History

Sunday, 31 May 2015

රනිල්ගේ තර්ක

රනිල්ගේ තර්ක

රනිල් වික්‍රමසිංහ මා දන්නා තරමින් නීතිඥයකු වුව ද උසාවියට ගොස් නඩුවලට පෙනී සිටීමේ පළපුරුද්දක් ඇති අයකු ලෙස ප්‍රසිද්ධ නැත. ඔහුගේ දේශපාලන ජීවිතයත් සමග නීතිඥ වෘත්තිය කරගෙන යෑම අපහසු නිසා එසේ වූවා දැයි නො දනිමි. එහෙත් දේශපාලනයෙහි යෙදී සිටිය දී ම සාර්ථක ව නීතිඥ වෘත්තියෝ යෙදුණු අය වෙති. රනිල් නීතිඥ වෘත්තියෙන් බැහැර වී සිටින්නේ ඔහුගේ හැකියාවන් ගැන ඔහුට අවබෝධයක් තිබෙන නිසා විය හැකි ය. 


තර්කයෙන් ලබාගත හැකි වාස්තවික සත්‍යයක් නැත. වාස්තවික වූ සත්‍යයක් නැති තැන තර්කයෙන් නොව කිසිම මෙවළමකින් වාස්තවික සත්‍යයක් ලබාගත නො හැකි ය. ගණිතමය සත්‍යයක් නම් තර්කයෙන් ලබාගත හැකි ය. එහෙත් එය ද පුනරුක්තියක් පමණකි. තර්කයෙන් නිගමනය කෙරෙන දේ ගණිතමය සත්‍ය ලෙස සැලකෙයි. අනෙක් අතට තර්කය යන්න ද උද්ගමනයෙන් ලබාගන්නකි. උද්ගමනයෙන් ලබාගන්නා තර්කය ඇසුරෙන් අපි නිගමනය කරමු. එහි ඇති පරස්පරය රනිල් වික්‍රමසිංහටවත් බෝධි ධනපාලටවත් තේරෙන්නේ යැයි නො සිතමි. ඒ කෙසේ වෙතත් දෙදෙනාම තර්ක කරති. 

රනිල්ගේ තර්කයකට අනුව මහින්ද රාජපක්‍ෂ ජනතාව විසින් ප්‍රතික්‍ෂෙප කෙරී ඇත. එබැවින් මහින්ද රාජපක්‍ෂ අගමැතිකමට සුදුසු නො වේ. පසුගිය ජනාධිපතිවරණයෙහි දී ජනතාව ඡන්දය දී ඇත්තේ මෛත්‍රිපාල ජනාධිපති කිරීමටත් රනිල් වික්‍රමසිංහ අගමැති කිරීමටත් ය. රනිල්ට අනුව රනිල් අගමැති කමෙන් ඉවත් කිරීමට නො හැකි ය. රනිල් තිස්වතාවක් පමණ පැරදීමෙන් පසුව අගමැති කම පික්පොකට් ගැසුවේ ය. ඔහු මහින්දට කියන්නේ ද අගමැතිකමට ඉදිරිපත් නොවී අගමැතිකම පික්පොකට් ගැසීමට ද? 

රනිල් අගමැතිකමට පත්කෙරුණේ දි මු අගමැතිව සිටිය දී ම ය. මෛත්‍රිපාල ජනාධිපති වී රනිල් අගමැති ධුරයට පත් කෙළේ  දි මු අස්නොකර ය. අද ඔවුන් කියන්නේ මෛත්‍රිපාල ජනාධිපති වූ විගස දි මු අස්කර අදාළ ,ලිපිය ලිපි ගොනුවේ දමාගත් බව ය. මේ කතා කිව යුත්තේ කොණ්ඩෙ බැඳපු චීනුන්ට ය. එහෙත් අද එවැනි චිනකු වරාය නගරයෙහිවත් සොයා ගැනීමට නො හැකි ය. රනිල් අගමැතිකම පික්පොකට් ගැසුවේ ය. අපි ඒ බව ජනවාරි 9 වැනි දා සිට ම කියමු. එහෙත් ජනමාධ්‍යවේදීන්ට අප කියන දේ නො ඇසයෙි. ඔවුන්ට ඇසෙන්නේ මෙතෙක් නිහඬ ව සිටි සරත් නන්ද සිල්වා අඩු තරමෙන් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකත්වයක් නොලබා ඒ බව කීමට පටන්ගැනීමෙන් පසුව ය. කෙසේ වෙතත් දැන් ජනතාවට ඒ බව ඇසෙන්නට සැලැස්වීම ගැන ජනමාධ්‍ය පඬියන්ට ස්තුතිවන්ත විය යුතු ය. 

