History

Friday, 12 June 2015

හේතුව හා ඵලය (විදුසර ලිපියක සංස්කරණයකි)



හේතුව හා ඵලය

අපි පළමුවෙන් ධනපාල මහතා වෙත යොමු වෙමු. බෝධි ධනපාල මහතාගේ ප්‍රශ්නය ඔහුට තමා කියවා ඇති දේ දිරවා ගැනීමට නොහැකි වීම බව අපි කිහිප අවස්ථාවක ම කියා ඇත්තෙමු. ඒ හේතුවෙන්  ඔහු බොහෝ විට වැරදි අර්ථකථන දෙයි. ඇතැම් අර්ථකථන ඔහු වුවමනාවෙන් ම විකෘති කරයි. එමෙන් ම ඔහුට දෙන පිළිතුරු ගැන ඔහු සැලකිලිමත් නොවී ඔහු එක ම වරද නැවත නැවත කරයි. අපි උදාහරණ කිහිපයක් ගනිමු. 

ඔහුට අනුව මා අනුකාරකයෙකි.  ඒ සඳහා ඔහු උදාහරණයට (එක ම උදාහරණය!) ගන්නේ ම ජිම් බැගට්ගේ පොතෙන් දත්තයක් දෙකක් ලබාගැනීම ය. එක්කෝ ඔහු අනුකාරකයා යන්නෙහි තේරුම නො දනියි. නැත්නම් වුවමනාවෙන් කරුණු විකෘති කරයි. අනුකරණය යනු යමක් සංශෝධනය නොකර, තම සංස්කෘතියට අවශෝෂණය නොකර මුල් කෘතිය (වස්තුව, දැනුම, මතවාදය ආදිය) ඒ ආකාරයෙන් ම ලබා ගැනීම ය. ග්‍රෙගරි යන්න සුද්දන් උච්චාරණය කරන අයුරින් ම උච්චාරණය කිරීම අනුකරණයකි. අනුකාරකයන් නොවූ ගැමියෝ ඒ ගිරිගෝරිස් කර ගත්හ. මෑතක් වන තුරුම කොළඹ ගිරිගොරිස් නමින් පාරක් විය. ද බෘලි යන්න ද එසේ ම ය. එය ප්‍රංශ කාරයන් කෙසේ උච්චාරණය කළත් අපට එය ද බෘලි වෙයි. 

මම බැගට්ගෙන් මතවාදයක්, ප්‍රවාදයක් ලබා නො ගත්තෙමි. මා කියා ඇත්තේ 1927 දී ඔහු මතවාදයක් ප්‍රසිද්ධියේ ඉදිරිපත් කළ බව ය. එය මට වැදගත් වූයේ ෂ්රොඩිංගර් (මේ නම ජර්මානුවන් උච්චාරණය කරන්නේ කෙසේ දැයි නො දනිමි. මට ඒ නම ඇසී ඇත්තේ ෂ්රොඩිංගර් හෝ ෂ්රූඩිංගර් හෝ ආකාරයට ය.)   ඒ සභාවේ සිටි නිසා ය. ඔහුගේ නමින් ඇති සම්කරණයට මුල් බීජය වූයේ ද බෘලි එදා කළ දේශනය ය. කෙසේ වෙතත් ඒ දත්තය, එනම් 1927 දී ඒ ප්‍රසිද්ධ දේශනය කළ බව මා දැනගත්තේ බැගට්ගේ පොතෙනි. එය අනුකරණයක් නොව දත්තයක් ලබාගැනීමක් පමණකි. අනුකරණය යනු කුමක් දැයි නොදන්නා බෝධි ධනපාල මහතාට අනුව නම් ඒ අනුකරණයකි. 

බටහිර දැනුම වුව ද අපි ප්‍රතික්‍ෂෙප නො කරමු. මගේ අවුරුදු තිහක පමන ලියවිලි පරීක්‍ෂා කරන අයකුට පැහැදිලි වන කරුණ නම් බටහිර දැනුම ද අවශ්‍ය නම් හා හැකිනම් අවශෝෂණය කළ හැකි බව ය. මේ පිළිබඳ විස්තරයක් අද ඊයේ නොව 1986 දී පළකළ මගේ ලෝකය කෘතියෙහි සඳහන් වෙයි. අනුකරණය හා අවශෝෂණය යනු එකක් නො වේ. 

