History

Wednesday, 15 April 2015

බහුමැතිවරණ බල ප්‍රදේශ එපා

බහුමැතිවරණ බල ප්‍රදේශ එපා

මැතිවරණ කොමසාර්ස් හෙවත් මැකො විසින් ඉදිරිපත් කරන ලද අදහසක් ක්‍රියාවට නංවමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 225 දෙනකුගේ සිට 250 දක්වා වැඩි කිරීමට ශ්‍රී ල නි පක්‍ෂය යෝජනා කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි. මේ වාර්තා අනුව ම කටයුතු සිදු නොවන බව අපි දනිමු. එහෙත් ඒ අදහස පිටුපස ඇත්තේ කුමක් දැයි අප විශ්ලේෂණය කළ යුතු ය. බොහෝ විට සාකච්ඡාවකින් තොරව ම ඇතැම් යෝජනා සම්මත වීමට ඉඩ ඇත. 


මෙරට ඇත්තේ එක ම එක ප්‍රශ්නයකි. ඒ සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන නො දීම ය. මෙය 1833ට පෙර සිට ම දක්නට ලැබෙන තත්ත්වයක් වුවත් ප්‍රශ්නය අද තිබෙන ආකාරයෙන් ඉංගිරිසින් විසින් බෞතීස්ම කරනු ලැබුයේ ඒ වසරෙහි දී ය. එහි දේශපාලන ස්වරුපය වූයේ 1833 දී ඇතිකරනු ලැබූ ව්‍යවස්ථාදායක සභාවේ සිංහල මන්ත්‍රීන් සංඛ්‍යාව දෙමළ මන්ත්‍රීන් සංඛ්‍යාවට සමාන කිරීම ය. හැකිනම් සිංහල මන්ත්‍රීන් සංඛ්‍යාව දෙමළ මන්ත්‍රින් සංඛ්‍යාවට අඩුකිරීමේ වෑයමක් ද ඒ ඒ කාලවල විය.  

ව්‍යවස්ථාදායක සභාවේ එසේ වන අතර ආණ්ඩුවේ නිලතල බෙදීම, අධ්‍යාපනය, වරප්‍රසද ලබාදීම ආදිය සම්බන්ධයෙන් ද සිංහල බෞද්ධයනට හිමි තැන ලබා නොදීමට ඉංගිරිසිහු ක්‍රියා කළහ. සිංහලයන්ට වෙළෙඳාම හැමදාමත් ප්‍රශ්නයක් විය. විශේෂයෙන් ම තොග වෙළෙඳාම සිංහලයන්ට අහිමි විය. ඉංගිරිසින්ගේ උත්සාහය වූයේ බර්ගර්වරුන්ගෙන් පසුව මෙරට සෑම ක්‍ෂෙත්‍රයක ම නායකත්වය සිංහලයන්ට, විශේෂයෙන් ම සිංහල බෞද්ධයනට අහිමි කර දෙමළ ජනයාට ලබාදීම ය.

1931 සර්වජන ඡන්දය දීමෙන් පසුව මේ තත්ත්වය තරමක් වෙනස් වීමට පටන් ගත්තේ ය. ඒ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සිංහල මන්ත්‍රි සංඛ්‍යාව වැඩිවීම නිසා ය. සිංහල ජනයා බහුතරය වූ විට මන්ත්‍රීන් සංඛ්‍යාව ද සමානුපාතික ව වැඩි විය යුතු ය. එහෙත් ජී ජී පොන්නම්බලම් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දිගින් දිගට ම උත්සාහ කළේ තම පනහට පනහ ඉල්ලීම මගින් සිංහල මන්ත්‍රී සංඛ්‍යාව සියයට පනහෙන් පහතට දැමීමට ය. එය ඉංගිරිසින් විසින් බෞතීස්ම කරනු ලැබූ දෙමළ ජාතිවාදයේ අවශ්‍යතාව විය. 

