History

Wednesday, 13 May 2015

බුදුදහමට පටහැණි ශක්ති සංස්ථිති නියමය (විදුසර ලිපියකි)

බුදුදහමට පටහැණි ශක්ති සංස්ථිති නියමය

ඩී එස් සී උපාධිධාරි සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා බුදුදහම හා බටහිර විද්‍යාව සැසඳීමට ගොස් එන්න එන්න ම පැටළෙයි. පසුගිය මැයි 06 වැනි දා විදුසරෙහි පළ වූ ලිපිය එයට කදිම නිදසුනකි. ඔහුට බුදුදහම විකෘති කිරීම ප්‍රශ්නයක් නොවන්නේ ඔහු බුදුදහම බටහිර විද්‍යාවෙන් තේරුම් කිරීමට උත්සාහ කරන බැවිනි.

උක්ත ලිපියෙහි ඒ මහතා මෙසේ සඳහන් කරයි. “  මරණයේ දී ශරීරය සෑදී ඇති ද්‍රව්‍ය සම්පුර්ණයෙන් නැති වී යන්නේ ද? එවිට සිතිවිලි ස්කන්ධය හෝ ශක්තිය ලෙස ඉතිරි වන්නේ ද? විඤ්ඤාණය එසේ පවතී ද? මොළයේ විඤ්ඤාණය ඇති වන්නේ කෙසේ ද? මරණින් පසු ඉතිරි විය හැකි දෙයක් එහි ඇත් ද? බුදුදහමේ එන පුනරුත්පත්තිය සිදු වන්නේ විඤ්ඤාණය මගින් බව සූත්‍ර පිඨකයේ සඳහන් වේ.  විඤ්ඤාණය ශක්තිය හෝ අංශු වශයෙන් පවතී ද? අංශු ශක්තිය බවට ද ශක්තිය අංශු බවට ද පත්විය හැකි බව ඉහත සඳහන් වේ. මෙලෙස සිතීම බුදුදහම විද්‍යාත්මක පරීක්‍ෂණයකට භාජන කිරීමක් බව සමහරුන් කියන්නට ඉඩ ඇත. නැත. විද්‍යාවෙන් හා බුදුදහමින් කරුණු සොයා ඒ මගින් ජීවිතයේ අරුත සෙවීම මෙහි අරමුණ වන්නේ ය. එම සුසංයෝගය මේ ක්‍රියාව පිණිස උපයෝගී කොටගත හැකි සුදුසුම සහ සම්පුර්ණ වූ ක්‍රමය බව කිව යුතු ය ” 

මෙහි අමරතුංග මහතා කිසිම සැකයකින් තොරව කියන්නේ බුදුදහමේ සහ බටහිර විද්‍යාවේ ඊනියා  සුසංයෝගයක් ගැන ය. ඒ සුසංයොාගය මගින් ජීවිතයේ අරුත සොයා ගත හැකි බව ද ඔහු කියයි. ජීවිතයේ අරුත මා දන්නා බුදුදහමට අනුව නම් නිවන් අවබෝධ කර ගැනීම ය. ඒ සඳහා විදුසරෙහි පිටු නාස්තිකිරීම අවශ්‍ය නො වේ. කළ යුත්තේ අවිජ්ජාව නැති කිරීමෙන් හෝ වෙනත් ක්‍රමයකින් හෝ පටිච්චසමුප්පද චක්‍රය කඩා දැමීම ය. බටහිර විද්‍යාව ඇසුරෙන් ඒ කළ හැකි ද? බටහිර විද්‍යාව ද අවිජ්ජාව නිසා හටගන්නකි. 

යක්‍ෂ ගෝත්‍රිකයෝ ග්‍රහවස්තු අතර චලිතය ගැන කතාකළහ. ඒ දැනුම ඔවුන් විසින් හඳුන්වනු ලැබුයේ සෙප්පඩ විජ්ජා නමිනි. ඒ සියල්ල යක්‍ෂ ගෝත්‍රිකයන්ට අවිජ්ජා වී යැයි සිතමි. බටහිර විද්‍යාව ද සෙප්පඩ විජ්ජාවක් වූ අවිජ්ජාවක් මිස අන් කිසිවක් නො වේ. අමරතුංග මහතා බටහිර විද්‍යාව හා බුදුදහම අතර ඊනියා සුසංයෝගය ජීවිතයේ අරුත සෙවීම සඳහා සුදුසුම හා සම්පුර්ණ වූ ක්‍රමය බව නිශ්චිත ව කියන්නේ අනවබෝධයෙන් බව පැහැදිලි ය.