වීලර්ගේ ප්‍රමාද තේරීම් පරීක්‍ෂණය පිළිබඳ ව බෝම් කියා ඇත්තේ කුමක් දැයි ප්‍රකාශ කරන ලෙස අනෙක් අයගේ මත උපුටා දක්වන ධර්මවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියෙමි. එහි දී ධනපාල මහතා කීවේ ප්‍රමාද තේරීම් පරීක්‍ෂණය කුමක් දෝ පොතකින් ලබාගෙන මා ද කරන්නේ උපුටා දැක්වීමක් බව ය. මා කර ඇත්තේ අදාළ පරීක්‍ෂණය ගැන සඳහන් කිරීම ය. එය එසේ නොකර මා ඒ ගැන කතාකරන්නේ කෙසේ ද? මට අහවල් පරීක්‍ෂණය යනුවෙන් පරීක්‍ෂණය නම් කිරීමට සිදුවෙයි. එසේ නැතහොත් පාඨකයා ඒ පරීක්‍ෂණය ගැන කියන්නේ කුමක් ද? 

ධනපාල මහතාට අනුව ම වුව ද මා කියා ඇත්තේ මෙයයි. “මම සිංහල බෞද්ධ භෞතික විද්යාඑඥයන්ට ප්ර්ශ්නයක් යොමු කරමි. වීලර්ගේ ප්රාමාද තේරීමට අනුව වර්තමානය විසින් අතීතය තීරණය කෙරෙන්නේ යැයි කියැවෙයි. ඒ ගැන මේ විද්යාතඥයන්ට කීමට ඇත්තේ කුමක් ද? අනුන්ගේ මත උපුටා දක්වන ධර්මවර්ධන මහතාට බෝම් මේ ගැන කියන්නේ කුමක් දැයි කිව හැකි ද?” මෙය මතවාදයක්, තේරුම් කිරීමක් උපුටා දැක්වීමක් නොව යම් පරීක්‍ෂණයක් ගැන සිංහල බෞද්ධ භෞතික විද්‍යාඥයන්ට කීමට ඇත්තේ කුමක් ද යන්න දැන ගැනීමට කරන ලද ප්‍රයත්නයකි.   

තවද මා කියා ඇත්තේ ප්‍රමාද තේරීමට අනුව වර්තමානය විසින් අතීතය තීරණය කෙරෙන්නේ යැයි කියැවෙන බව ය. එය සියල්ලන්ගේ මතය නො වේ. එය කිසිසේත් ම වීලර්ගේ අර්ථකථනයක් නො වේ. වීලර් ඒ අර්ථකථනයට විරුද්ධ විය. ධනපාල මහතා ඒ බව නොදැන වීලර් ගැන උපහාසයෙන් කතා කරයි. ධනපාල මහතා ජෝන් ආචිබෝල්ඩ් වීලර්ට වඩා ඉහළ මට්ටමේ භෞතික විද්‍යාඥයකු වන්නේ යැයි මම සිතමි. එමෙන් ම ධනපාල මහතා සිංහල බෞද්ධ යැයි ද මම සිතමි. මට අවශ්‍ය වන්නේ එවැනි උසස් මට්ටමේ සිංහල බෞද්ධ විද්‍යාඥයන් මේ පරීක්‍ෂණය අර්ථකථනය කරන්නේ කෙසේ දැයි දැනගැනීම ය. වීලර් වර්තමානය විසින් අතීතය නිර්ණය කෙරෙන්නේ ය යන්නට විරුද්ධ විය. 

ධර්මවර්ධන මහතාගේ පොතේ බෝමියානු භෞතික විද්‍යාව අනුව මේ පරීක්‍ෂණය ගැන කියා ඇති දේ මම කියවා ඇත්තෙමි. එහෙත් මම එයින් සෑහීමකට පත් නො වීමි. ක්වොන්ටම් භෞතිකය පිලිබඳ බෝම්ගේ සමස්ත අර්ථකථනය සමග මම එකඟ නො වෙමි. බටහිර භෞතික විද්‍යාඥයන්ගෙන් ද ඒ සමග එකඟ වන්නේ සුළුතරයකි. එහෙත් ඒ පිළිබඳ තව තවත් විස්තර දැනගැනීමට මම කැමැත්තෙමි. ධර්මවර්ධන මහතාට මා ආරාධනය කෙළේ ඒ අරමුණෙනි. 

