 04 වැනි දා ලියූ ලිපියෙන් තම නොදැනුවත්කම ප්‍රදර්ශනය කරයි. දැන් ධනපාල මහතාගේ සහායට ඔහුගේ ගුරුවරයකු වූ ආචාර්ය චන්ද්‍රසිරි ධර්මවර්ධන මහතා පැමිණ සිටියි. ධනපාල මහතාට පිළිතුරු දීම අපට තරමක් ප්‍රමාද කිරීමට සිදුවන්නේ ධර්මවර්ධන මහතාට ප්‍රතිචාර දැක්වීමට සිදුව ඇති බැවිනි. 


එහෙත් ධනපාල මහතා ෆෝටෝනයේ ස්කන්ධය ගැන ලියා ඇති දේ නැවතත් උපුටා දැක්වීම අවශ්‍ය වන්නේ ඔහුගේ නොදැනුවත්කම හෙළිදරවු කිරීමටත් අනවබෝධයෙන් අදහස් ප්‍රකාශ කිරීමට යැමේ දී ධනපාල මහතා විසංවාදවල හිරවීම සඳහා ඒ කදිම උදාහරණයක් ලෙස යොදාගැනීමටත් ය. එයට තවත් හේතුවක් වෙයි. ආචාර්ය චන්ද්‍රසිරි ධර්මවර්ධන මහතා තම මාර්තු 11 වැනි දින ලිපියෙන් සාකච්ඡා කරන්නේ ද ෆෝටෝනයේ ස්කන්ධය පිළිබඳව ය. ධනපාල මහතා අවුලට වැටී ඇත්තේ ධර්මවර්ධන මහතාගේ ඇතැම් අදහස් ඇතුළු තවත් අදහස් අනවබෝධයෙන් ප්‍රකාශ කිරීමට ගොස් ය. 

අශෝක අමරතුංග මහතාට මෙන් ම බෝධි ධනපාල මහතාටත් චන්ද්‍රසිරි ධර්මවර්ධන මහතාටත් අමතක වී ඇති කරුණ නම් අප සාකච්ඡා කරන්නේ බටහිර විද්‍යාව පට්ටපල් බොරු ය යන්න ය. පසුගිය 18 වැනි ද්ා ලිපියෙන් ද බටහිර විද්‍යාව පට්ටපල් බොරුය යන අදහස නැවතත් සාකච්ඡා කළෙමි. මේ මහත්වරුන්, විශේෂයෙන් ම අමරතුංග හා ධනපාල මහත්වරුන්, මේ සම්බන්ධයෙන්  අවුරුදු විසිපහකට වැඩි කාලයක් විදුසරට හා වෙනත් පුවත්පත්වලට මා විසින් ලියනු ලැබ ඇති ලිපි හා පොත් නොකියවා බටහිර විද්‍යාව පට්ටපල් බොරු නො වේ යැයි කීමට (පෙන්වීමට නොව)  ඉදිරිපත් වෙති. 

මෙහි දී වඩාත් ම බලපානුයේ දැනුමේ දැනුම, ඥානවිභාගය, පිළිබඳ මා ඉදිරිපත් කර ඇති  අදහස්, සංකල්ප හා ප්‍රචාද ය. එහි දී වැදගත් ම සංකල්පය වනුයේ චින්තනය යන්න ය. මෙය ගුණදාස අමරසේකර මහතා ඉදිරිපත් කර ඇති හුදු අදහසක් පමණක් වූ ජාතික චින්තනය සමග පටලවා ගත යුතු නො වේ. මගේ නම ද බොහෝ විට  ජාතික චින්තනය නම් වූ විසිරුණු අදහස් සමග කියැවෙන නමුත් මම අදාළ ගුරුකුලයට අයත් නො වෙමි. ධර්මවර්ධන මහතා නම් දැනට ඒ පිළිබඳ කිසිවක් කියා නැත. ඔහු ෆෝටෝනයේ ස්කන්ධය ගැන සඳහන් කරයි. එහෙත් ඒ මහතා වුව ද තේරුම් ගත යුතු කරුණ නම් ප්‍රශ්නය පැන නගින්නේ බටහිර විද්‍යාව පට්ටපල් බොරු ය යන්නෙන් බව ය. 