බටහිර විද්‍යාව ඇසුරෙන් අවිජ්ජාව නැති කිරීමට හැකි ද? බටහිර විද්‍යාවෙන් කෙරෙන්නේ අවිජ්ජාව වැඩි කිරීම පමණකි. ආශාවන් තව තවත් වැඩි කිරීම පමණකි. පෞද්ගලිකත්වය වැඩි කිරීම පමණකි. මා යන සංකල්පය වැඩි කිරීමක් පමණකි. බටහිර විද්‍යාව ඇසුරෙන් නිවන් අවබෝධයක් සිදු කිරීමට නො හැකි ය. එයින් සිදුවන්නේ අප තව තවත් නිවනෙන් ඈත්වීම ය. එහෙත් අමරතුංග මහතාට අනුව ජීවිතයේ අරුත බටහිර විද්‍යාව හා බුදුදහම මගින් දැනගත හැකි ය. එහෙත් බුදුදහම හා බටහිර විද්‍යාව එකිනෙකට වෙනස් මං ගෙන ඇත. 

බටහිර විද්‍යාවෙන් නොමග ගොස් ඇති අමරතුංග මහතා  විඤ්ඤාණය ගැන පාඨකයන් නොමග යවන ප්‍රශ්න අසයි. බටහිර විද්‍යාවේ ලෝකය නිර්මාණය කෙරෙන්නේ (තේරුම් ගන්නේ) ද්‍රව්‍ය (matter) හා විකිරණ (radiation) ආශ්‍රයෙනි.  ද්‍රව්‍ය අංශු මගින් විස්තර කෙරෙයි. අමරතුංග මහතා මේ ලිපි පෙළෙහි එක් අවස්ථාවක ක්වොන්ටම් භෞතිකයෙහි ලෝකය විස්තර කෙරෙන්නේ ද්‍රව්‍යය හා ශක්තිය ද්වෛධය අනුව යැයි කීවේ ය. එය මුළුමනින් ම වැරදි ය. ක්වොන්ටම් භෞතිකයෙහි ද්‍රව්‍යය හා විකිරණ යනුවෙන් නම් ද්වෛතයක් ඇත. ශක්තිය ද්‍රව්‍යයට මෙන් ම විකිරණයට ද පොදු ය. අමරතුංග මහතා අද වන තුරු මේ ඊනියා ද්වෛධය තේරුම් කර දී නැත. ඔහු ඒ තේරුම් කළහොත් ද්වෛතය හා අනුපූරක්තවය ආදිය ගැන තවත් කරුණු බොහෝමයක් කීමට තිබේ.      

අද නැවතත් අමරතුංග මහතා අංශු හා ශක්තිය ගැන කියයි. ඒ මහතා තවමත් ශක්තිය යන්න අංශුවල ගුණයක් බව තේරුම් ගෙන නැත. ඒ මහතා ශක්තිය යැයි කියන්නේ කුමකට ද යන්න පැහැදිලි නැත. ශක්තිය අංශුවල ද විකිරණවල ද වේ. අමරතුංග මහතාට කියන්නට අවශ්‍ය කුමක් දැයි පැහැදිලි නැත. ඒ කෙසේ වෙතත් අමරතුංග මහතා විඤ්ඤාණය අංශු හා ශක්තියෙන් තේරුම් ගැනීමට උත්සාහ කරයි. ඒ මහතා අංශු (ද්‍රව්‍ය) හා ශක්තිය එලෙස  දෙකක් ලෙස සලකන බව පෙනී යයි. ශක්තිය යනුවෙන් අමරතුංග මහතා අදහස් කරන්නේ විකිරණ දැයි අපි නො දනිමු. 

ඒ කුමක් වුවත් අමරතුංග මහතා  බටහිර විද්‍යාවෙහි කියැවෙන සංකල්ප මගින් විඤ්ඤාණය තේරුම් ගැනීමට උත්සාහ ගන්නා බව පැහැදිලි ය. විඤ්ඤාණය තේරුම් ගත යුත්තේ නාම රූප ආශ්‍රයෙන් මිස ද්‍රව්‍ය හා ශක්තිය මගින් නො වේ. අමරතුංග මහතා පටිච්චසමුප්පදාය නිරවුල් මනසකින් කියවා ඇත්නම් නාම රූප පච්චයා විඤ්ඤාණ, විඤ්ඤාණ පච්චයා නාම රූප යන්න දැක තිබිය යුතු ය.  එය බටහිර ඇරිස්ටෝටලීය රේඛීය න්‍යාය (logic) අනුව තේරුම් ගත හැකි ද? අමරතුංග මහතා බුදුදහම අඩුම තරමින් ඇරිස්ටෝටලීය න්‍යාය සමගවත් එකඟ නො  වන බව නො දනියි.

