History

Tuesday, 9 June 2015

අපට වෙච්ච දේ - 2 (ඉරිදා දිවයින ලිපියකි)

අපට වෙච්ච දේ - 2


ආකල්ප වශයෙන් බමුණු කුලය බිඳ වැටෙනු වෙනුවට පසුගිය අවුරුදු තිහ හතළිහක පමණ කාලයෙහි ප්‍රසාරණය වී ඇත. අද මෙරට මධ්‍යම පංතිය ප්‍රමාණාත්මක ව වැඩි වී ඇත. අප මුහුණ පා ඇති ප්‍රශ්න රාශියකට ම හේතුව මධ්‍යම පංතියෙහි ප්‍රසාරණය ය. 


ප්‍රභූ යැයි සම්මත පාසල්වලට දරුවන් ඇතුළත් කිරීමේ සිට මෝටර් කාරයක් බැරි නම් යතුරු පැදියක් හිමිකර ගැනීම දක්වාත් සුපර් මාර්කට් යනුවෙන් හැඳින්වෙන රටපුරා විහි දී ඇති දාම වෙළෙඳසල්වලින් බඩු භාණ්ඩ මිළ දී ගැනීම දක්වාත් මධ්‍යම පාංතික අවශ්‍යතා විහිදෙයි. අප කුඩා කල කොළඹ කොටුවේ තිබූ කාගිල්ස් මිලර්ස් වෙළෙඳසල්වලට පා තැබුවේ ලාංකිකයන් කිහිප දෙනකු පමණ ය. එහෙත් අද දාම වෙළෙඳසල්වලට පාරිභෝගිකයෝ ගෙදර යන ගමන් යති!

මධ්‍යම පාංතික අවශ්‍යතා ලැබෙන්නේ බටහිරිනි. අප කැමති වුවත් නැතත් අපේ සංවර්ධන ආකෘතිය බටහිර නිපදවූ එකකි. බටහිරයෝ ඒ සංවර්ධන ආකෘතියෙන් පරිසරයට වන හානි දනිති. එබැවින් ඔවුහු පරිසර දූෂණය චීනය ද ඇතුළු ආසියාප්‍රිකා රටවලට තල්ලු කරති. අප ඒ දෑතින් ම බදා ගන්නේ පරිසර දූෂණය අවම කිරීමට බටහිරයන් ගෙන ඇති ඇතැම් විසඳුම් ද නොසලකමිනි. සමහරවිට ඒ විසඳුම් අපට යොදා ගැනීමට නොහැකි ආකාරයකට ඔවුන් ක්‍රියාකරනවා විය හැකි ය. 

මේ සියල්ලෙහි මුල ඇත්තේ අධ්‍යාපනය ය. අද වන විට ජනමාධ්‍යය ද අධ්‍යාපනයත් සමග එකතු වී අප තව තවත් වහලුන් බවට පත්කරමින් සිටියි. අපි පියදාස සිරිසේන හා මාර්ටින් වික්‍රමසිංහ මහතුන් ගැන කතාකරමින් සිටියෙමු. පියදාස සිරිසේන මහතා අනුකාරකයෙක් නො වී ය. ඒ මහතා ඉතා පැහැදිලිව කියා ඇත්තේ තමන්ට නවල්ස් නමින් ඉංගිරිසි සාහිත්‍යයෙහි දැක්වෙන, සිංහලෙන් අද නවකතා යනුවෙන් හැඳින්වෙන, කතා ලිවීමට අවශ්‍යතාවක් නොවූ බව ය. ඔහු ලියුවේ ඔහුට ආවේණ්ක ආකාරයට මෙරට සම්ප්‍රදායට අනුගත වූ කතා ය. 

පියදාස සිරිසේන මහතා යටත්විජිතවාදයට විරුද්ධව තම කතා යොදා ගත්තේ ය. ජාතකකතාවෙහි අරමුණ මිනිසුන් පවෙන් මුදාගෙන නිවන් මගට යොාමු කිරීම ය. මාර්ටින් වික්‍රමසිංහ මහතා බටහිර දෙස බලා කී ආකාරයට නොව ජාතකකතාවෙහි ඊනියා යථාර්ථවාදයක් නො තිබිණි. ඒ කතා කීමේ පැහැදිලි අරමුණක් විය. අනෙක් අතට ජාතකකතාවලින් විදහා දැක්වුණේ ඊනියා වාස්තවික සාධාරනීකරණයට ලක් වූ චරිත නො වේ. ඒවා කිසිසේත් ම අමූර්ත හෙවත් වියුක්ත චරිත නො වී ය. බෝසතාණන් වහන්සේ කවුදැයි අපි දැන සිටියෙමු. ආනන්ද හාමුදුරුවන්ගේ පෙර ආත්මභාවයක් සාධාරණීකරණයට ලක් වූ චරිතයක් නො වී ය. ඒ සෑම චරිතයක් ම අපට හඳුනාගත හැකි චරිත විය. 

