History

Thursday, 11 June 2015

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ඉන් පිටතට

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ඉන් පිටතට

අද ලංකාවේ පාර්ලිමේන්තුව පාර්ලිමේන්තු ක්‍රමයේ අර්බුදයට හොඳ ම උදාහරණයකි. අඩු තරමෙන් අපට ඒ ගැන ආඩම්බර විය හැකි ය. අප පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳ ව ලෝකයට ම යමක් එකතු කර ඇත. අපට එවැනි අර්බුදයක නිර්මාතෘවරුන් වීමට හැකි යැයි ජේ ආර් ජයවර්ධනවත් කල්පනා නොකරන්නට ඇත.  අද පාර්ලිමේන්තුව එක තැන පල්වෙයි. පාර්ලිමේන්තුවට වැදගත් තීරණයක් ගැනීමට නො හැකි ය.


අර්බුදය පැන නැගුණේ බටහිරයන්ට අවශ්‍ය ආකාරයට ක්‍රියා කිරීමට ගොස් ය. ඔවුන්ගේ අවශ්‍යතාව පරිදි දි මු ජයරත්න අගමැති ධුරයේ සිටිය දී ම කඩිමුඩියේ රනිල් පික්පොකට් අගමැති ලෙස පත් කෙරිණි. එහෙත් රනිල්ට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නො තිබිණි. ජේ ආර්ගේ ව්‍යවස්ථාව අනුව ජනාධිපතිට පාර්ලිමේන්තුවේ මන්ත්‍රින්ගෙන් බහුතරයක් සහාය දෙන්නේ යැයි තමන් සිතන අයකු අගමැති ලෙස පත්කළ හැකි ය. ඒ පත් කෙරෙන තැනැත්තාට බහුතරයක සහාය ඇත්දැයි සෙවීමට ජනාධිපති බැඳී නැත. ඒ අනුව සුළුතර එ ජා ප නායක රනිල් අගමැති ලෙස පත් කෙරිණි. 

මෛත්‍රිපාල ජනාධිපති වූයේ සිංහල විරෝධී  එ ජා පක්‍ෂයේ ආධාරයෙනි. ඔහුට සිංහල විරෝධී ජාතික හෙළ උරුමයේ ද දෙමළ හා මුස්ලිම් පක්‍ෂවල ද සහාය ලැබිණි. ශ්‍රී ල නි පක්‍ෂයේ මන්ත්‍රීවරු යම් පිරිසක් ජනාධිපතිවරණයේ දී ද මෛත්‍රිපාලට ආධාර කර තිබූ අතර තවත් මන්ත්‍රීවරු ජයග්‍රහණයෙන් පසුව මෛත්‍රිපාලට පක්‍ෂපාති වූහ. ශ්‍රී ල නි පක්‍ෂයේ මන්ත්‍රිවරුන්ගෙන් බහුතරයක කැමැත්ත මෛත්‍රිපාලට බවක් පෙනී ගියේ ය. මහින්ද ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපතිකම අත්හැරියේ ය. වෙනත් පක්‍ෂයකින් තරග කර ජනාධිපති වුව ද මෛත්‍රිපාල පක්‍ෂයේ ව්‍යවස්ථාවට විරුද්ධව සභාපති ලෙස පත්විය. 

කවුරුත් පාහේ පික්පොකට් ආණ්ඩුවට දින සියයක් දීමට කැමති වූහ. මෛත්‍රිපාලගේ කාර්යභාරය වූයේ රනිල් ආරක්‍ෂා කිරීම ය.  ඔහු එය සාමයෙන් ද දණ්ඩෙන් ද කළේ ය. ජෝන් අමරතුංගට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට නො ගැණිනි. රනිල්ට බහුතරයක් නොමැති වුව ද  පික්පොකට් ආණ්ඩුව පවත්වා ගෙන යා හැකි විය. එහෙත් මහින්ද සාධකය යටපත් කිරීමට නොහැකි විය. මහින්ද දැන් පාර්ලිමේන්තුවෙන් පිට ය. එහෙත් ඔහු රට බේරාගත් වීරයා විය. ඔහුට විරුද්ධ ව ගෙනා ඊනියා දූෂණ හා භීෂණ චෝදනා වාෂ්ප වීමට පටන් ගත්තේ ය. පික්පොකට් ආණ්ඩුව මාෆියා පොලීසියක් ඇතිකර පාර්ලිමේන්තුවෙන් පිටතට බලය ගෙන යෑමට උත්සාහ දැරී ය. ඉන් සිදුවූයේ පාර්ලිමේන්තුවේ බලය පිරිහීමත් මහින්දගේ බලය වර්ධනය වීමත් ය. 

