History

Tuesday, 28 April 2015

මහින්ද රාජපක්‍ෂ වහාම ප්‍රකාශයක් කළ යුතු ය

මහින්ද රාජපක්‍ෂ වහාම ප්‍රකාශයක් කළ යුතු ය

දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය අද (අප්‍රේල්  28) අවසන් වි සවස හයට පමණ ඒ පිළිබඳ ඡන්දය විමසීමට නියමිත ය. මෙම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ව අප බොහෝ දේ ලියා ඇත. සම්මන්ත්‍රණ හා පුවත්පත් සාකච්ඡා පවත්වා ඇත. එහෙත් දෙරණ ද ඇතුලු කිසිම විද්‍යුත් මාධ්‍යයක ඒ පිළිබඳ ප්‍රචාරයක් ලබා නො දිණි.


විපක්‍ෂයේ පක්‍ෂවල නායක දේශපාලනඥයන් අතරෙන් ප්‍රශ්නය ගැන දැඩි උනන්දුවකින් කටයුතු කෙළේ, කරන්නේ දිනේෂ් ගුණවර්ධන පමණ ය. මාධ්‍ය සාකච්ඡාවලට පැමිණි බොහෝ උගතුන් දහනවවැනි සංශෝධනය කියවා නො තිබිණි. දේශපාලනඥයන් ගැන කියනුම කවරේ ද? අප විසින් විවිධ අවස්ථාවල දී ඉදිරිපත් කෙරුණු කරුණු මෙසේ සාරංශ කළ හැකි ය. 

ශ්‍රී ල නි ප ප්‍රමුඛ සංධානය පහත සඳහන් කරුණු ද සැලකිල්ලට ගෙන 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට පක්‍ෂව ඡන්දය නොදිය යුතු ය. එහි ඇති ප්‍රජාතන්ත්‍රවාදයක් නැති බව මන්ත්‍රීවරුන් තේරුම් ගත යුතු ය.    

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරකින් ගෙනෙන සිංහල විරෝධී ඒකාධිපති සංශෝධනයකි.

මෙහි අරමුණ විධායක ජනාධිපති බලතල කප්පාදු කර විධායක අගමැතිවරයකු ඇති කිරීම මිස පා ර්ලිමේන්තුවට බලය පැවරීම නො වේ. 

අද රනිල් මෙයට එකඟ වන්නේ ඔහුට  කිසි දිනෙක ජනාධිපතිවරණයකින් විධායක ජනාධිපති විය නොහැකි බැවිනි. ඒ බව බටහිර ද ඉන්දියාව ද දනියි. 2005 දී පැරදුණු ඔහු ඉන්පසු දෙවතාවක් ම ඊනියා පොදු අපේක්‍ෂකයන්ට ඉඩ දුන්නේ ය.

එබැවින් ජනාධිපති වීමට නොහැකි ඔහුට අවශ්‍ය අගමැති වී විධායක බලතල ලබාගැනීම ය

අද කෙසේවත් ඔහු නීත්‍යානුකූල අගමැති නො වේ. ඔහු අගමැතිකම පික්පොකට් ගැසූවෙකි. එවැන්නකුට විධායක බලතල දීම වඩාත් භයානක ය. 

ඔහුගේ අභිප්‍රාය මුල් සංශෝධනයෙන් පැහැදිලි විය. ශ්‍රෙෂ්ඨාධිකරණයෙන් ඇතැම් වගන්ති ජනමත විචාරණයකට ලක්කිරීමට නියෝග නොකරන්නට ඔහු ඒ සියළු බලතල හිමිකර ගනු ඇත. ජනමාධ්‍ය සම්බන්ධ ඒකාධිපති සංශෝධන ඉවත්කර ගත්ත ද ඔහුගේ අභිප්‍රාය පැහැදිලි ය.

මෙය ඉදිරිපත් කෙරෙන්නේ සොභිත හිමියන් පවසන පරිදි මෛත්‍රිපාල ස්වකැමැත්තෙන් විධායක බලතල අත්හැරීමට සූදානම් නිසා නො වේ. ඔහුට එය නොකර බැරි ය. ඔහුට ඊනියා පොදු අපේක්‍ෂකත්වය ලැබුණේ යම් ගනුදෙනුවක ප්‍රතිඵල ලෙස ය. ඒ ගනුදෙනුවට අනුව විධායක බලතල අගමැතිට හිමිකර දිය යුතු ය. අද සිදුවන්නේ ඒ ගනුදෙනුව ය. 