සාමාන්‍ය සිංහල බෞද්ධයාගේ චින්තනය සිංහල බෞද්ධ චින්තනය ය. ඔහුගේ සංස්කෘතිය සිංහල බෞද්ධ සංස්කෘතිය ය. සිංහල බෞද්ධයන්ගේ දැනුම සිංහල බෞද්ධ චින්තනය මත පදනම් වන අතර සිංහල බෞද්ධ සංස්කෘතියෙහි නිර්මාණය වෙයි. බටහිර විද්‍යාවේ චින්තනය ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි වන අතර බටහිර විද්‍යාව එම චින්තනය පදනම් කරගනිමින් යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට සාපේක්‍ෂව නිර්මාණය වෙයි. කිසිම දැනුමක් චින්තනයකින් හෝ සංස්කෘතියකින් හෝ ස්වායත්ත (ස්වාධීන) නො වේ. එමෙන් ම වත්මන් ලෝකයෙහි බොහෝ සංස්කෘතීන් ආගමක් සමග සම්බන්ධ වෙයි. එබැවින්  වත්මන් දැනුම් පද්ධතීන් යම්කිසි ආගමක් සමග බද්ධ වෙයි. 

ධර්මවර්ධන මහතාගේ ලිපිය සාකච්ඡා කිරීමට පෙර අපි ධනපාල මහතාගේ පහත සඳහන් ඡෙදය සලකා බලමු. “නලින් ද සිල්වා මහතාE=mc*2 බව සඳහන් කරමින් මෙවැනි ද්විත්වයක් නොමැති බව කියයි. සිල්වා මහතා ගේ මතය අනුව එක ම ශක්තියක් (m) ඇති මූල අංශු දෙකකට එක ම ස්කන්ධයක් (m) තිබිය යුතු ය. මෙය සම්පූර්ණයෙන් වැරැදි ය. එක ම ශක්තියක් ඇති ඉලෙක්ට්රොනයක්, ප්රොටෝනයක් (proton) සහ ෆොටෝනයක් (photon) වෙනස් ස්කන්ධයන් ඇති අංශු බව ද, ෆොටෝනයට ස්කන්ධයක් නැති බව ද අපි දනිමු. මෙවැනි නොමඟ ගිය දේ කියන සිල්වා මහතා අමරතුංග මහතාට ගැරහිය නො යුතු ය.”

මේ ඡෙදය කලින් ලිපියෙහි ද සමාන ස්කන්ධ හා සමාන ශක්ති යටතෙහි සාකච්ඡා කෙරී ඇත. එහි දී ධනපාල මහතාට ස්කන්ධ හා ශක්ති පිළිබඳ පරස්පරයකින් තොරව අදහසක් ප්‍රකාශ කිරීමට නොහැකි බව පෙන්වා දුනිමු. මා මෙහි දී අවධාරණය කරනුයේ පහත සඳහන් වැකිය ය. “එක ම ශක්තියක් ඇති ඉලෙක්ට්රොනයක්, ප්රොටෝනයක් (proton) සහ ෆොටෝනයක් (photon) වෙනස් ස්කන්ධයන් ඇති අංශු බව ද, ෆොටෝනයට ස්කන්ධයක් නැති බව ද අපි දනිමු.” සාමාන්‍ය සිහි බුද්ධියක් ඇති පාඨකයකු මේ වාක්‍යයට අනුව තේරුම් ගන්නේ කුමක් ද? ප්රෝටෝනයකට හා ෆෝටෝනයකට වෙනස් ස්කන්ධ ඇති බව කියන ධනපාල මහතා එසැණින් කියන්නේ ෆෝටෝනයකට ස්කන්ධයක් නැති බව ය. ඇතැම් විට ධනපාල මහතා අදහස් කරන්නට ඇත්තේ ෆොාටෝනයට ස්කන්ධයක් නැතැයි කීම ශූන්‍ය ස්කන්ධයක් ඇතැයි කීම විය හැකි ය. ෆෝටෝනයේ ශූන්‍ය ස්කන්ධය ප්රෝටනයේ නිශ්ශූන්‍ය ස්කන්ධයෙන් වෙනස්වන බව නම් පිළිගත හැකි ය. ධනපාල මහතාට යමක් අවබෝධ කරගැනීමෙහි ශක්තියක් නැති බවත් ඒ හේතුවෙන් ම තමන්ගේ අනවබෝධය ප්‍රකාශ කිරීමට යෑමේ දී පරස්පර අදහස් ලියන බවත් පැහැදිලි ය.  