ඉන්පසු සෝල්බරි කොමිසම ලංකාවට පැමිණි විට දෙමළ නායකයන් එය ඉදිරියට ගොස් කියා සිටියේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව සකස් කළ යුත්තේ සිංහල මන්ත්‍රී සංඛ්‍යාව අඩුවන ලෙසට බව ය. එහෙත් සෝල්බරි කියා සිටියේ ස්වාභාවික බහුතරයක් උපාමාරුවලින් සුළුතරයක් බවට පත්කිරීමට නො හැකි බව ය. එහෙත් පාර්ලිමේන්තු මැතිවරණ සඳහා බහු මන්ත්‍රී ආසන ඇති කිරීමට ඔහු කටයුතු කළේ ය. ඒ අනුව දෙමළ මුස්ලිම් මන්ත්‍රීන් යම් සංඛ්‍යාවක් වැඩිපුර පාර්ලිමේන්තුවට එවීමට ඔහු සමත් විය. 

මැකො කිනම් පදනමකින් තම අදහස ඉදිරිපත් කළේ දැයි අපි නො දනිමු. බහු මන්ත්‍රී ආසන හෙවත් බල ප්‍රදේශ ඔහුගේ අදහසක් නොවිය හැකි ය. කෙසේ වුවත් බහු මන්ත්‍රි ආසන හෙවත් බල ප්‍රදේශ ඇති කෙරෙන්නේ පාර්ලිමේන්තුවේ දෙමළ මුස්ලිම් මන්ත්‍රින් සංඛ්‍යාව වැඩි කිරීමට මිස අඩු කිරීමට නො වේ. මෙය කෘත්‍රිම ව ස්වභාව ධර්මයට පටහැණිව කෙරෙන්නක් බව පැහැදිලි ය. අද ඊනියා ජාතික විධායක සභාවේ සංයුතිය ද සකස් වී ඇත්තේ සිංහල ජාතිකත්වයට විරුද්ධවන්නන් බහුතරයක් වන ලෙස ය. වික්‍රමබාහුලා මනෝ ගනේෂන්ලා ඒ බව දනිති.

මන්ත්‍රි සංඛ්‍යාව තීරණය කිරීමේ තවත් පැත්තක් ද වෙයි. එය අද ද ක්‍රියාත්මක වෙයි. උතුරු පළාතේ මැතිවරණ බල ප්‍රදේශ වෙන් කෙරෙන්නේ ජනගහනයෙන් පනස්දහකට හෝ අඩු ප්‍රමාණයකට හෝ මන්ත්‍රි ආසනයක් ලැබෙන පරිදි ය. එහෙත් බස්නාහිර පළාතේ මැතිවරණ බල ප්‍රදේශ වෙන් කෙරෙන්නෙ ජනගහනයෙන්් ලක්‍ෂයකට පමණ එක් මන්ත්‍රීවරයකු ලැබෙන පරිදි ය. මෙහි ඇති ප්‍රජාත්ත්‍රවාදය කුමක් ද? මේ සංඛ්‍යා ලේඛන නිවැරදි නොවිය හැකි ය. එහෙත් තර්කයේ හරයට එය බාධාවක් නො වේ. 

කෘත්‍රිම ආකාරයකට සිංහල මන්ත්‍රින් සංඛ්‍යාව අඩුකිරීමට ගන්නා වෑයම පරාජය කළ යුතු ය. බටහිරයන්ගේ ද ඉන්දියයන්ගේ ද අනුග්‍රහය යටතේ දෙමළ ජාතිවාදය හා මුස්ලිම් අන්තවාදය විසින් සිංහලයන්ට එරෙහිව නොයෙකුත් ක්‍රියාමාර්ග ගනු ලැබුව ද ලෝකයේ සුළුතරයට වඩාත්ම වරප්‍රසාද දෙන රටක් වී ඇත්තේ ලංකාව ය.     

නලින් ද සිල්වා

20015 අප්‍රේල් 15