මෛත්‍රිපාල බලලෝභී නොවන දේශපාලනඥයෙක් නො වේ. ඔහු බලලෝභී නොවන්නකු නොවන බව පෙන්නුම් කෙරෙන්නේ ඔහු අගමැති වීමට ඇල්ලූ පොරයෙනි. ඒ පොරය නිමල් සිරිපාල ද සිල්වා සමග විය. මෛත්‍රිපාල සියල්ල අත්හැරීමට සූදානම් බෝසතකු නම් කළ යුතුව තිබුණේ ශ්‍රී ල නි පක්‍ෂයේ ප්‍රගතිය සඳහා අගමැති පොරයෙන් ඉවත්වීම ය. එහෙත් ඔහු එසේ නො කෙළේ ය. 

තමාට අගමැතිකම නොලැබීමේ පළිය ගැනීමට ඔහු විවිධ ඔත්තු සේවාවල අනුග්‍රහයෙන් රනිල් සමග එකතු විය. රනිල් අගමැතිකම පික්පොකට් ගැසීම සඳහා මෛත්‍රිපාල යොදා ගත්තේ ය.  රනිල්ට අවශ්‍ය වූයේ අගමැතිකම පික්පොකට් ගසා විධායක බලතල තම අතට ගැනීම ය. 

ඕනෑම පනතක සංක්‍රමණීය විධිවිධාන වැදගත් වෙයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ 54 (අ) වැනි වගන්තිය අනුව එය සම්මත වුහොත් එසේ සම්මත වීමෙන් පසු දිනයේ සිට ද  සිටින ජනාධිපති හා අගමැති ඒ තනතුරුවල රැඳී සිටිති. එහෙත් ඇමතිවරුන් සම්බන්ධයෙන් එවැන්නක් නො කියැවෙයි. ජනාධිපති රැඳී සිටීම තේරුම් ගත හැකි ය. නැවත ජනාධිපතිවරණයක් පැවැත්වීමට අද නො හැකි ය. එහෙත් අගමැති දිගින් දිගට ම රැඳී සිටිය යුත්තේ ඇයි? 

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ 42 (4) වගන්තිය අනුව ජනාධිපතිට තමන්ගේ අදහස අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය දිනාගත හැකි පුද්ගලයා අගමැති ලෙස පත්කළ හැකි ය. 

රනිල්ට පැහැදිලිව ම මෛත්‍රිපාල ගැන විශ්වාසයක් නැත. මෛත්‍රිපාල ජනවාරි 9 වැනි දා තමන් අගමැති ලෙස පත්කළ ආකාරයට ම සංශෝධනයෙන් පසු වෙනත් අයකු අගමැති ලෙස පත්කිරීමට ඉඩ ඇති බව රනිල් දනියි. එබැවින් එවැන්නකට ඉඩ නොතබා  සංක්‍රමණීය විධිවිධාන මගින් තමන් මෛත්‍රිපාලගේ ආධාරයෙන් පික්පොකට් ගැසූ අගමැති ධුරය නීත්‍යානුකූල කරගැනීමට රනිල් කටයුතු කර ඇත. 

ශ්‍රී ල නි පක්‍ෂය කළ යුතුව ඇත්තේ ඉතා පෞද්ගලික හා ජනවාර්ගික හේතු මත ඉදිරිපත් කරන 19 වැනි සංශෝධනයට පක්‍ෂ නො වීම ය. අඩුම වශයෙන් ඔවුන්ට සංශෝධන දෙකක් ඉදිරිපත් කළ හැකි ය. එකක් 54 වැනි වගන්තියේ අගමැති ධුරය යන්න ඉවත්කිරීම ය. දෙවැන්න පාරිලිමේන්තුවට අගමැති තේරීමේ බලය පැවරෙන  ලෙස 42 (4) වගන්තිය සංශෝධනය කිරීම ය. ඒ සංශෝධන සම්මත වුවහොත් ජනාධිපතිට නොව පාර්ලිමේන්තුවට අඩුම තරමෙන් අගමැති තේරීමේ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී බලයවත් හිමිවනු ඇත. 

