History

Tuesday, 3 March 2015

රාජිතට අනුව මෛත්‍රිපාල අගමැති අපේක්‍ෂක

රාජිතට අනුව මෛත්‍රිපාල අගමැති අපේක්‍ෂක 

අද මෙරට දේශපාලනය ක්‍රියාත්මක වන්නේ එක කරුණක් මත ය. මහින්ද රාජපක්‍ෂ දේශපාලනයෙන් ඉවත් කරන්නේ ද නැද්ද යන්න ඒ කරුණ වෙයි. 2009 නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසුව මේ කරුණ කරළියට පැමිණියේ ය. ඊනියා රාජපක්‍ෂ රෙජිමය පැන්නීම බටහිරයන්ගේ ඉන්දියානුවන්ගේ හා ඔවුන්ගේ මෙරට ඉත්තන්ගේ හා ඒජන්තයන්ගේ ව්‍යාපෘතිය බවට පත්විය.
මේ සියල්ලන්ට තිබුණේ ප්‍රශ්න දෙකකි. එකක් බටහිර ගැති විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය නොකර බටහිරයන්ගේ අණට අවනත නොවී මහින්ද රාජපක්‍ෂගේ දොශපාලන නායකත්වයෙන් දෙමළ ත්‍රස්තවාදය පැරදවීම ය. දෙවැන්න වූයේ එලෙස ම බටහිර ගැති විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය නොකර චීනය සමග ආර්ථික සම්බන්ධතා ඇතිකර ගැනීම ය. 

මෙරට සිටින බටහිර හා ඉන්දීය ඔත්තුසේවා ක්‍රියාත්මක විය. දූෂණය, භී’ෂණය, ඥාති සංග්‍රහ, ලැම්බොගිනි, මාධ්‍ය නිදහස ආදිය දේශපාලන මාතෘකා බවට පත්විය. එහෙත් එ ජා ප ආණ්ඩු, චන්ද්‍රිකා ආණ්ඩුව යටතේ වූ දූෂණ, භීෂණ, මාධ්‍ය නිදහස නැතිවීම, මිනී මැරුම්, අමතක කරනු ලැබිණි. ඊනියා යහපාලනය, සාධාරණ සමාජය, පිවිතුරු හෙටක් ආදිය කතාවට ගනු ලැබිණි. දෙමළ ත්‍රස්තවාදය පරාජය කිරීම අමතක කෙරිණි. කොළඹ හා වෙනත් ප්‍රදේශවල බෝම්බ පිපිරීම්, අරන්තලාව, ශ්‍රි මහා බෝධින් වහන්සේ හා දළදා මාළිගාව අසළ කෙරුණු මිනීමැරුම් ආදිය දේශපාලන සාකච්ඡාවෙන් පිටත තැබීමට ජනමාධ්‍ය සමත් විය. අවාසනාවකට සංධානයේ ජනාධිපතිවරණ ව්‍යාපාරය මෙහෙයවූවෝ ද අවසන් සතිය වන තෙක් ම ඒ මාතෘකා අමතක කළහ. රටේ ඒකීය භාවය, ස්වෛරීභාවය, බෙදුම්වාදය , දෙමළ ජාතිවාදය දේශපාලන සාකච්ඡාවෙන් පිට වෙද්දී ඊනියා යහපාලනය ප්‍රධාන මාතෘකාව බවට පත්විය. ජනතාව, විශේෂයෙන් ම සයිබර් අවකාශයේ සැරිසරණ තරුණයෝ මුළා කරනු ලැබූහ. 