අද වන විට ශ්‍රී ල නි පක්‍ෂයේ මහින්ද කණ්ඩායම ප්‍රමුඛ සංධානය මෛත්‍රිපාල කණ්ඩායමට හා එ ජා පක්‍ෂයට වඩා බලවත් ය. අද රනිල් සම්පුර්ණයෙන් ම මෛත්‍රිපාල මත රැඳෙයි. එමගින් මෛත්‍රිපාල යම් බලයක් අත්කර ගෙන ඇත. එහෙත් පාර්ලිමේන්තුවේ වැඩි බලයක් දැන් ඇත්තේ මහින්ද කණ්ඩායම ප්‍රමුඛ සංධානයට ය. රටේ බලය ද වැඩි ඒ කණ්ඩායම ප්‍රමුඛ සංධානයට ය. උතුරු හා නැගෙනහිර පළාත්,  කිනම් ක්‍රමයක් යටතේ මැතිවරණය පැවැත්වුව ද, මීළඟ මැතිවරණයේ දී තීරණාත්මක නොවනු  ඇත. අද මහින්ද කණ්ඩායම ප්‍රමුඛ සංධානය හැරෙන්නට අනෙක් පක්‍ෂ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විරුද්ධ ය.  එ ජා පක්‍ෂය හා මෛත්‍රිපාල දින සීයෙන් පසුව අප්‍රේල් 23 වැනි දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පොරොන්දු වුව ද ඒ කිසිවකු එයට සූදානම් නැත. ඒ පරාජය නියත බැවිනි. 

මෛත්‍රිපාල මැති ඇමතිකම් දීම වැනි විවිධ උපක්‍රමවලින් බලය රඳවා ගැනීමට උත්සාහ කළ ද එය සාර්ථක නො වේ. එබැවින් කළ යුත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ය. එහෙත් එයට ද මෛත්‍රිපාල සූදානම් නැත. එ ජා පක්‍ෂය ප්‍රසිද්ධියේ කුමක් කීව ද ඔවුන් ද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සූදානම් නැත. මේ වන විට දින සියය දින එකසිය පනහ බවට පත් වී ඇත. එහෙත් නී්‍ය්‍යානුකූල ව පාර්ලිමේන්තුව 2016 අප්‍රේල් දක්වා පවත්වාගෙන යා හැකි ය. එසේ වුවත් පාර්ලිමේන්තුවේ බල තුලනය අනුව ඒ කළ නො හැකි ය. 

විසුරුවා හැරිය යුතු පාර්ලිමේන්තුවක් විසුරුවා නො හැරීම අද අර්බුදයට මුල ය. එය පාර්ලිමේන්තුව තුළ විසඳා ගත හැක්කේ පික්පොකට් අගමැතිට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් සම්මත කර ගැනීමෙනි. එහෙත් එවැනි විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට රනිල් ඉඩ නො දෙයි. මෛත්‍රිපාල රනිල් රකියි. විසුරුවා හැරිය යුතු පාර්ලිමේන්තුව පාර්ලිමේන්තු ක්‍රමය තුළ විසුරුවා නො හැරෙයි. එසේ නම් කළ යුත්තේ කුමක් ද? විධායකයෙන් ව්‍යවස්ථාදායකයෙන් කෙරෙන්නේ ජනතාවගේ ස්වෛරභාවය ක්‍රියාත්මක කිරීම ය. එහෙත් ඒ ආයතන ඒ නො කරයි. එසේ නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ජනතාව භාරගත යුතු ය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අද තීරණය කෙරෙන්නේ පාර්ලිමේන්තුවෙන් පිටත ය. ජනතා උද්ඝෝෂණ මගින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට මෛත්‍රිපාලට බල කළ යුතු ය. සඟ වෙද ගුරු ගොවි කම්කරු රණවිර්ැ බල වේගය සංවිධානය විය යුතු ය.

නලින් ද සිල්වා

2015 ජූනි 11