එහෙත් එයටත් වඩා විහිළුව වනුයේ අමරතුංග මහතාගේ මේ ප්‍රකාශයෙහි ය. “මොළයේ විඤ්ඤාණය ඇති වන්නේ කෙසේ ද? මරණින් පසු ඉතිරි විය හැකි දෙයක් එහි ඇත් ද? බුදුදහමේ එන පුනරුත්පත්තිය සිදු වන්නේ විඤ්ඤාණය මගින් බව සූත්‍ර පිඨකයේ සඳහන් වේ.  විඤ්ඤාණය ශක්තිය හෝ අංශු වශයෙන් පවතී ද? අංශු ශක්තිය බවට ද ශක්තිය අංශු බවට ද පත්විය හැකි බව ඉහත සඳහන් වේ.”

අමරතුංග මහතා විඤ්ඤාණය මොළය සමග සම්බන්ධ කරයි. විඤ්ඤාණය ඇත්තේ මොළයක් ඇති සත්ත්වයනට පමණක් යැයි බුදුන් වහන්සේ දේශනා කර ඇත් ද? එසේ දේශනා කර ඇත්නම් ඒ කිනම් සූත්‍රයක ද? දෙවියන් බ්‍රහ්මයන් වැනි සත්ත්වයනට හා ප්‍රේතයන් ආදී සත්ත්වයනට මොළයක් ඇත් ද? මොළයක් නොමැති සත්ත්වයනට විඤ්ඤාණයක් නැත් ද? අර ආභස්සර බ්‍රහ්ම ලෝකයෙහි බ්‍රහ්මයනට මොළයක් තිබිණි ද? ඒ මොළය දිළිසෙන එකක් වී ද? ෆෝටෝනවලින් මොළයක් නිර්මාණය කරගත හැකි දැයි බටහිර භෞතික විද්‍යාඥයකු අපට කියා දෙන්නේ ද?  

මරණින් පසු මොළයේ (විඤ්ඤාණයේ) ඉතිරිවන දෙයක් ඇත් දැයි අමරතුංග මහතා අසයි. එය පැහැදිලි නැත. අමරතුංග මහතා අසන්නේ මරණින් පසු මොළයේ ඉතිරි වන දෙයක් ගැන ද ? නැත්නම් විඤ්ඤාණයේ ඉතිරිවන දෙයක් ගැන ද? මොළයේ යමක් ඉතිරි වුවත් වැඩි කල් යෑමට පෙර එය දිරා යනු ඇත. විඤ්ඤාණයේ ඉතිරිවන දෙය කුමක් ද? මෙයින් කියැවෙන්නේ මරණයෙන් පසුත් භවයෙන් භවයට සංක්‍රමණය වන යමක් ඇති බව ද? එසේ නම් ඒ ආත්මවාදයක් මිස අනෙකක් නො වේ. 

අංශු ශක්තිය බවට ද ශක්තිය අංශු බවට ද පත්වන්නේ යැයි අමරතුංග මහතා කියන්නේ අංශු හා ශක්තිය දෙකක් ලෙස ගැනීමෙනි. අංශුවලට ශක්තියක් නැති බවක් ඒ මහතා කියන්නේ ද? අංශුවල ශක්තියක් ඇත්නම් අංශු ශක්තිය බවට පත්වන්නේ යැයි කීම බෝධි ධනපාල මහතාටවත් තේරුම් කර දිය හැකි ද? අමරතුංග මහතා තමන් කියන්නේ කුමක් දැයි නො දනියි. ඒ හේතුවෙන් විදුසරෙහි පිටු නාස්ති කරයි.

උක්ත ලිපියෙහි ම අමරතුංග මහතා මෙසේ කියයි. “ශක්‌තිය එක වස්‌තුවකින් තවත් වස්‌තුවකට සංක්රමණය විය හැකි ය. නැතහොත් වෙනත් ප්‍රභේදයකට මාරු කළ හැකි ය. එහෙත් අලුතින් සෑදීම හෝ විනාශ කිරීම හෝ නො කළ හැකි ය.” විඤ්ඤාණයේ ශක්තිය ගැන කතා කළ අමරතුංග මහතා දැන් ඊනියා ශක්ති සංස්ථිති නියමය ඉදිරිපත් කරයි. මෙයින් කියැවෙන්නේ විඤ්ඤාණ ප්‍රමාණය වෙනස් නොවන බව ද? 