අප දිගින් දිගට ම කියා සිටියේ ෆොාටෝනයේ නිශ්චලතා ස්කන්ධය (රඑසට මඅසස) ශූන්‍ය බව ය. එහෙත් අවස්ථිති සමුද්දේශ රාමුවක ν සංඛ්‍යාතිය ඇති ෆෝටෝනයකට hν/c*2  ස්කන්ධයක් නියම කළ හැකි බව ය. ධනපාල මහතා විරුද්ධ වන්නේ මෙතැන දී ය. ඔහුට අනුව ෆෝටෝනයක නිභ්චලතා ස්කන්ධය ගැන කතා කිරීම වැරදි ය, එමෙන් ම කිසිම රාමුවක ෆෝටෝනයකට ස්කන්ධයක් නැත, එනම් ඕනෑම සමුද්දේශ රාමුවක ෆෝටෝනයක ස්කන්ධය ශූන්‍ය වෙයි. ෆෝටෝනයකට ස්කන්ධයක් නැති බව අපි දනිමු යැයි ඔහු කියන්නේ එබැවින් ය. 

අංශුවක නිශ්චලතා ස්කන්ධය යනු කුමක් ද? විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි  නිශ්චලතා ස්කන්ධය ආදී වචන යෙදෙයි. මෙයින් කියැවෙන්නේ අංශුව නිශ්චලව පවතින සමුද්දේශ රාමුවක මැනෙන අංශුවෙහි ස්කන්ධය ය. එය සාමාන්‍යයෙන් m0 සංකේතයෙන් ප්‍රකාශ වෙයි. අවශ්‍ය නම් වෙනත් අංකනයක් වුවත් යොදාගත හැකි ය. යම් සමුද්දේශ රාමුවක අංශුව ව ප්‍රවේගයෙන් චලනය වන්නේ යැයි සිතමු. එම රාමුවේ අංශුවේ ස්කන්ධය මැනෙන්නේ ම ලෙස යැයි ද සිතමු. එවිට විශේෂ සාපේක්‍ෂතාවාදයට අනුව m=m0/(1-v*2/c*2)1/2  වෙයි. 

ෆෝටෝනයක් කිසිම අවස්ථිති සමුද්දේශ රාමුවක නිශ්චල ව නොමැති බව බටහිර භෞතික විද්‍යාවට එකඟ ය. එ අර්ථයෙන් ගතහොත් ෆෝටෝනයකට නිශ්චලතා ස්කන්ධයක් නැත. ඒ වෙනත් කිසිවක් නිසා නොව ෆෝටෝනයක් කිසිම සමුද්දේශ රාමුවක නිශ්චලතාවෙහි නොමැති බැවිනි. එහෙත් ෆෝටෝනයකට යම් අවස්ථිති සමුද්දේශ රාමුවක ස්කන්ධයක් නැතැයි එයින් නො කියැවෙයි. අනෙක් අතට ෆෝටෝනයක් කිසිම සමුද්දේශ රාමුවක නිශ්චලතාවෙහි නැතිවුවත් ෆෝටෝනයක නිශ්චලතා ස්කන්ධය ශූන්‍ය ලෙස ගැනීමේ ද වරදක් නැත. එසේ ගැනීම හා විශේෂ සාපේක්‍ෂතාවාදයෙහි අනෙක් නියම හා සූත්‍ර අතර පරස්පර (විසංවාද)  නැත. 