මෙරට  ඒකීය භාවය අද රඳා ඇත්තේ විධායක ජනාධිපති ධුරය මත ය. මුළු රට ම එකතු වී එක් ඡන්ද කොට්ඨාශයක් බවට පත්වී ඡන්දය ප්‍රකාශ කරන්නේ ජනාධිපතිවරණයෙහි දී පමණ ය. 

කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට හැකි වූයේ විධායක ජනාධිපති ධුරයට හිමි බලතල යොදා ගැනීමෙනි. දෙමළ ජාතිවාදය තවමත් පරාජය වී නැත. ඒ පරාජය කරන තෙක් ජනාධිපති ධුරයේ විධායක බලතල තිබිය යුතු ය.

අනෙක් අතට පළාත්සභා ක්‍රියාත්මක වන්නේ සන්ධීය (ෆෙඩරල්) රාජ්‍යයක් දෙසට ය. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඉඩම් පොලිස් බලතල ආදිය පළාත්සභාවලට අහිමි නොකර විධායක  ජනාධිපති ධුරයේ බලතල කප්පාදු කිරීම සන්ධීය රාජ්‍යයකට අත වැනීමකි. දෙමළ ජාතිවාදයට හා බෙදුම්වාදයට උඩගෙඩි දීමකි.

විධායක ජනාධිපති ධුරයේ බලතල කප්පාදු කිරීමට වඩාත් අවශ්‍ය දෙමළ ජාතිවාදීන්ට, බටහිරයන්ට හා ඉන්දියාවට (13 වැනි සංශෝධනයෙහි නිර්මාතෘවරුන්ට), ඊනියා රාජ්‍ය නොවන සංවිධානවලට හා සරසවි ඇදුරන් කිහිප දෙනකුට ය. මාදුළුවාවේ සෝභිත හිමි ඉත්තකු පමණ ය.   

දහනවවැනි සංශෝධනය අනුව පත්කිරීමට නියමිත ව්‍යවස්ථා සභාවේ සංයුතිය සිංහලයන්ට අහිතකර ය. එහි අඩුම තරමෙන් 70%ක් සිංහල විය යුතු බව සඳහන් විය යුතු ය. මේ ව්‍යවස්ථා සභාව මගින් දෙමළ ජාතිවාදය බෞතීස්ම කරනු ලැබූ 1833ට අපි ආපසු යමු. එහි සිංහලයන් වෙනුවෙන් ද දෙමළ ජනයා වෙනුවෙන් ද එක් මන්ත්‍රීවරයකු බැගින් පත් කෙරුණේ සිංහලයන්ගේ ඉතිහාසය, ජනගහන ව්‍යාප්තිය ආදිය නොසලකමිනි.

ඊනියා ස්වාධීන කොමිෂන් සභාවල සභාපතිවරු මේ ව්‍යවස්ථාදායක සභාව විසින් පත්කෙරෙති. ස්වාධීන කොමිෂන් සභා යනුවෙන් සභා ලංකාවේ නම් නැත. මේ ව්‍යවස්ථා සභාවෙන් පත්කෙරෙන සභාපතිවරු කෙසේ ක්‍රියාකරනු ඇත් දැයි අපට සිතාගත හැකි ය. මේ සභා, දූෂණ සුජාත කිරීම සඳහා පමණ  ය.

අද කියාත්මක වන මැතිවරණ ක්‍රමය දූෂණ හා මැරබලය තහවුරු කරයි. පළමුව ඒ වෙනස් කළ යුතු ය. සමානුපාතික හා කේවල මිශ්‍ර ක්‍රමයක් සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් පළමුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු ය. 

ඒ සංශෝධනය පසුව ඉදිරිපත් කිරීමේ ඊනියා පොරොන්දුවක් මත 19ට පක්‍ෂව ඡන්දය දිය හැකි නො වේ. දෙන්නම් කාසිවලට කටයුතු කිරීමට ජනතාවගේ නියෝජිතයන්ට ජනතාව බලය දී නැත.  

දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය පරාජය කිරීම සඳහා දිනේෂ් ගුණවර්ධන  හා ශ්‍රී ල නි ප කිහිප දෙනකු ගෙන යන සටනට ආධාර පිණිස මහින්ද රාජපක්‍ෂ වහාම සංශෝධනයට විරුද්ධත්වය පාමින් ප්‍රකාශයක් කළ යුතු ය. 

නලින් ද සිල්වා

2015 අප්‍රේල් 28