ශක්ති සංස්ථිති නියමය බටහිර විද්‍යාවේ දක්නට ලැබෙන ප්‍රධාන නියමයකි. අපි විඤ්ඤාණය පැත්තකින් තබමු. ශක්ති සංස්ථිති නියමයෙන් කියැවෙන්නේ විනාශ කළ නොහැකි යමක් විශ්වයේ පවතින බව ය. ශක්තිවල මුළු එකතුව විනාශ කළ නො හැකි ය. ශක්තිය එක් ප්‍රභේදයකින් තවත් ප්‍රභේදයකට මාරු කළ හැකි ය. එහෙත් ශක්තිය විනාශ කළ නො හැකි ය. අප අසන්නේ ඉතා සරල ප්‍රශ්නයකි. ශක්තිය, එනම් විශ්වයේ මුළු ශක්තිය නිත්‍ය ද? 

සිංහල බෞද්ධයන් තේරුම් නොගත්තාට ශක්ති සංස්ථිති නියමය අනිත්‍යයට හා අනාත්මයට විරුද්ධ ය. ඒ නියමය ආත්මවාදී ය, නිත්‍යවාදී ය. එය ගලා එන්නේ දෙවියන් වහන්සේ ගෙනි. දෙවියන් වහන්සේ මැවූ ලෝකයෙහි ශක්තිය වෙනස් නො වේ. එය නීිත්‍ය ව පවතියි. එකී නියමය අනිත්‍යට පටහැණි ය. කැලණිය විශ්වවිද්‍යාලයෙහි  දර්ශනපති උපාධියකට එක් ශිෂ්‍යයෙක් ශක්ති සංස්තිථි නියමයට පටහැණි විශ්වයක් සඳහා ආකෘතියක් ඉදිරිපත් කළේ ය. අමරතුංග මහතාට අවශ්‍ය නම් කැලණිය විශ්වවිද්‍යාලයෙන් ඒ අදාළ නිබන්ධය ලබාගෙන කියවිය හැකි ය. 

අනෙක් අතට අමරතුංග මහතාට අනුව වෙනස් නොවන ශක්තියක් විශ්වයෙහි පවතියි. එය, එනම් විශ්වයෙහි සම්පුර්ණ ශක්තිය ආත්මයක් ලෙස ක්‍රියා කරයි.(මෙහි දී මා සඳහන් කරන්නේ වෙනස් නොවන මුළු ශක්තිය මිස ශක්ති ප්‍රභේද නො වේ.) එය අනාත්මවාදයට පටහැණි ය. අමරතුංග මහතා විඤ්ඤාණයක ශක්තියක් ගැන කතා කරන්නේ ආත්මවාදී නිත්‍යවාදී මුළු ශක්තියක් ගැන ය. එහෙත් බෝධි ධනපාල, අමරතුංග මහත්වරුන් වැනි සිංහල බෞද්ධයනට මේ පරස්පර නො තේරෙයි. ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි බිහි වී ඇති ශක්ති සංස්ථිති නියමය සිංහල බෞද්ධ චින්තනයට පටහැණි ය. 

එහෙත් අමරතුංග මහතා උත්සාහ කරන්නේ බුදුදහමෙහි හා බටහිර විද්‍යාවෙහි  ඊනියා සුසංයෝගයකින් ජීවිතයේ අරුත තේරුම් ගැනීම ය. අපේ මරණින් පසුව සිදුවන දේ ගැන අමරතුංග මහතා මෙසේ කියයි. “අප ගේ මරණින් පසු අප තුළ ඇති ශක්තියට කුමක් සිදු වන්නේ ද? ඒවා විනාශ කළ නොහැකි වූ නමුත් …… .. .. එහෙත් විඤ්ඤාණය සහ මනස ශක්ති හෝ අංශු විශේෂයක් නම් මේ ගැන සිතා බැලීම කළ යුතු ය ” යනුවෙන් අමරතුංග මහතා  ව්‍යාකූල අදහස් ලියයි. අප සිතා බැලිය යුත්තේ ශක්ති සංස්ථිති නියමය ආත්මවාදී හා නිත්‍යවාදී ද යන්න ය. 

නලින් ද සිල්වා 

2015 මැයි 13