History

Thursday, 2 July 2015

මිහිඳු හිමි හා මහින්ද (ඉරිදා දිවයින ලිපියකි)

මිහිඳු හිමි හා මහින්ද

මහින්ද රාජපක්‍ෂ මහතා පන්සල් යෑම බොහෝ දෙනකුගේ කතාබහට ලක් වී ඇත. අතුරලියේ රතන හිමියන්ට ද එය ප්‍රශ්නයක් වී ඇති බව පෙනෙයි. එහෙත් එය මෙරට ඉතිහාසයට හා සංස්කෘතියට එකඟ ය. රනිල් වික්‍රමසිංහ මහතා නම් එය ප්‍රශ්නයක් විය හැකි වුවත් අද ඔහු වඩාත් කල්පනා කරනු ඇත්තේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිලිබඳ ව ය.  තමන් විසින් බලයට පත් කෙරුණු මෛත්‍රිපාල සිරිසේන මහතා මේ කරන්නේ කුමක් දැයි ඔහු කල්පනා කරනු නිසැක ය.


මුස්ලිම් කොංග්‍රසයේ නායක හකීම් මහතා පාර්ලිමේන්තුවේ දී කුස්සි කැබිනට්ටුවක් ගැන සඳහන් කර ඇත. ඒ මහතාට අනුව මහින්ද රාජපක්‍ෂ මහතා ඉවත් කිරීමට ගොස් තමන් මහත් අවුලකට පත් වී ඇත. ඒ මහතාගේ කතාවේ හරය අනාගතයේ දී ජනාධිපති වීමට දඟලන පුද්ගලයකු විසින් වත්මන් ජනාධිපති මෙහෙයවෙන බව ය. මේ පුද්ගලයා කවුදැයි අමුතුවෙන් කිවයුතු නො වේ. ඔහු දේශපාලනඥයන් අතර ද සිටින අවස්ථාවාදියා වෙයි. භික්‍ෂූන් වහන්සේ හිසින් පාර්ලිමේන්තුවට ගිය ඔහු අද නැවතත් හැකිනම් මහින්ද රාජපක්‍ෂ මහතා කරා ඒමට උත්සාහ කරයි. මහින්දට දේශපාලනය අහිමි කරන බවට වහසි බස් දෙඩූ මොහු සංධානයක හතර මායිමට වද්දා නොගත යුතු පුද්ගලයෙකි. රට අවුල් කරන මෛත්‍රිපාල සිරිසේන මහතා බලයට පත්කර ගැනීමට ඔහු උනන්දුවක් දැක්වූයේ ම තම ජනාධිපති ඉලක්කය කරා යෑමට ය.

අද එ ජා පක්‍ෂයටත් කරකියා ගත හැකි දෙයක් නැත. පසුගිය කාලයේ ඔවුන් බලයේ රැඳී සිටියේ පාර්ලිමේන්තුවේ මෛත්‍රිපාල කණ්ඩායම බලවත් වූ බැවිනි. එහෙත් මසක පමණ කාලයක සිට බල තුලනයේ වෙනසක් වෙමින් ඇත. අද මහින්ද කණ්ඩායම බලවත් ය. විශ්වාසභංග යෝජනා විවාදයට ගැනීමට අද එ ජා පක්‍ෂයට හැකියාවක් නැත. ඔවුන්ට අද පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හැර විකල්පයක් නැත. එහෙත් මෛත්‍රිපාල සිරිසේන මහතා ඉහත කී පුද්ගලයාගේ උපදෙස් මත ඒ වළක්වයි. ආප්ප කා තම මුල් පක්‍ෂයට ද්‍රෝහි වී එය ද කා දැමීමට උත්සාහ කළ  මෛත්‍රිපාල සිරිසේන වැන්නකු බලයට පත්කර ගැනීම සම්බන්ධයෙන් අද එ ජා පක්‍ෂය ද කණගාටු වන බව නිසැක ය. හකීම් මහතාගේ මුවින් පිටවූයේ  මේ දුක් ගැනවිල්ල ය.  අපි එය පසෙකින් තබා   ඉතිහාසයට යමු.  

මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කරන කාලයේදීත් මෙරට බුදුදහම ප්‍රචලිත වී තිබිණි. එකල මෙහි හෙළ බෞද්ධ සංස්කෘතියක් විය. ඒ බව වරිගපූර්ණිකාවෙන් ද මෑත දී ලැබුණු පුරා විද්‍යාත්මක සාධකවලින් ද හෙළි වෙයි. එසේ නම් මිහිඳු මහ රහතන් වහන්සේ කෙළේ කුමක් ද? උන්වහන්සේ මෙරටට බෞද්ධ දේශපාලනයක් හඳුන්වා දුන්හ. ඉන්පසු මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියක් ඇතිවීම ආරම්භ විණි. එය අශෝක බුද්ධාගම විය. එහි පදනම වූයේ තුන්වැනි සංගායනාව ය. මිහිඳු හිමියන් විසින් කරන ලද ප්‍රධාන කාර්යය වූයේ මෙරට තිබූ හෙළ බෞද්ධ සංස්කෘතිය වෙනුවට අශෝක රාජ්‍ය තන්ත්‍ර සහිත ව ථෙරවාද බෞද්ධ සංස්කෘතියක් බිහි කිරීමට පළමු පියවර ගැනීම ය.

එහෙත් එයින් කියැවෙන්නේ දේවානම්පිය තිස්ස රජු දවස මෙරට සිංහල ථෙරවාද බෞද්ධ සංස්කෘතියක් ඇති වූ බව නො වේ. නැගී එන ඒ සංස්කෘතියට හෙළ බෞද්ධ සංස්කෘතිය සමග ගැටෙන්නට සිදු විය. ගැමුණු තිස්ස යුද්ධය පවා ඒ සටනෙහි කොටසක් විය. අවසානයේ දී හෙළ බෞද්ධ සංස්කෘතිය පරදවා සිංහල බෞද්ධ සංස්කෘතිය ස්ථාපිත වූයේ පස්වැනි සියවසේ දී ය. ඒ මිහිඳු හිමියන් වැඩම කර අවුරුදු හයසියයක් පමණ ගතවීමෙන් පසුව ය. මහාවංසය ඒ ජයග්‍රහණය ලිඛිතව ඉදිරිපත් කළ ග්‍රන්ථය විය. එහෙත් ඉන්පසු ද කුරුණෑගල යුගය වන තෙක් ම හෙළ යක්‍ෂ ගෝත්‍රිකයන්ගෙන් සිංහල බෞද්ධ සංස්කෘතියට අභියෝග එල්ල විය. දැනට අවුරුදු සියයකට පෙර ද යක්‍ෂ ගෝත්‍රිකයන්ගෙන් (ට්‍රයිබ් නො වේ) පැවත එන ඇතැම්හු සිංහල බෞද්ධ සංස්කෘතියට අභියෝගාත්මක ව ජීවත්වූහ.

කෙසේ වෙතත් තුන්වැනි සංගායනාවෙන් පසු අපට ලැබුණු අශෝක බුද්ධාගම නොවන්නට මෙරටින් බුදුදහම නැතිවන්නට ඉඩ තිබිණි. අශෝක බුද්ධාගම යථා කාලයේ දී  සිංහල බුද්ධාගම බවට පත්විය. එහි දී හෙළ බෞද්ධ සංස්කෘතියේ දෙවිවරු ද සිංහල බෞද්ධ සංස්කෘතියට හෙවත් සිංහල බුද්ධාගමට අවශෝෂණය කෙරිණි. සිංහල බෞද්ධ සංස්කෘතියෙහි සිංහල බෞද්ධ රාජ්‍යය විය. එය පණ්ඩුකාභයගේ රාජ්‍යයෙන් වෙනස් විය. මිහිඳු හිමියන් මෙරටට වැඩම කිරීමට පෙර දේවානම්පිය තිස්ස රාජ්‍යය ද පණ්ඩුකාභය රාජ්‍යය විය. එහෙත් මිහිඳු හිමියන් වැඩම කිරීමෙන් පසුව හා දෙවැනි අභිෂේකයෙන් පසු දේවානම්පිය තිස්ස රාජ්‍යය සිංහල බෞද්ධ රාජ්‍යය විය.