අප මෙතෙක් කල් සිතා සිටියේ ජනවාරි 9 වැනි දා පැවැත්වූයේ ජනාධිපතිවරණයක් බව ය. එදින ජනාධිපතිවරණයක් මෙන් ම අගමැතිවරණයක් ද පැවැත් වූ බව රනිල් අපට කියා දෙයි. ඔහුගේ තර්කයට අනුව මෛත්‍රිපාල ජනාධිපතිවරණයේ දී රනිල් අගමැති කරන බවට පොරොන්දු වී ඇත. රනිල් අගමැති පදවියට පත්කෙරී ඇත්තේ ජනතාවට දුන් ඒ පොරොන්දුව අනුව ය. පොරොන්දු ඉටුකළ හැකි ඒවා, ඉටුකළ නොහැකි ඒවා ආදී වශයෙන් වර්ග කළ හැකි ය. 

රනිල් අගමැති කරන බවට මෛත්‍රිපාල පොරොන්දු නො වී ය. ඔහු පොරොන්දු වූයේ රනිල් විධායක අගමැති ලෙස  පත්කරන බව ය. ඔහුට එය කළ නොහැකි ය. ජනාධිපති සතු විධායක බලතල ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්ුවටවත් අගමැතිට පැවරිය නො හැකි ය. ඒ සඳහා ජනමතවිචාරණයක් අවශ්‍ය ය. පසුගිය දා ශ්‍රෙෂ්ඨාධිකරණය දුන් තීන්දුවකට අනුව ඒ බව දැන් කොල්ලො කුරුට්ටෝ ද දනිති. 

සෝභිත හිමියන් කෙසේ අනුශාසනා කළත් උන්වහන්සේ තැටිය කොපමණ රත්කළත් සරත් විජේසූරිය නිර්මාල් දේවසිරි වැනි ඇදුරන් කෙතරම් ගිනි පිම්බත් ලැබී ඇත්තේ කොත්තු රොටියකි. තිබී ඇත්තේ සද්දය පමණකි. ඒ බව ද කොල්ලෝ දනිති. රනිල්ට අද විධායක බලතල නැත. ඒ බලතල පාර්ලිමේන්තුවට ද නැත. ඒවා තවමත් ජනාධිපති සතු ය. රනිල්ට ඒ පිලිබඳ ව ඇත්තේ සතුටක් යැයි කිව නො හැකි ය. 

මෛත්‍රිපාල ජනාධිපතිවරණයේ දී රනිල් අගමැති කරන බවට පොරොන්දු විණි යැයි සිතමු. එහෙත් මෛත්‍රිපාල එය නීත්‍යානුකූල ව කෙළේ ද? නැත, ඔහු පික්පොකට් අගමැතිවරයකු පත් කෙළේ ය. ඒ නිසා රනිල්ට තමා අගමැති යැයි නීත්‍යානුකූලව කීමට නො හැකි ය. අනෙක් අතට ජනාධිපතිවරණයකින් පසුව අගමැති වෙනස් වීම අවශ්‍ය නො වේ. රනිල් ජනාධිපතිවරණයක් හා පාර්ලිමේන්තු මැතිවරණයක් අතර වෙනස මීළඟ මැතිවරණයට පෙර දැනගන්නේ නම් මැනවි. ඔහු පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව නව ජනාධිපතිවරයකු ද පත්කරන ලෙස ඉල්ලා සිටීමට වැඩි ඉඩකඩක් වෙයි. මෛත්‍රිපාල සිරිසේන ඒ පිළිබඳ තම අවධානය දැන් සිට ම යොමු කරන්නේ නම් මැනවි.

නලින් ද සිල්වා

2015 මැයි 31