මහින්ද රාජපක්‍ෂට විරුද්ධව ඊනියා පොදු අපේක්‍ෂකයකු තෝරා ගැනීමට සිදු වූයේ යහපාලන කතා රනිල්ට මහින්ද පරාජය කිරීමට ප්‍රමාණවත් නොවීම හේතුකොට ගෙන ය. කරු ජයසූරිය, නිමල් සිරිපාල, මෛත්‍රිපාල සිරිසේන යන තිදෙනා අතරෙන් ඔත්තු සේවාවල ද මැදිහත් විමෙන් පසු මෛත්‍රිපාල ඊනියා පොදු අපේක්‍ෂකයා ලෙස තෝරා ගැනිණි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්විය. එහෙත් ඒ ගැන විවිධ අය විවිධ කතා කීහ. ඇතැමුන් කීවේ විධායක ජනාධිපතිධුරයේ ඇතැම් බලතල කප්පාදු කළ යුතු බව ය. එහෙත් මේ කප්පාදු කළ යුත්තේ කුමන බලතල ද යන්න පැහැදිලි ව ප්‍රකාශ නො විණි. ඒ සියල්ල විවෘත ව තිබුණේ ජනාධිපතිවරණයෙන් පසු තමන්ට රුචි දෙයක් කිරීමට ය.  

මහින්ද පරාජය කෙරිණි. එහෙත් ඔහු තවමත් ජනතාව ආකර්ෂණය කරයි. අද සියළු විජාතික (දේශීය හා විදේශීය) බලවේගවලට අවශ්‍ය වී ඇත්තේ මහින්ද රාජපක්‍ෂ දේශපාලන බිමෙන් එළවා දැමීමට ය. මහින්ද අගමැති අපේක්‍ෂක කළ යුතු යැයි ජනතාවගෙන් හඬක් නැගෙයි. ඒ හඬ දිනෙන් දින වැඩිවෙයි. ශ්‍රී ල න ි පක්‍ෂයේ මෛත්‍රිපාල, රාජිත වැනි කැබිනට් ඇමතිකම් දරන්නන්ට ද ආණ්ඩුවේ විපක්‍ෂ නායක ඇතුළු ශ්‍රී ල නි ප අනෙක් ඉහළ නායකයන්ට ද ඒ හඬ කන් බිහිරි කරන හඬක් බවට පත් වී ඇත. 

අද විජාතික බලවේගවලට එය ප්‍රශ්නයක් වී ඇත. මහින්ද අගමැති අපේක්‍ෂකයා නොකර සිටින්නේ කෙසේ ද? එයට පිළිතුරක් ඇත. එය විජාතිකයන්ගේ සැලැස්මෙහි මුළ සිට ම තිබෙන්නට ඇතැයි සිතෙයි. ඒ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර හෝ එහි බලතල කප්පාදු කර ඒ අගමැතිට පැවරීමත්, ඉන්පසු මෛත්‍රිපාල ජනාධිපති ධුරයෙන් අස් වී අගමැති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් වීමත් ය. අගමැති අපේක්‍ෂකයකු යනුවෙන් අයකු නැතැයි අද කියන සුසිල් ප්‍රේම්ජයන්තලා එදින කියනු ඇත්තේ අගමැති අපේක්‍ෂක මෛත්‍රිපාල නිසා වෙනත් අයකුට අවස්ථාවක් නැති බව ය. ඔවුන් ඒ කීමට පෙර ශ්‍රී ල නි ප මධ්‍යම කාරක සභාව ලවා මෛත්‍රිපාල සිරිසේන අගමැති අපේක්‍ෂක ලෙස පත්කර ගනු ඇත. මෙරට ජාතික බලවේග රාජිත පසුගිය දා මෛත්‍රිපාල අගමැති අපේක්‍ෂක ලෙස පත්කර ගන්නා බවට කරන ලද ප්‍රකාශය සුළුවෙන් ගත යුතු නො වේ. ඔවුන්ට ද මේ පිලිබඳ සැලැස්මක් තිබිය යුතු ය. විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින් ම අහොසි කිරීම හෝ වැදගත් බලතල කපා දැමීම හෝ දෙමළ ජාතිවාදයට උඩගෙඩි දීමක් බව ද අමතක නොකළ යුතු ය. 

නලින් ද සිල්වා

2015 මාර්තු 03