සිංහල බෞද්ධ භෞතික විද්‍යාඥයන්ට මා ප්‍රශ්නය යොමු කරන්නේ ම බුදුදහම විද්‍යාත්මක බවට කරන ප්‍රකාශ නිසා සිංහල බෞද්ධයනට ඒ පිළිබඳ අදහස් ඇතැයි යන විශ්වාසය උඩ ය. බුදුදහම විද්‍යාත්මක නම් ථෙරවාදය නිර්මල බුදුදහම යැයි සිතන සිංහල බෞද්ධයනට බටහිර විද්‍යාවෙහි ප්‍රවාදයක් නිර්මාණය කිරීමට බැරි නම් අඩු තරමෙන් පරීක්‍ෂණයකට අර්ථකථනයකවත් දීමට හැකි විය යුතු ය. මේ පරීක්‍ෂණය සම්බනධයෙන් මට ද අර්ථකථනයක් ඇත. මම ඒ මේ අවස්ථාවේ දී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු නො වෙමි. ධනපාල මහතා හා අමරතුංග මහතා වැනි මට වඩා උගත් දක්‍ෂ නිර්මාණශීලී සිංහල බෞද්ධ විද්‍යාඥයෝ සිය ගණනින් මෙරට හා පිටරට සිටිති. ඔවුන්ට ඉඩ දීම මගේ ප්‍රතිපත්තිය වෙයි. 

එහෙත් එකක් නොකියාම බැරිය . ඒ ධනපාල මහතා අද වැරදි වැටහීමකින් සිටින බැවිනි. ඒ මහතා උපහාසයෙන් හා අපහාසයෙන් කියන්නේ මට අනුව වර්තමානය විසින් අතීතය නිර්ණය කෙරෙන බව ය. ඔහු ඒ බව අතෝරක් නැතිව පවසයි. ඒ මහතා එවැනි නිගමනයකට පැමිණියේ කෙසේ ද? මා කොහේවත් එවැන්නක් කියා නැත. මෙය ද ධනපාල මහතාගේ අනවබෝධය හෝ කරුණු විකෘති කිරීමට ඇති දක්‍ෂතාව හෝ නිසා සිදුවන්නකි. 

ඒ මහතා එතැනින් නොනැවතී කෘෂිරසායනික වකුගඩු රෝගය ගැන සඳහන් කරමින් ග්ලයිෆොස්ට් හඳුන්වාදීමට පෙර ඇතැම් පෙදෙස්වල රෝගය තිබූ බව පවසයි. එයින් ඒ මහතා කීමට බලාපොරොත්තුවන්නේ හේතුවට පෙර ඵලය තිබූ බවත් එය කාලය පිළිබඳ මගේ අර්ථකථනය සමග නම් එකඟ වන බවත් ය. පළමුවෙන් ම කිවයුත්තේ මගේ එවැනි අර්ථකථනයක් නැති බවත් ඒ ධනපාල මහතාගේ හිතළුවක් පමණක් බවත් ය. දෙවනුව කිවයුත්තේ ආචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා (ඒ මහතාට පසුගිය දා කෘෂිරසානික වකුගඩු රෝගය පිළිබඳ කරන ලද පර්යේ’ෂණ සම්බන්ධයෙන් රජරට විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලැබුණු බව සඳහන් කළ යුතු ය) පෙන්වා දී ඇත්තේ එකී රෝගය පැතිරීමට පෙර අදාළ ප්‍රදේශවල ග්ලයිෆොසේට් යොදා ගැණුනු බව ය.

ෆොටෝනයේ ස්කන්ධය ගැන මා නොයෙකුත් වර කියා ඇත. කීර්ති තෙන්නකෝන් මහතා ද ඒ ගැන සඳහන් කර ඇත. එමෙන් ම ගුරු ධර්මවර්ධන  මහතා ද වෙනත් අයගේ මත උපුටා දක්වමින් (මත යන්න අවධාරණය කළ යුතු ය) අශුද්ධ ෆෝටෝන ස්කන්ධයක් ඇති සේ හැසිරෙන බව කියයි. ඉතා අධික ශක්තිය ඇති ෆෝටෝන දෙකක් එකිනෙක පසාරු කර නොගොස් අන්තර්ක්‍රියාවක යෙදෙන බව මා කී විට පාසල් ගුරුවරයකු වූ ධනපාල මහතා පාසල් ශිෂ්‍යයකුට ඔබින ලෙස තර්ක කරමින් කියන්නේ ඒ ෆෝටෝන උච්ඡෙදනය කරන බව ය! එය අන්තර්ක්‍රියාවක් නො වේ ද? මම නැවතත් කියමි. අල්ලාගත හැකි ද්‍රව්‍යය නැති ශක්ති පුංජවල ස්කන්ධය පිළිබඳ හොඳ කතන්දරයක් බටහිර භෞතික විද්‍යාවට නැත. බටහිර විද්‍යාව ඒ අර්ථයෙන් ගත්කල ස්කන්ධය යනු කුමක් දැයි නො දනියි. 

