History

Friday, 29 May 2015

මෙරට සිංහල බෞද්ධ නො වේ

මෙරට සිංහල බෞද්ධ නො වේ

දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ පිහිටුවීමට යන ව්‍යවස්ථාදායක සභාව සිංහල බෞද්ධ නොවන බව අපි කල් ඇතිව ම ප්‍රකාශ කෙළෙමු. එහෙත් කිසිවකු එයට සවන්දුන් බවක් නැත. ජූනි 3 වැනි දා ව්‍යවස්ථාදායක සභාව පාර්ලිමේන්තුවේ දී තහවුරු වීමට බොහෝ සෙයින් ඉඩ ඇත. එහි සංයුතිය පැහැදිලි ව ම සිංහල බෞද්ධ විරෝධී වන බව නිසැක ය. එහෙත් සංධානය කළ යුත්තේ කුමක් දැයි නො දනියි.


මෙරට සිංහල බෞද්ධ වන්නේ සාමාන්‍ය ජනතාවගේ මනසෙහි ය. සාමාන්‍ය දෙමළ ජනයාගෙන් යම් ප්‍රමාණයක් පමණක් නොව මුස්ලිම් ජනයාගෙන් යම් ප්‍රමාණයක් ද මෙරට සිංහල බෞද්ධ බව පිළිගනිති. එහෙත් ඔවුන්ගේ නායකයන්වත් සිංහල බෞද්ධයන්ගේ නායකයන් යැයි කියාගන්නා අයගෙන් බහුතරයවත් මෙරට සිංහල බෞද්ධ රටක් බව නො පිළිගනිති. පසුගිය දා විජයදාස රාජපක්‍ෂ කළ ප්‍රකාශය අසාමාන්‍ය එකක් නො වේ. බොහෝ දේශපාලනඥයන්ට හා ඊනියා උගතුන්ට අනුව මෙරට සිංහල බෞද්ධ රටක් නො වේ. උසස් පෙළ පංතිය දක්වා උගත් බොහෝ දෙනා මෙරට සිංහල බෞද්ධ යැයි නොකියනු ඇත. සුචරිත ගම්ලත් නම් ඊනියා උගතාගේ බහට නන්දා මාලිනී මේ සිංහල අපගෙ රටයි යන ගීතය ගැයීම නැවැත්වූවා ය.  

දැනට ඇති තොරතුරු අනුව ව්‍යවස්ථාදායක සභාව කතානායක සද්ධාචමල්, පික්පොකට් අගමැති, ජනාධිපතිගේ විපක්‍ෂ නායක, චම්පක රණවක, විජයදාස රාජපක්‍ෂ, ආර් සම්බන්දන්, ජෝන් සෙනෙවිරත්න, ඒ ටි ආරියරත්න, රධිකා කුමාරස්වාමි, සහ මුස්ලිම් සිවිල් සාමාජිකයකු යැයි කියාගන්නා අයකුගෙන් සමන්විත වනු ඇත. මේ අයගෙන් කී දෙනකු සිංහල බෞද්ධයනට පක්‍ෂපාති ද, මෙරට සිංහල බෞද්ධ රටක් බව පිළිගන්නේ ද යන්න ඕනෑම අයකුට සිතා ගත හැකි ය. ඒ ටි ආරියරත්න යාපනයේ දෙමළ වැසියන් වෙනුවෙන්  පෙනී සිටියේ සිංහලයන්ට විරුද්ධව ය. චම්පක රණවක මෛත්‍රිපාලගේ නියෝජිතයා ය. රනිල් බලයට පත්කිරීමට වැඩ කළ ඔවුහු අද දෙමළ ජාතිවාදීන සමග එකට පෙළ ගැසෙති.  පික්පොකට් අගමැති ගැන අටුවා ටීකා අවශ්‍ය නැත. සුභාරංචිය ප්‍රමාණවත් ය. ඊනියා විපක්‍ෂ නායක විපක්‍ෂ වන්නේ විපක්‍ෂයට මිස ආණ්ඩුවට නො වේ. ඉතිරිවන්නේ සද්ධාචමල් පමණ ය. ඔහුගේ බුද්ධාගම සිංහල බුද්ධාගම ද කිරිබත්ගොඩ බුද්ධාගම ද යන්න ප්‍රශ්නයකි. 

මෙරට ප්‍රශ්නය අන් කිසිවක් නොව සිංහල බෞද්ධ සංස්කෘතියට, සිංහල ඉතිහාසයට, සිංහල බහුතරයට හිමිතැන නොලැබීම බව අපි අනේක වාරයක් කියා ඇත්තෙමු. ඉංගිරිසින් 1833 දී දෙමළ ජාතිවාදය නිල වශයෙන් බෞතීස්ම කළ අවස්ථාවේ දී ද ව්‍යවස්ථාදායක මණ්ඩලයක් පිහිටුවිණි. එහි නිල නොලත් මන්ත්‍රින් හයදෙනාගෙන් තුන් දෙනෙක් පමණක් ලාංකිකයෝ වූහ. ඒ තුන්දෙනාගෙන් එක් අයෙක් සිංහල ද එක් අයෙක් දෙමළ ද අනෙක් තැනැත්තා බර්ගර් ද වූහ. සිංහල බෞද්ධ කිසිවෙක් නො වී ය.  එදා මෙන් ම අද ද අප ආණ්ඩු කරනු ලබන්නේ ඉංගිරිසින් ඇතුළු බටහිරයන් විසිනි. එහෙත් එදාට වඩා අද ඊනියා උගතුන්ගේ, එනම් ඉංගිරිසි අධ්‍යාපනයක් ලත් අයගේ සංඛ්‍යාව වැඩි වී ඇත. එය සිංහල බෞද්ධයන්ට අහිතකර ය.

දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ වන ලෙස අප කළ ඉල්ලීම  සංධානය විසින් ප්‍රතික්‍ෂෙප කෙරිණි. ඊනියා සංශෝධනවලට මුවා වී ඔවුහු දහනවයට ඡන්දය දුන්හ. ඔවුන්ගේ එක් සංශෝධනයක් වූයේ ව්‍යවස්ථාදායක සභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී සංඛ්‍යාව දෙකකින් වැඩි කිරීම ය. ඒ වැඩි කළ දෙදෙනා සිංහල බෞද්ධයන් නියෝජනය කරන්නේ ද? සංධානයේ මන්ත්‍රීවරුන්ට දැන් කළ හැකි එක් දෙයක් නම් තුන්වැනිදා ට පිටතින් පත්කිරීමට යන නියෝජිතයන් තුන්දෙනා අනුමත නොකර සිටීම ය. එහෙත් බටහිරයන් හා ඉන්දීයයන් විසින් පාලනය කෙරෙන මෛත්‍රිපාලගේ සෙවනැල්ලේ සිටින මන්ත්‍රීවරුන් එයට කැමතිකර ගත හැකි ද? 

නලින් ද සිල්වා

2015 මැයි 29