ක්වොන්ටම් භෞතිකයෙහි තරංග – අංශු ද්වෛතයට (ධනපාල මහතා අනුමත කරන අමරතුංග මහතාගේ ඊනියා ද්‍රව්‍ය ශක්ති ද්වෛධයක් නො වේ. මේ වන තුරු ඒ මහත්වරුන්ගෙන් එක් අයකුවත් ඒ ද්වෛධය කුමක් දැයි තේරුම් කර දී නැත) අනුව ඊනියා ලෝකය තරංග ලෙස හෝ අංශු ලෙස හෝ ග්‍රහණය කෙරෙයි. වෙනත් වචනවලින් කිවහොත් ඊනියා අංශුවල ඊනියා තරංග ගුණ ද, ඊනියා තරංගවල ඊනියා අංශු ගුණ ද වෙයි. නිව්ටන්ගේ කාලයෙහි ආලෝකය අංශු (ලවක ) ලෙස හඳුනාගෙන තිබිණි. නැතහොත් ආලෝකයට ප්‍රත්‍යක්‍ෂයක් නොවන එවැනි කතාවක් ගොතා තිබිණි. ඒ බටහිර විද්‍යාවේ ස්වභාවයට , එනම් කතන්දර ගෙතීමට එකඟ ය. පසුව තොමස් යං ආලෝකයට තරංග ගුණ ඇතැයි කී විට (එනම් ඒ කතන්දරය ගෙතූ විට) බටහිර විද්‍යාඥයෝ එය ප්‍රතික්‍ෂෙප කළහ. එහෙත් පසුව බටහිර විද්‍යාඥයෝ ආලෝකයේ තරංග ගුණ පිළිගත්හ. නැවතත් විසිවැනි සියවසේ දී බටහිර විද්‍යාඥයෝ ආලෝකයේ අංශු ගුණ පිළිගත්හ. ඒ නව අංශු කතාව නිව්ටන්ගේ අංශු කතාව ම නො වේ. එහෙත් තරංගවල (ආලෝකයෙහි) අංශු ගුණ වේ ය යන්න විසිවැනි සියවසේ ක්වොන්ටම් භෞතික විද්‍යාවෙහි කතන්දරයකි. පසුව ද බෘලි අංශුවල තරංග ගුණ ඇතැයි කතාවක් ගෙතුවේ ය. ෂ්රොඩිංගර් ඒ මත පදනම් ව තරංග යාන්ත්‍රිකය ගොඩනැගුවේ තම නමින් ඇති සමීකරණය ව්‍යුත්පන්න කරමිනි. 

මේ ඉතා කෙටියෙන් තරංගවල අංශු ගුණ ද අංශුවල තරංග ගුණ ද ඇති බව ට කියැවෙන කතන්දරය ය. ඒ අනුව ආලෝකයට අංශු ගුණ වෙයි. ඒ අංශුවලට ශක්තියක් ඇත. වෙනත් වචනවලින් කිවහොත් ආලෝකය ශක්ති පුංජ ලෙස සැලකිය හැකි ය. ශක්තියක් ඇති මේ තරංගවලට  (ෆෝටෝනවලට) අංශු ගුණ අනුව යමින් ස්කන්ධයක් නියම කෙරෙයි. ද බෘලි අංශුවලට තරංග ගුණ ඇති බව සලකමින් අංශුවකට තරංග ආයාමයක් (wave length) නියම කළේ ය. අංශුවලට තරංග ආයාම ඇති පරිදි  තරංගවලට ඉහත දැක්වූ පරිිදි hν/c*2 ස්කන්ධ වෙයි. 