ධනපාල මහතා නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදය ගැන කිසිවක් නොදන්නා බව පැහැදිලි ය. එක් සංස්කෘතියක වලංගු එහෙත් වෙනත් සංස්කෘතියක වලංගු නොවන විද්‍යාත්මක සත්‍යයක් තිබේ දැයි ඔහු අසයි. නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදයෙහි ඊනියා වලංගු විද්‍යාත්මක සත්‍ය ගැන සඳහන් නො වෙයි.  විද්‍යාත්මක සත්‍යයක් ගැන කතා නොකරන දැනුම් පද්ධතියක එවැනි ප්‍රශ්නයක් ඇසිය නො හැකි ය. බටහිර විද්‍යාවේ අර්ථකථනවල වුව ද සත්‍යය යනු කුමක් දැයි අර්ථකථනය කෙරී නැත. එහි ඇතැම්හු සත්‍යයට ළඟා වීමක් ගැන කතා කරති. නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණ  ප්‍රවාදය සත්‍යයක් ද? සත්‍යයට ළඟා වීම ගැන කතා කළ හැක්කේ සත්‍යය යනු කුමක් දැයි දන්නේ නම් පමණකි. එක් ප්‍රවාදයක් වෙනත් ප්‍රවාදයකට වඩා සත්‍යයට ආසන්න යැයි කියන්නේ කිනම් අර්ථයකින් ද?

ඒ කෙසේ වෙතත් මේ සත්‍යය නිර්මාණාත්මක සාපේ’ක්‍ෂතාවාදයට අදාළ නො වේ. එහි කියැවෙන්නේ දැනුම නිර්මාණය පිළිබඳ ව මිස දැනුමේ ඊනියා සත්‍යයක් ගැන නො වේ. අප කියන්නේ දැනුම යම් චින්තනයක් පදනම් කරගනිමින් යම් සංස්කෘතියකට සාපේක්‍ෂව අවිජ්ජාව නිසා නිර්මාණය කෙරෙන බව ය. මෙහි අවිජ්ජාව යනු ත්‍රිලක්‍ෂණය නො දැනීම ය. 



ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා තම ජූනි 03 වැනි දා ලිපියෙන් තව තවත අවුලට යයි. ඔහු එහි මෙසේ කියයි. “බුදුදහම දෙස විද්යාමත්මක ඇසින් බැලීම සහ එමෙන් ම විද්යා ව දෙස බුදුදහමේ ඇසින් බැලීම කළ යුතු කළ හැකි උතුම් වූ ක්රිහයාවක්‌ බව මගේ හැඟීමයි. විද්යානව යනු සත්යබ ගවේෂණයයි. බුදුදහමේ සත්යැ වූ ධර්මය ද එසේ ම සත්යා නො වන අධර්මය ද තිබෙන බව අපි දනිමු. අසත්යය ඒවා මුල් බුදු දහමට පසුව ඇතුළු වූ දේවල් බව ද අපි දනිමු. එලෙස ම විද්යා ව තුළ ද සත්යව ද අසත්යය ද තිබේ. මේවා ගැන සොයා බැලීම ජීවිතයේ අරුත සොයා යන අප කළ යුතු වන්නේ ය.”

ජීවිතයේ අරුත සොයා යෑම බෞද්ධයන්ගේ කාර්යයක් නො වේ. එය බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංකල්පයකි. ඒ කුමක් වුවත් ජීවිතයේ අරුත සොයා යන අමරතුංග මහතාට අවශ්‍ය දේ අතර බටහිර විද්‍යාවට හා බුදුදහමට එකතු වී ඇති අසත්‍ය දේ ගැන දැනගැනීම ද වෙයි. අමරතුංග මහතා ලියන දේ මගින් ද බුදුදහමට අසත්‍ය දේ එකතු වන බැවින් ඒ මහතාගේ අරමුණ යහපත් ය. බුදුදහම දැනුම් පද්ධතියක් බවට පත්කිරීමේ වෑයම ද අසාර්ථක විය යුතු ය. බුදුදහම දැනුම් පද්ධතියක් නො වේ. 

