History

Friday, 24 April 2015

ශ්‍රී ල නි පක්‍ෂය ප්‍රමුඛ සංධානය 19 ට පක්‍ෂව ඡන්දය නොදිය යුත්තේ ඇයි?

ශ්‍රී ල නි පක්‍ෂය ප්‍රමුඛ සංධානය 19 ට පක්‍ෂව ඡන්දය නොදිය යුත්තේ ඇයි?

ශ්‍රී ල නි පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂව ඡන්දය දීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි. සෝලංගආරච්චි, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ආදීන්ගෙන් සමන්විත මධ්‍යම කාරක සභාවක් මෛත්‍රිපාල සිරිසේනට අවශ්‍ය තීරණ ගැනීම ගැන අපි පුදුම නො වෙමු. එහෙත් ඒ තීරණය වෙනස් කිරීමේ හැකියාව ශ්‍රී ල නි පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට වෙයි. එසේ වෙනස් නොකළහොත් ශ්‍රී ල නි පක්‍ෂයට තව අවුරුදු පහළොවකට බලයට පැමිණීමට නොහැකි වනු ඇත.


අද පැහැදිලිව ම රනිල් බටහිර රටවල හා ඉන්දියාවේ සහය ඇතිව තම බලය තහවුරු කරගනිමින් සිටියි. මෛත්‍රිපාල එයට අකමැති වුවත් ඔහුට කරන්නට දෙයක් නැත. ඔහු කරන්නේ රාජපක්‍ෂලාගෙන් පළිගැනීම ය. ශ්‍රී ල නි පක්‍ෂය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහය දෙන්නේ රාජපක්‍ෂලා පෝලිමේ අත්අඩංගුවට ගැනීමට සැලැස්මක් තිබෙන විට ද? අද සබරගමුව ආණ්ඩුකාර මාෂල් පෙරේරාගේ පුත් සිංහල විරෝධී ඩිලාන් පෙරේරා ඇමතිවරයකු ලෙස පවසන්නේ ගෝඨභය රාජපක්‍ෂ ජාතිවාදියකු බව ය. ශ්‍රී ල නි පක්‍ෂය හසුරුවන්නේ ඩිලාන්ලා රාජිතලා වැනි අය වීම එහි සමස්ත ලංකා කාරක සභාව තවදුරටත් ඉවසන්නේ ද?  

ශ්‍රී ල නි ප ප්‍රමුඛ සංධානය පහත සඳහන් කරුණු ද සැලකිල්ලට ගෙන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂව ඡන්දය නොදිය යුතු ය. එහි ඇති ප්‍රජාතන්ත්‍රවාදයක් නැති බව මන්ත්‍රීවරුන් තේරුම් ගත යුතු ය.    

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරකින් ගෙනෙන සිංහල විරෝධී ඒකාධිපති සංශෝධනයකි.

මෙහි අරමුණ විධායක ජනාධිපති බලතල කප්පාදු කර විධායක අගමැතිවරයකු ඇති කිරීම මිස පා ර්ලිමේන්තුවට බලය පැවරීම නො වේ. 

අද රනිල් මෙයට එකඟ වන්නේ ඔහුට  කිසි දිනෙක ජනාධිපතිවරණයකින් විධායක ජනාධිපති විය නොහැකි බැවිනි. ඒ බව බටහිර ද ඉන්දියාව ද දනියි. 2005 දී පැරදුණු ඔහු ඉන්පසු දෙවතාවක් ම ඊනියා පොදු අපේක්‍ෂකයන්ට ඉඩ දුන්නේ ය.

එබැවින් ජනාධිපති වීමට නොහැකි ඔහුට අවශ්‍ය අගමැති වී විධායක බලතල ලබාගැනීම ය

අද කෙසේවත් ඔහු නීත්‍යානුකූල අගමැති නො වේ. ඔහු අගමැතිකම පික්පොකට් ගැසූවෙකි. එවැන්නකුට විධායක බලතල දීම වඩාත් භයානක ය. 

ඔහුගේ අභිප්‍රාය මුල් සංශෝධනයෙන් පැහැදිලි විය. ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් ඇතැම් වගන්ති ජනමත විචාරණයකට ලක්කිරීමට නියෝග නොකරන්නට ඔහු ඒ සියළු බලතල හිමිකර ගනු ඇත.

මෙරට  ඒකීය භාවය අද රඳා ඇත්තේ විධායක ජනාධිපති ධුරය මත ය. මුළු රට ම එකතු වී එක් ඡන්ද කොට්ඨාශයක් බවට පත්වී ඡන්දය ප්‍රකාශ කරන්නේ ජනාධිපතිවරණයෙහි දී පමණ ය. 

කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකි වූයේ විධායක ජනාධිපති ධුරයට හිමි බලතල යොදා ගැනීමෙනි. දෙමළ ජාතිවාදය තවමත් පරාජය වී නැත. ඒ පරාජය කරන තෙක් ජනාධිපති ධුරයේ විධායක බලතල තිබිය යුතු ය.

අනෙක් අතට පළාත්සභා ක්‍රියාත්මක වන්නේ සන්ධීය (ෆෙඩරල්) රාජ්‍යයක් දෙසට ය. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඉඩම් පොලිස් බලතල ආදිය පළාත්සභාවලට අහිමි නොකර විධායක  ජනාධිපති ධුරයේ බලතල කප්පාදු කිරීම සන්ධීය රාජ්‍යයකට අත වැනීමකි. දෙමළ ජාතිවාදයට හා බෙදුම්වාදයට උඩගෙඩි දීමකි.

විධායක ජනාධිපති ධුරයේ බලතල කප්පාදු කිරීමට වඩාත් අවශ්‍ය දෙමළ ජාතිවාදීන්ට, බටහිරයන්ට හා ඉන්දියාවට (13 වැනි සංශෝධනයෙහි නිර්මාතෘවරුන්ට), ඊනියා රාජ්‍ය නොවන සංවිධානවලට හා සරසවි ඇදුරන් කිහිප දෙනකුට ය. මාදුළුවාවේ සෝභිත හිමි ඉත්තකු (ඉත්තෑ වහන්සේ නමක)පමණ ය.   

අද කියාත්මක වන මැතිවරණ ක්‍රමය දූෂණ හා මැරබලය තහවුරු කරයි. පළමුව ඒ වෙනස් කළ යුතු ය. සමානුපාතික හා කේවල මිශ්‍ර ක්‍රමයක් සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් පළමුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු ය. 

ඒ සංශෝධනය පසුව ඉදිරිපත් කිරීමේ ඊනියා පොරොන්දුවක් මත 19ට පක්‍ෂව ඡන්දය දිය හැකි නො වේ. දෙන්නම් කාසිවලට කටයුතු කිරීමට ජනතාවගේ නියෝජිතයන්ට ජනතාව බලය දී නැත.  

නලින් ද සිල්වා

2015 අප්‍රේල් 24