ධර්මවර්ධන මහතා තම 11 වැනි දා ලිපියෙහි මෙසේ කියයි. “ශක්තිය සහ ස්කන්ධය අතර පරිවර්තන කිරිමේදී යෙදෙන නියාමය E=mc*2 බව අයින්ස්ටයින් දැක්වීය. තවද, 1920 දී සාපේක්ෂතාවාදය පිළිබඳ ජනප්රිය පොතක් ලියූ අයින්ස්ටයින් එහි E=mc*2 යන නියාමයේ එම ස්වභාවය කිහිප වරක් සඳහන් කළේ ය. ප්රසිද්ධ ප්රංශ විද්යාඥයෙක් වූ ලොන්ජෙවෑන් ද මෙය සඳහන් කරමින්, එම සූත්රය මූල අංශූවක ස්කන්ධය ගණනය කිරීමට පාවිච්චි නොකළ යුතු බව එකලාම සඳහන් කළේ ය. එසේ නම්, මූල අංශූවක ස්කන්ධය එහි ශක්තියෙන් නිගමනය කිරීමට ආධාර වන සූත්රය කුමක්දැයි පාඨකයා අසනු ඇත. මෙහිදී m=sqrt(E*2/c*4-p*2/c*2) නමැති සූත්රය පාවිච්චි කරමු. මෙහි sqrt වලින් හඳුන්වන්නේ වරහන් තුළ ඇති රාශියෙහි වර්ගමූලය ගත යුතු  බවය. මෙම සූත්රයෙහි m යනු මූල අශූවේ නිත්ය ස්කන්ධයයි. මෙහි p යනු මූල අංශූවේ ගම්යතාවයයි. ස්කන්ධය යනු වස්තුවක ශක්තියෙන් ගම්ය ශක්තියට අමතර කොටස පමණක් බව නූතන පිළිගැනීම වේ. ඉහත දැක්වූ සූත්රය අනුව ප්රොටෝනයකට කිසිවිටෙක ස්කන්ධයක් 
නොමැත.”

ඉහත දැක්වූ සූත්‍රය අනුව ප්රෝටෝනයකට කිසි විටෙක ස්කන්ධයක් නැතැයි ධර්මවර්ධන මහතා නිගමනය කරන්නේ කෙසේ ද?  ධර්මවර්ධන මහතා තම සූත්‍රයට පොඩි සූත්‍රයක් එකතු කරයි. m=sqrt(E*2/c*4-p*2/c*2) සූත්‍රහෙි m යනු කුමක් ද? මේ සූත්‍රය ඕනැම අංශුවකට පොදු සූත්‍රයකි. ධර්මවර්ධන මහතා කියන ආකාරයට m යනු මූල අංශුවේ නිත්‍ය ස්කන්ධය වෙයි. ධර්මවර්ධන මහතාගේ නිත්‍ය ස්කන්ධය යනු කුමක් ද? ඒ නිශ්චලතා ස්කන්ධය යැයි සිතමි. ඉහත සඳහන් සූත්‍රය යෙදෙන්නේ ඕනෑම ස්කන්ධයක් සඳහා නොව නිශ්චලතා ස්කන්ධය සඳහා ය. එය සාමාන්‍යයෙන් ලියන්නේ m0=sqrt(E*2/c*4-p*2/c*2) ආකාරයෙනි.  මෙහි m0 යනු නිශ්චලතා ස්කන්ධය ය. එම සූත්‍රයෙන් ගම්‍යවන්නේ ෆෝටෝනයක නිශ්චලතා ස්කන්ධය ශූන්‍ය බව ය. ඒ E=pc ලෙස ගැනීමෙනි. ෆෝටෝනවලට E=pc වලංගු වෙයි.  අපි ලබන සතියෙහි මෙය තවදුරටත් විග්‍රහ කරමු.     

නලින් ද සිල්වා

2015 මාර්තු 25