අපි අමරතුංග මහතාගෙන් එක ප්‍රශ්නයකටවත් පැහැදිලි පිළිතුරක් බලාපොරොත්තු වෙමු. බුදුදහමෙන් හා බටහිර විද්‍යාවෙන් සත්‍යය කියැවෙන්නේ ද? ඒ එකම සත්‍යය ද? එසේ නම් බුදුදහමෙහි සත්‍යය ඇත්තේ කොහේ ද? බටහිර විද්‍යාවේ සත්‍යය වෙනස් වන්නේ ඇයි? බටහිර විද්‍යාවේ කෙරෙන්නේ සත්‍යය සොයා යෑමක් කියා ප්‍රශ්නයෙන් පැන ගිය නො හැකි ය. බටහිර විද්‍යාවෙහි කෙරෙන්නේ සත්‍යය සොයා යෑමක්, සත්‍ය ගවේෂණයක්, යැයි කියමු. බුදුදහමෙහි දැනටමත් සත්‍යය ඇතැයි ද සිතමු. ඔය කියන සත්‍ය දෙකක් නොව එකක් ම නම් බටහිර විද්‍යාවක් අවශ්‍ය වන්නේ කුමකට ද? 

බුදුදහමෙහි දැනටමත් තිබෙන සත්‍යය නැවතත් සොයාගන්නේ අහවල් එකකට ද? ඒ සඳහා විශාල ධනස්කන්ධයක් වැය  කරන්නේ කුමකට ද?  ඊනියා සිංහල බෞද්ධ වි්‍යාඥයන්ට බුදුදහම ඇසුරෙන් බටහිර විද්‍යා ප්‍රවාද තොග පිටින් නිර්මාණය කිරීමට හැකි විය යුතු ය. බුදුදහමෙහිත් ඇත්තේ විද්‍යාත්මක චින්තනය බව අමරතුංග, කාලෝ ෆොන්සේකා ආදී මහත්වරු අපට පුන පුනා කියති. අමරතුංග මහතා එතැනින් ද එහා ගොස්  කීවේ සෑමදාමත් සෑම තැනක ම තිබුණේ එකම විද්‍යාවක් බව ය. කාලෝ ෆොන්සේකා මහතා ඒ සමග එකඟ වන්නේ දැයි නො  දනිමි. කෙසේ වෙතත් 2014 පෙබරවාරි 26 තරම් ඇත කාලයක අමරතුංග මහතා මෙසේ කීවේ ය. “සිංහල මිනිසා ගේ විද්යාව ලෝකයේ අන් රටවල තිබූ විද්යාව ම විය. එහි පදනම වූයේ ඉන්ද්රිය ගෝචර සාක්ෂි විය. වෙන ක්රමයක් තිබිය නොහැකි ය.”

අමරතුංග මහතාගේ විද්‍යාවේ පදනම ඉන්ද්‍රිය ගෝචර සාක්‍ෂි ය. බුදුදහමෙහිත් ඇත්තේ බටහිර විද්‍යාවේ කියැවෙන, අඩුම තරමෙන් සොයා ගැනීමට දඟලන සත්‍යය නම්  එහි පදනම ද ඉන්ද්‍රිය ගෝචර සාක්‍ෂි වෙයි. නිවන පදනම් වන්නේ ද ඉන්ද්‍රිය ගෝචර සාක්‍ෂි මත ද? නිව පංචෙන්ද්‍රිය ගෝචර ද? මෙහි දී අවධාරණය කළ යුතු කරුණක් නම් බටහිර විද්‍යාව ඉන්ද්‍රිය පහක් ගැන පමණක් කියන නමුත් බුදුදහම ඉන්ද්‍රිය (ආයතන) හයක් ගැන කියන බව ය. පංචෙන්ද්‍රිය නොමැතිව මනස මත පමණක් පදනම් ව බුදුදහමෙහි ඇතැම් දේ සඳහන් වෙයි. ඒ ගැන අමරතුංග මහතා කියන්නේ කුමක් ද? 

ඉහත සඳහන් අවසාන වාක්‍යයෙහි අමරතුංග මහතා නිශ්චිත ව ම වෙන ක්‍රමයක් තිබිය නොහැකි ය යනුවෙන් සඳහන් කරයි. එයින් කියැවෙන්නේ ඊනියා විද්‍යාවෙහි පංචෙන්ද්‍රිය මත පදනම් වූ පංචෙන්ද්‍රිය ගෝචර සාක්‍ෂි හැරෙන්නට වෙනත් සාක්‍ෂි නොමැති බව ය. දැන් ප්‍රශ්නය එසේ නම් බුදුදහම විද්‍යාව ද (එකම විද්‍යාව යන අරුතෙන්) යන්න ය. අඩු තරමෙන් අමරතුංග මහතා විද්‍යා රාශියක පැවැත්ම පිලිගෙන තිබිණි නම්  අපට බුදදහම විද්‍යාවක් ද යන ප්‍රශ්නය ඇසීමට ඉඩක් විය. අමරතුංග මහතා ම ඒ ඉඩ නැති කර ඇත.

නලින් ද සිල්වා

2015 ජූනි 12