දොස්තොවුස්කිගේ නවකතා ඉතා වියුක්ත යැයි කියැවෙයි. ඒ නවකතා හා අයින්ස්ටයින්ගේ වියුක්ත සංකල්ප අතර සම්බන්ධයක් විණි යැයි ද කියැවෙයි. පියදාස සිරිසේන මහතාට වියුක්ත නවකතා ලිවීමේ අවශ්‍යතාවක් නො වී ය. ඔහු මාක්ස්වාදයේ හෝ වෙනත් බටහිර වාදයක හෝ අනුගාමිකයෙක් නො වී ය. ඔහු ඊනියා සමාජ විකාශයක් ගැන නො සිතුවේ ය. ඔහුට අවශ්‍ය වූ ප්‍රධාන කරුණක් වූයේ සිංහල බෞද්ධයන් බටහිර සංස්කෘතිය අනුකරණයෙන් ඈත් කිරීම ය. ඔහු ප්‍රචාරකවාදියෙක් විය. ඒ පිළිබඳ ව ඔහු දෙවරක් නො සිතන්නට ඇත. අපි සියළු දෙනාම ප්‍රචාරකවාදීහු වෙමු. 

මාර්ටින් වික්‍රමසිංහ මහතාට අවශ්‍යතාව තිබිණි ද වියුක්ත නවකතා ලිවීමට නොහැකි විය. ඔහු ලියූ කතා ව්‍යාජ ඒවා විය. ඉන් රැවටුනේ මධ්‍යම පාංතික උගතුන් පමණ ය. ඔහු ඇතැම් අවස්ථාවක ගැමියන් අදීන අනුකාරකයන් යැයි කියා ඇත. මෙය වැරදි ව්‍යවහාරයකි. එකල ගැමියෝ අනුකාරකයෝ නො වූහ. ඔවුහු අවශෝෂකයෝ වූහ. ඔවුහු අනෙක් සංස්කෘතියක අංගයක් ගෙඩිය පිටින් නො ගත්හ. ඔවුහු එ තමන්ට සරිලන අයුරෙන් හදා වඩා ගත්හ. එහෙත් මාර්ටින් වික්‍රමසිංහ මහතා අනුකාරකයෙක් විය. මා මෙසේ කී විට බොහෝ උගතුන් යැයි සම්මත අය කෝප වනු ඇත. බටහිර දැනුමේ දාසයන්ගේ කෝපය මට වටහාගත හැකි ය. වික්‍රමසිංහ මහතා ද ප්‍රචාරකවාදියෙක් විය. ඔහු බටහිර නවකතාව, ඊනියා යථාර්ථවාදී සාහිත්‍යය, පට්ටපල් බොරු වූ බටහිර විද්‍යාව ගෙඩිය පිටින් සිංහලයන් අතර ප්‍රචාරය කෙළේ ය. ඔහු ඒ අතර බුදුදහම ඊනියා විද්‍යාත්මක දහමක් කිරීමේ පුරෝගාමියෙක් විය . කාළාම සූත්‍රයෙහි බටහිර විද්‍යාවක් නැත. එසේ වූවා නම් කාළාම සූත්‍රය ද  යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි කොටසක් වනු ඇත.  කාලෝ ෆොන්සේකා මහතා වැන්නවුන් සූදානම් වන්නේ බුදුදහම යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි කොටසක් බවට පත් කිරීමට ය. 

ජාතකකතාවෙහි ඇති යථාර්ථයක් නැත. යථාර්ථය යනුවෙන් හඳුන්වන්නේ කුමක් ද? අපෙන්, එනම් නිරීක්‍ෂකයාගෙන් තොරව ලෝකයක් පවතින බව ද? බුදුන් වහන්සේ එවැනි ලෝකයක් ඇති බවට ඒකාන්තව දේශනා කර ඇති සූත්‍රයක් උපුටා දක්වන මෙන් ඉල්ලා සිටිමි. 

මාර්ටින් වික්‍රමසිංහ මහතාට තම මත (ඔහුගේ මත නොව, බටහිරයන්ගේ මත) ප්‍රචාරය කිරීමට අරගලයක් කිරීමට සිදු නො වී ය. පියදාස සිරිසේන මහතා බටහිර ආකෘතියේ උගතුන්ට ආකර්ෂණයක් නො වී ය. මාර්ටින් වික්‍රමසිංහ මහතා බටහිර ආකෘතියේ සිංහල උගතුන් අතර ප්‍රසාදයට පත්විය. ඒ සමාජය බලා සිටියේ වික්‍රමසිංහ කෙනකු එන තුරු ය. ඔහුගේ නවකතාවලට විශ්වවිද්‍යාලයේ අනුග්‍රහය ලැබිණි. ගම්පෙරළිය නිකුත් වූයේ ලංකා විශ්වවිද්‍යාලය ආරම්භ කර අවුරුදු දෙකකින් ය. ව්‍යාජ සමාජ විකාශයක් තේමාව කරමින් ලියූ ඒ නවකතාව බටහිර ආකෘතියේ උගතුන්ගේ සම්භාවනාවට පාත්‍ර විය. වික්‍රමසිංහ මහතා මිථ්‍යා යනුවෙන් ගෙන පහර දුන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට ය. දෙවියන් භූතයන් පංචෙන්ද්‍රිය ගෝචර නොවන වස්තූන් නැති සිංහල බුද්ධාගමක් නැත.  අපට වෙච්ච දේට ඒ පහර දීම ද යම් ආකාරයකට බලපා ඇත. (මතු සම්බන්ධයි) 
   
නලින් ද සිල්වා

2015 ජූනි 07