History

Wednesday, 3 June 2015

රධිකා හා ආරියරත්න එපා

රධිකා හා ආරියරත්න එපා

අද පාර්ලිමේන්තුව කැඳවා ඇත්තේ ව්‍යවස්ථාදායක මණ්ඩලයට නම් කර ඇති ඊනියා සිවිල් සමාජ පුරවැසියන් තිදෙනාගේ නම් අනුමත කිරීම සඳහා ය. එහි දී රවි කරුණානායකට විරුද්ධ විශ්වසභංග යෝජනාව විවාදයට ගන්නේ නම් ඒ වෙනත් කරුණකි. ඒ එසේ නොවේ නම් රධිකා හා ආරියරත්න ව්‍යවස්ථාදායක මණ්ඩලයට පත්කිරීමට අපි විරුද්ධ වෙමු. ජනාධිපති විසින් මෙතෙක් පත්කෙරුණු කොමිෂන් සභා කිහිපයක සාමාජිකයන් ද ඉහළ උසාවිවල විනිසුරුවන් ද  මෙයින් මතු පත්කෙරෙණුයේ ව්‍යවස්ථාදායක මණ්ඩලය විසිනි. ඒ පත්වීම් දේශපාලනයෙන් මුදා ගැනීම මෙහි එක් අරමුණක් යැයි කියැවෙයි.
 

මෙරට තබා කිසිම රටක කිසිම කරුණක් දේශපාලනයෙන් මුදා ගැනීමට නො හැකි ය. ලෝකයේ ව්‍යාප්ත වී ඇති බටහිර දැනුම් ආධිපත්‍යය තරම් දේශපාලනයට යටවූ තවත් කරුණක් නැත. දැනුම දේශපාලනයෙන් ස්වායත්ත නො වේ. බටහිර දැනුමේ කොටසක් වූ බටහිර විද්‍යාව කෙතරම් දේශපාලනික ද යත් ඒ ඉගෙන ගත් ඊනියා විද්වත්තු දේශීය වෙදකම ඇතුළු දේශීය දැනුමට ගරහති. ඔවුන් සිතන්නේ බටහිර සමාගම් ධනවත් කරන පලිබෝධ නාශක නොමැතිව අපට ගොවිතැන් කළ නො හැකි බව ය. දැනුම එලෙස දේශපාලනීකරණයට ලක් වී ඇත්නම් ව්‍යවස්ථාදායක මණ්ඩලය ගැන කියනුම කවරේ ද?

විනිසුරුවන් ආදීන් පත්කිරීම තනි පුද්ගලයකුට නොපවරා පාර්ලිමේන්තුවෙන් පත්කෙරෙන මණ්ඩලයකට පැවරීම සුදුසු විය හැකි ය. එහෙත් එයින් ඒ සාමාජිකයන්ගේ දේශපාලනය නැති නො වේ. දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ව්‍යවස්ථාදායක මණ්ඩලයේ සාමාජිකයන් හත් දෙනෙක් ම දේශපාලනඥයෝ වෙති. ඔවුන් මණ්ඩලයේ සාමාජිකයන් ලෙස කටයුතු කරන විට දේශපාලන කබා ගලවා පැත්තකින් තබන්නේ ද? එය කෙසේවත් සිදුවන්නක් නො වේ. 

ව්‍යවස්ථාදායක මණ්ඩලයේ බහුතරය සිංහල බෞද්ධ විරෝධී වෙති. විජයදාස රාජපක්‍ෂට අනුව මෙරට සිංහල රටක් නො වේ. දැනට අවුරුදු දහයකට පමණ පෙර මේ ප්‍රශ්න ගැන බොහෝ දෙනා බොහෝ දේ ලියා ඇත. විජයදාස ඒ ලිපි ලේඛන කියවන්නේ නම් මැනවි. එමෙන් ම මේ ලිපි ගැන කිසිවක් නොදැන සමහරු ඉක්මණින් ජාතික වීරයන් වීම සඳහා විද්‍යුත් ජනමාධ්‍ය ඔස්සේ පෙළහර පෑමට සූදානම් වෙති. ඒ කෙසේ වෙතත් සිංහලයන්ට විජේදාස, රනිල්, නිමල් සිරිපාල, චම්පක රණවක, සම්බන්දන්, සද්ධාචමල් ආදීන්ගෙන් පිළිසරණක් සාධාරණයක් බලාපොරොත්තු විය හැකි ද?  

අලි මදිවාට හරක් කීවාක් මෙන් ඊනියා සිවිල් සාමාජිකයන් ලෙස ඒ ටී ආරියරත්න හා රධිකා කුමාරස්වාමිගේ නම් යෝජනා වී ඇත. අප පළමුවෙන් දැනගත යුත්තේ ඔවුන් ද්විත්ව පුරවැසියන් ද යන බව ය. ඒ එසේ නම් එය දහනවවැනි ව්‍යවස්ථා සංශෝධනයේ හරයට පටහැණි වෙයි. පළමුවෙන් ජනතාවට පාර්ලිමේන්තුව මගින් ඒ පිළිබඳ සහතිකයක් ලැබීය යුතු ය.

මේ දෙදෙනාගේ ම අතීතයෙන් කියැවෙන්නේ ඔවුන් සිංහල බෞද්ධ විරොධී බව ය. ඔවුන්ගේ නම් අනුමත කිරීමට යන ආකාරය සතුටුදායක නො වේ. රජයේ ඉහළ තනතුරුවලට, තානාපති සේවයට ආදියට පුද්ගලයන් පත් කිරීමේ දී ඔවුන්ගේ නම් කලින් ප්‍රසිද්ධ කර විශේෂ කමිටුවකින්  අනුමත කරගත යුතු වෙයි. ව්‍යවස්ථාදායක මණ්ඩලයට ඊනියා සිවිල් සාමාජිකයන් පත් කිරීමේ දී එයටත් වඩා තීව්‍ර ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු වෙයි. එහෙත් අද වන තුරු ද අප මේ අයගේ නම් දන්නේ නිල නොවන වශයෙනි. 

යම් අයුරකින් රධිකා හා ආරියරත්න ව්‍යවස්ථාදායක මණ්ඩලයට පත්කෙරුණහොත් මණ්ඩලයෙහි සිංහල බෞද්ධ විරෝධී සාමාජික සංඛ්‍යාව ඉතා ඉහළ යනු ඇත. මේ සියළු හේතු මත ඔවුන් දෙදෙනා ව්‍යවස්ථාදායක මණ්ඩලයට පත්කළ යුතු නො වේ.

නලින් ද සිල්වා

2015 ජූනි 03