සිංහල බෞද්ධ රාජ්‍යයෙහි භික්‍ෂූන් වහන්සේ රජුට උඩින් සිටියා පමණක් නොව රජුන් තනන්නා ද ආරක්‍ෂකයා ද විය. ටේ‍රවෝ ලිං මහතා පෙන්වා දී ඇති පරිදි සිංහල බෞද්ධ රාජ්‍යය රැඳුනේ ගල් තුනක් මත ය. එනම් භික්‍ෂූන් වහන්සේ, රජු හා ජනතාව ය. ඒ කොටස් තුන අතර අන්‍යොන්‍ය සම්බන්ධයක් විය. රජු ආරක්‍ෂා කිරීම, රජු පත්කිරීම හා රජුට අවවාද කිරීම හා ජනතාවට අවවාද කිරීම භික්‍ෂූන් වහන්සේගේ කාර්යභාරය විය. භික්‍ෂූන් වහන්සේට සිවුපසයෙන් සංග්‍රහ කිරීම රජුගේ ද ජනතාවගේ ද කාර්යභාරය විය. රජු ජනතාවගේ පියා විය. රජු දශරාජ ධර්මයෙන් රජ කළ යුතු වූ අතර ජනතාව දරුවන් මෙන් රැක බලා ගත යුතු විය. එහෙත් භික්‍ෂූන් වහන්සේ කිසි දිනෙක සිවුරු දරා සිටියදී රජ වීමට උත්සාහ නො දැරූහ.

එක්තරා ආකාරයකින් බැලූ කල අද සිදුවන්නේ එය ය. ඇතැම්හු මහින්ද රාජපක්‍ෂ මහතා පන්සල් යෑම ගැන කතාකරති. සිංහල බෞද්ධ සම්ප්‍රදායට එරෙහි ව පාලකයන්ගේ අනුශාසක ධුරයෙන් සෑහීමට පත් නොවී  චීවරය පිටින් පන්සලේ වැඩවාසය කරමින් ම පාර්ලිමේන්තුවට වැඩම කළ රතන හිමියෝ ද මහින්ද මහතාගේ පන්සල් ගමන ගැන කතා කරති. අද මහින්ද රාජපක්‍ෂ මහතා පාලකයා (රජු) ලෙස තෝරාගැනිම, ඔහු රැක බලා ගැනීම, ඔහුට අනුශාසනා කිරීම භික්‍ෂූන් වහන්සේ අතින් සිදුවෙයි. ඒ සිංහල බෞද්ධ සංසකෘතිය යි. ඒ ගැන නොදන්නෝ එයට දොස් කියති.

අද විජිතමුණිට පවා මහින්ද රාජපක්‍ෂට අප්පච්චි (මළා) යැයි කීමට සිදු වී ඇත. සාමාන්‍ය ජනතාවගෙන් බහුතරය කිසිම පැකිළීමකින් තොරව මහින්ද අප්පච්චි ලෙස හඳුන්වති. මේ සිංහල බුද්ධාගම හෙවත් සිංහල බෞද්ධ සංස්කෘතිය වෙයි. අද ජනතාව ඉල්ලන්නේ ශ්‍රී ල නි ප, සන්ධානය හෝ එ ජා පක්‍ෂය හෝ වෙනත් දේශපාලන පක්‍ෂයක් බලයට පත් කිරීම නොව මහින්ද රාජපක්‍ෂ අගමැති කරන ලෙස ය. පක්‍ෂ දේශපාලනය මෙරටට කෙසේවත් නො ගැලපෙයි. ඒ බව ඊිනියා උගතුන් නොදැන සිටියාට සාමාන්‍ය ජනයා දනිති. ඔවුන් එක් රොක් වන්නේ පක්‍ෂයක් වටා නොව පුද්ගලයකු වටා ය. මහින්ද රාජපක්‍ෂ මහතා මැතිවරණයට ඉදිරිපත් වන්නේ කිනම් පක්‍ෂයකින් ද යන්න ඔවුන්ට සත පහකට වැඩක් නැත.  දේශපාලන පක්‍ෂ වෙනුවට නායකයකු පත්කර ගන්නා දිනය වැඩි ඈතක නො වේ.

නලින් ද සිල්වා

2015 ජූනි 28